ශ්‍රී ලංකාවේ කන්ඩායම් සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -08)
එහෙත් 70 දශකය ගෙවි යද්දී කරළීයට පැමිණි ඇතැම් අල්ප ගණනක ’කන්ඩායම් ගී’ මෙම සංස්කෘතික සිමා උල්ලංඝනය නොකළා නොවේ. ප්‍රථිපලය වූයේ ඒවා ලංකා ගුවන් විදුලි සේවයේ ස්ථිර ලෙසම වාරණයට ලක්වී තහනම් වීමයි - (දුන්නේ කිස් එකයි..., මල්ලිකා ම්ල්ලිකා...’ ’ඔයා මිස්ද මිසිස්ද... යමං බන්ඩො වෙසක් බලන්න..)
පන්ඩිත් අමරදේව විසින් සාම්ප්‍රදායකි ’ජන ගායනා’ ඇසුරෙන් කල නව නිර්මණ පෙළගස්වමින් ගුවන් විදුලිය ඔස්සේ මෙහෙයවූ ’මධුවන්ති’ වැඩසටහන, කන්ඩායම් ගී යුගය හා සමපාත වූ අතර, ලතින් ඇමෙරිකානු කැලිප්සෝ සංගීත භාන්ඩ උපයෝගී කරගෙන සිය ගායනා ඉදිරිපත් කල මෙම කන්ඩායම් අතරින් ඇතැම් සාමාජිකයන් ද ’ජන ගී’ යට නව මුහුණුවරක් දෙමින් ඒවා ප්‍රතිනිර්මාණය කරන්නට යෙදිනි. මේ කටයුත්තේ නිරත වූ ප්‍රමුඛතම ගායක කන්ඩායම වින්ස්ටන් ජයවර්ධන ඇතුඵ පිරිස නියෝජනය කල ’ලොස් ෆ්ලෙමින්කෝස්’ ය.
’කන්ඩායම් ගී’ යුගය හා එක්ව සිය ගයන දිවියේ මුල්යුගය වර්ණවත් කරගත් පසුව විශීෂ්ඨ ගුවන් විදුලි ගායිකාවක් වූ ’මාලිනි බුලත්සිංහල’ මෙහිදී සිහිකටයුතුය. ඇය ’ග්‍රෙන් ලෙනාඩෝස්’ කන්ඩායමේ කාන්තා හඞවල් නියෝජනය කරන ලද අතර එක්වරක් පමණක් එදවසද ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ගායිකා සුජාතා අත්තනායක ද ’ධර්මරත්න බ්‍රදර්ස්’ කන්ඩායම සමග කන්ඩායම් ගීයක් ගැයුවාය. (රොමියෝ මමයි සේම ජුලියට් ඔබයි...)
අහසට පිබිනා ............භූමි කළේයා.............
පොළොවට පිඹිනා එරන් කලේයා...........රන්මසු දහසක් වටින කළේයා...
නොබිඳින් නෑනෝ මගේ කළේයා.............
තනනේ තනනේ තනනේ තනා ...තනානේ තනා නා............
පෝය සඳයි ඔය මුහුණයි සුදට දිළෙනවා ........
ඇඹුල උයාගෙන මගේ සුදු නෑනා යනවා ............
1960-70 දශකයන්හි බිහිවු ජනප්‍රිය කන්ඩායම් ගී අතරින් තෝරාගත් ගී කිහිපයක්
ලොස් මූචාචෝස්
ආදරිය රන් මැණිකගේ, යකඩ තලන්නා (මුඵ ගතම වෙහෙසුනා), සෝබමාන ගුවන් සේවිකා, කුමුදුමලී එයි නාගෙන,
ලොස් ෆ්ලෙමින්කෝස්
අහසට පිබිනා, පෝය සඳයි ඔය මුහුණයි, කඵ කෙල්ලේ ඔබ හරිම හැඩයි, පොඩි මලියා මගේ, සුදු මැණීකේ ඔබ උකුල සලන, සුදු මගේ හිනහවෙලා...
ජිප්සීස්
අම්මා අම්මා මේ මට, තොරන් බඳින්නට රබන් ගසන්නට, මල් මල් පිපිලා පරිසරය පුරා, මල්ලිකා, ඔබ දුටු ඒ මුල්දිනේ සිදූවූ සැමදේ, හිනා හිනා වෙන්න හිනා, ළිඳ ලග සංගමය මුල්තැන, කුරුමිට්ටෝ, නුඹ නාඩන් නුඹ නාඩන්, පිස්සු පිස්සු ...
මී මැස්සෝ
අත් පොඩි මි මැස්සෝ,
ගේ සහෝදරියෝ
ඈත ගම්මානෙක ගැමි ළඳකි මැණීකා..ඇයි දුක් වන්නේ කරදර වන්නේ,ළා හිරු බැසයනවා
ධර්මරත්න සහෝදරයෝ
ඈත හෙමින් වළා රොදක්, අව්ව පායලා , නොන්ඩි කිරා, සහෝදරයෝ හතර දෙනෙක්, මුතු මැණිකේ කුංකුම චන්දන, රාජකුමාරි මල්සර දෝණි, රොමියෝ මමයි. ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා, වැහිදාක ගගනේදරේ, මෙන්න අපේ සුහද පැතුම්, බොරුවට අඩ අඩ..., කඳුකරේ පෙම් කථන්දරේ..
ජේ බ්‍රදර්ස්
කරට කදේ රැගෙන යමි පාරදිගේ මං,
සියැක් එන්ටර්ටේන්මන්ට් (රේමන්ඩ් ෆොන්සේකා)
බිනරමලී ඔබ හැඩයිනේ, ඩං ඩං ඩංකුටු කුටු, මෑතක සිට ඔබ මා ගැන
ලා බම්බාස්
ලක්නදී සෝබා, කොක් අ ඩුඩ්ල් ඩූ, නුවර මැණිකෙලා (කලේ උකුලේ තියලා),
සමණළයෝ (රේමන්ඩ් ෆොන්සේකා)
කඳුගැට පසුකර යන්නේ, තේ රබර් පොල්, නැළවෙන මව් උකුලේ, සුන්දර ගැයුම් ගෙනෙන,මැණිකේ ඩිංගක් හිනැහෙනවා..
ග්‍රෙන් ලොනාර්ඩෝස්
දුන්හිඳ කෙල්ලේ, යාල යාල යලා යන්න
වින්ස්ලෝ සික්ස්
මුතුවාගේ බබළනවා (දුවරෝසී), රන් මොණරුන්
ලොස් කැබැයියරොස්
ගයන ගැයුම් නටන නැටුම්, මල්බර හිමිදිරියේ,
ලා ලැවිනියන්ස්
හේවිසි හඞ මැද්දේ, රන් තරු බැබළෙන නිල් ආකාසේ
ලා සෙයිලනියන්ස්
හිරු නැගී එන උදයේ, පුංචි නංගී මාගේ, හොයියා හොයියා............
ද ලවර්ස්
ඉද්ද පිච්ච මල් පිපිලා..., ලස්සන සුසිනිඳු සඵ ඇඳලා...., කිරි පැණි ඉතිරෙන....
බෙන්තොට බීස්
මුහුදු තෙරේ සැන්දෑවේ, සළ සළ දිවසඵ උකුඵ තලේ,
ද සන්ෂයින්ස්
ඔයා මගේ සුරංගනා කථාවේ, පොපියන දෙතොලේ....
සූපර්ස්ටාර්ස්
පිණිපොදේ වැටෙන පියකරු මල
බඹරාස්
පුංචි පුංචි පොඩි කොල්ලෝ,
ඇමිගෝ රොමැන්ටිකාස්
ඇගේ නම රන් එතනා, රුවන් අඹර සෙමෙර සලන
හමින් බර්ඩ්ස්
සමණළයෝ ඔබ උදෙන්ම යන්නේ...
මී මැස්සෝ
විලේ මලසේ දිළේ....
ලොස් මුචාචෝස්
සෝබමාන ගුවන් සේවිකා, මහගැටබෙර සද්දේ (පෙරහැර), මුඵ ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)
යුගයක් විචිත්‍රවත් කළ කමණීය කන්ඩායම් ගී කලාව පිරිහි යන්නට විවිධ හේතුසාධක ගෙනහැර දක්වන අතර ’කැසට්’ මාධ්‍යයේ ආගමනය සමග එක් කන්ඩායමකට ඊට ගැළපෙන ලෙස ගීත 12 ක් තරම් විශාල ගණනක් නිර්මාණය කරගැනීමේ අපහසුතාවයද, ඊට සමගාමීව 80 දශකය එළඹෙද්දී ඔවුන් හා ශ්‍රාවකයා සම්බන්ධ කල ප්‍රධාන පුරුක වූ ’ගී තැටි’ මාධ්‍යය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතීමද, විවහ සබඳතා සහ වගකීම් හමුවේ කාර්ය බහුල වීමද ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එකම පවුලේ සාමාජික සහෝදරයන් ගෙන් සමන්විත වූ ’ධර්මරත්න බ්‍රදර්ස්’ සහ ’ජිප්පීස්’ සිය සාමාජිකයන් එකට ගොණුකරගෙන සාර්ථකව 80 දශකයෙන් ඔබ්බටද පියනැගීය.
ක්ලැරන්ස් ගේ නාමය හා සබැඳි සතරවැනි ගායක කන්ඩායම පිළීබඳව එතරම් කතාබහට ලක්වූ අවස්ථා විරළය. ’මදාරා’ නමින් හැඳින්වූ ඒ හා බැඳුනු සාමාජිකයන් අතර ’රුකාන්ත ගුණතිලක’ ද වෙයි. කන්ඩායම් ගී යුගය අධිවේගයෙන් වියැකෙමින් පැවත ආ 80 දශකයේ දී වඩාත් කැපි පෙනෙන්නට සමත් වූයේ ’කන්ඩායම් ගී’ නොගැයූ වාදනයට මුල්තැන් දුන් ’වාදක කන්ඩායම්’ ය. රූපවාහිනි තාක්‍ෂනයේ ආගමනයත් සමගම, තමන් ප්‍රියකල ගායන ශිල්පීන් ගේ රුව නිතර එහි දිස්වෙද්දී, රසිකයන් ගේ ඊලග නොමද කුතුහලය යොමුවූයේ ඒවාට සංගීතය සැපයූ වාදක කන්ඩායම් වෙතටය. ඒ අතුව තම නවිනතම ඉලෙක්ට්‍රෝනික වාද්‍ය භාන්ඩ උජාරුවෙන් වයමින් රූපවාහිනියෙන් පෙනී සිටින්නට ඔවූහූ ප්‍රිය කරන්නට ඇත. තමන්ගේ වාදන රිද්මයන් සහ සංගීත නාදරටා අනුව, පෙරටුව රැඳි සිටින ගායකයා ගේ සමූහ ගායනයකට හෝ අත්වැල් ගායනයේ යෙදෙන්නට මැළීවූ ඔවූහූ, නිහඞවම සිය වාදන කාර්යයේ පමණක් පෙනී සිටියහ. එහෙත් ඉඳහිට ස්වත්‍රන්ත්‍ර නිර්මාණයේ යෙදෙමින් ගීත ගයන්නට පෙළඹී ගායක කන්ඩායම්ද ඉඳහිට නොසිටියා නොවේ. ඔවුනතරින් 80 දශකයේ මුල් යුගයේ සංගීතඥ අර්නස්ට් සොයිසා’ මෙහෙයවූ ’සුපර්ස්ටාර්ස්’ කන්ඩායමද ස්ටැන්ලි පීරිස් විසින් 70 දශකයේ සිට පවත්වාගෙන ආ ’ෆෝර්චූන්ස්’ ද 80 දශකයේ දෙවන භාගයේ නීල් වර්ණකුලසූරිය විසින් නියමු කර්තව්‍යය ඉෂ්ඨකල ’සන්ෆ්ලවර්’ වාදක කන්ඩායමද 90 දශකයේ උදාවේදී සංගීතඥ ආනන්ද පෙරේරා ගේ ’ශක්ති’ ද කැපි පෙණුනි.
වේගරිද්මයේ හැඩතල මතුවු මෙම ගීත කලාවේ ආභාෂය ලද නිර්මාණ මෑත අනාගතයේ තවත් දශක ගණනාවක් ගෙවෙන තුරු ලාංකිය ගීතලෝලීන්ගේ හදවත් අරා රැඳි සිටිනු ඇතිබව නිසැකය. ඒ කෙසේ වෙතදු, අද පවා ප්‍රිය සම්භාෂනයන්, විනෝද චාරිකා සහ ප්‍රිති උත්සවයන් හැඩවැඩ කරන්නේ එහි ගයනු පිනිස තෝරාගන්නේ ක්ලැරන්ස් ඇතුඵ සෙසු කන්ඩායම් ගී සාමාජිකයන් පිරිස සහ ඔවුන්ගේ ආභාෂය ලබමින් කළ වෙනත් නිර්මාණයන් විමෙන් ඒ බව මනාව පසක් වෙයි. ශ්‍රී ලාංකික සමාජයේ පුඵල්තම වයස් ඛාන්ඩය, විවිධ සමාජ ස්ථරවල දිවිගෙවන්නන් මුවග ඒවා රැව්දෙයි.
ක්ලැරන්ස් ගේ තෙවැනි සංගීත සැරිසර නැවතුම්පොළ වූ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් කෙමෙන් එකිනෙකා විසිරි යමින් සිටිද්දී, ඔහු සිය රිද්ම ගිටාරය වඩාත් තදින් ළයට තුරුඵ කරගනිමින්, ඒකල නිර්මාණකරණයේ යෙදුනේ තමන් විසින්ම නව ගීත ගණනාවක් හඳුන්වා දෙමිනි. එමගින් ඔහු 60 දශකයේ අත්කරගත් අසාමාන්‍ය ප්‍රසාදය නොම වියැකි, නොනැසී පවත්වා ගෙන 70 දශකය තරණය කරමින් සිය ගීත සංචාරයේ තෙවැනි දශකය එනම් 80 දශකයද ගෙවා දමන්නට සමත් විය. ඔහුගෙන් පසුව බිහිවූ ගායකයන් ගණනාවක් හා කරට කර සිටිමින්, තම ගායන දිවියේ මුලාරම්භයේ ළදරුවන් ව සිටියවුන් යොවුන් විය පසුකර යද්දීද තමන්වෙත් වසග කරවා තබන්නට ඔහුගේ අසාමන්‍ය ප්‍රතිභාවය විසින් ඉඩකඩ ලබා දි තිබිනි.
සැන්දෑ වළාවන් පා වුනාවේ .............
වැල්ලේ මා තනිවු වෙලේ ................
ඇය එන්නේදෝ මග එන්නීදෝ සිතෙහි නම් සැකයක් නැතේ.................?
----------------------------
මෙතැනින් සවන්දෙන්න
ඒක පුද්ගල ප්‍රසංග කලාව ශ්‍රී ලංකාවේ මුල්බැස ජනප්‍රියත්වයට පත්වූ 70 සහ 80 දශකයන්හී, සිය සමකාලීනයන් වූ වික්ටර් රත්නායක, නන්දා මාලිනී, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග අමරා, සහ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ එච් ආර් ජෝතිපාලයන්ද ඇතුඵ පිරිස ඒ වෙතට නැඹරුවෙද්දී, තම ස්වාධීන නිර්මාණ එපමණටම බහුලව තිබියදී පවා, තමන්ගේ එවැනි ප්‍රසංගයකට මුල පුරන්නට ඔහු සමත් නොවීම ගැටඵ සහගතය. එවැන්නකදී කාර්ය බහුලත්වයට පත්වීමට සිදුවී සිය නිර්මාණ උල්පතට වැට කඩොඵ බඳීන්නට ඇතැම්විට ඔහු අකමැති වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
කෙසේවුවද, සිංහල ගීත ඉතිහාස වංශ කථාවේ නව පරිච්ඡේදයක තතු ඔහුගෙන් ඇරඹෙයි. ඔහුගේ පූර්වගාමියා වූ ’සී ටී ප්‍රනාන්දු’ විසින් 50 දශකයේ දී හඳුන්වාදුන් ගී ආර, ඔහු විසින් නවතාවයකින් එතැන් හි සිට වඩාත් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනු ලැබූ අතර විනෝද අවස්ථාවන් මියැසියෙන් රසගන්වන්නට වරම් අහිමි වූ උපන්බිමේ උරුමය රකින ගීතරසිකයන් ගේ රික්තයේ වැඩිකොටස ’ක්ලැරන්ස්’ විසින් පුරවනු ලැබීය.
ඔහු කන්ඩායම් ගීත කලාවේ පුරෝගාමියා ලෙස හැඳින්වීම නොකළයුත්තක් වුවද, නිසැකවම ඔහු සිංහල සංගීතය නවදිශානාතියකට යොමු කරන්නට පුරෝගාමි වූවන් ගෙන් ප්‍රමුඛයා බව අවිවාදාත්මකය. බටහිර ගී ආර සිංහල සංගීතයට හඳුන්වාදුන්නෝ ඔහුට පෙර සිටියත්, සංඛ්‍යාත්මකව ඒ ගණයේ වැඩිම ගීත සංඛ්‍යාවක් තමන් වෙනුවෙන් මතුනොව අනුන් උදෙසාද නිර්මාණය කරගත් කරදුන් සංගීත ශීල්පියා ඔහු පමණි. ඊට නිදසුන් ඉහත ලිපි පෙළෙහි එමට ඉදිරිපත් කර තිබේ. ඔහු ගැයු මුල්කාලීන ගී එකක් දෙකක් හැරෙන්නට සෙසු සියඵ ගීත ආශ්චර්යජනක ලෙස ශ්‍රාවක අවධානයද ආකර්ෂනයද දිනා ගන්නා ලදී. ඒවා ඔහුගේ යුගය ට වඩා දශක ගණනාවක් ඉදිරියෙන් පවතින්නට පවා ඉතා සුදුසු බව තහවුරු කර දෙන්නේ ඔහුගේ වියෝවෙන් පසු මෙළොව එළිය දුටු සංගීත රසිකයන්ද අතිවිශාල සංඛ්‍යාවක්, ඔහුගේ ගී ආර සහ නිර්මාණයන් වෙත දැඩිව වශිවි තිබිමෙනි. සිංහල සංගීතයේ සෙසු ශිල්පීන් විසින් බිහිකර පෝෂනය කළ ගීත අතිවිශාල සංඛ්‍යාවක් තිබුනද, ඒවායේ සංගීත සංයෝජනයන්, තනු නිර්මාණවල පූර්ණ ගෞරවය සියයට සියයක් ඒවයේ සංගීතඥයා වෙත පවරා දිමේ අයුක්ති සහගත බවක් හැගී යයි. මන්ද යත්, වාදක මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන් සහ සෙසු ශිල්පීන් ගේ අදහස් උදහස් උක්ත ගී රසගැන්වීමේ ක්‍රියාවලියට බලපා ඇති බවක් වාර්තා වන නිසාය. එහෙත්, ’ක්ලැරන්ස්’ විසින් නිර්මාණිත ගී උදෙසා වෙනත් ශිල්පීන් එසේ සෘජුව මැදිහත් වූ බවක් අසන්නට ලැබෙන්නේ ඉතා විරළවය. එනම් ඒවා සියයට අනුවකටත් වඩා ඔහුගේ තනි දායකත්වයෙන් බිහිවූ ගීත බව එයින් පැහැදිළි වෙයි. '
මුතු මැණීකේ උදේ රැයින් ..........
මුතු පොටසේ හිනා වෙයන් ............
හිමිදිරියේ සිත සපරා හිනාවෙන්කෝ ...........................
පුරපෝදා සඳවාගේ ...හිනාවෙයන් ළඳමාගේ.......
මුතු මැණීකේ හිනාවෙයන්කෝ..................
----------------------------
මෙතැනින් සවන්දෙන්න
ආරම්භක දශකයේ, ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් බිහිවූ සංගීත කන්ඩායම් ත්‍රිත්වයම ලාංකීක වේගරිද්මය ලැදි සංගීතලෝලීන්ගේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ අතර අන් සංගීත කන්ඩායම් ගණනාවක් අතරින් ඉතා ඉහළ පිළිගැනීමට ලක්විය. ඔවුනතර විවිධ සමාජ ස්තරවල සාමාජිකයන් සිටිම වෙසෙසින් සඳහන් කළ යුතුය. ’මුන්ස්ටෝන්ස්’ කන්ඩායම අභාවයට ගිය අතර, ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් එක්ව ප්‍රසංගයක් පවත්වා 2015 වසරේදී සිය කන්ඩායමේ සමුගැනීම සටහන් කළේය. එහෙත් ’ද ගෝල්ඩන් චයිම්ස්’ අඩසියවසක් ඉක්මවා අදද ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගෙන යන්නේ එහි නායක ’ෂානක’ පෙරේරා සහ ’ලාංකිකා’ දෙපොළ විසිනි.
’ක්ලැරන්ස්’ විසින් ඉතිරි කර තබා ගිය රික්තය හොඳින් පිරවිය හැකි සාමාජිකයෙකු දෙන්නෙකුගේ සේයා මතු වි නැගි ආවත්, ඔවුන් හට ද එය අඛන්ඩව ම අප කථා නායකයා සේම ජව සම්පන්නව ඉදිරියට පවත්වාගෙන යැමේ හැකියාව අහිමි වි ගියේය. ’ක්ලැරන්ස්’ හා 80 දශකයේ සමිප ව නිර්මාණකරණයේ යෙදුනු ඔවුන් දෙදෙනා අන් කවරෙකු හෝ නොව, සංගීතඥ ගායක ’රූකාන්ත ගුණතිලක’ සහ ’ග්‍රේෂන් ආනන්ද’ ය.
කලා ක්‍ෂෙත්‍රයේ මතුනොව අන් කවර හෝ වෘත්තියකදී, එහි විශේෂඥතාවයට පත් වූවන්හට සිය කටයුත්තට දැඩිලෙස බාධා අවහිරතාවන්ට මුහුණ පාන්නට අන් කවර දේශයකට වඩා මෙහිදී සිදුවන බවක් පෙනියයි. ඔවුන් ගේ විවිධ දක්‍ෂතා අගයන්නට අවංක සිතින්, අව්‍යාජව පෙළඹෙන්නෝ මෙහි විරළය. ඔවුන්ගෙන් අති බහුතරය, මුහුණ දෙන්නට සිදුවන බාධා අකුල් හෙළිම් හමුවේ, උකටලීව සිය කාර්ය භාරයේ මන්දෝත්සාහී වෙයි. එයින් ඇතැමුන් තමන් කරන්නට යෙදුනු කටයුත්තෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙති.
අසල්වැසි භාරතයේදී ඒ තත්වය වඩාත් හිතකරය, ධනාත්මකය. උත්තර භාරතීය බොලිවුඩ් සිනමා සංගීතයට නව හැඩතල එක්කරන්නට සමත් වූ ’රහුල් දේව් බර්මන්’ විසින් එය ජාත්‍යන්තරව දිනාගෙන තිබූ විජයග්‍රහනයන් පුඵල් කරනු ලැබූ අතර ඔහුගේ යුගය අවසන් වෙද්දී ඒ කටයුත්තෙහි ’බප්පි ලහිරි...’ නිරතව සිටියේය.
කන්ඩායම් ගී සාමාජිකයන් ගේ විජයග්‍රහකයා ලෙස කිරුඵ පැළඳි ක්ලැරන්ස් නිර්මාණ රන්දාමය නොකැඩි නොබිඳි ඔහුගේ නොකල්හී සිදූවු සමුගැනීම දක්වා පැවතියේය. ක්ලැරන්ස්ලෝලීන් නොපැතූ නොසිතු ලෙස තෙපණස් වසක් තරම් වූ අයුකාලයක් පමණක් භූක්ති විඳ 1996 වසරේ සීතල උඳුවප් මසින් 13 දිනකදී ඔහු මෙළොවින් නික්ම ගියද, තිස්වස් පමණ කාලයකදී දහසක් ගී කුසුම් පුබුදුවා හෙළ ගී කෙත සුගන්ධවත් කළ ඔහුගේ නාමය, අනාදිමත් කාලයක් ලක්වැසි ගීත ලෝලී පරම්පරාවන් අතර යුගයෙන් යුගය රැව්දේවා යැයි පතමු.
මලට බඹරෙකු සේ..............
සිතට ඔබ එනවා...............
කිරණ සේ හිරගේ ................
හද සිනාවෙනවා ...............
ඔබ සිනහවෙනවා .................
-----------------------------------------------------------------------------
ක්ලැරන්ස් නිර්මාණ වංශකතානේ සමාප්තිය සමගින් කන්ඩායම් ගී කලා රසය මෙතැන් සිට ඉදිරියට....
මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය
ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)
ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්)
ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)
සංගීතඥ ගායන ශිල්පී මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)
සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී -
පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)
අපූරු විශ්ලේෂණයක් වගේම අතීත මතක සැමරුමක්. ස්තූතියි.🙏👌
ReplyDeleteඅදහස් පළකිරීම සම්බන්ධයෙන් ස්තුතියි.
Deleteක්ලැරන්ස් සහ සීටී අගය කරන්නෙක් විදිහට උඩ රචනය ගැන 100%ක් එකගයි. මේ වෙන විටත් ඒ දෙපලගෙ ම ගීත අප පිනවමින් තිබේ.
ReplyDeleteස්තුතියි ඔබට...
Deleteසුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායම් සංගීතයේ උපරිම අවස්ථාවයි.එම කණ්ඩායමේ සිටි අති දක්ෂ සංගීත ශිල්පීන්ගේ එකතු වෙන් එළිදැක්වූ නිර්මාණ යලි කිසි දිනෙක බිහි වන්නේ නැත.එයිනුත් ඩික්සන් ගුණරත්න වැනි Lead gutarist
ReplyDeleteකෙනෙකු ලංකාවට අයිති වේදැයි සැක සහිතය.Super Golden Chimes ඔබේ සංගීතයට ස්තුතියි 🙏