ජන ගී මිහිර කැටිකොට ගත් හෙළ ගී සිංදු ............ ’ඔංචිලි වාරම් කවි’
ජන සංගීතයේ පැණෙන ’ඔන්චිලි වාරම්’ කවි ඇසුරෙන් සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කළ ගී පද රචනා ගණනාවකි. ’ඔන්චිල්ලාව’ පසුව ළමා උද්‍යානයන්හි අනිවාර්ය කෙළි භාන්ඩ අංගයක් ව දක්නට ලැබුනද, පාරම්පරික දේශිය සිරිත් විරිත් කරළියට පැමිණෙන, සිංහල සහ හින්දු අඵත් අවුරුදු සමයේ එය ද පෙරකී ’පාරම්පරික කෙළි සෙල්ලම්’ ගණනයට ඇතුළත්ය.
ඒ අනුව උස ශක්තිමත් අත්තක බැඳෙන ඔන්චිල්ලාව සිංහල අවුරුදු සමය අවසන් වි කලක් යනතුරු ද ක්‍රියාශීලීය. බාල තරුණ අය එහි නැග හැකිවෙර යොදා පදිති.
’ඔන්චිලි චිලි චිල්ල මලේ....................’ පදපෙළීන් ගැයෙන කවිය ඇසුරෙන් පබැඳුනු ඇතැම් ගීත ’ගැමි සුන්දරත්වය සහ සිරිත් විරිත් ද එහි සුලභ කටයුත්තක් වූ ’නෑනා - මස්සිනා’ ආදර අන්දරය ද පාදක කොටගෙන රචනා වෙද්දී, තවත් ගී ඒ පදය පමණක් උපුටාගත් ප්‍රශස්තබවින් දුර්ලභ රචනා විය.
බටහිර වේගරිද්ම සංගීතය යොදනු ලැබ පොදුජන ගායන තරුව වූ එච් ආර් ජෝතිපාල එක්තරා වෙළඳ ගී තැටියකට ගැයු ගීතයක් සිහිගන්වනු වටී.
ඔන්චිලි චිලි චිල්ල මලේයා................
වැල්ල දිගට නෙල්ලි කැලේයා ...................
මලක් වගේ ඔබ තියලා රන් ඔන්චිල්ලේ ............
රැකුල් දෙමි පදින්නකෝ මා සියුමැල්ලේ .......................
වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙන්නේ ................
ඔබෙයි මගෙයි කනත්දරේ තමා කියන්නේ .................
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී .....
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී ................
මගේ කිරිල්ලී ..මගේ කිරිල්ලී ...
------------------------------
සවන්දෙන්න
ගී පද රචනය නැසිගිය ප්‍රවිණ ගී පද රචක ගුවන් විදුලි නිවේදක සහ වැඩසටහන් සම්පාදක කරුණාරත්න අබේසේකරයන් විසිනි. සංගීත රටා උපේන්ද්‍ර ප්‍රනාන්දුගේය.
’රන් ඔන්චිල්ලා’ නමින් ප්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ධර්ම ශ්‍රී කල්දේරා විසින් නම්කරනු ලැබ තිබු කඵ සුදු සිනමා කෘතියක් මිට අඩසියවසකට පමන පෙර යුගයකදී තිරයේ ඇඳුනි. එවකට සිංහල සංගීත රටාව බටහිර සංගීත මූලධර්මයන්ගේ අනුසාරයෙන් විචිත්‍රවත් කරමින් එය නව මගකට යොමුකළ පෙරළිකාර සංගීතඥ නැසිගිය ප්‍රේමසිරි කේමදාස කල්දෙරා සිනමා පට උදෙසා නාදමිහිර නංවන්නට යොමු වූ යුගයයි.
අද්වීතිය සිනමාතිර කාන්තා හඞකින් සන්නද්ධ ව සිටි ගායන ශීල්පිනී නැසිගිය ඇන්ජලීන් ගුණතිලක ඊට හඞමුසු කළාය. සාම්ප්‍රදායික ගැමි කාන්තා ඇඳුම් කට්ටලය එනම් රෙද්ද හැට්ටයෙන් සැරසි ගත් යොවුන් යුවතියන් රැසක් ඔන්චිල්ලා ක්‍රිඪාවෙහි යෙදෙනු එහි ජවනිකා ගත කෙරිණි. නැසිගිය ධර්මසිරි ගමගේ නම් වූ ශූර පුවත්පත් කලාවේදියාණන් ගේ ගී පදයන් වූ එහි යටිපෙළින් ගැඹූරු අරුතක් මතුකරගන්නට තැත් දරා ඇති බව පෙනීයයි
රන් කෙන්දෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා ...............
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා ...........
දෑතින් බැඳ ලණූ දෙපොටයි දෑතට ගන්නේ ...........
අහසට ගිය සේරම පොළොවට එන්නේ ...........
බාළොලියන් රං ඔන්චිල්ලාව පදින්නේ .............
ජිවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ..
------------------------------
යූ තලයෙන් නරඹන්න
මීට සමකාලීන එකම විද්යුත් ජනමාධ්‍යය වු ’ලංකා ගුවන් විදුලි සේවය’ එදවස ලක්දිවයිනේ පැවති ජනසමාජය ආර්ථික තත්වය සහ සංස්කෘතිය විහිදා දැක්වු පැහැදිලි පැතිකඩක් විය. එහි ඇසුනු සංවාදමය විචිත්‍රාංග වැඩසටහන් සහ වෙනත් සංගීතමය වැඩසටහන් උදෙසා දිවයිනේ ප්‍රමුඛතම විද්වතුන් නිරතුරු සහභාගී වූ අතර ඔවූහූ අතරින් බහුතරය ද ’ගැමිකම’ අත්නොහළ ’ගැමියන්’ ම විය. එහි ගුවනට මුසුවූ වැඩිමනත් ගීතයන්ට ප්‍රස්තුත කොට ගැනුනේ ද ’ගැමි සංස්කෘතිය’ මය.
එදවස ගම්මානයේ සැරිසැරූ ආගන්තුකයෙකු හට එය ’සිංහල සංස්කෘතිය සහ සිරිත් විරිත්’ හැදෑරිමේ මහ තක්සලාවක් සරසවියක් බඳුවිය. මහඇදුරු ජේ බී දිසානයක, පුංචිබන්ඩාර සන්නස්ගල වැනි සම්භාවනීය සරසවි ඇදුරුතුමන්ලා ඒවා ගැඹූරින් හදාරා විශ්ලේෂනය කරමින් එයින් අත්කරගත් මහා දැනුම් සම්භාරය නිතිපතා ’ගුවන් විදුලි’ සගරාමය වැඩසටහන් ඔස්සේ මුඵ රටටම කියාපෑහ. 70 දශකයේ අගභාගයේ ගුවනින් විසුරුවා හැරි ’තුන්පත් රටා’ (මෙහෙයවීම මහඇදුරු ජේ බී දිසානායක) එවැන්නකි.
සංකීර්ණ දිවිපෙවෙතකට හුරු නොවූ ඔවූන් ගේ දරුකැළ තැන් තැන් හී එක් රොක් වී රංචු ගැසී සිය මිදුල් අංගනයන්හී වැලි පොල්කටු කෝම්පිට්ටු හදමින් කෝටුකැබැලි අටවා ගත් සෙල්ලම් ගෙවල් යටට වි සිටියහ. එකකු බෙලෙක් ටින් එකක් කෝටු කැබැල්ලකට සවිකරගත් කරත්තයක් තල්ලු කරද්දී තවකෙකු ’පොල්පිති’ ගොන්වස්සකු දක්කමින් සිටි. මේ දරු දැරියන් සැලකිය යුතු පිරිසක් කණිෂ්ඨ ශ්‍රේණිවලදීද නැතහොත් සාමාන්‍ය පෙළ දී පාසල් ගමනට සමුදී සිය දෙමව්පියන්ගේ ගොවිතැන් සහ වෙනත් වැඩකටයුතුවලට උදව් පදව් කරන්නට ගියහ.
මේ ඔවුන් කළ කී දෑ අරභයා ලියැවුනු සුවහස් සංඛ්‍යාත මධූර ගී පද අතරින් එකකි. මෙහි සංවාදයේ යෙදෙන්නේ ද ’නෑනා - මස්සිනා’ ය. ඉතා අහඹු සිදුවිමක් වූ මෙහි ’මස්සිනා’ නොව ’නැනා’ ගම්මානයෙන්’ නගරයට සේන්දු වී තිබේ. එසේ පිටත් ව ගිය යුවතියන් ’සංකර’ වී හුරුපුරුදු ජීවන රටාවෙන් මිදී, දූෂීත මනස් ඇත්තියන් වෙතැයි ඇගේ ඥාති සමූහයා බියපළකරති. මේ ගීතය ලියැවුනු 70 දශකයේ මධ්‍ය භාගයේ එසේ ’නගරයට’ සංක්‍රමණය වූ ’යුවතිය’ බොහෝදුරට ද්‍රරිද්‍රතාවය නිසා ’ගෘහ සේවිකාවක්’ ලෙස කටයුතු කරන්නට යෙදුනු අතර මේ අවධිය වෙද්දීත් ඔවූනුගේ දැවැන්ත නාගරික සංක්‍රමණයක් සිදුවී මහත් විපර්යාස ගණනාවකට පසුව හේතුපාදක වූ ’මහා පරිමාණ ඇගලුම් කර්මාන්ත’ සහ ’මැදපෙරදිග රැකියා’ උල්පත් පෑදී නොතිබිනි.
ඔහු
ඔන්චිලි චිලි මලේ පුංචි නංගියේ ..,
වැල්ල දිගට නෙල්ලි කැලේ නෙළන්න බැරියේ...
ඇය
වෙරඵ හිඹුටු අහුලාගෙන ගේ ලග මිදුලේ ...
වැලි සෙල්ලම් කරපු අයුරු මට සිහිවෙන්නේ .............
දෙදෙනාම
ඔන්චිලි චිලි චිල්ල මලේ නෙල්ලි කැළෑවේ ..........
ඔහු
සිදාදියට උඹ ගිය පසු ඇළ දොළ ළිඳ ලග ආයේ ............
උඹේ වෙනස කථා බහට ලක් වී ඇත ගම්මානේ .........
ඇය
කියන තරම් වෙනසක් නෑ ..,
ගිහින් ආපු ආරංචිය බොරුවකි පසුගිය කාලේ ................
ඔහු
සුදු නැන්දත් මෙහි නෑවිත් ගමට ගියා පිට පාරේ ....
ගිනි අවුලනු එපා නගේ ඇයගේ හද සන්තානේ ...
ඇය
අයියේ නැන්දට කියන්න පදිංචියට උඩහේනේ ...
සිදාදියෙන් මා එන බව මල් පීදෙන බක්මාසේ ....
------------------------------
සවන්දෙන්න
මෙහි පද රචකයා ක්‍රිස්ටි ගුණසේකරය ච සංගීතඥයා චන්ද්‍රපාල බෝගොඩය ඔහු දකුණුලක සුප්‍රකට බෝගොඩ සංගීත පරපුරේ සාමාජිකයෙකි. ගායනය ද චන්ද්‍රපාල බෝගොඩ සහ ශාන්තා බෝගොඩ යුවළගෙනි. මෙහි මතුව නැගෙන්නේ පසුව බටහිර සංගීතයෙන් නව පරිණාමයකට පත්වෙන්නට ළංවී තිබුනු ’70 දශකයේ ගුවන් විදුලි සරළ ගී’ ආකෘතියයි. මේ ගණයේ ගීත රසවින්දනයේ යෙදෙනු රිසි වූවන්, දිර්ඝ කාලයක සිට හොඳින් පුරුදු පුහුණු කොට වගාකරගත්, සංයමයෙන් සිය ශ්‍රවණෙන්ද්‍රිය මෙහෙයවා ගත්, රසිකත්වයකින් යුක්ත විය යුතුමය.
ඒ වින්දන කලාව 90 දශකයෙන් සිට කෙමෙන් පරිහාණිය කර එළඹ වර්තමානයේ පුර්ණ ලෙස වියැකි මියැදෙන්නට ආසන්නය.
ඔන්චිලි ’වාරම් කවි’ ’පත්තිනි දෙවගන’ වෙත පුද කෙරෙන බුහුමනකි. යාතු කර්ම විශේෂයක් ලෙස ’ගැමියන්’ සළකනු ලබයි. ඒවා ගායනා කරන්නට නියමිත ’ලය’ අනුව ඔවූහූ කන්ඩායම් සැදී ඔන්චිලි පදිමින් ඒවා ගායනා කරයි. ඒවා සුභ නැකැත් වේලාවන් වෙන්කරගෙන නියමිත පුද චාරිත්‍ර විධි අනුගමනය කිරීමෙන් පසුව සකස්කරගනු ලබන අතර සාමූහිකව එක්රොක් වී තමන්ගේ ’වාරය’ ලබාගනිමින් පදින අතර ඇතැම්විට දෙදෙනෙකු ද ඊට වැඩි ගණනක්ද එකවර පදින අවස්ථාවන් ලංකීය ඔබ දැක ඇතුවාට සැක නැත.
ඔන්චිලි වාරම් කවි ගණනාවකි. ඒවා ශ්‍රාස්ත්‍රානුකූලව නියමිත ’ළය’ පිහිටුවා ගායනා කරන්නේ කෙසේද යන්න පහත දැක්වෙන අධ්‍යාපනික වීඩියෝව පෙන්නුම් කරයි.
------------------------------
නරඹන්න යු තලයෙන්
------------------------------
70 දශකයේ යෞවන යෞවනියන්ගේ සිත් රංජනය කරමින් ඔවුන් වේගරිද්ම බටහිර ගී රසයෙන් මත් කල ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන්ගේ නායිකාව 1969 දී වසර 19 ක් පමණක් වියැති යුවතියක් ව ’දිල්හානී දුවනී’ ගායනා කරමින් කරළියට පිවිසියාය. එදත් අදත් ඇයව රසිකයන් හඳුනන්නේ එවැනි වේගරිද්ම පොප් ගී ගායිකාවක් ලෙසය. එහෙත් ...? ඇය ගුවන් විදුලි හඬ පරික්‍ෂණයෙන් සමත්ව ජය කෙහෙළි නංවා ’ඒ’ ශ්‍රේණියේ සරළ ගී ගායිකාවක් ලෙස වර්ගීකරණය වී සිටි බව දැන හැඳින ගත්තෝ ඉතා අල්පය. එදවස ගුවන් විදුලිය සිංහල ජන සංගීතයේ ප්‍රගමනය පිනිස මහත් මෙහෙවරක නිරත වූයේ එහි දුරදක්නා නුවනින් හෙබි පාලක බලධාරීන්ගේ මග පෙන්වීමෙනි. ජන සංගීත පර්යේෂණයේ මහ විද්වතෙකු ව සිටි දිවංගත සී ද එස් කුලතිලක එහි නියමුවා ලෙස කටයුතු කරමින් එනමින් එහි විශේෂ අංශයක් පිහිටුවා කටයුතු කරන ලදීන් නිතිපතා දිවයිනේ සතර දිග්භාගයෙන් එක්රැස් කරගත් ජන ගී ප්‍රවිණයන් ලවා ගයා පටිගත කරවා ප්‍රතිනිර්මාණය කර ’තැටි’ මගින් ජනගත කරන්නට යෙදිනි.
ත්‍රී සිස්ටර්ස් ගායිකා ඉන්ද්‍රානි පෙරේරා ජන සංගීත පර්යේෂණ අංශයේදී ඔංචිලි වාර්ම ගැයු දුර්ලභ අවස්ථාවකි මේ
අර බලන්න ඉර ..........ගිරවිගේ පැටියෝ ............’
අර බලන්න සඳ ........සාවිගේ පැටියෝ ..............’
අර බලන්න රණ මොනරිගේ පැටියෝ ...............
අර බලන කවි අසනා දෙවියෝ ...........
අපි ගි සිංදු බද්‍රකාලී සමග සලොලීන් .........
තතිගූ තාතිගූ වඩි යේරුම තරි යේරිඳු පන්තේරු නනා............
------------------------------
සවන්දෙන්න
ඔන්චිල්ලා වර්ග ගණනාවක් අතර සාමාන්‍ය රැහැන් හෝ කඹ ආධාරයෙන් ගසක අත්තක ගැටගසන ඔන්චිල්ලාව හැරනුවිට සාමූහිකව සිදු කරන අවුරුදු උත්සව භූමි ආශ්‍රිතව ’කතුරු’ ඔන්චිල්ලාව ද දක්නට හැකිය. එහෙත් බොහෝ අය එවැනි වර්ගයේ ඔන්චිල්ලාවන් පැදීම අත්දැක තිබෙන්නට ඇත්තේ සැණකෙළි භුමි වල සවිකර ඇති යාන්ත්‍රික කතුරු ඔන්චිල්ලාව මගිනි.
බටහිර ගී තනු මෙන්ම බටහිර සංගීත රටා අනුව ගී ගැයු තවත් ප්‍රවිණයෙකු වූ ’සී ටී ප්‍රනාන්දු’ ඇය ගීත කලාවට පිවිසෙද්දීද. ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රසාදයට පාත්‍ර ව සිටි අතර ඔහුගේ ගීත බොහොමයක් වෙළඳ ගී තැටි ඇල්බම ඔස්සේ නිකුත් වී සහෘද රසිකයන් අතර සංසරණය විය. එහෙත් ඔහු ලංකා ගුවන් විදුලි සේවයේ ලියාපදිංචි වී ගැයු ගීතද කිසියම් ප්‍රමාණයක් ඉතිරිව පැවතුනද ඒවා අතරින් ජනප්‍රිය වුයේ අතළොස්සකි.
මෙහි කියැවෙන්නේ ඔංචිල්ලා ක්‍රිඩාව ගැන නොවුනද එය ඒ ක්‍රිඩාව නිරන්තරයෙන් ප්‍රියකළ කුඩාවුන්ගේ සිහින ලෝකය වෙත වැඩිහිටියන් පිවිසවයි. ’පරිසරය’ වින්දනය කරන්නට යෙදුනු තත්කාලීන ’ළපැටියන්’ ගේ අනේකාකාර වූ කෙළිකවට සිනා මැද්දේ සිදුකරන පෙරළි එහි අපූරුවට පෙළගස්වා ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් විසිනි. මේ 60 දශකයේ දෙවන භාගයේ ලක්දිව සමාජයේ අසිරියයි. ගී තනු පැට්‍රික් දෙණිපිටිය ගෙනි.
ඔංචිලි චිලි චිල්ල මලේ ............
ඔංචිල්ලාවේ .... වැල්ල දිගේ ..............
එන්න මලේ නෙල්ලි කැළැවේ..............
පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදින්නේ..................
ලේනෝ ගිරව් රිළා පැටව් ඒවා සොයන්නේ ...........
කුරුඵ කොබෙයි කිචි බිචි ගා මුකුඵ කරන්නේ..
සුරංගනා ලෝකෙද මේ පුංචි ළමුන්නේ.............
ඈත එහා මූදේ ඔරු පාරු ඇදෙන්නේ ....
වැල්ල පුරා රැල්ල ගලා බෙල්ලෝ දිළෙන්නේ
මාඵ පැටව් කැරළි ගැසේ පෙරළි කරන්නේ...
වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ...........
වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ ...
හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ ...
මල් සිඹලා සුවඳ උළා පාට දමන්නේ..,
මොකද අනේ ඔවුන් අපට හාදු නොදෙන්නේ ....
------------------------------
සවන්දෙන්න
වර්තමානයේ මෙවැනි නිර්මාණ බිහිවන බවක් පෙනෙන්නට නැත. ඊට හේතු සාධක ගණනාවකි. සන්නිවේදන විප්ලවයකට නතු වෙමින් සිඝ්‍රයෙන් විපර්යාසයකට පත්වෙමින් යන වත්මන් සමාජයේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද නිරත වන්නේ ජීවන අරගලයකය. මේ ගීත බිහිවු යුගය හා සැසැඳීමේදී වත්මන් මිනිසාට භෞතික අවශ්‍යතා අපමණය. ඒවා සපුරාගන්නට නම් ඉපැයීම සිදුකළ යුත්තේ තමන් මිනිසෙකු ව මේ පොළෝ තලයේ බිහිව සිදුකළ යුතු යහපත් ක්‍රියා බොහොමයක් කැප කරමිනි. ඔවුනට සෞන්දර්යය වින්දනය කිරීමට, සාහිත රස සාගරයේ කිමිදෙන්නට අවැසි විවේකය ඔවුන් විසින්ම අහිමි කරගෙන, මානසික අවපිඩනයට ලක්ව දිවි ගෙවති.
කෙසේ වෙතත්, දෛවෝපගතව මේ සොඳුරු රසයට ගැති ව ළැදිව එහි රසය සොයා සැරිසරන අතළොස්සක් වු වත්මන් යෞවන පරපුර වෙත මෙම අතීත ගී රසදහර පුදකරන්නට සිත්විය
විරාමයකි
අගෙයි.. නෑසූ ගීත කිහිපයක් ම තියෙනවා.. ඒ අතරින් ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීතය අති විශේෂයි..
ReplyDeleteසුපුරුදු විදිහට ම අපට මේවගේ සුමියුරු මුල් ගීත සහ ඒවායේ තොරතුරු ගෙන එනවාට බොහොම ස්තුතියි, ප්‍රභාත්.....
ස්තුතියි රසිකාව්යනි.
DeleteThanks for the sharing very rare recordings with it's story.
ReplyDeleteYes, by the word itself, they are nothing short of rarerity.... happy to see that at least one reader was able to recognize it like this
Deleteඋන්චිලි චිලි චිල්ල මලේ ගී ඕවිල්ලේ
ReplyDeleteපැද්දි පැද්දි රස වින්දා තතු විමසිල්ලේ
ලිපිය අගෙයි, ගී නියමයි, දුලබයි, රහනේ!
තවත් මෙවන් ගීත අපට කවදද දෙන්නේ?
අහන කියන විමසන ඔබ මට දිරි දෙන්නේ....
Deleteගීත රසය තව දැඩිකොට දෙන්න හිතෙන්නේ......
එහෙම නොකිව්වොත් යම්තම් පසුබට වන්නේ....
බොහොම වරක් ඔබවෙත තුතිපුදකරදෙන්නේ....