namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, April 20, 2023

පන්ඩිත් විමල් අබේසුන්දර ගී පද සංකල්පනා

 නීල වරළස මුදන්නී දෙදන දක්වා හෙළන්නී................ ඔබ පිය ඔසවන මංපෙත පියවිලි අතුරා පුදන්නී.............


ලක් ඉතිහාසය වෙසෙසින් සමාජ ව්‍යූහය හා ජන දිවිය පිළීබඳව අතීත යටගියාව ගවේෂනය කරන්නන් හට ඇතැම් අවස්ථාවලදී රසවත් තොරතුරු මුලාශ්‍ර හමු වේ. 

’ආගන්තුක සත්කාරය’ පිළිබඳව මහත් සේ අවධානය යොමු කරන ලද්දා වු ජනවාර්ගිකයන් වු ’සිංහල’ ජාතිකයන් සිය නිවසට දුර බැහර සිට මෙන්ම නොදුරින් සිට පැමිණෙන අමුත්තන් හට සිය ශක්ති ප්‍රමාණයෙන් ආගන්තුක සත්කාරයේ යෙදෙන්නට පෙළඹෙයි.

ඒ අතර වත්මන් සමාජ සංස්ථාවේ සාමාජිකයන් හට නුහුරු නුපුරුදු අසාමන්‍ය වත්පිළීවෙත් ඔවුන් අතර පැවති ඇති බව පුරාන සාහිත්‍ය මුලාශ්‍ර සහ ජනශ්‍රැතිය අධ්‍යයනය කිරීමෙන් හෙළිදරවු වේ. 



ඒ අතරින් කැපී පෙනෙන්නේ අදාළ අමුත්තා වෙසෙසින් උසස් ප්‍රභූ පෙළැන්තියකට අයත් වරප්‍රසාද ලත් අයෙකු වී නම් නිවසේ තරුණ ළඳුන් ඔවුන් හා නිශා යාමය ගතකීරීමට යොමුකරවීමේ සිරිතයි. අදාළ අමුත්තාට දැක්විය හැකි ඉහළ ගණයේ ආගන්තුක සත්කාරයක් ලෙස ඔවුහූ ඒ කටයුත්ත සැළකු බව කියැවේ.

උක්ත සම්ප්‍රාදය තරමටම බරපතල නොවූ තවත් සිරිතක් ව පැවති තිබී අතර එයද සිතුම් පැතුම් අතින් වත්මනට වඩා පූර්ණ ලෙස වෙනස් වූ සමාජයක දිවිගෙවූ සාමාජිකයන්ගේ ජීවිත පැතිකඩක් හෙළිදරවු කරයි.


දෙදණ, වළලුකර හෝ ඇතැම් විට පතුල් දක්වා දිගු කමණිය කේශකලාපයකින් සිය පංචකල්්‍යානිය ඔප් නංවා ගත් යුවතියන් කැඳවනු ලබයි.

අනතුරුව ඔවුන් හට මුණින්තලා වී පොළවේ වැතිරෙන්නට නියම කරනු ලබන අතර විසුරුව විහිදාගත් කේශකල්්‍යානිය පා පිස්නක් මෙන් ඔවුන්ගේ හිස් ඉදිරියෙන් අතුරුවා ගන්නට අණ ලබයි.


මතු කී ප්‍රභූවරයා ගමට පිවිසෙන්නේ ඉහතාකාරයෙන් විහිදුවා ගත් කේශකල්්‍යානිය ඇති යුවතියන්ගේ කොණ්ඩා කළාලය මතින් පා තබමිනි. එවැන්නකින් පුදලද ප්‍රභූවරයා fඔහුට අදාළ ගම්වැසියන් විසින් පුදරකනු ලබන ඉහළම ගෞරව බුහුමානීය සම්මානයට හිමිකම් කියයි.


මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඔහු විසින් රචනා කරන්නට යෙදුනු කෙටිකතා කථාංගයක මෙකී චාරිත්‍රය අපුරූවට විස්තර කෙරෙයි. එය ’කෙස් වැටිය’ නමින් 1945 තරම් දුර ඈත යුගයක ලියූවකි. එහි විස්තර කෙරෙන ආකාරයට දුටුවන් ආකර්ෂනය කරන මනාව පිහිටි අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් පුන්සඳැති වත කමලකින් හෙබි ’නාගසෝම’ නම් භික්‍ෂුව වෙතින් ධර්මශ්‍රවණය කරන්නට වඩාත් පෙළෙඹෙන්නේ ගමේ මාගමුන්ය. ඈලා නෙතනොපියා, ඈණුම් නොහැර ඔහුගේ ධර්මදේශනාවකට සමවැදෙති. 


එක්තරා දිනකයදී ඔහු ගම්මැද්දේ පිංකම් පොළක පැවැත්වෙන ’දහම්’ දෙසුමකට ආරධනා ලබන අතර ඔහුව නිසි ගරුබුහුමන් දක්වමින් මහ ඉහළින් එහිදී පිළීගනු ලබන්නේ මෙකී ’කෙස්වැටි’ පාවඩය මතිනි.  එහිදි ගමමානයේ රුසිරු ළඳුන් මෙන්ම දිගුකෙස්කළඹකට හිමිකම් කියන පිරිමි පාර්ශ්වයේ සාමාජිකයන්ද විහාරයට පිවිසෙන මංපෙත දෙපස උක්කුටුකයෙන් නැමී හිස පහතට හෙළා සිටින්නේ තම තමන්ගේ දිගුකෙස් කළාලයක් සේ විහිදා හරිමිනි. 


පහතට නැඹුරු කරගත් දෙනෙතින් කේශපාවඩය මතින්  පියමනින භික්‍ෂුව ගේ සැගවුනු ක්ලේශයෝ කැකෑරි මතුවී ඔහුගේ දෙනයන වේගයෙන් දෙපසට චලනය කරවමින් යුවතියන්ගේ අගපසග වෙතට එල්ල කරවයි. ඒ අතර වැතිර සිටින රූසිරියෙන් අනූන යුවතියකගේ ළැම පදෙස අතරින් ඒවා ඇතූළට කිඳා බසින්නට තැත් දරයි. ඒ යුවතිය තම පාසල් මිතුරියක් බවද එදවස තමන් දෙස අනග මල් හී සර හෙළමින් මදහස පෑ ඇය නමින් ’මල්ලිකා’ බවද ඔහු වහා හඳුනාගනී. 


අසිරූවෙන් මැඩපවත්වාගත් ස්වභාවික මානසික ආවේග හමුවේ පරාජය භාරගන්නා ඔහු ’මල්ලිකා’ ව සිය මනසින් බැහැරකරන්නට අසමත්ව, ඇය ගේ සමාගමය පතා සිහින මවමින් උපැවදී වන්නේය. පසුව  බිරිඳක් වූ ඇයනිසා ඇය වෙතින්ම ’හීරඵවා’ යන ආමන්ත්‍රණයෙන් පරිභව අපහාස උපහාසයට ලක්වන්නට සිදුවෙයි. 



මෙයින් කොග්ගල මහ ප්‍රාඥයාණන් ගේ යුගයේ පවා ගම්මාන ආශ්‍රිතව මෙම අපූරු සමාජ චාරිත්‍රය පැවතී ඇති බවට පසක්වෙයි. ඇතැම් විට එය ඔහුගේ ළමාවියේ ඇසූ දුටු මතකාවර්ජනයක් ඇසුරෙන් සැකසුනාද විය හැකිනම් ඒ පසුගිය සියවසේ ද ආරම්භක අවධියේ පවා පැවතී ඔහුගේ පැසුඵ වියේදී අභාවයට ගියා වන්නටද පුඵවන. ඔහුගේ සාහිත්‍ය මෙහෙවර සිදුවූ යුගය එනම් 1910-1960 පමන අවධියේ අතිශය දිගු කේශ කල්්‍යානිය උරුමකරගත් යුවතියන් එමට සිටින්නට ඇත.


දෙවන රාජසිංහ නරපතියා කටුගස්තොට මහවැලි නදියේ දිය කෙළියේ යෙදෙද්දී ගංගාවේ පාවී අවුත් ඔහුගේ සිරුරේ දැවටුනු මහත් දිගැති කෙස් රොද සිය ආරක්‍ෂකයන් හට පෙන්වා, ඒ කෙස්රොද හිමි යුවතිය නොපමාව තමා හමුවට පමුණුවන ලෙස ’රාජාඥාව’ නිකුත් කරන්නට යෙදිනි. එය එසේම ඉටුනොවුනේ රාජසේවකයන් විසින් සොයාගන්නා ලද  ඒ කෙස්රොද හිමිකාරිය අකුරණ පදෙසේ ඉස්ලාම් භක්තික යුවතියක් වීමත්, රාජඥාව ක්‍රියාත්මක වන්නට පෙරාතුවම මැදියම් රාත්‍රියේ සිය දෙමව්පිය ඥාති වර්ගයා සමගින් සෙංකඩගල රාජධානී සිමාවෙන් පැනගිය නිසාත්ය. මේ විස්තරය දක්නට ලැබෙන්නේ  ඩී පී වික්‍රමසිංහයන්ගේ ’මග දිගට ජන කථා’ එකතුවේය. 


මේ අසාමාන්‍ය අපුරු චාරිත්‍රය විහිදා දැක්වූ සිනමා නිර්මාණ හෝ වෙනත් කලාංගයන් වේදැයි නිශ්චිතවම කිවනොහැකි වුවද මින් අඩසියසකට පමණ ඉහත දුර ඈත යුගයකදී ගුවන් විදුලියෙන් ශ්‍රවණය වූ එක්තර උපහාර ආසිරි ගීයකට අවධානය යොමුකරනු වටී.


සුනිල් සරැලි කෙස් කළඹ මගේ .................

ඔබේ පයට පාවඩ කරම් .............

හිසේ ගසන මලිගිය මල් දම් වැල් ................

ඔබයන මේ පෙරමගට ඉසී .................


දනිම් දනිම් හිමි ....... දනිම් දනිම් හිමි...............

දනිම් දනිම් හිමි ....... දනිම් දනිම් හිමි...............


තිහාසයේ එක්තරා යුගයකදී සැබැවින්ම එවන් චාරිත්‍රයක් පැවතියේදැයි නොදැන සිටි රසිකයන් හට එය හුදු රූපකයක් විය හැකිය. එහෙත් එය එසේ නොවන බව දැනගත්තෝ ඒ පිළීබඳව විමසා දැනකියාගන්නට උත්සුක නොවන්නේ නම්, ඔවුන් වෙතින් ඉපැරණි ලක් ජනයාගේ රසවත් අතීත තොරතුරු නොසළකා හරින අඥානයන් බඳුය.

ඈත යුගයේ උක්ත ගීතය හා බැඳුනු එක්තරා සටහනක කියැවුනු පරිදී යටත් විජිත රාජ්‍යයක් ව පැවතී නිදහස ලැබීමෙන් පසුව සිදුවු ප්‍රථම ඛේදවාචකය වූ අග්‍රමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරනායක ශ්‍රිමතානන් ඝාතනයට ලක් වී දස වරෂ පූර්ණය සැමරූ 1969 හෝ ඒ අසන්න යුගයකදී, වාර්තා වන පරිදී ඔහුගේ  ගුණානුස්මරණයකදී  ලංකා ගුවන් විදුලි සංගීත අංශය වෙනුවෙන් මෙම රමණිය පදපෙළගැස්ම සිදු කරන ලද්දේ එදා එහි සේවය කරන ලද ප්‍රවිණ විද්වතෙකු වූ දිවංගත පන්ඩිත් විමල් අබේසුන්දරයන් විසිනි. එතුමා බස්රසබස් කවියට නංවන සරසවි මහඇදුරු ප්‍රණීත් අබේසුන්දරයන්ගේ පියාණන්ය. එහෙත් මේ කරුණ විමසා සිටි කළ මහඇදුරු ප්‍රණීත් අබේසුන්දර මහතා ඒ බව තහවුරු නොකළේය.

'

ළමාපිටියෙන් ගුවන් විදුලි ගීත ගායනයට පිවිසි ගායන ශීල්පිනි මල්කාන්ති නන්දසිරි ඇතුඵ යුවතියන් පිරිසක් විසින් ගැයු එකී ආසිරි ගීතයේ මියැසි නාදරටා සැකැස්ම මහඇදුරු සනත් නන්දසිරි විසිනි.  ’70 දශකයෙන්’ පසුව ශ්‍රාවකයන්ගේ මතක පොතින් ගිලිහි යමින් පවතින එය එතැන් සිට සවනත වැකුනේ ඉතා සිමාසහිත වාර ගණනකි. ඇය විසින් හෙළිදරවු කරන ලද පරිදී. ඇය ළමාපිටියෙන් සමුගන්නට ඔන්න මෙන්න කියා සිටියදී පන්ඩිත් අබේසුන්දරයන් වෙතින් ලද මෙම අපූරු පබැඳුම ගායනා කරන්නට පෙළඹි තිබේ. එයින් එදවස ගුවන් විදුලියේ පැවති එක්තරා ගායනා තරගයකින් පළමු ස්ථානය ලබමින් ජයග්‍රහනය කරනට ඇය සමත්වූ බව හෙළිදරවු කරන ලදී.


’මලිගිය’ මල් දම් කවරේද ? ඇතැමුන් එය ’ඉද්ද’ ’දෑ සමන්’ මල් ලෙස හඳුන්වන්නට රිසිය. ’මල්ලිකා’ ද යනුවෙන් පර්යාය පදයකි. ඒ පදය ඇතුළත් ගීයක් හමුවන්නේ 1910-1930 ටවර් හෝල් නූර්ති ගී යුගයේය. නිතිඥ ජෝන් ද සිල්වා ගේ ’රාමායන’ නෘත්‍යයේ චී හනුමා විසින් එය ගායන කරන ලදී


’මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා ...’

’විසාල මෙවනේ මං... ප්‍රවේසං බොහොම වෙලා ඉන්නෙම්..........’


වාසි සොඳා බැද්දේ මෙදා ප්‍රිති සදා වෙයි නිබඳා ............’

’බෝ මාදං ඇත්තේ මේ ගසේ..................’

(පසු පටිගතකිරීමේ ගායනය දිවංගත ටී ෂෙල්ටන් පෙරේරා)

ප්‍රස්තුතයට අදාළ වන ගීතයේ පළමු කොටස ගැයෙන්නේ, මෙම ප්‍රශස්ති ගී පදවැළේ කථා නායකයා ගේ අවසනාවන්ත ඉරණම පිළිබඳව ඉගි කරමිනි.


ඒ රන් දෙරණයි මේ රන් පොකුණයි ..................

ඔබ දුන් පොදුජන තිළිණ තමා ..................

මගේ උතුම් මව්බිම වෙනුවෙන් මං...

ඔබ මෙන් දිවි දී ළය හොවමී.............

මෙහි ද්විතීය අන්තරා කොටසේ පදපෙළ පිළීබඳව අවධානය ලක්කිරීමේදී, එය හුදු සාමාන්‍ය ගීත පබැඳුමක් ලෙස හඳුනාගැනීමකට වඩා යමක් වටහගත හැකිය. එය මතු කි අනුස්මරණ මතය තහවුරු කරනට රුකුල් දෙන වදන් මාලාවන්ගෙන් සන්නද්දය.  මේ ගීතය පබඳින්නට ඇතැයි අනුමාන කෙරෙන 1968 පමණ යුගය දක්වා මෑත අතීතයට එබී බැලීමේදී ’රුදු මරණය’ ට ලක්වූ ජනනානායකන් සිටියේ දෙපොළකි  එයින් මහමාන්‍ය ඩී ඇස් සේනානායක 1951 වසරේදී අසුපිටින් වැටී තුවාල ලබා මියයෑම සහ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරනායක මැතිඳුන් 1959 දී වෙඩි පහරකට ලක්වීමේ ඛේදවාචකයන්ය. මෙහි කියැවෙන පරිදී පරිදී ඒ රුදු මරණයට මුහුණ පෑ පොදුජන ජනහිතකාමියා කවරෙක්ද ? රචකයා ඔහු අමතා අවධාරණය කර සිටින්නේ තමන්ද ඔහු මෙන්ම ’දිවි දෙන්නට ළය පාන්නට’ සූදානම් බවකි.

’පොදුජන යුගයක්’ පිළීබඳව 1956 සංස්කෘතික විප්ලවයට පෙර යම් යම් කථාබහ සිදු වි ඇති බව කියැවේ. එක්සත් ජාතික පක්‍ෂයේ අසහාය පුරෝගාමි නායක මහමාන්‍ය ඩී ඇස් සේනානායක ගේ අකල් මරණයෙන් පසුව සුක්කානම දරා සිටියේ එහි තවත් බලවතෙකුව සිටි රත්මලාන කඳවල වත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුය. 1956 මහ මැතිවරණය පැවැත්වූයේ ඔහුගේ විධායක අග්‍රමාත්‍ය ධූරය හමුවේය. ඔහු විසින් සිදුකල යම් යම් ක්‍රියාකාරම් එදවස පුවත්පත් මගින් අතිශයෝක්තියෙන් වාර්තා කරන ලදුව ඔහුගේ ප්‍රතිරූපයට හානී වන්නට සැළැස්වීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පැවතින. එයින් එකක ඔහු නුවරඑළියේ දී ගවයෙකු ගේ මස් පුඵස්සා අනුභව බවක් කියා තිබිනි.  ඩී බී ධනපාලයන්ගේ එදා ’ලංකාදීප (විජය ආයතනයෙන් එනමින් අද නිකුත්වන ප්‍රකාශනය නොවේ එය එදවස ’ටයිම්ස්’ ආයතනයෙන් පළකරන ලද්දකි) එයට මහත් ප්‍රසිද්ධියක් දුන් බවද වාර්තා වේ. එය කොතලාවලයන්ගේ ප්‍රතිවාදී ’එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක’ ගේ වාසියට හේතු විය. මේ ක්‍රියාවලිය ඉන් හැටවසරකට පසුව 2019 වසරේදී ’යහපාලන’ රජයට එරෙහිව විරුද්ධ පාර්ශ්වයට වාසි සහගතව සිදූ වූ මාධ්‍ය භාවිතාව ට සමරූපිය. 


පෙර ගමනේ රජ මාවත් සනසන ...

ජනහිතකාමින් ගෙළම සිඳේ .....

රුදු මරණය ඔබ හට වාගේ මට...

සුදා රසින් පිරි අමා බිඳක් මය....

------------------------

පසුව පටිගතකරන ලද මුඵ ගීතයට සවන් යොමන්න


|-------------------------------

පසුකාලීනව ප්‍රතිනිර්මාණයට ලක්වි විපර්යාසය ලක් වූ එහි ඇතැම් පද (දනිම් දනිම් හිමි ...දනිම් දනිම් හිමි.....)පසුව  ගිලිහි ගොස් ඇතත් ඉහතින් දක්වා ඇත්තේ එහි මුල්පදපෙළය. 

බන්ඩාරනායක අනුස්මරණ උළෙලවල් උදෙසා ගුවන් විදුලිය විසින් නිර්මාණය කෙරුණු වෙනත් ගීත ද කිහිපයක් පවතින අතර ඒවා 1970-1977 කාලයේ ගැයෙන්නට ඇතැයි ුඅනුමාන කළ හැකිය.

විවධ විෂයන් අළලා එදාමෙදාතුර ගී නිර්මාණ සතශ්‍රහස සංඛ්‍යාත ප්‍රමාණයක් බිහි වී තිබී ඇති පසුබිමක මෙම අපූරු දුර්ලභ අතීත චාරිත්‍රය අරභයා ලියැවෙන්නට ඇතැයි අනුමාන කළ හැකි එකම ගීතය මෙය විය හැක්කේය. ඒ කරුණ විසින්ම මේ නිර්මණය විශ්ෂඨත්වයට පත් කර ඇත්තේය.  එදවස තරමට නැතද අදද සමාජයේ සුභාවිත ගීත කලාවට පෙම්බැඳි යව්වන යව්වනියන් අල්ප සංඛ්‍යාවක් අවධානයෙන් පදයෙන් පදය ගීත අරුත් වටහා ගන්නා ලදුව රසවිඳියි. ඔවුන් නිසැකවම මෙය හුදු ’රූපක’ යක් මිස අන් කවර දෙයක් දැයි වටහගනු ලැබීමෙන් එහි ඇති සමාජමය වටිනාකම හෑල්ලු වන ඇත්තේය.  

මෙවන් නිර්මාණ විසිරී සැගවි යටපත් වී යා නොදී එහි පසුබිම් තොරතුරු ගෙනහැර දක්වා  මතුදා ඒ රසය සොයා යන්නට තැත්දරන අනාගත හෙළ දරුපරපුර වෙත රැකදීම ලාංකීය සාහිත කලා සංස්කෘතික උරුමය අගයන්නන්ගේ වගකීම සහ ළබැඳි යුතුකම විය යුතුය.

---------------------------------------------------------------

වෙසෙස් ස්තුති පූර්වක ප්‍රණාමය

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මා 

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීනී මල්කාන්ති නන්දසිරි මහත්මිය 

(එදා ඇසුණු ගී බ්ලොග් ලිපි මන්ඩපය)



2 comments:

  1. දස්කොන් චිත්‍රපටය පිළිබඳ කරුණු අසා ගැනීමට මා පණ්ඩිත විමල් අභයසුන්දරයන් හමු වුණා. හරිම අපූරු මනුස්සයෙක්. දැනුම් සාගරයක්.
    පසුව හඳුනාගත් ඔහුගේ පුතණුවන් ප්‍රනීත් අභයසුන්දරයනුත් එහෙමයි.

    මං කුඩා කාලයේදී අපේ තාත්ත මහත් අභිරුචියෙන් වර්ණනා කළ සුනිල් සාන්ත නම්වූ ප්‍රතිපත්තිගරුක - එඩිතර - අදීන ගායකයානන් ගැන දැන ගන්නට ලැබුණා... එහිදී කිහිප දවසක්ම තාත්තා කිව්වා එතුමා ඔය කේශ පාවඩ මතින් පය නැඟූ හැටි ගැන. ඊට පස්සේ මෙතුවක් කලකට අදම තමයි ඔය ගැන දැක්කේ. වැදගත් නැතැයි සිතා පසෙකට කර දැමුනා විය හැකි මේ සිරිත ගැන තතු ලිවීම වෙනුවෙන් මෙන්න මගේ තුතිය.

    ReplyDelete
    Replies
    1. මියැදෙන දැයකට, උරුමය සම්ප්‍රදාය ගැන ඇති වගකීමක් නැත්තේය. ඔවුහු හිස්, පුලාප සහ ඕපාදූප පසුපස ඉව අල්ලති. මේවා අගයා වදනකින් දෙකකින් හෝ පසසන ඔබ වැනි රසවතුන් මෙහි පාඨකයන් වීම, මට දිරියකි, ආඩම්බරයකි.

      Delete