namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, April 6, 2023

Mandolin Music in Sri Lankan Music Industry - මැන්ඩලීනය වැයුනු සිංහල ගීත

 ’මැන්ඩලීනය’ හැඞවෙන හැඩ  - කැටිවූ එදා ගී රස මල් මුවරද - 1940-1990


විවිධ රසයෙන්, විවිධ නාදරටාවන්ගෙන්, පරිපූර්ණ ගී පොකුරක් බිහිවූ පෙර කී යුගයේ විසු ගාන්ධර්වයන් එකිනෙකා ගේ නිර්මාණ ඔස්සේ අභාෂය ලබමින් ඒවා වඩා වඩාත් රසයෙන් උද්දීපනය කරන්නට තමන් හට ශ්‍රවණය කරන්නට ලැබුනු විදෙස් ගීත ඒ සඳහා උපයෝගි කරගන්නට ඇත.


--------------------
ප්‍රවින සංගීතවේදී මැන්ඩලීන් වාදක - ඇන්තනි සුරේන්ද්‍ර
-------------------------

අන්තර්ජාල මුලාශ්‍ර හෙළිදරවු කරන පරිදි 18 සියවසේ ’මැන්ඩෝලා’ නම් වූ තත් සංගීත භාන්ඩය වැඩිදියුණූ කිරීමෙන් නිපදවා ගනු ලැබ ඇති මැන්ඩලීනයේ ද්විත්ව තත් සහිතව තත් අටක නාදපුවරුවක් සහිතය.

මැන්ඩලීන පවුලේ සාමාජිකයන් වූ ’මැන්ඩසෙලෝ’ ’මැන්ඩෝලා’ ’මැන්ඩෝබේස්’ අතදරමින් එක්ව වයන සංගීත ’සංධවනි’  රිසිසේ රසවිඳින්නට ලොව පුරා සංගීත ලෝලීන්හට දැන් කිසි බාධා අවහිරතා නැත්තේ ඒවා බොහොමයක් සමාජ මාධ්‍ය ගතකර ඇති නිසාය.

බටහිර සංගීත ශෛලියේ ’තත්’ වාද්‍ය භාන්ඩ පවුලේ නැතිවම බැරි මෙම උපකරණයේ ස්වභාවය ලිපියකින් ඉදිරිපත් කිරීම නිරර්ථක වන්නේ එහි සේයාරූ මතුනොව වාදනය කරන විඩියෝ පවා අසුරු සැනින් තම අතරැඳි දුරකථනයෙන් සවන්දීමේ වරම වර්තමානිකයන් සතුවන බැවිනි.

මෙම බටහිර තත් වාදනෝපකරණයට පෙම්බැඳි භාරතීය ගාන්ධර්වයන් අතර වෙසෙසින් කැපී පෙනෙන්නේ උත්තර භාරතීය හින්දි සිනමා සංගීතයේ සාම්ප්‍රදායිකත්වයට දැවැන්ත ලෙස අභියෝග කළ විප්ලවීය සංගීතඥ නැසිගිය රාහුල් දේව් බර්මන් එනම් අර් ඩී බර්මන්ය. බොලිවුඩ් සිනමා සංගීතයට 70 දශකය උදාවන්නේ ඔහුගේ සංගීත සම්ප්‍රදායට එය සැලකිය යුතු ලෙස නතුවී ගිය යුගය සටහන් කරමිනි.

ඔහු වෙනත් බටහිර තූර්ය භාන්ඩයන් ගණනාවක් සමගින් ’මැන්ඩලීනය’ ද සිය සිනමා සංගීත රාවය මතුකරගන්නට නොපැකිළීව භාවිතා කලේය. අභිතව එය හින්දි සිනමා ගීතයට හඳුන්වා දුන්නේය,

එදා බොලිවුඩයේදී එහි මිහිර මතුකර ගත් අයුරු නිදසුන් කිහිපයකින් විමසනු වටි 

---------------------------------

සී අයි ඩී - 1956 - ඕ පී නයියාර්

--------------------------------



-----------------------------

ප්්‍යාර් කේ මෝසම් - 1969 - රාහුල් දේව් බර්මන්

-----------------------------





-------------------------------

දුලාරී - සුහානී රාත්  - 1949 - නවුෂාඩ්

---------------------------



ගැයුමෙන්, නැටුමෙන්, වැයුමෙන් පදිකයන්ගේ නෙත පිනවා එදාවේල සරිකරගත්තෝ මගතොටේ කඩපිලේ පදික වේදිකාවේ අදට වඩා එදා බොහෝ සේ දක්නට ලැබිනි. එවැන්නෙකු තනි නොකරන්නට යුහුසුඵ වූ මගී රසිකදණෝ වහා වහා ඔහු වටකරගෙන වළල්ලක් මෙන් සැදී ඒ ආනන්දය විඳගත්හ. එවැනි දසුන් එමට එදා හැදූ හෙළ සිනමාපට මහත් රාශියකට පවා ඇතුළත් කරන්නට එහි නිර්මාණකරුවෙන් පෙළඹුනේ තම සිනමා සිත්තමට රසපූර්ණිත ගීතයක් එකතු කරන්නට සිත් වූ විටදීය. 

ඔවූහු අතරින් ඇතැමුන් අත ’මවුත්ඕගනයක්, එකෝඩියනයක්, හෝ ඉඳහිට මතු කී ’මැන්ඩලීනය’ ක්ද නොරැඳුනේ නොවේ. නිතර ගුවන් විදුලියෙන් ද ’වාද්‍ය සංගීතය’  අසන්නට හුරු පුරුදු වී සිටි රසික දනන් හට එය වින්දනය කිරිමේ හුරුව පුහුණුව මනාව තිබිනි. ඒ හැරුණුවිට මෙම වාද්‍ය භාන්ඩයේ නාදමාලාව රැව් පිළීරැව් දුන් හෙළ ගීත නොතිබුනේදැයි විමසා බැලීම අගනේය.

1980 දශකයට එළඹෙද්දී, හෙළකලා මහ මංගල්ලය එනම් බක්මහ උළෙල ළංවේද්දී එක්තරා රමණීය යුග ගීතයක් ගුවන් විදුලියෙන් වාදනය වන්නට විය. මේ 1980-85 අවධියේදී ඒ තත් රාව ප්‍රතිරාවය නිතර දෙසවනට ළං වූ වග මතකය.

-----------------------------
ප්‍රවිණ මැන්ඩලීන් වාද්‍ය ශීල්පී ඇන්තනි සුරේන්ද්‍ර සිය ශීල්ප දක්වමින්
----------------------------------


සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි ................

යළට මහට කෙත්සරු වී පැහෙන්නයි .....

ගොයම් කරල් රන් පාටින් ළෙලෙන්නයි ...

අවුරුද්දේ සුබාසිරි ගෙනෙන්නයි ..................

නව හිරු පායා ...නව සඳු පායා ...................

---------------------

මෙතැනින් සවන්දෙන්න

------------------------


දහස් ගණනින් බිහිවි ඇසුනු සිංහල ගීත අතර, මෙම බක්මහ මංගල ගීතයේ අරුමය, සුවිශේෂීත්වය කිමද ? එහ අන්කවරක් හෝ නොව උක්ත ගීතයේ විරාමයන් පුරාවට නිරන්තරයෙන් වැයෙන ’මැන්ඩලීන’ වාදන රසයයි.


එතරම් සුලභ නොවු පිරිමි ගායන ශීල්පීන් දෙදෙනෙකු විසින් පමණක් ගැයීමේ සම්ප්‍රදායට අනුගත වූ මෙහි හඞ මුසුව සිදුකලේ එදවස ලංකා ගුවන් විදුලියේ ගායන ශීල්පී ලැයිස්තුවේ ප්‍රමුඛතමයන් වූ ’එඩ්වර්ඩ් ජයකොඩි’ සහ ’රෝහණ බෝගෝඩ’ යන දෙදෙනාය. ගී පද සංකල්පනාව නැසිගිය පුවත්පත් කලාවේදී ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ගේය. සත්සර රටා ඔවුන්ගේ සමකාලීන ගායන ශිල්පී සංගීතඥ බන්දුල විජේවිරයන්ගෙනි.

------------------------
සංගීතඥ ලෙස්ලි අසෝකා
-------------------------

එදවස දොරින් දොර කලින් කල පෙළීන් පෙළ පැවතී ’සංගීත පැදුරු සාජ්ජ’ යන් විසින් ඉගිකලේ එදවස පොදුජන විඥානය හා වඩාත් සමීපව සබැඳි ’කලාරසයයි’. ගීත රසවින්දනයට විවේකය විනෝදයෙන් ගත කිරීමට ලාංකීය පොදුජනයා අතර පැවති නැඹූරුවයි. මතු කී ’මවුත්ඕගන’ ’වස්දඞු’ අතරට එවිට ’ඩෝල්කය’ ’සර්පිනාව’  ’අත්රබාන’ මෙන්ම ඇතැම් විට මෙකී ’මැන්ඩලීනය’ ද එකතු වී අපුරු සත්සර රස මවන්නේය.

සංගීතවේදී එඩ්වර්ඩ් ජයකොඩි ඔහුගේ නාමය ශ්‍රාවකයන් අතර රඳවන්නට සමත් වූ සුවිශේෂී නිර්මාණයන් අතර 80 දශකයේ මුල් යුගයේ බිහිවුනු මෙම ගීතයද ප්‍රමුඛත්වයේ රැඳුනේය. 80 දශකයේ මුල් යුගයේදී සිය රාජකාරියේ නිරතවෙමින් අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වන ලංගම බස්රථයේ  සේවය කළ ’සිරිල් සමරකෝන්’ නම් වූ රසවතා හට, මරදාන ටෙක්නිකල් හන්දියේදී බසය නතරකල අවස්ථාවේ ඇස ගැසුනු දසුනක් ඇසුරෙන් ඔහු පබැඳුවා යැයි කියැවෙන මෙම ගීතය පුරා නිරන්තරයෙන් වාදනය වන ’මැන්ඩලින්’ හඞ යොදමින් එහි තනුව සහ සංගීතය නි්ර්මණය කළේ ප්‍රවින වයලීන් වාදන ශුරී කළණි පෙරේරා විසිනි.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ ............

ඉඳගෙන මම ඉන්නේ ...................

පදික වේදිකා පසුකර යන්නට තල්ලුකරන් පුතුනේ ...................

තල්ලුකරන් පුතුනේ ..........................


කැඩුනු පාවහන් උඩ ඉඳවාලා දවසේ වියදම සරිකරවාලා ........

අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට ....

තල්ලු කරන් පුතුනේ .....

----------------------

පහතින් නරඹන්න

-----------------------



මැන්ඩලීනයේ නාද සංයෝජනයේ මිහිර විඳගන්නට රිසි ඊට පෙම්බැඳි සංගීතලෝලීන් විසින් මගනොහැරිය යුතු මෙම ගීතයට ඉන් ලැබුනු ආලෝකය ඉමහත්ය. ගීතයෙන් කියැවෙන අරුතට, මෙන්ම ගායන ශීල්පියාගේ සංයමයෙන් යුත් හඞට ද, රිද්මයටද ඇඵම් කළ රසිකයන් ඊට අපුරු හැඩතල එක්කල මෙම නාදසංයෝජනය පිළීබඳව අවධානයක් යොමු නොකරන්නට ඇති බව නම් නිසැකය.
---------------------------
ප්‍රවිණ සංගීත විශ්ලේෂක වාද්‍ය ශිල්පී දිනේෂ් සුබසිංහ ගේ මැන්ඩලීන වාදනයක්
--------------


1979 වසරේදී ’සිංග්ලංකා’ ගීත කැසට් සමාගම සිය අභිනව ව්‍යාපාර කටයුතු අරඹන්නට තෝරාගත්තේ එදවස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තලයේ වැජඹුනු ගායන ශීල්පීන්ය. එතරම් විශාල ගණනක් ගීත ගායනා නොකළ ශිල්පියෙකු ව සිටියද ඔවුන් අතරට ගුවන් විදුලි ගායක රෝහණ සිරිවර්ධනයන් ද විය.  ඔහු ලංකා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සම්පාදක සහ නිෂ්පාදක වරයෙක් ලෙස වසර 40 ක් තරම් දිර්ඝ කාලයක දැයේ ණැන පහන් දල්වන්නට වෙහෙස වෙමින් ඒ කර්ත්‍යයේ අදද නිරතව සිටින්නේය.

අතීතයේ එනම් 70 දශකයේ ගුවන් විදුලියේ ජනප්‍රිය නාට්‍ය ගණනාවක චරිත නිරූපනය කර ඇති ඔහු ගේ චරිත අතර ’පහන් සිඵව’ නාටකයේ චරිතය ළමා අපගේ සිත් ගත්තේය.

සිංග්ලංකා අධිපති ප්‍රකට ව්‍යාපාරික ආනන්ද ගනේගොඩ රසවතාණන් විසින් එවකට ප්‍රවිණ ගායන ශීල්පීන් ගේ කැසට් පට 10 ක් නිකුත් කරන්නට කටයුතු කරමින් තිබු අතර එවකට ගුවන් විදුලියේ යොවුන් ගායන ශීල්පියෙකු ව සිටි ’රෝහණ සිරිවර්ධනයන් ’ ද ඊට තෝරාගනු ලැබීය. ඔහු විසින් නිකුත් කරන්නට යෙදුනු ’මටත් හොරෙන්’ හිසින් යුතු කැසට් පටයේ ඇතුළත් කරන්නට යෙදුනු මේ ගීයේ පද සංකල්පනාව එවකට සිංග්ලංකා ආයතනයේ මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කල ප්‍රවිණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේය. සංගීතය සහ තනු සංගීතඥ සරත් ද අල්විස් ශූරීන් විසිනි

බම්බලපිටිය ’ඕගී’ ශබ්දාගාරයේ පටිගත වූ මෙහි ’මැන්ඩලීන’ කන්ඩායම නියෝජනය කලේ ’ඇන්තනි සුරේන්ද්‍ර’ සමග ප්‍රවිණ සංගීතවේදී වී හේමපාල පෙරේරා ය

දෑසේ මල් විලේ .............

ආශා රොන් සැලේ .............

ඡායා පාවෙනා මේ සැඳෑ යාමයේ ...........


ආශා විල්තෙරේ පායා රන්සඳේ ................

සන්සුන් නදී තෙරේ ..........

මේ මල් විමානයේ ..........

ගී ගායනා ..........


විසිරෙනා මේ රැයේ ......

ආදරෙන් ළංවෙමු ................

--------------------------

මෙතැනින් අසන්න

-------------------------

ගායන ශිල්පී බන්දුල විජේවීර එදවස ලංකා ගුවන් විදුලි සේවයේ සංගීතමය විචිත්‍රාංගයන් උදෙසා මධූර තනු රචනා කරන්නට යෙදුනා වූ අප්‍රකට සංගීතවේදියෙකු ද වෙයි. ඔහු ගේ එකී කාර්යභාරය පිළිබඳව දැනුවත් වූ රසිකයන් අල්ප සංඛ්‍යාත වේ. ඔහු මෙකී වාද්‍ය භාන්ඩයට වෙසෙස් ඇල්මක් දක්වන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ ඔහු විසින් ගායනා කරන්නට යෙදුනු තවත් තත්කාලීන ගුවන් විදුලි දෑ අබිමන් ගීතයක රසය විඳිනු ලබද්දීය.


නිදහස ගැන කවි කියන්න ...........

රසකර සීපද ..............

නිවහල් කවි පද බඳින්න ...

පතුරමු ගී පද .............

ජාතික රණ ගී ලියන්න සුමිහිරි ගී පද ..........

ජාතිය පණවගන්වන්නට පතුරමු ගී නද ............

---------------------

අසන්න මෙතැනින්

----------------------

’මැන්ඩලීන’ වාද්‍ය රසය ගැබ්වු හෙළ ගීතාවලිය පිළීබඳව කරුණු හදාරද්දී, එය සුඵපටු කරතව්‍යයක් නොවන බව වැටහී ගියේ එවන් ගීත ඉඳහිට හෝ ශ්‍රවණය නොවන නිසාය. 

සංගීතයේ රන්තොටිල්ල වූ අසල්වැසි භාරතයේ දී එය වයන්නෝ දුලබ නොවූවත් මෙහි ඒ තත්වය සපුරා වෙනස්ය. ’70’ දශකයේදී ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දය නියෝජනයක කරමින් ඒ කටයුත්තේ යෙදී සිටි බවට වාර්තා වී ඇත්තේ වාදකයන් ත්‍රිත්වයක් පමණකි.

ප්‍රවිණ සංගීතවේදී වයලීන් වාද්‍ය ශූරී එම් කේ රොක්සාමි ගේ දෙටු සොයුරු ’ඇන්තනි සාමි’ හැරුණුවිට 80 දශකය නියෝජනය කළ ප්‍රවිණ ගුවන් විදුලි ගායිකා ’යමුනා විනෝදනී’ ගේ පියතුමා වූ ’ලෙස්ලි අශෙෘ්කා’ ද, පසුව  90 දශකයේ සුපක්‍රට වද්‍ය කන්ඩායමක් නියෝජනය කළ ’ඇන්තනි සුරේන්ද්‍ර’ ශිල්පියා ද ඒ තිදෙනාය.

සංගීතඥ බන්දුල විජේවිර ගී නිර්මාණ වෙනුවෙන් ’මැන්ඩලීනය’ වයා ඇත්තේ මේ අතරින් ඇන්තනි සුරේන්ද්‍ර සංගීත ශීල්පියාණෝය.  90 දශකයේම කරළියට පැමිනි ’නිරෝෂා විරාජිනී’ ශිල්පිනිය ගැයු ’රෑ දොළොස් පැයේ ඉණි කඞුඵ ඇරන්... කර ඔසවා බලා උන්නා ...............’ නම් වූ ජනප්‍රිය ගීතයේ තනු නිර්මාණ ශීල්පියා ද ඔහුය.

උත්තර භාරතීය රිදී චලන සිත්තම් කර්මාන්නයේ දී ඉහත පරිදි යොදා ගැනුනු මෙම වාදf්‍යා්පකරණය සිංහල සිනමාවේදී කෙසේ යොදාගනු ලබන්නට ඇද්දැයි යන්න විමසා බැලිමේදී අප පිවිසිය යුත්තේ ’60’ දශකයටය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවැනිසිනමාගමනය සිංහල සිනමා වංශ කථාවේ නොමැකෙන සිහිවටන රැසක් ඉතිරි කර තැබූ ’සංදේශය’ වේ. 16 සියවසේ පෘතුගිසි සමය පදනම් කොට ලියැවුනු මෙම තිරපිටපතේ ඇතුළත් වූ රසපුර්ණ ගීතපෙළෙහි තනුරටාවන් මහ සංගීතවේදී ’සුනිල් සාන්ත’ ගෙනි. ඒවාට අන්තර්වාද්‍ය ඛන්ඩ මුසුව ’ආර් මුත්තුසාමි’ ගෙනි. එහි කලාශුරී ලතා වල්පොළ ගේ හඞින් ගැයුණු ළයාන්විත නැළවිලි ගීතයක් අරඹන්නේ ’මැන්ඩලීනය’ හඞවමිනි. ගී සංකල්පනාව කලාශූරී නැසිගිය අරිසෙන් අහුබුදු ශූරින්ගේය.


සුදට සුදේ වළාකුළයි .........

නිල් අහසේ පාවෙන්නේ ............

කන්ද උඩින් පණිවුඩයයි .........

පුතුට මගේ ගෙන එන්නේ ...

දොයි දොයි දොයි දොයිය පුතා ...

බයි බයි බයි බයිය පුතා.........


සංගීතවේදී එම් කේ රොක්සාමි ගේ මෙහෙයවීමෙන් ’මැන්ඩලීනය’ ඉඳහිට නාද නගන්නේ   ’සුජාගේ රහස’ සිනමාපටයේදී 1964 වසරේදීය.


අම්බරේ බලන්න පුන්සඳේ ...........

මැදින්ම සුදුළපේ පෙනේ ...

රෝස මලෙත් නටුවේ කටු කවුද නොදන්නේ ....

කලියුග කාලේ මාඵ නටයි සෝඩා බෝතලේ ..

මේවගේ කාලේ එන්න දෙන්න බැරිද පොල්පැලේ ...

ඉහත කියූ ලෙසම ’මගතොට’ ගායක නර්තන වාදකයන්හට තරමටම සාජ්ජයකදී නැතුවම බැරි සංගීත භාන්ඩය බවට පත්වූ ’මැන්ඩලීනය’, අතදරා නටමින් ගයන අපුරු වාදකයෙක් පැහැදිලිව තිරයේ දිස්වුයේ 1965 වසරේ ජූනි පස්වැනිදිනදීය. පන්ඩිත් අමරදේවයන් ගේ මියැසි දැහැන් ගත වූ එය තිස්ස ලියනසූරිය ගේ ’සාරවිට’ සිත්තම් රූ පටයයි. සාජ්ජයේ පිරිස එකට එක්වි ගයන්නේ


ලස්ස ගනන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ............

රත්තරනින් පෑදිලා හිත්වල මල් පීදිලා ...............

සාරයි සාරයියා ....සාරයි සාරයියා...................

-------------------

මෙතැනින් නරඹන්න

-------------------



අනතුරුව 1976 වසරේ තිරගත වූ ’ආශා’ සිනමා පටයේ සංගීත නිර්මාපක ප්‍රවිණ සංගීතඥ නැසිගිය  සෝමදාස ඇල්විටිගල ශූරීන් එය සමූහ ගීතයකට යොදාගනු ලැබ තිබින. ගැයුම අබේවර්ධන බාලසූරිය අයිවෝ ඩෙනිස් ඇතුඵ පිරිසගෙනි.මෙහි ගී පද සංකල්පනා අජන්තා රණසිංහයන්ගෙනි

සරණ අරන් අපේ සුරිඳු ...............

රත්නපුරේ සමන් දෙවිඳු .................

සරන මැණික් ලොවම පසිඳු .....

පරදයි රැස් නගන තරිඳු .....

--------------------------

සවන්දෙන්න පහතින්

------------------------

සිංහල සිනමාවේ මුලි අවධියේ ඊට සංගීත රටා මුසුකල භාරතීය සංගීතවේදීන් මෙන්ම පසුව ලාංකීය වූ කර්ණාටක සංගීතඥ ආර් මුත්තුසාමි ද මෙම වාද්‍ය භාන්ඩය තම නිර්මාණ සඳහා යොදාගැනීමට වැඩි කැමැත්තක් දැක්වූ බව ඔවුන්ගේ සිනමා සංගීතය විමසීමේදී පෙනීයයි. 

ඊට අමතරව සිංහල සංගීතවේදීන් අතර පන්ඩිත් අමරදේවයන්ගේ පටන් පී එල් ඒ සෝමපාල, පැට්‍රික් දෙණිපිටිය,ෂෙල්ටන් ප්‍රේමරත්න ඇතුඵ කිහිප දෙනෙකු ඊට පෙම් බැන්දේය.  එහෙත් සිංහල සිනමා සංගීතයේ ජයදද බැන්දූ ප්‍රමුඛතමයන් ද්විත්වය වූ ’සරත් දසනායක’ සහ ’කේමදාස’ දෙදෙනාගේ ගීත සඳහා එය භාවිතා කල අවස්ථා හමු නොවන තරම්ය. 


මේ කරුණු හෙළිදරවු කළ හැකි සාක්‍ෂි පෙළයි පහත දැක්වෙන්නේ.


මැන්ඩලීන තත් රටා ඇඳුනු වෙනත් සිනමා ගී 


ආරාධනා සංසාරයේ .... ගැයුම - ලතා ව්ල්පොළ - නීලා - 1977 - එම් කේ රොක්සාමි

දොයි දොයි දොයිය පුතා... ලතා වල්පොල - මාතලන් - 1956 - ආර් මුත්තුසාමි

ගලනා සීත ජලේ - ලතා වල්පොල - අක්ක නගෝ - 1968 - පී එල් ඒ සෝමපාල

මලකින් මලකට ගොස් පැණි බොන්නද - නන්දා මාලිනී -  බක්මහ දීගේ - 1969 - සෝමදාස ඇල්විටිගල

හොඳා මගේ කාලේ - සිඩ්නි ආටිගල - සුබද්‍රා - 1959 - 

ප්‍රීතිය හෘදේ පුරා දෙන්නම් රංජනා - ලතා වල්පොළ

ලාලිත රූපේ සෝබන දේහේ - ධර්මදාස වල්පොල - ජී එස් බී රාණි - සුන්දර බිරිඳ - 1960 - ටී ආර් පාපා

මගේ හද වෙණ පිරිමැදලා - ඇන්ජලීන් ගුණතිලක - සූජිවා - 1972 - ටී එෆ් ලතීෆ්

පෙම් රාජයේ මංගල යෝගයේ - ලතා සහ ධර්මදාස වල්පොළ - ඩිංගරි මැණීකා - 1956 - ඇස් ඇස් වේදා

පිපෙන මලක මී මධූරස පිරෙන්නයි - ලතා වල්පොළ - ඔක්කොම හරි - 1967 - ආර් මුත්තුසාමි

මලින් මලේ රේණු උරා - නාරද දිසාසේකර - මිල්ටන් පෙරේරා ඇතුඵ පිරිස - ආදරයයි කරුණාවයි- 1965- අමරදේව

පිපිලා හද විලේ පිපි සුමුදු සිනිඳු - ලතා වල්පොළ - ධර්මදාස - සැගවුනු මැණික - 1967 - පැට්‍රික් දෙණිපිටිය

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ - ජේ ඒ මිල්ටන් පෙරේරා - 

රන්පාට රන්වන් වලා - ලතා සහ ධර්මදාස - මංගලා - 1977 - පී එල් ඒ සෝමපාල

රෑණ ගීරා රෑන අඹේ  - ලතා වල්පොළ - 1960 - ආර් මුත්තුසාමි

සුරතලී සංගීතේ රසේ වෙළී - ධර්මදාස වල්පොළ - සුරතලී - 1957

පුංචි පැංචි කාලේ (අලී බබා) - එම් එස් ප්‍රනාන්දු - හිතක පිපුණු මල් - 1972 - ෂෙල්ටන් ප්‍රේමරත්න

තත් භාන්ඩ නාද අසිරිය ගැබ්වූ ගීත අතර ඒවා එකිනෙකා සංවාදයේ යෙදෙන්නා සේ නිමැයුනු මෝහණිය නාද මිහිරියාවකින් යුත් එක්තරා ගුවන් විදුලි ගීතයක් දෙසවන රැව් පිළීරැව් දෙයි. එහි  මැන්ඩලීනය හා එක්ව වැයෙන්නේ සිතාරයයි.


පහන් දොරින් දොරින් දොරට...................

පින් සිරිකත වැඩමවන්න .................

ඉතිං සබඳ උදෑසනේ ....................

නිදි දැහැනින් අවදිවන්න ............

බුද්ධ රත්නයේ සරණං ඉතිං සබඳ අවදිවන්න .....................

(අජන්තා රණසිංහ ගී පද උදෙසා සංගීත මුසුව දයාරත්න රණතුංගයන් විසිනි)

-------------------------

අසන්න මෙතැනින්

-------------------------

වෙළඳ තැටි සහ පසුව ගැයුනු කැසට් ගීතයන් වර්ණවත් වුයේ බටහිර ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩයන්ගේ පිහිටෙනි. එහෙත් ගුවන් විදුලි වාද්‍ය වෘන්දය විසින් මෙහෙයවූ එහි ගැයුනු ගීතාවලියේ පෙරදිග වාදf්‍යා්පකරනයන්ට ප්‍රමුඛත්වය ලැබුනි. පහත ලැයිස්තුවේ පෙළගස්වා ඇත්තේ ’මැන්ඩලීනයේ’ නාද සිත්තම් ඇඳුනු ගුවන් විදුලි ගීත වේ.


ආදරයේ උණුසුම ලග  - සෝමතිලක ජයමහ - විජයසිරි අමරතුංග - සංගීතඥ අමරසිරි පීරිස් 

පොඩි දුවගේ සිනාවැලයි - සෝමතිලක ජයමහ - සුනිල් ආරියරත්න - රෝහණ වීරසිංහ

දෙනුවර මින්පසු එක නුවරක් විය - සෝමතිලක ජයමහ - පුන්‍යා කත්‍රිආරච්චි - සෝමතිලක ජයමහ

අහන්න මගේ හොඳ පුංචි පුතේ - ජේ ඒ මිල්ටන් පෙරේරා - ඇලෝයි ගුණවර්ධන - මොහොමඩ් සාලි

අපේ පැතුම් බඳුන - මිල්ටන් පෙරේරා - කරුණාරත්න අබේසේකර - මොහොමඩ් සාලි

එක දිය බිඳුවෙන් කෙළෙසද පවසත් - රෝහණ වීරසිංහ - බන්දුල විජේවීර - චිත්‍රානන්ද අබේසේකර - රෝහණ වීරසිංහ

සිහින සිනාවෙන් සිහිනෙන් දකින හිනාවයි - රංජනී පෙරේරා සහ සරත් සන්දනායක - අජන්තා රණසිංහ - විමල් ජේ ශ්‍රීයාරත්න

සිනා සපිරි මුව කමලේයා - සී ඩී ෆොන්සේකා -  ධර්මසිරි ගමගේ - සීඩී ෆොන්සේකා

සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ලක - සුනිල් එදිරිසිංහ - නන්දා මාලිනී - කුලරත්න ආරිවංශ - නිමල් පෙරේරා

ඈත දියඹ වැන්නේ ඔබ නිසසල - සුජාතා අත්තනායක - රත්නාලංකා අබේවික්‍රම - ඔස්ටින් මුණසිංහ

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ  - රෝහණ වීරසිංහ - රෝහණ වීරසිංහ 

පින්න පිපුණු ළන්ද දිගේ ඉරට මුකුඵ - ටී එම් ජයරත්න - කුලරත්න ආරියවංශ  - රෝහණ වීරසිංහ

සූ සැට බරණින් සැරසීලා - නීලා වික්‍රමසිංහ - ජයරත්න ගමගේ - වික්ටර් රත්නායක

පිය හිමියනි මා හදවත කුසුනෙඵම් - රූපා ඉන්දුමති සහ ලක්‍ෂමන් රොද්‍රිගෝ - කරුණාරත්න අබේසේකර - මොහොමඩ් සාලී


------------------------------------------

සිහින සිනාවයි සිහිනෙන් දකින සිනාවයි ............

කුන්ද සමන් මල් පුබුදන ඔබේ සිනාවයි............

ළඳේ හීන අගින් ආදර ඉගි පාන සිනාවයි .................

සීපද රාවේ සීතල රෑ හඳපානයි ...........

කන්ද උඩින් පාවෙන ඔබේ ගීත කලාවයි .........

ප්‍රියේ ...නින්ද නැතුව මා කැඳවන ප්‍රේම කථාවයි ............

කුන්ද සමන් මල් පුබුදින ඔබේ සිනාවයි........


තුන්ඉරි ගෙල රත්තරනින් මාල බඳින්නයි ...........

රත්තරනින් ලස්සන රන් තෝඩු ගෙනෙන්නයි .........

ළගින් ඉඳින් ආදර කථා කියන්නයි........

අත්තන මල් සේල වටා නෙරිය තියන්නයි.............


--------------------------

සවන්දෙන්න මෙතැනින්

----------------------------

ගී පද ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - විමල් ජේ ශ්‍රියාරත්න (ප්‍රවින තබ්ලා වදන ශිල්පී - ලංකා ගුවන් විදුලිය)

ගැයුම - රංජනී පෙරේරා සමග සරත් සන්දනායක

වසර - 1971


--------------------------------

ඒ අතර ඉඳහිට කැසට් ගී නිමැයුම් අතර වැයූ මේ වාද්‍ය භාන්ඩයේ මිහිර විඳිනු වස් පහත ගී රසවිඳිනු වටී.


තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාඵවෙන් - වික්ටර් රත්නායක

ඔබ ගතින් මා ලගයි - ඉන්ද්‍රාණි විජයබන්ඩාර - සිසිර සේනාරත්න - (වෙළඳ තැටියකි)

කරුංකා ගෙඩියක් තරමට කොණ්ඩය බැඳලා - ශිරෝමි ප්‍රනාන්දු - 1970 (වෙළඳ තැටියකි)

සැරයටියෙන් අපි යනෙන තුරා - විජය කුමාරණතුංග - චන්ද්‍රලේඛා පෙරේරා 


තත් භාන්ඩ පවුලේ දෙටු සොයුරන් දෙදෙනෙකු වන ’ගිටාරය’ සහ ’සිතාරය’ ට වඩා තියුණු හඞක් නංවන මෙම සාමාජිකයාව  සහභාගී කරවා නොගත් ග්‍රැමෆෝන් ගීත නෙවෙත්ද ? මැන්ඩලීනය වැයූ එවැනි ගීත නැතුවාම නොවේ. 1960 වසරට පෙර යුගයේ ගීත මෙකී ’ග්‍රැමෆෝන්’ යුගය ලෙස සලකනු ලැබීම කොතරම් යුක්ති සහගත දැයි කිව නොහැකි නමුත්, ඒ යුගයේදී තාරුණ්‍යයෙන් නික්ම යමින් සිටි ගායන ශීල්පිනී ’විවියන් ද සිල්වා’ බොරලැස්ස’ ශිල්පිනිය ’හිස් මාස්ටර්ස් වොයිස්’ ජාත්‍යන්තර ලේබලයේ දේශීය නියෝජිතයා වෙනුවෙන් ගීත ගැයුවාය. ඇයගේ මධූර ගී හඞ පසුබිමින් ’මැන්ඩලීන’ නාදරටා මැවි මැවි යයි. මෙම ීතය ඇරඹෙන්නේ එයින් වැයෙන ස්වර රටාවකිනි.

මෙහි සංගීත සංයෝජනය ග්‍රැමෆෝන් යුගයේ කැපී පෙනන සංගීතඥයෙකු ලෙස කටයුතු කරන ලද පී ඩී වින්ස්ටන් පෙරේරා ගේය. ඔහු එදවස තවත් ප්‍රකට ග්‍රැමෆෝන් ශිල්පිනියක් වූ ප්‍රිසිලා ඕපාත ගේ දයාබර සැමියාණන්ය. ගීත තැටි අනුක්‍රමික අංක  WN 189 (His master’s Voice) වසර 1955 හි දීය.

නංගී නංගී රූපිකා ...................

නංගී නංගී රූපිකා ...................

ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ළලනී තී නිසා ....................

ඇගේ මූනේ බොරු ඔප නෑනේ ...

පිරිසිදුවේ සපුමල් වාගේ ....

රූබර මාලතීයේ ...

ගීතය තී රිද්මය වුයේ .....


(ආනන්ද සරත් විමලවීර - බී ඇස් පෙරේරා)


-----------------------------

සවන්දෙන්න

-------------------------------

විවියන් ද සිල්වා ගැයූ තවත් ගීතයකට ද මුසුකර ඇත්තේ ’මැන්ඩලීනයේ’ නාදරටාමය.

බුදු මගුල ලගම එවි මුදු සිතලේ උදා ............

බුදු දහම සාමයේ දසඅත එයි පිරි නැගී බැබළෙන්නේ ලෝකයේ .............

(ආනන්ද සරත් විමලවීර - බී ඇස් පෙරේරා)

’මැන්ඩලීන’ පවුලේ සුවිශේෂී නිර්මාණය ලාංකීකයන් විසින් ’ජපන් මැන්ඩලීනය’ ලෙසින් හඳුන්වාගන්නා ’ටයිෂෝගොටෝ’ නම් වු සංගීතෝපකරණය වේ. එය හවයන් ගිටාරය, සරපුවරුව මෙන්ම මතුපිටක තිරස්ව රඳවාතබා පතුරකින් තත් හඞවනු ලබන අතර ස්වරස්ථාන ඊට අදාළ යතුරක් එබීමෙන් තෝරාගනු ලබයි. ඈත අතීතයේ ග්‍රැමෆෝන් යුගයට සමගාමිව මෙන්ම ඊට පසුවද සංගීතලෝලීන්ගේ නිවස්වල මෙම උපකරණය බහුලව දැකිය හැකිවිය.1967 තිරගත වූ සිරි ගුණසිංහයන්ගේ ’සත් සමුදුර’ සිනමා සිත්තමෙහිදී එවැනි ’සාජ්ජයක’ ජවනිකා පෙළක් ඇස ගැටෙයි. එහිදී ටවර් හෝල් නුර්ති ගීයක් වූ ’දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී..............’ ගයමින් එය වැයුවේ ප්‍රවණ රංගධර ’සිරිල් වික්‍රමගේ’ ශූරීන්ය.ජවනිකාවට පමනි (පසුබිම් ගායනයේ යෙදුනු එවකට ලංකා ගුවන් විදුලියේ ප්‍රවිණ නුර්ති ගී ගායන ශිල්පී එම් ඩී චන්ද්‍රපාලයන් විසිනි)
-----------------------
https://www.youtube.com/watch?v=nNgGz-j8uRE
-----------------------
යූ තලයේ ලිපින කොටුවට මෙය කොපිකරන්න

මෑත කාලයේ සංගීත සංයෝජන ක්‍රියාන්විතය ’පරිගණක ආශ්‍රිත’ නවිකරණය වීමත් සමගින්  ගීයක මිහිර දෙගුණ තෙගුණ කරන්නට සමත් වන වාද්‍ය භාන්ඩ විවිධාංගීකරණයේ පැහැදිලි පිරිහිමක් දක්නට ලැබෙන අතර රසපුර්ණ තනු නිර්මාණ පවා සවනට නොවැකෙන තරම්ය. කලකට ඉහතදී එම තත්වය අවම තාක්‍ෂනික පසුබිමකදී පවා ඉතා අනර්ඝ ලෙස පැවති බව කියාපානු පිනිස, විවිධ සංගීත භාන්ඩ ලාංකීය සංගීත කලා ඉතිහාසය ඔපවත් කරන ලද ආකාරය විස්තර කෙරෙන ලිපිමාලාවක  ෙතවැන්න යි මේ. 

නැවතත් නුදුරු අනාගතයේ, බිහිවන නව ගීත රචනා පෙරමෙන් අරුත්බර බවින්ද සුමධුර තනු සහ සංගීත සංයෝජනයන්ගෙන් ද නොපිරිහී පවතීවා යන්න සංගීත ලෝලී ඔබ අපගේ පැතුම විය යුතුය.

---------------------------------------------------------------------------------------------

ස්තුතියි  - ප්‍රවිණ ගායන ශීල්පි  රෝහණ බෝගෝඩ මහතාට - 

         - ප්‍රවිණ ගායන ශිල්පිනි සංගීතඥ නාලිනී රණසිංහ මහත්මියට
ප්‍රවිණ ගායන ශීල්පී රෝහණ සිරිවර්ධන මහතා
ශ්‍රී ලංකාවේ ග්‍රැමෆෝන් යුගය තැටි සංරක්‍ෂක සහ පර්යේෂක - ඉසුරු උදයංග කාරියවසම් මහතා.

ගීත මූලාශ්‍රය

ලියුම්කරු සතු මුල් ගී එකතුවෙනි


13 comments:

  1. අනගි විස්තරයක් .👍 බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. මගේ මුහුනුපොතේ හෝ බ්ලොගයේ වේවා රසිකය හෝ රසිකාවිය. ස්තුතියි මම මහත් සේ වෙහෙස වී පිළයෙල කළ ලිපියක් මේ.

      වාද්‍ය භාන්ඩ ලිපි මාලාවක තෙවැන්න

      Delete
  2. හිතාදර ප්‍රභාත් ..ඔබට අමතක වෙන්නැති සමහර විට....වසර 1972දී පමණ ශිරෝමි ප්‍රනාන්දු ගේ ජනප්‍රිය ගීතයක් නිර්මාණය කළා සම්පුර්ණයෙන්ම පාහේ මැන්ඩලීනය භාවිතා කොට. " කරුංකා ගෙඩියක් තරමට " ගීතය හෙවත් සීයා පිළිබඳව කියැවෙන එම ගීතයේ අන්තර් වාදනය (interlude) මැන්ඩලීනයෙන් වාදනය කරනු ලබනවා. එය වාදනය කළේ ඇන්තනි සාමි විසිනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙල්රෝයි මහත්මයාණෙනි මම හැකි ඉක්මනිින් එය මෙතැනට ඇතුළත් කරන්නම්

      Delete
  3. සුපුරුදු ලෙසින් ම ප්‍රභාත් ගේ වටිනා ලිපි එකතුවට එක් වූ තවත් අගනා ලිපියක්.. මෙහි අඩංගු ගීත ගොන්න විමසද්දී එදා ඒවායේ මිහිර වින්දා මිස වාද්‍ය භාණ්ඩ පිළිබඳව වෙනම සිතුණේ නැති බවක් හැඟුණා.. සැබැවින් ම ඒවායේ මධුර බව විසින් අන් කාරණා යටපත් කරනු ලැබුවා..
    බොහොම ස්තුතියි ප්‍රභාත්, එදා වාද්‍ය භාණ්ඩයක ස්වභාවික මියුරු නාදය ගීතයක රසයට කළ බලපෑම් කොතෙක්දැයි විමසමින් ඒ රස මතක යළි යළි මතකයට නඟනවාට....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනාලි,

      මෙවැනි අදහස් මා දිරිගන්වයි

      Delete
  4. වටිනා අනගි ලිපියක්... ජය!

    ReplyDelete
  5. දසත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත පැතිරෙයි එක ලෙස සුවඳ

    ReplyDelete
    Replies
    1. ඒ සුවඳට ඉව කරනා ගදඹ කැළ....
      මත්වේවේවා ...සෙත්වෙිවා පතමි මම...

      Delete
  6. මේ ලිපිය සකසන්නට ඔබ ගත් වෙහෙස,ගතකල කාලය ගැන හිතාගැනීම පවා අපහසුයි .ඉතා උසස් ගනයේ නිර්මාණයක් .ඔබට සුබපතමි.🌹🌹🌹

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම එය එසේම බව අවබෝධ කරගත හැක්කේ, අව්‍යාජ රසවතෙකු වන ඔබ වැන්නන්නටමය.

      තත්පර ගණනක වාද්‍ය ඛන්ඩ සොයා යමින් ගීත දහස ඉක්මවා සති ගණනක් තිස්සේ සවන් දෙන්නට සිදුවූයේ මතකයේ තිබුනේ අල්ප ගණනක ගී පමණක් බැවිනි.

      ස්තුතියි ඇගයීමට !

      Delete
  7. අනර්ඝ පර්යේෂණාත්මක ලියවිල්ලක්!

    සරත් දසනායක සංගීතවත් කරපු "සංගීතා" චිත්‍රපටියෙ තියෙන "සල් සපුනා නිල් මානෙල්" ගීතයේ මැන්ඩලීන් එක යදා ගන්නවා නේද ප්‍රභාත්?

    ReplyDelete