namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, September 20, 2023

බිංදුමතී, ඉන්දුමතී සහ ඇයයි මමයි අප දෙදෙනා

තුන්කොන් පෙමක තතු පැවසූ ගී යුග්ම යුගළයක පවත.........................1973-1979


ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ’ස’ ප්‍රසංගය වේදිකාවේ දියත් වෙමින් තිබිනි. එහිදී ගැයුනු ගීයකින් ඔහු ’බිංදුමති’ ය අමතයි.


මං ආදර පෙම්මාදර බිංදුමති...............

පෙමා වඩන ලද බිංදුමතී......................

ළිඳ ලගටා යන්න එපා දියබරියා කයි..........

වැට ලගටා යන්න එපා කබරගොයා එයි..................

වෙළ ලගටා යන්න එපා අබිමානා එයි..............

ගම හැරදා යන්න එපා මා මෙහි තනිවෙයි.....................

කඵ උක්ගස විළසා කඵ කඵ නංගියේ.........

දර කඩලා ඉහ තියලා කොයිදෑ ගියේ .................

ගොම්මං සමයමටා ගම හොල්මං තියේ.....

නුඹ එන්නා මා එක්කා යම නංගියේ...............

අසන්න මෙතැනින්

-------------------



ඊට සවන් යොමන ශ්‍රාවක අප සිත්හි මැවෙන්නේ ගම්මානයේ එදා නිතර දුටු මෙන්ම ඉඳහිට අදද ඇස පිනවන දසුනකි. ඒ ’දරකෝටු’ මිටි බැඳ හිස මත රඳවා ලැසි ගමනින් පියමනින යුවතියකි. ඒ ’බිංදුමතී’ වෙත පෙමින් බැඳෙන්නේ ගම්මානයේ තරුණෙකි. ගී පද රචකයා ගම්මානයක අසිරිය චිත්ත රූ රටා අතරින් මවන්නට උත්සහ දරා ඇත්තේ ජනශ්‍රැතියට නිතර ඉලක්ක වූ  ’කබරගොයා’ සහ ’දියබරියා’ නම් වු උරග සත්වයන් දෙපොළ ආධාරයෙනි.  මෙහි කියැවෙන ’අබිමානා’ කවුරුන්දැයි පසු පරපුරේ ගීත රසිකයන් අතරින් බහුතරයට එතරම් අදහසක් ගෙන නොදෙනවා විය හැකිය.  එයද පෙරකී ’ජනශ්‍රැතිය’ පදනම් කොටගෙන ’ජනවිඥානයේ පැළපදියම් වූ චරිතයකි. ඒ අනුව ඔහු ’අමනුස්සයෙකි’. එනම් මිනිස් ආත්මයක් දරා නොසිටින්නෙකි. තනිපංගලමේ පාඵ ගම්මානයේ ගොම්මන් යාමයේ සැරසරණ යුවතියන් හට අනතුරු ඇගවිමේ ආයුධයක් ලෙස ගැමියන් අත රැඳුනේ මෙකී අමනුෂ්‍ය භිතිකාවයි.  එවැනි ගමන් බිමන් යෙදෙන රූ සිරියෙන් අනූන යුවතියන් හට  එදාද ඉඳ හිට හෝ නොහික්මුනු චරිතයන් ඇත්තන්ගේ හිරිහැර අතවර වලට මුහුණු පාන්නට සිදු වන්නට ඇත. ඔවුන් එයින් වළක්වා ආරක්‍ෂා කිරීමේ උපක්‍රමය නම්  ’අබිමානා’ සහ ඔහුගේම වරිගයේ තවත් සාමාජිකයෙකු වූ ’කඵ කුමාරයා’ ය. 

’බිංදුමතී’ වෙත එසේ හදපුද දෙන්නට වළි කෑ ’යෞවනයා’ හට ඒ සුබ සිහිනය සැබෑ කරගන්නට හැකියාව ලද බවද,  පසුදිනයක ගම්මානයේ තවත් ළඳකගේ එනම් ’ඉන්දුමතී’ ගේ ද නෙත්සර පහර ලබන්නට තරම් භාග්‍යවන්ත වී ඇතිබවක් මෙසේ කියැවෙන්නේය


ඉන්දුමතී හා බිංදුමතී................

දෙදෙනා මා පතයි .....................

මේ දෙදෙනාමත් .............

මට හැමදාමත් .................

එක වගේ තාමත් ............

ආදරෙයි ..............


නොසිතු සේ දෙදෙනෙක් එදා ....

හමුවිලා වෙන්වී ගියා ...............

ළතවිලා දෙහිතක් නිසා .........

තනිවූවා මතකයි සදා ..........

පෙරදා කඳුලේ ගිළෙයි ....


තනිවෙලා සිටිකාලෙදී ............

අත පෑ ඒ මා හා බැඳි ....

ඇගේ දෑසේ සිහිළෙන් මිදී ...

මා එයිදෝ ඔබ හා බැඳී ....

කිසිදා ඉන්දූමතී..................

අසන්න මෙතැනින්

-------------------

මෙවර තරුණයා ගේ භූමිකාවට පණපොවන්නේ ’වික්ටර් රත්නායකයන්ගේ’ සමකාලීන ’මිල්ටන් මල්ලවාරච්චි’ ය. එහිදි වික්ටර් එහි ස්වර සම්පාදකයාගේ වගකීම පවරාගනී. ඔහු කියනා පරිදී එවර ඔහු ගැමිවහර අනුව ’අල්ලපු අත්තත්’ මෙන්ම ’පයගහපු අත්තත්’ යන දෙකම අහිමිකර ගැනීමේ විපතට මුහුණ දෙයි. ඔහු අතීතාවර්ජනයක යෙදෙමින් ඒ පිළීබඳව විපිළිසර වෙයි. නෙත කඳුලින් බර කරගනියි.  

ගී නිර්මාණයේ අන්වර්ථ නාම දෙකකින් පෙනී සිටින්නියන් ගේ   දැළට හසුවී ත්‍රිකෝණප්‍රේම වෘතාන්තයක පැටළෙන්නට යන්නා මේ ගීත රචකයාම නොවිය හැකිද? 

ඔවුන් තිදෙනාට කුමක් සිදුවන්නට ඇද්දැයි ශ්‍රාවකයා ගේ කුතුහලය සංසිඳවන්නට ඔහු උත්සුක වි ඇතිසේය. මේ යුවතියන් අතරින් එකෙකු ඔහු අමතන්නී, ඇයගේ දුක්ගැනවිල්ල පවසයි.


ඔබගතින් මා ලගයි .... සිත ඈ සොයා යනවා ..............

මා ගතින් ඔබ ලගයි....සිත වේදනා දෙනවා .........

ඇගේ සුවඳේ සිත යාවේ ...මුසුවී වෙළි පැටලී ...

පිබිදෙද්දී අරුමැල්ලේ ...ඔබ ගාව මා ඉන්නේ ....


අප දෙන්නා ඔබ රවටා ... දෙහිතින් බැඳි ඵල නෑ ...........

සිත එක්තැන් නොම වේ නම් ..ඔබ ඈට හිමිවේවා .................

අසන්න මෙතැනින්

-------------------

කොපුල් තල මතින් උතුරා ගලා යන සන්තාපය මැඩපවත්වා ගනිමින් ඇයගේ ශෝකී ගීත රාවය ඔහුගේ හද කිතිවන්නේය. මේ ’ඉන්දුමතී’ ද එසේත් නැතහොත් ’බිංදුමතී’ දැයි අපැහැදිළිය මන්ද යත් ඒ බව ඉගි කරන්නට හැකි වදනක් හෝ එහි නොම ඇතුළත් වි ඇති බැවිනි. මෙවර ඇයගේ අඳෝනාව ගුවන් තරංග අතරට පා කර හරින්නේ ’ඉන්ද්‍රානි විජයබන්ඩාර’ නම් වූ ප්‍රවිණතම ගායිකාව විසිනි. එිහිදි ඇය නුහුරු නුපුරුදු බටහිර ගී මංපෙතක් ඔස්සේ ගමන් කරන්නීය. එදවස පරසිඳුව පැවති ’ලතින් ඇමෙරිකානු’ රටාව මතුකළ ’කන්ඩායම් ගී...’ කලාවේ හැඩතල එයින් මතුකරන්නීය. නිරන්තරයෙන් පසුබිමෙන් වැයෙන ’ගිටාර්’ නාදයකට අත්වැළ සපයන්නේ අන්තරා කොටස් හි විරාමය හගවන ’කොංගෝ’ බෙර නාදයයි. ඒ ගායිකාවගේ පෙම්බර සැමියාණන් සංගීතඥ සිසිර සේනාරත්න ගේ සත්සර මහිමයයි.

ඇයගේ අවනඩුව එසේ පවසද්දී ත්‍රිකෝණ පෙම්පුවත එක් කෝණයක් අරක් ගෙන සිටින්නිය ද නිහඞ නොවේ. ඇයගේ හද සන්තානයේ සන්තාපය වියැකි නැතිවා සේය. ඇය ද පෙරකී පළමු යුවතිය සේම ඔවුන් දෙදෙනාට පිරිසිදු සිතින්, පැහැබර සිතින්, ’ආසිරි’ සෙමෙර සළන්නීය. එදවස අවිහිංසක ගැමි යුවතියකගේ ඇතුඵ හද අනාවරණය කරමින් ඇය මෙසේ පවසන්නීය.


පෙරමාගේ දැතේ ...බැඳි දෑත ඈගේ... දෑතේ පැහිලා .................

මල හා ජලාසේ..... විළසේ බැඳේවා වේවි වාසනා ..........

දෙදෙනා සැරදේ ............ජය වේ ..............ජය වේ...................



සාගරය පරදා උතුරා පිදුව පෙරදිනේ ............

ආදරය කොයිදෝ ඔබගේ නපුරු කුමරුනේ ........?

ඔබේ කතා නැසී ගියා ..................


සිනමාහලේදී ..උයනේ මගේදී ප්‍රේම නගරයේ .........

අපේ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවි..... ආව නිහඞව් ....

අද මා යෙහෙළි ඔබගේ මිහිරී....

අසන්න මෙතැනින්

-------------------

එදා යුගයේ සිංහල සිනමා ගීතයේ කිරුඵ පැළඳී ඉන් නොනැවතී එයින් බැහැරට සිය අප්‍රමාණ නාදරටා වියමන පතුරුවාහල නැසිගිය සංගීතවේදී සරත් දසනායක  ’ඉන්ද්‍රානි පෙරේරා’ ගායන ශීල්පිනිය හට ගී පද රචකයා එනම් ’ඉන්දුමතී- බිංදුමතී’ දෙදෙනා ගේ සිහින කුමරාණෝ පද අතර රුවා හොවා සගවා ඇති එකියකගේ සන්තාපය මතුකරගන්නා රටාව කියාදෙයි.  තමා පණ සේ පෙම්කළ ඔහුගේ අතපතා, සිය අවිහිංසක ප්‍රේම විජිතය සුණු විසුණූ කරමින් කඩා පිනූ  ආගන්තුක චරිතය හමුවේ, පෙමින් පැරදී පළා යන්නට තැත් දරන ඇයගේ ඇතුඵ හදට එබි බලන්නට ශ්‍රාවකයා හට ඇරයුම් කරන්නේ එහි තාල ගැයුම් රටාවන් මැවූ දසනායකයන්ය.

මේ ’ත්‍රිකෝණ ප්‍රේමාලිංගනයක සිතිවිලි අවදිකළා වූ යාථාලෝකයේ පසුබිම් වෘතාන්තය විමසා දැන ගන්නට ඔහු අද අප අතර නැත්තේය. ඔහුව නොසිතූ නොපැතූ ආකාරයකට නොසිතූ නොපැතූ යුගයක සිය කරජකය ඉවත ළා ... මිහිමතින් සමුගෙන යන්නට දෛවය විසින් දැඩිව පොළඹවා තිබිනි. පස්වන දශකයේ සත්වසක් පමණක් භුක්ති විඳී  ඔහු ගේ  ආත්මය කොහේදෝ දුර ඈතක නොපෙනි  ගියේය. එහෙත් ඔහු ඔබට   අපට ගී රස වින්දන අටුකොටු පිරෙන්නට ඉතිරිකර තබා ගිය ගී සංකල්පනා අස්වැන්න ඔහුගේ නික්ම යෑමෙන් තිස්වසක් ද ඉක්මවමින් ඔබ අප භූක්ති විඳින්නේය.


ඔහුව ඔබ හැඳිනගත්තේද ?

ඔව්, ඔබ නිවැරදිය.... ඒ අසමසම කවිපද රචනා කුසලතාවය දෝතින් දරාගෙන මෙහි පහළ වී සහසික ’වෙඩිපහරකින්’ 1989 ඇසළ මස අවසන් දිනයේ අප අතරින් නික්ම ගිය සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්’ ය.



ඉහතින් පෙළගස්වා ඇත්තේ ඔහුගේ මහරු ගී පබැඳුම් පෙට්ටගම අවුස්සා එයින් තෝරා ගත් එකිනෙක හා සමිපව බැඳුනු නිර්මාණ දාමයක සතර පුරුකකි.


ආදරණිය නිර්මාපකයාණෙනි ඔබ නිතිපතා දිනපතා අප හදවත් තුළ සදා අමරණිය වෙයි. 



1 comment:

  1. එදා සුමධුර ගීත පිළිබඳව ඇසෙන සොඳුරු කතා බහ මනරම්... ඇත්තටම මේ ගීතවල තනු, ගායනාවන් වගෙම පදමාලාවන් ඔස්සේ අපිට දනවන හැඟුම් පෙළ නම් හරිම අපූරුයි..
    ඉහත කියැවෙන ගීත තුනෙන් මගේත් හිත් ගත්තේ "සාගරය පරදා.." ගීතයම තමයි...
    ඒකෙ මම කැමැතිම යෙදුම තමයි "නපුරු කුමරුනේ.." කියන කොටස...
    කොතරම් තමන්ට වේදනාවක් දැනවූවත් ඇයට ඔහු තාමත් කුමාරයෙක් ම තමයි..... මොන දේ වුණත් තමන් ප්‍රේම කළ කෙනෙකුට වෛරකරන්න බැරි බව කියැවෙන තවත් ගීතයක් මේකත්..
    ස්තුතියි ,ප්‍රභාත්, මේ යටපත් වෙමින් යන මියුරු ගීත ගැන කතාබහක් ඇති කළාට..

    ReplyDelete