මා ඔබට නොකී වග නම්.......
කැළණි විහාරය අසබඩින් හැල්මේ දිවයන කැළණි ගං කොමළියගේ සිරුර මතින් ඔබමොබ යන්නට දැන් බාධාඅවහිරතා නැතත්, එදවස ගැමියන් ඊට සරණ පැතුවේ තොටියාගෙනි.
ඔරුව මතට සිරුරු බර තබගත් ඇතැමෙකු හට නදී තරණය තමන්ගේ එදිනෙදා දිවියේම කොටසක් වෙද්දී තවත් අයගේ සිත කැළඹී යන්නේ ගංදියේ කැළඹීම පරදවමිනි. නදිතමෝ රුදුරු වෙසක් ගත් පැයේ ඔවුන්ගේ ඒ බිය සාධාරනය. සිරිපා අඩවියේ සිට පැමිනි තම චාරිකාව අහවර කරන්නට සැදී පැහැදී සිටින ඇය, කඩිමුඩියේ ඊට ලක ලැහැස්ති වන්නීය.
’මාලතී’ ද සිය පිරිවර සමග ඔරුකඳ තුරුළට වැදුනේ එහා ඉවුරේ නුදුරින් තිබුනු සිය නිවහන කරා යන්නටය. ඉරණමේ රුදුරු රකුසා කඩාපැන පෙරළා දැමූ ඔරුවෙන් ගංදියට වැටුනු පිරිසේ එකිනෙකා අවට ගම්වැසියන්ගේ පිහිටෙන් මරු කටින් එතෙර වූහ. එහෙත් පිහිණුම් ශූරී ’මාලතී’ අතුරුදහන්ය. සෝ සුසුම් හෙළන්නට, සැක සංකා උපදවාගන්නට ඇවැසි නැත්තේය. ඇය පිහිනා හෝ කිමිද එතෙර වි ඇති බව නිසැකය.
ඇය කොතැනින් මතුවී ඒදැයි ඔවූහූ ගංඉවුරුතලාවට රොක්වි විපිළිසර විය. විනාඩි ගණන පැයක් බවට පත්වෙද්දී, ඇයගේ නෑ සිය හිත මිතුරන් කුහුල් සිතින් ඔබමොබ දිව ඇවිද යන්නට විය. ඇතැමෙක් දෙබැම රැළි නංවා, විමතිය පළකරමින් ඇය කොහේ ගියේදැයි විමසන්නට විය. කිසිම හෝඩුවාවක් නැත්තේය. පෙරඵනු ඔරුව ඉවුර වෙත ඇදගෙන එන්නට තැත් දැරූ පිරිසට කිසියම් අමුත්තක් දැනිනි. එය අසාමාන්‍ය ලෙස බරැතිය. තමන්ගේ කාර්ය භාරය අවසානයේ ඔවුන් නොපිට පෙරඵනු ඔරුකඳ ඔසවාලීය.
දුටු දසුනින්, අයෙකු යටිගිරියෙන් කෑ මොර දෙන්නට පටන් ගත්තේය. සෙස්සෝ වහා ඒ දෙසට දිවවිත් ඔරුකඳ වටකරගනිද්දී, බවලත් ඇත්තෝ හිසඅතබදා විලාප නගන්නට විය. ’මාලතී’ ඔරුකඳ තුළ සැතපී සිටී. වහා ඇයව ඔසවා ගත් පිරිස රෝහල කරා පිටත්ව ගියත්, දිය රකුසාට අභියෝග කළ ඇයගෙන් ඔහු පළිගෙන තිබිනි. ඇය ඔවුන් සියල්ලගෙන් සමුගෙන නික්ම ගොසිනි.
විළාප තබන්නන් අතරින් එක් අයෙකු සෙස්සන්ගේ වෙසෙස් අවධානයට පැහැර ගත්තේ, ඔහු නැගූ අඳෝනාව අන් අය ඉක්මවා උස්ව නැගී ආ හෙයිනි. ඔහු ඇයගේ පණනළ සැගව ගිය සිරුර බදා වැළඳ කෑ මොර ගසන්නට විය. විපත හමුවේ එතරම් සසළ නොවූ උදාසීන සිතැත්තන් හට බොහෝ දේ අනුමාන කරන්නට ආගන්තුකයාගේ විලාපය ඉඩ හසර ලබා දි තිබිනි.
ගම්මු එකිනෙකා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට පටන් ගත්තේය.
ඔය කොඵවා ... ’මාලතී’ ගේ කවුද බං ?
ඒකී කවුරු එක්කලාවත් හාදකමක් තිබුනේ නෑ...
එකත් එකටම මේකාට එකී බහ දෙන්නට ඇති. ඒත් මාලතී නම් යස්සනියක්. එහෙම කළා නම් ඉතිං ...? අයේ ... ඉර අනිත් පැත්තෙං පායයි බං...
භවගමනේ මේ නැවතුමෙහි, මෙතුවක් රැඳුනු නිවහනේ දෙතුන් දිනක් නිසලව සැතපී සිටි ඇය, යළි නොම එහි එන්නට නික්ම යන හෝරාව එළඹියේය. එදා නැගූ විළාපය ට නොදෙවෙනි වැළපුමක සෝ සුසුම්....මැද ඇය සැතපී ගත් දෙණ නිවසින් බැහරට ගත් පිරිස අතර පෙරකී මානවකයා සිටිනු හැම විසින් දක්නා ලදී. ඔහු කදුඵ වගුරුවමින්, පහතට නැඹූරු කරගත් දෙනෙතිත් යුතුව දෙණෙහි එක් අන්තයකට පිටදී, සුසානය කරා පියමං කරනු පෙණිනි.
එහි කටයුතු නිමාකළ පිරිස, ආපසු නික්ම යන්නට සැරසෙද්දී, ඔහු ඉන් මදක් මෑත්ව ඈතින් පිහිටි සොහොන්පල්ලා ගේ කුටියට වැදී එහි කවුඵ දොරින්,හිස් බැල්මෙන් යුතුව ඇයගේ සොහෙන වෙත දෙනෙත් යොමා දැහැන්ගතව රැඳි සිටිනු ඇස ගැටිනි. ඒ දසුන දුටුවෝ යළි යළිත් ඔහු ගැන කරුණු විමසන්නට විය. එය ගැමි සමාජ රටාවේ ස්වභාවයයි.
ඔවුනතරින් තවත් අයෙක් තරුණයා වෙතට සෙමින් පියනැගුවේ සිතේ හටගත් සැකසංකා මේ සිදුවිමෙහි අවසන් ජවනිකාවේ තිරය වැසී යන්නට පෙර දුරකරගැන්මේ අටියෙනි.
මල්ලී.. සිසිර... මම කථා කරාට කමක් නැද්ද?
මානවකයා නිරුත්තරය.
ඔයා ’මාලති’ නංගී එක්ක මොකක්හරි ...? එයා ඔයාට කැමතිවෙලාද හිටියේ ...? අපි හැමෝම දැක්කා ඔයා මේ දවස්ටිකේ හිටපු හැටි....
ඔහු සෙමින් හිස ඔසවා සිය අසල්වැසි තරුණයා වෙත නෙත් යොමු කළේය.
’නැහැ’ කවදාවත් ’නැහැ’
ඒ කිව්වේ සිසිර ..?
එයා ට මම ගොඩක් ආදරේ කලා ... හිතින් ... අවුරුදු ගණනක්.... මගේ හිතේ හිටිය ගැණුළමයා... දවස පුරා..එයා විතරයි... පහුගිය අවුරුදු තුන හතරටම...
ඉතිං..? ඔයා එයාට ඒබව දැන්නුවා ..?
’නැහැ’ ඒත් කවදාවත් ’නැහැ’... මට ඒ බව එයාට කියාගන්න විදියක් තිබුනේ නෑ. මට බය හිතුනා..සැක හිතුනා. අනිත් එක හැමෝම දැනගෙන හිටියා එයාගේ හැටි. ඒත්.. මම අදටත් ..හැමදාමත් එයාට ආදරෙයි.මට මෙතැනින් එයාව තනිකරලා යන්න හිතෙන්නේ නෑ. මෙතන ඉඳන් මම කියනවා මම එයාට ආදරෙයි කියලා. අපි ඊලග භවයේ හමුවෙනවා. මම එදාට කොහොම හරි එයා මට අයිතිකරගන්නවා.
ංංංංංංංංංංංංංංංංංංංං
කලක් ගතවිය, එක්තරා දිනක කැළණි ගං ඉවුර අසබඩ ඒ ගම්මානය සිසිකරණින් නැහැවෙමින් තිබිනි.ඉඳහිට නැගෙන බිරුම් හඞක්, කලාතුරකින් නැගෙන වාහනයක හඞ, නිරන්තරයෙන් ගැයෙන රැහැයි ගීතයට බාධා කළේය. එහෙත් නිවසක එළිපත්තට පිවිසි අයෙකුට ඒ සියඵ හඞ පරයා සවනත වැකෙන්නේ එහි ඇතුඵ ගැබකින් නැගෙන ගුවන් විදුලි යන්ත්‍රයෙන් නැගෙන ගී රාවයයි.
වේලාව රාත්‍රි නමය පසුවි විනාඩි විස්සයි.
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි.
(තේමා වාදනය)
ප්‍රිය අසන්නෙනි, මේ ඇරඹෙන්නේ ඔබේ රාත්‍රි අසන්නන්ගේ ඉල්ලීම් තීරයයි..
(යළිත් තේමා වාදනය)
අද අසන්නන්ගේ ඉල්ලීම් තීරය අරඹමින් ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල ගයන ගීතයක් මේ අසන්නන් වෙනුවෙන්.... පොල්ගොල්ලේ එස් එම් ගාමිනි රත්නායක.... මෝදර ගාමා ගාමිනි සුබසිංහ... ඇතුඵ පිරිස ...
ගී පද රචනය උපාලි ධනවලවිතාන සංගීතය සරත් දසනායක.
පහන් ටැඹ යට සොහොන් කොත ලග ....
කවුද කාටද අත වනන්නේ ..?
දෑස නිදිනැති රෑක මැදියම ඔබේ ඉකිහඞ දෝ ඇසෙන්නේ ....
ඔබ වියෝවෙන් වේදනාවෙන් ... හීන් හිරිපොද වැටුනු දවසක...
නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට.....
ඒ සොහොන්කොත පෙනෙන මානේ ...
පුංචි කුටියක කවුඵවක් ලග...
බලා ඉන්නෙමි සිතින් හමුවී ...
කියා ගන්නට සිතක බැඳි පෙම....
එහි නිවැසියන් හෝ ගම්මානයේ කිසිවෙකු, වෙනකක් තබා ’සිසිර’ හෝ එහි කියැවෙන්නේ තමන් අත්දුටු අත්විඳි පුවත යැයි අනුමාන නොකරන්නට ඇතිබව නිසැකය.
(ඒ ගුවන් විදුලි ගීතය, එසේම පවතිනු දක්නට පොදුජන ගායක ජෝති රිසිවූයේය. එය කිසිවිටත්, කවර කළෙකත් ඔහු යළිත් ගායනා නොකළේය. ඒ කවරහෙයින්දැයි කියා දැනගන්නට අද උපාලි ධනවලවිතානයන් හෝ සරත් දසනායකයන් හෝ ජෝති අප අතර නැත. පසුබිම් පුවත හා සබැඳි නම් පමණක් මනංකල්පිතය)
(විශේෂ ස්තුතිය - ශ්‍රීමති ධනවලවිතාන මහත්මිය වෙත.)
ප්‍රභාත් රාජසූරිය.
ගීතය වගේම සුන්දරයි මේ අත්දැකීම ගැන ලියැවුණු ආකාරයත්..
ReplyDeleteසුන්දරයි.. ආකර්ෂණීයයි..
ජෝතිපාල + සරත් දසනායක ගීතමය මුහු වීමේ සුන්දරත්වය එදා ගුවන් විදුලිය අපට ගෙන ආවේ අද වෙනවිටත් ඒ මිහිරියාව අපේ මතකයෙන් ඈත් නොවන ලෙස හිතේ තැන්පත් කරමින්..
පසුකාලීනව සිදු වුණු නවීකරණ රැල්ලට ඒ ගීත කිසිවක් අසු වුණේ නැහැ..
"සිහින් කියඹු වැල්" ,"අනන්ත සුදු රළ රැලි බිහි වෙයි" වගේ ම මේ ගීතයත් ඒ පැරණි මිහිරියාව එක්කම අදටත් අප රස ගන්වනවා...
ඒ රසය තවත් ඔප් නංවමින් ප්‍රභාත් තැබූ මේ සටහන අගෙයි..
ස්තුතියි සුහදනිය....
Deleteකෙටි නොවු සටහන්...
හිස නමා අගයමි මම්
කවර හෙයිනි ද යත්.....
එවා මාගේ වත්කම්.....