namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 31, 2024

Three sisters musical band of 70s

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 04

 මේ තැටිය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මිත ගීත අතරින් එකක් ඇයගේ දිවිගමනේ අනුවේදනීය සිදුවීමක් සටහන් කරයි. ඇය පාසල් දැරියක්  ව සිටියදී නැගණිය අයිරාංගනී හට යම්තම් සයවස් සපිරෙද්දී, දැරියන්ගේ මව මෙළොවින් සමුගත්තාය එතැන් හි සිට අක්කන්ඩිය ’මල්ලිකා’ ඔවුන්ගේ දෙවන මව් පදවිය භාරගත්තාය. මේ අවධියේදී එනම් 1968 දී පමණ බටහිර ගීත ලොලීන් අරභයා ඉංග්‍රිසි බසින් ගීත ගැයු ’ඩැල්රීන් ආනෝල්ඩා’ සිය ’ෆයර් - ෆලයිස්’ වාදක කන්ඩායමේ සහය ගායිකාව ගේ භූමිකාව ඉටු කරන්නට ඉන්ද්‍රනි දැරිය තෝරාගන්නට යෙදුනි. 

-------------

සේයාරුවේ පිරිස

1 ශබ්ද ඉංජිනේරු -  - මර්වින් රොද්‍රිගෝ - සරසවි  - දඵගම කැලණිය

2 අයිරාංගනී බාල නැගනිය

3 ජෙරල්ඩ් වික්‍රමසූරිය - ’සූරිය’ තැටි ලේබලයේ නියමුවා - චිල්රන්ස් බුක්ෂොප් - කොටුව

4 ඉන්ද්‍රානි ත්‍රී සිස්ටර්ස් මෙහෙයුම් ගායිකා

5 මල්ලිකා  - අක්කන්ඩිය

-------------------












මතකය ඇසුරින් සිහියට ගන්නට ..........

නිතරම වෙහෙසුනෙමි ........................

මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි......

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි...

පැහැදිළි නැති එක ඡායාවක් ඇත....

ඒ ඔබ බව දනිමි...................


කරුණු එසේ පෙළගැසී පැවතියද , මතු අවසනට සඳහන් ගීයේ අරුත් වඩාත් පෑහෙන්නේ වැඩුනු වියේදී සිය ආදරණිය මෑණියන් අහිමි වූ ’ඉන්ද්‍රානී’ ඇතුඵ සොයුරියන්ට වඩා, ළදරු ’හිරන්‍යා’ ටය. ළදැරිය ජිවිතයේ පළමු වසර උපන්දින සාදය පවත්වන්නට මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී 1987 වසරේ වප් මස 27 දිනදී  ඇයගේ සදාදරණිය මෑනියන් ’මල්ලිකා පෙරේරා’ අනපේක්‍ෂිත ලෙස අකාලයේ මෙළොව හැර යන්නීය. ඒ ඇයගේ සැමියා ගේ ගම්පියසේ රුවන්වැල්ලේ  නවාතැන් ගෙන සිටිද්දීය. ඒ වනවිට ඇය ජිවිතයේ පස්වන දශකය පවා ගෙවා නොසිටියාය. 

ඇයගේ අකල් වියෝව සැළවූ   වහාම රාජගිරියේ නිවසට රැස්වූ කලාකරුවන් අතර සංගීතවේදී ’වික්ටර් දඵගම’ සහ ’සරත් දසනායක’ දෙපොළ ද විය. ඔවූහූ ත්‍රී සිස්ටර්ස් සෙසු සාමාජිකාවන් දෙදෙනා සමග, වියෝදුක බෙදාහදා ගත්තෝය. එකී වසරේ පළවු ’දිවයින’ ඇතුඵ ජාතික පුවත්පත් ඇතුඵ මාධ්‍යය විසින් මේ අනුවේදනීය පුවත රසික දනන් හට දන්වා සිටියේය. 

’අක්කා. අසනීපයක් නැතුව, එකපාරටම .......... නැතිවුනාට පස්සේ ඒ අඩුව හිස්තැන නංගීටයි මටයි... හරිම තදින් දැණුනා. එයාට දරුණු ආඝාත තත්වයක් (ීඑරදනැ) හටගෙන තිබුනා. ගායිකා ඉන්ද්‍රානි විසින් පැවසුවාය.

ඇය වියෝවෙද්දී රූපවාහිනි මාධ්‍යයේ ආගමනය සිදුවී යම්තම් වසර පහක් පමණක් ගතවී තිබුනු අතර, එවකටද ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුනු ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝ තිදෙන ඊට පෙර දශකයේ තමන් ගැයූ අතිශය ජනප්‍රිය ගීත, රූපවාහිනි සංගීතමය වැඩසටහන් උදෙසා පෙනීසිටිමින් ගායනා කරන්නට යෙදුනි. අදත් සාමාජ මාධ්‍යයන් ඔස්සේ ද ඒ රූපදසුන් නැරඹිය හැක්කේය. 

---------------------------------

ආදරණිය අක්කන්ඩිය මෙලොවින් සමුගෙන යන්නට සැරසී..............
(1987 වසරේ දිවයින පුවත්පත වාර්තා කළ අයුරු)

1 ඉන්ද්‍රානි පෙරේරා

2 අයිරාංගනී

3 ප්‍රවිණ ගායිකා ලතා වල්පොළ

4 ප්‍රවිණ වේදිකා නාට්‍ය ශිල්පිනී මර්සි එදිරිසිංහ

5  සරත් ද අල්විස් සංගීතවේදියා - සුපර්ස්ටාර්ස් සරපුවරු රසවතා

------------------------









ත්‍රී සිස්ටර්ස්’ නම් පූරාවෘත්තයකි.

එදවස සංගීත ක්‍ෂේත්‍රයේ හමා ගිය සැඩ මාරුතය ’කන්ඩායම් ගීතයයි. ඒ පිරිස් අතර මේ යුවතියන් වෙසෙසින් ඉස්මතුව කැපී පෙනෙන්නේ මන්ද ? කාන්තාවන් වෙසෙසින් යොවුන් තරුණියන් සබාපිරිස් මැද ප්‍රසිද්ධියේ පෙනී සීටිමින් නර්තනයේ රංගනයේ යෙදුනු අවස්ථාවන් දැකිය හැකි වූයේ දිවයිනේ නගර කිහිපයකට සීමා වූ නාගරික සංස්කෘතියේ පිරිස් අතර පමණකි. එවන් වටපිටාවකදී මතු වූ ඔවුන් ඒ නිසා දිවයිනේ පුරෝගාමි කාන්තා ’ගායක’ කන්ඩායම විය. එහෙත් ඔවූහූ ’සංගීත’ කන්ඩායමක් නොවූහ. මේ කිසිවෙකුත් වෙනත් කන්ඩායම් ගී ගැයූ පිරිස් මෙන් වාද්‍ය භාන්ඩ වාදනය කිරීමේ යෙදුනේ නැත. එමතුදු නොව වෙනත් කන්ඩායම් ගොඩනැගුනේ පුරෝගාමී එක් සාමාජිකයෙකුගේ සංගීත පෞරුෂය වටාය. ඔහු ගීත පද රචනයේ යෙදුනේය, ඇතැම් විට තනු නිර්මාණයේ නිරතවූයේය.  මෙය වඩාත් පැහැදිලි කිරීම පිනිසි නිදසුන් ගෙනහැර පෑම සුදුසය.

  

ධර්මරත්න සහෝදරයෝ - මෙල්රෝයි ධර්මරත්න තනු රචනය සහ ගීත පද රචනය

ලා සියෙලනියන්ස් - නොයෙල් බ්‍රයන් රණසිංහ - තනු නිර්මාපක සහ සංගීත සංයෝජක

සමනලයෝ - රේමන්ඩ් ෆොන්සේකා - තනු නිර්මාණය 

ලා බම්බාස් - ප්‍රියා පීරිස් - තනු රචක

මූන්ස්ටෝන්ස් - ක්ලැරන්ස් විජේවර්ධන - ගී තනු සහ සංගීත සංයෝජනය සේම ගී පබැඳුම

ගෝල්ඩන් චයිම්ස් - ක්ලැරනස්

සුපර් ගෝල්ඩන් චයිම්ස් - ක්ලැරන්ස්

ජෙට්ලයිනර්ස් - ටෝනී ප්‍රනාන්දු - තනු රචනය

මී මැස්සෝ - ජෝ බී පෙරේරා  - තනු

ජේ සහෝදරයෝ - පෙරින් ජයසේකර - තනු සහ පද  රචනය

ලොස් කැබැයියරෝස් - නෙවිල් ප්‍රනාන්දු ු තනු සහ සංගීත සංයෝජනය

මොවුනතරින් ’ධර්මරත්න සහෝදරයෝ’ , ’ලොස් කැබැයියරෝස්’ ’මූන්ස්ටොන්ස්’ සහ ’ලා සෙයිලනියන්ස්’  මේ යුවතියන්ගේ  කන්ඩායමට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියහ.  මෙකී වරප්‍රසාදය ’ත්‍රී සිස්ටරස්’ සොයුරියන්ට හිමිව තිබුනේ නැත. ඔවුන් ගීත නිර්මාණයේ සියඵ කටයුතු උදෙසා බාහිර පාර්ශ්වයන් මත පූර්ණ ලෙස යැපෙන්නට සිදුව තිබිනි. මූන්ස්ටෝන්ස් හි කාන්තා සාමාජිකාව ලෙස කටයුතු කිරීම නිසා, ඒ කර්තව්‍යන් සිදු කිරීමට සියඵ සුදුසුකම් සපුරා තිබූ සාමාජිකයා ගේ සහය ලබාගන්නට ඔවුන් සමත්විය. ඒ අන් කවරෙක් නොව ’ක්ලැරන්ස්’ ය. 

’වික්ටර් දඵගම’ සහ ’සරත් දසනායක’ දෙදෙන වෙත එළඹෙන්නේ ’කරුණාරත්න අබේසේකර’ ගේ ගීත රචනාවන් සපයාගැනීමෙනි.

------------------

දකුණේ - සංගීතවේදී වික්ටර් දඵගම  -ත්‍රී සිස්ටර්ස් පුහුණු කරමින්

වමේ - සංගීතවේදී සරත් දසනායකයන්
----------------------


මතු කි සංගීතවේදීන් දෙපොළ, 70 දශකයේ මුල්භාගයේ සිටම ඔපවත් වෙමින් ආ ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ දිදුළන මිණිකැට ද්විත්වයකි. ඔවූහූ ’ජනප්‍රිය සංගීතය’ යනු කවරකාරයේ නිර්මාණ විය යුතු දැයි හොඳින් දැන අවබෝධ කොට ගෙන වටහ ගෙන සිටියේ සත්‍යාභියාසයෙන් සහ සහජ නිර්මාණශීලිත්වයෙනි. සිංහල සිනමා ගීත කලාවේ සදාතනික නිර්මාණ ගණනාවක මෙහෙයුම්කරුවා ’සරත් දසනායකයන්ය’. 

සප්තස්වරයේ රසභාවය දියුණු තියුණු කිරීමේ සැ`ඟවුනු ගුරු මුෂ්ඨී නතුකරගත් ’වික්ටර් දඵගම’ ගුවන් විදුලි සහ වෙළඳ තැටි ගීත නිර්මාණ කලාවේ නිපුණයෙකි. ඔහු ’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවන් වෙනුවෙන් අපුරු වාද්‍ය සංකලනයක්  මවා දුන්නේ ඉලෙක්ට්‍රෝනික බටහිර සංගීත භාන්ඩ අතරට පෙරදිග සංගීතයේ වාද්‍ය රැජිනිය වූ ’සිතාරය’ යොදවා එහි තත් හඞ, නියමිත පරිමාණයෙන්, නියමිත මාත්‍රාවෙන් මුසුකරවීමෙනි. දෙසවන් යොමා දැහැන් ගතව ශ්‍රවණය කළ මනාය.

'

01 සමරු පොතේ ...ඔබට දිනක ලියා.........

දුන් පොරොන්දුව ආවේ නැද්ද මතක තියා....

කෙසේ මා පිටු පාලා .....................

(කරුණාරත්න අබේසේකර පද)


02 ඉඳුනිල් මැණිකා .........කියමින් අමතා............

'අසමින් පවසා ...ඔබේ පිංතුරේ හරි ලස්සනයි...............

(කරුණාරත්න අබේසේකර)

---------------------------

නොපැකිළිව, යුහුසුඵව, මන්දෝත්සාහී නොවී කටයුතු කිරීම නිසා ඔවූහූ සීමිත කාලයක් ඇතුළත වෙළඳ තැටි ගණනාවකට සරිලන ගීත නිර්මාණය කරගන්නට ඔවූහූ සමත් වූහ. 1970 වසරේ මුල්ම දිනයේ පටන් ගීත ලොවට ප්‍රවිශ්ඨ වූ මෙම කන්ඩායමේ ජනප්‍රසාදය තෙවසරකදී පමණ ඉවුරු දෙගොඩ තලා, වෙනත් කන්ඩායම් යටකර දමමින් පැතිර ගලා ගියේය. වේගරිද්ම පොප් ගීතයට ඇඵම් කළ එතෙක් බටහිර ගායිකාවන්ගේ ගීත රසවිඳි සිංහල රසිකයන්, තම මව්රටේ හැදුනු වැඩුනු, තම දේශයේ බිහිවුනු නවආරක පොප් සංගීතය වෙත ආශක්ත කර ගැනීමේ මෙහෙවර ඉටුකරදුන්නේ මුල්වරට ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝය. ලක් ඉතිහාසයේ ඒ දක්වා එහි රික්තයක් හටගැනී තිබිනි.  

ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය පැවසූ අයුරු, තමන් හට ’තැටි’ නිෂ්පාදනය අයතනයන් විසින් සිදු කරන්නට යොදුනු ආරාධානා පිළිගෙන ඒ අනුව ගී පද රචකයන් අභිමුවේදී ඒවා සපයාගෙන, තනු නිර්මාණය කරගන්නට සමත් වූ බව සටහන් කළ මනාය. ’තරුණ යුවතියන්’ හට ගැළපෙන ලෙස, එදා ගී පද රචකයන් අරුත්බර නිර්මාණ සපයන්නට යෙදුනු බව ඇය කියා සිටියාය. ඒ බව ’ත්‍රී සිස්ටර්ස්’ ගීතාවලිය හදාරද්දී මනාව පසක් වෙයි. පහත නිදසුන් විමසනු වටී.

ත්‍රි සිස්ට්රස් සොයුරියෝ  නාඹර වියේ එකම කැදැල්ලේ එකට වසමින් යුග දිවි ගමන් අරඹන්නට පෙර කාලයකදී ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ප්‍රතිභාපූර්ණ ගීත රචකයා ඔවුනට ලිය දුන් වගනම්.....


එක කූඩුවක හැදී, යව්වන කාලයේදී................

පළමුව අප තිදෙනාගෙන් කවුරුද ඉගිළෙන්නේ ....?

එතකොට දෙදෙනෙකු තනිවේවි...

මේ පොඩි කුඩූවේදී ....

අහක බලාගෙන පාඵ ලොවේ....

නෙත්යුග තෙත්කර කඳුඵ රැහැන් මැද ඉන්නට හැකිවේදෝ.........

දවසක තව කිසිවෙකු ඒවි දෑතට තෑගි දිදී............

සිහින මවාගෙන ඇයද ඇදී ....

අවසන තනිවි මෙහිම රැඳෙන්නට තනි මට හැකිවේදෝ..........

(සංගීතය - සරත් දසනායක - 1973)

------------------------

කරුණාරත්න අබේසේකරයෝ වරෙක හිරිමල් වයසේ දුව පැන ඇවිද කෙළිදෙළෙන් පසුවන මේ කෙවිළියන් තිදෙනා සිය කවි ඇසින් දුටුවේ මෙළෙසය. ’හර්මනි’ මූලධර්ම අනුව එකහඞින් ගයන ඔවුන් තිදෙනා මෙහිදී පද කැටිති තම තමන් අතර බෙදාහදාගෙන ඒකලව ගයන්නීය. මෙහි ඉතා පැහැදිළි ලෙස යුවතියන් තිදෙනා ගේ සමූහ ගැයුම ද ඒකල ගැයුම් ද සටහන් වි තිබේ. එකම පවුලකින් පැවත එමින් එකිනෙකට වෙනස් හඞවල් ත්‍රීත්වයක් උරුමකරගත් මේ හඞවල් එකිනෙක අතර කැපී පෙනෙමින් මතුවන විචිත්‍රත්වය මෙම ගීතයේ දී ප්‍රකටය.


තරුණියන්ගේ හිත මලක් වගේ ..........

ආදරේ උදම්වෙලා පිපෙයි..........

ජිවිතේ විනෝදයෙන් ගෙවේ....

අන්න එහෙම දාට ලොවම ලස්සනයි.............

පියුමට යන්නේ සොයා බඹරාමයි... (ඉන්ද්‍රානී)

කුමුදට එන්නේ සඳේ රේඛාවයි ...(අයිරාංගනී)

මුහුදට යන්නේ ගලා දියපහරයි (මල්ලිකා)

තරුණිය වෙත ඔබයි ඇදෙන්නේ....

(සංගීතය සහ තනු - වික්ටර් දඵගම - 1972)

----------------------------
අඩ මසකින් යළි පිවිසෙන්න .....

Wednesday, July 17, 2024

ඉන්ද්‍රානී පෙරේරා ප්‍රමුඛව ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ගැයු ගී .........

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 03


 ’ත්‍රී සිස්ටර්ස්’ පොප් ගීත කලාවේ දෘඩ පදනම යෙදූවේ ’ක්ලැරන්ස්’ විජේවර්ධනයන් විසිනි. ඔහූ ඔවුන් වෙනුවෙන් නිකුත් වු තැටි ඇල්බමයකට ගීත යුගළ ද්විත්වයක් නිර්මාණය කරදුන්නේය. ඒවායේ මූලික හඞ මෙහෙයවන්නිය ’මල්ලිකා’ ය. ගී පද සංකල්පනයන් සකසා තනු ද සංගීත සංයෝජනයන්ද ඔහු විසින්ම සිදු කරන්නට යෙදුනි. මෙම ගීතවල සුරස අන්තර් වාදන ඛන්ඩ ක්ලැරන්ස් ගේ ගුරුහරුකම් ලබා ඉලෙක්ට්‍රෝනික ලීඩ් ගිටාරයෙන් වාදනය කරන ලද්දේ ’ඩික්සන් ගුණරත්න’ නම් වූ ප්‍රතිභාපූර්ණ වාදන ශිල්පියා විසිනි. 


----------------
ත්‍රී සිස්ටර්ස් ළපැටි විය - පියා ඒ ඒ පෙරේරා මහතා ගේ උකුළේ  - අයිරාංගනී  අසුන් ගෙන ’ඉන්ද්‍රානී’ සහ මව මියුරියල් පෙරේරා සමග වම් කෙළවර සිටගෙන ’මල්ලිකා’ දැරියන් -  1960 -62 පමණ යුගයේ සේයාරූ ගතකරන්නට ඇත.
-------------------
















ඔහු එදා වැයූ ගිටාර් වාදන රටා වලින් ඇතැම් ඒවා තමා විසින්ම අවස්ථානුකූලව නිර්මාණය කර ගන්නට යෙදුනු බව ඔහු කියා තිබින. ක්ලැරන්ස් විසින් උපදෙස් දුන්නේ අදාළ කොටස කිසියම් වාද්‍ය ඛන්ඩයකින් හැඩ කරන්නට පමණක් බව යැයි හෙළිදරවු කෙරිණි. මේ ගීටාර් වාදන රටා ඇතුළත් ගීත හා සමකාලීනව බිහිවුනු ගීත ගණනාවකට විදුලි ගිටාර් වාදනයන් මුසුකලේ එදවස එය එක්තරා අන්දමක ’රැල්ලක්’ බවට පත් වි තිබුනු බැවිනැයි අනුමාන කෙරේ.

ත්‍රී සිස්ටර්ස් ගායිකාවන් ගේ උදාව උදෙසා උරදුන්නෝ අතර ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ රසවතාණෝ නිති ඇගයිය යුතුය. ඔහු සිය ලේබලය ’සූරිය’ වෙතින් එළිදැක්වූ තැටියකදී මෙම ගීත ඇතුළත් කෙරිනි.

මෙකී නැවුම් සංගීත ඛන්ඩ ඇතුළත් ගැයුම්, එදා ගුවන් විදුලිය විසින් හැදූ ගීත වෙතින් පැහැදිළීවම වෙනස් මඟක් ගන්නට හේතුභූත වූයේද උක්ත කරුණයි.  ක්ලැරන්ස් ගේ නිර්මනයක් හි දී ’සිතාරය’ හෝ ’වයලීන’ හඞ නොඇසුනු තරම්ය. 

මෙම ගීත ඇතුළත් තැටියේ දී ගීතයක් ් ’මල්ලිකා’ විසින් ද අනෙක් යුගළය ඇගේ සොයුරි ’ඉන්ද්‍රානී’ විසින් ද ඉතිරි ගීතය  බඩපිස්සිය ’අයිරාංගනී’ විසින්ද හඞ මෙහෙයැවීම සිදු කරන ලද්දේය.

අනන්‍යතාවය මනාලෙස රැකි තිදෙනාගේ ගී හඞවල් දිශානති තුනකට විහිද පැතර යන ලිලාව ප්‍රකට කළ ගීත ඇල්බමයකි මේ. අන්තරා කොටස්හිදී ’මල්ලිකා’ සිය හඞ මුසුකරමින් හර්මනි කලාවට එක්කළ ජවය එහි තිර ලෙස සටහන් ව පවතී. 


01 පිපෙන පියුම් සඳෙහි කැඵම් ........

ඔබගේ සිතුම් වලට සමයි...................

හදෙහි පැතුම් තෙලෙහි සිනා.............

මාගේ සිතේ පවස නිවයි....................

(හර්මනි ප්‍රමුඛ හඞ මුසුව - මල්ලිකා පෙරේරා)


02 සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැගී...........

සිහින් දෙපා පොඩි  හොවලා ලොවට එන හැටි..........

පළඟැටි ගී තනුව අනුව මලක් මත නැගී ...........

සඳකුමරිය පිණිකැට නා නැවත යන හැටී.................

(හර්මනී ප්‍රමුඛ හඞ - ඉන්ද්‍රානි පෙරේරා)



03 මම කිරිල්ලියක් වෙලා........අහසේ මිදුම් වලා ....

රැනින් ඉගිල්ලිලා ... එමි ඔබව බලා .....................

(හර්මනී ප්‍රමුඛ  - ඉන්ද්‍රනි)


04 මේ ගීය මම ගයන්නේ වැහි වළාකුල සොයා.........

මම බයෙන් මෙන් ගැහෙන්නේ අද වහිදෝ කියා........

මම ආදරෙන් බලන්නේ එනවද ඔබ කියා.....

අද හවසට වැස්සොත් මම ඒවි මගේ දයා.....................


(හර්මනි ප්‍රමුඛ හඞ මුසුව - අයිරාංගනී)

---------------------------

එදා සිඟිති යොවුන් ඔබට මතකදැයි බලනු මැනවි මේ මුල් ගී...?

මෙහි ඉතිරි ගීත යුගළය ලිපියේ පහත වාදනය වන්නට සළස්වා ඇත

’කැසට් පටය’ නම් වූ හුරුබුහුටි කුඩා චුම්බක පටි යුගය මෙහි පිවිසෙන්නට පෙරාතුව අනාදිමත් කාලයක් පුරා ’හඞ’ අලෙවිකරන්නට පරසිඳු ව පැවති මාධ්‍යයය ’තැටියයි’. විශාල ප්‍රමාණයේ තැටි යුගය අවසන් කරමින් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අඟල් 08 ප්‍රමාණයේ තැටිය දොරට වැඩියේ 50 දශකයේ අවසනදීය. ඉන් පසුව එළැඹි දශක ද්විත්වයේදී මෙම තැටි ලාංකීය ගීත ව්‍යාපාරික ප්‍රජාව ගේ ඒකායන, ස්ථිරසාර බෙදාහැරීමේ මාධ්‍යය ලෙස පැවතිනි.

එයින් කන්ඩායම් (හර්මනි) ගීත කලාවේ යෙදුනු ශිල්පීන් හට අතහිත දෙන්නට මුලින්ම ඉදිරිපත් වූයේ ජාත්‍යන්තර ’පිලිප්ස්’ ලේබලයෙන් දිවයිනේ තැටි ව්‍යාපාරයේ යෙදුනු ’පැට්‍රික් කොරේරා’ විසිනි. ඒ 60 දශකයේ මධ්‍ය භාගයයි. ’ත්‍රී සිස්ටර්ස්’ ගේ පූර්වගාමීන් වූ ’ධර්මරත්න බ්‍රදර්ස්’ මෙන්ම ’සමනලයෝ’, ලා සියෙලනියන්ස්, ලා බම්බාස්, ලොස් කැබෙයියරෝස්  වැනි ගායක කන්ඩායම් දොරට වැඩම වූ ’පිලිප්ස්’ ත්‍රී සිස්ටරස් ගේ ආගමනය සිදුවු යුගයේ තරමක පරිහානියට පත් වෙමින් තිබුනු අතර, ලාංකීය ගී තැටි ව්‍යාපාරයේ දෙවැන්නා වූ ’ජෙරල්ඩ් වික්‍රමසූරිය’ තම ආයතනයේ ’සූරිය’ ලේබලයෙන් ක්ලැරන්ස් ගේ ’මූන්ස්ටෝන්ස්’ ගී මෙන්ම ’ඩෙකා’ ලේබලයෙන් ඉන්ද්‍රානී ගේ ’සිගිරිය’ (වන දෙව්ලිය තුරුළේ) නිකුත් කරවා දුන්නේය. ඒ වනවිටද සහෝදරියන්ගේ කන්ඩායම සංවිධානය වී නොතිබිනි. 

පහත දැක්වෙන තැටි ලේබල අතරින්, ’අයි එම් අයි’ යනු   ඉන්ද්‍රානි, මල්ලිකා, අයිරාංගනී යන නම් ත්‍රිත්වයේ ඉංග්‍රිසි මුල් අකුරු පීළිවෙලයි. එදවස ’සමූපකාර තොග වෙළඳ සංස්ථාව’ (සතොස) ආයතනයේ කළමනාකාර ධූරයේ කටයුතු කළ මේ යුවතියන්ගේ පියාණන් විසින් ආයෝජනය කළ මුදලින් එකී තැටි ලේබලය එළිදැක්විනි.


ලෝටස් - ක්‍රිශාන්ත කුරේ සහ ජේම්ස් පෙරේරා

ආර්ටෙක් - අජන්තා විජේසේන 

අයි එම් අයි - ඒ ඒ පෙරේරා (ත්‍රී සිස්ටර්ස් පියාණන් තම දුවනියන් වෙනුවෙන්) 

ජෙම්ටෝන් - විජයපාල හෙට්ටිආරච්චි (විසාකාමාල්ස් ආයතනය)

සූරිය - ජෙරල්ඩ් වික්‍රමසූරිය (චිල්රන්ස් බුක්ෂොප්)

සිල්වර්ලයින් - කෙනත් පෙරේරා (සිල්වර්ලයින් රේකෝඩ් බාර්)

නිව් සවුන්ඩ් - ලක්‍ෂමන් පෙරේරා (නිව් සවුන්ඩ් එන්ටප්‍රයිසර්ස්)

තරංගා - විජය රාමණායක (තරංගා රේකෝඩ් බාර්)

---------
1970 දොරට වැඩුම ... වම් කෙළවර ඉන්ද්‍රානි මැද - මල්ලිකා -දකුණේ - අයිරාංගනී
---------

ඉහත අයි එම් අයි (IMI) යනු ඔවුන් තිදෙනාගේ නාමයේ මුල් අක්ෂරයන් ගෙන් නිර්මිත පවුලේ තැටි ලේබලයකි. එහි බරපැන සොයුරියන්ගේ පියා  ඇතුඵ පිරිසගෙනි. 

සිංහල පොප් ගායිකා පිරිස ගේ ගී මුතුහර අමුණාදෙන්නට පෙළ ගැසුනු ’ඊ පී තැටි’ () තැටි නිෂ්පාදක පිරිස්ය. 

එදා ශ්‍රාවක පිරිස් වයන පදට පා තබා සාද ප්‍රිය සම්භාෂනයේ රඟදුන්නේ ද, බටහිර නාද මාලා සහ රිද්ම රටාවන් වෙත සෙනෙහස රඳවා පාඵව කාන්සිය දුරුකරන්නට නිවසේ ’තැටි’ වාදන යන්ත්‍රයේ වාදනයට තෝරා ගත්තේද ’වේගරිද්මයේ’ ප්‍රමුඛයන් ගැයු ගීතයන්ය. ඒ අතර ගායිකා පිරිස් අල්ප දෙනෙකු අතර ත්‍රීී සිස්ටර්ස් ප්‍රමුඛ විය.


නිව් සවුන්ඩ් - සුදු අසු පිට නැගලා....(හඩ්සන් සමරසිංහ, අර්නස්ට් සොයිසා) නීල දෑසේ මාගේ ආසාව පිරිලා (බී කේ සංඝදාස, අර්නස්ට් සොයිසා) 


අයි එම් අයි - මංගලම් කියාලා..(කරු අබේසේකර, වික්ටර් දඵගම), තරුණියන්ගේ හිත මලක් වගේ..(කරු, වික්ටර් දඵගම). අහසට නැගුනට සරුංගලේ (කරු, වික්ටර්), 


සූරිය - පිපෙන පියුම් සඳෙහි කැඵම්... , මේ ගීය මම ගයන්නේ, සිහින් සිනිඳු දුහුල් රිදී, මම කිරිල්ලියක් වෙලා.. (ක්ලැරන්ස්) නෙත්යුග රන්තරු (හේම ශ්‍රී ද අල්විස්, වික්ටර් දඵගම), ආදරේ කියන්න දන්නේ නෑ (ටී ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම),පෑහි එක ලෙස බැඳි- (ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම), උදයේ පිපෙනා (කරු, දඵගම), ඉඳුනිල් මැණිකා ..(කරු, දඵගම), නෑ අදරේ නෑ (හේම ශ්‍රී, දඵගම), ගාමිණි පැරකුම් රජවරු (ප්‍රියා පීරිස්, ප්‍රියා පීරිස් - ලා බම්බාස්), සමරු පොතේ ඔබට දිනක ලියා,  වාසිටි කෙල්ලෝ... (කරු අබේසේකර, දඵගම) 


ජෙම්ටෝන් - ආත්මයක්, එක කූඩුවක හැදී (ප්‍රේමකීර්ති ද අල්විස්, සරත් දසනායක) 


ලෝටස් - හිතේ සන්තෝසයයි, දෑසේ සිනාවෙන්, සැන්දෑවෙලා එන්නම් කියාලා , අව්වට වැස්සට...(කරු අබේසේකර, වික්ටර් දඵගම) සිරිකත වැඩියා අද දවසේ, හා හා හොරේ දැනුනා, එදා තරම් මගේ සිතේ, මතකය ඇසුරින් (ක්ලැරන්ස් විජේවර්ධන), උදාර සිංහල බිමේ උපන් (කරු අබේසේකර, ක්ලැරන්ස්), මගේ දෑස නැළවි සඳරේණු දුවනී (ෂෙල්ටන් වීරරත්න, ක්ලැරන්ස්)


සිල්වර්ලයින් - කඵ දීග ගියාලු, කුමාරිහාමි, (වර්ණන් පෙරේරා, මයික් ගුණසේකර)


තරංගා - සලා දෙතොල් මල් පෙති, නොනිදා පහන් කලේ, (කේ ඩි නිකලස්, මෙල්රෝයි ධර්මරත්න), කාලෝ කාලෝ, ගිය ඉරිදා ඔබ (මෙල්රෝයි)


ඉහත පෙළගස්වන ලද්දේ මේ කන්ඩායම ඇතුඵ ඉන්ද්‍රානී පෙරේරා විසින් ගැයූ ගීත ඇල්බම් සීමිත සංඛ්‍යාවකි. මේවා වෙළඳ පොළට නිකුත් වී කෙටිකාලයකින් අනපේක්‍ෂිත අලෙවි වාර්තා තබමින්, විකිණි යද්ද, ලංකා ගුවන් විදුලියේ සති අන්ත වෙළඳ වැඩසටහන් ද, කන්ඩායම් ගී වැඩසටහනද වර්ණවත් කරන්නට විය. 

’ත්‍රී සිස්ටර්ස්’ ගායිකාවෝ ප්‍රසංග වේදිකාව රසගන්වන්නට නැතිවම බැරි, ගායන තාරකාවන් බවට පත් විය.

අජන්තා විජේසේන නම් වූ වෙළඳ තැටි ව්‍යාපාරික රසවතා ගේ ’ලෝටස්’ ලේබලයද මෙම යුවතියන්ගේ ගී රාවයෙන් නිම්නාද විය. ඊට අත්වැල සැපයූවේද ’ක්ලැරන්ස්’ ය. එහිදී දෙවැන්නිය ’ඉන්ද්‍රානි’ ඒකලව ගයා  ශ්‍රාවකයන් හදවතින් වැළඳ ගත් ගීත හතරක තොරතුරු මෙපරිදිය. ගායිකා ඉන්ද්‍රානි හෙළිදරවු කළ ලෙස එක්තරා දිනයක් ඇතුළතදී ගීත දහයක් තරම් සංඛ්‍යාවක් පද රචනා කොට ඒවාට තනු නිර්මාණය කරන්නට ක්ලැරන්ස් නම් ඉන්ද්‍රජාලික ගේයවාග්කරුවාණෝ සමත් ව සිටියේය.එයින් යෝජිත ඇල්බමය සඳහා ගීත 04 ක් තෝරාගත් ’ඉන්ද්‍රානි’ ඒවා මනා ලෙස පුහුණුවි ගායනයේ යෙදුනාය. 

මෙළෙස ගී තැටි ඇල්බම යුගළයක් ඔස්සේ එකක් අඩුම ධාවන කාලයකට සිමා කරවා (විනාඩි 02 කට යම්තමින් ඉක්මවා) ’ඉන්ද්‍රානි’ ඇතුඵ ගායිකාවන්ගේ වඩාත්ම ජනාදරයට පාත්‍ර වූ ගීත අටක් බිහිකරවාදිමේ කෘතගුණ පූර්වක ප්‍රණාමය දිවංගත ’ක්ලැරන්ස් විජේවර්ධනයන්ට’ හිමි විය යුතුය. 

ඔහුගේම ස්වර නිර්මාන ඇතුළත් වූ  අපේක්‍ෂා සිනමාපටයට 1978 දී ගැයූ ’සැණකෙළියේ සඳඑලියේ...’ ගීතය බිහිවන තෙක්ම, අදට වඩා එදා නිතර සංවිධානය වූ ’සැණකෙළි’ බිම් වලදී වැඩියෙන්ම සවනත වැකුනේ ඇයගේ ’සැණකෙළියේ, ගීතයමය.


01 සිරිකත වැඩියා අද දවසේ ...................

දහස් පැතුම් ඇත මගේ මනසේ.............

ආසිරි ගී මැද ......

මා ඔබ සතුවන බව වැටහේ............


02 හා හා හොරේ දැනුනා දැනුනා ...

මට නාවේ මොකෝ කියලා ..............

මා හා ඔබේ තරහක් තිබුනානම්....

කිවේ මොකෝ සිතුනා .........................


03 එදා තරම් මගේ හිතේ දැනුනේ නෑ මට වෙනසක් ................

දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුඵ දස දහසක්....

සැණකෙළියේ කිසිම දිනක දැනුනේ නෑ මට වෙනසක්................

පෙණුනේ මට ඔබේ දෙනෙත් වල ලියුවුනු පොඩි රහසක්............

-------------------------
මුල් ගීත මිහිර......

මේ තැටිය උදෙසා ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මිත ගීත අතරින් එකක් ඇයගේ දිවිගමනේ අනුවේදනීය සිදුවීමක් සටහන් කරයි. ඇය පාසල් දැරියක්  ව සිටියදී නැගණිය අයිරාංගනී හට යම්තම් සයවස් සපිරෙද්දී, දැරියන්ගේ මව මෙළොවින් සමුගත්තාය එතැන් හි සිට අක්කන්ඩිය ’මල්ලිකා’ ඔවුන්ගේ දෙවන මව් පදවිය භාරගත්තාය. මේ අවධියේදී එනම් 1968 දී පමණ බටහිර ගීත ලොලීන් අරභයා ඉංග්‍රිසි බසින් ගීත ගැයු ’ඩැල්රීන් ආනෝල්ඩා’ සිය ’ෆයර් - ෆලයිස්’ වාදක කන්ඩායමේ සහය ගායිකාව ගේ භූමිකාව ඉටු කරන්නට ඉන්ද්‍රනි දැරිය තෝරාගන්නට යෙදුනි. 


මධු මී පැණි බඳු රස ගී ගැයූ ත්‍රී සිස්ටර්ස් වංශ කථාව මෙතැන් සිට යළිත් දෙසතියකින්.................

දුර්ලභ සේයා රූ සහ තොරතුරු සම්පාදනය -ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය - ත්‍රී සිස්ටර්ස් නායිකාව ගෙනි

ඇයට කෘතඥ පූර්වක ස්තුතිය...


Wednesday, July 3, 2024

ත්‍රී සිස්ටර්ස් ගීත මේලාව - 1970 - 1987

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 02 

 ත්‍රී සිස්ටර්ස් ගී නිර්මාණ එකතුවේ ඇතුළත් ගැයුම් බොහොමයක ප්‍රධාන ගායිකාව (Lead Singer )  සැබැවින්ම ඇයයි. ගැයුමකදී  හඞ හැසිරවෙන පරාසයේ නිරන්තරයෙන් ඉහළින් සිය හඞ පවත්වා ගන්නට ඇය කවරාකාරයෙන් සමත් වී ඇද්දැයි පසක් කරගැන්ම සුදුසු නිදසුන් පෙළක් ගෙනහැර දක්වනු මනාය. මෙම ගැයුම් අතරේදී සොයුරියන් දෙපොළ ඇයගේ අත්වැල් ගායනයේ සහයිකාවන් ලෙස එහිදි පෙනි සිටියහ. ඇය ගේ ඒකල ගී හඞ ’ත්‍රී  සිස්ටර්ස්’ පොප් වේගරිද්මයේදී කැපි පෙනෙමින් අවදී වූ ඒ ගීත පෙළ ආවර්ජනය කරගනු මැනව. (මේ ගීතවල ආරම්භක ගී පදවලදී මතුව නැගෙන්නේ මල්ලිකාවන්ගේ සුපැහැදිලි ගී හඞය. එකරුණ වඩාත් මතුකරදැක්වූයේ එදා මෙම ගී ශ්‍රවණය නොකළ, ඔවුන්ව නුහුරු නුපුරුදු නව ශ්‍රාවක ප්‍රජාව උදෙසාය)













60 දශකයේ දෙවන භාගයේ ලක්දිව පරසිඳු ගුවන් විදුලි ගී රසමවන්නියන් වමේ සිට

මල්ලිකා පෙරේරා, චන්ද්‍රා ද සිල්වා වීරසිංහ, සහ ලතා දිසානයක 



01ලස්සන දවසක ලස්සන දෑසක් හමුවිලා.................  හේම ශ්‍රී ද අල්විස්, සරත් දසනායක

02පෙම් බැඳුනා දැක්ක දිනේ මං හිටියේ පැත්තකනේ - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

03මිහිරි ගීත ගයාලා දෑතේ දෑත තියලා - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

04 කුමාරිහාමි මා උඩරට හොඳ වලව් පෙලපතේ.. - වර්ණන් පෙරේරා, මයික් ගුණසේකර

05 පිපෙන පියුම් සඳෙහි කැඵම් - ක්ලැරන්ස් විජේවර්ධන, ක්ලැරන්ස්

06 ආදරේ කියන්න දන්නේ නෑ - ටී ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම

07 වාසනවා දෝතට ගෙන සිනහ සලා - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

08 මංගලම් කියලා මල් මිටක් තබාලා - කරුණාරත්න අබේසේකර , වික්ටර් දඵගම

09 තරුණියන්ගේ හිත මලක් වගේ - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

10 ඉඳුනිල් මැණිකා කියමින් අමතා - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

11 නෑ ආදරේ නෑ - හේම ශ්‍රී ද අල්විස්, වික්ටර් දඵගම

12 එක කුඩූවක හැදී යව්වන කාලයේදී - ප්‍රේමකීර්ති ද අල්විස්, සරත් දසනායක

13 ගාලා සුවඳ රස අඳුන්  - මහගම සේකර, සෝමදාස ඇල්විටිගල  - සිහින ලොවක් - 1972 (සිරිල් වික්‍රමගේ අධ්‍යක්‍ෂනය) - ඒකල ගායනා කොටස් 

----------------------------------------

සවන්දෙන්න

------------------------------

සවන්දුන් ශ්‍රාවක රසික ඔබ අවිවාදයෙන්ම පිළිගන්නා කරුණක් මෙහිදී මතුකරනු මනාය. අදින් අඩ සියවසකට මද කලකට ඔබ්බෙන් නිර්මිත මෙම ගීතාවලියේ වාද්‍ය සංකලනය අදටද මිහිරි මධුර බවින් පරිපූර්ණිත නොවේද ? බිඳකුඳු හෝ එය පිරිහි ඇද්ද ? එනම් එදා ඉහල ලැයිස්තුගත සංගීතවේදීන් අඩසියවසක අනාගතයේදී පවා නොපිරිහෙන ශ්‍රවණ මාධූර්යයකින් තම නිර්මාණ සරසවා ගත් බව නොවේද ? සියවස් ගණනකදී පරම්පරා ත්‍රිත්වයකින් හෝ රසයෙන් උජ්වලිත එය ආශ්චර්යයකි. ඔබට වත්මනෙහි බිහිවන නව ගී නිර්මාණයකින් මේ රසය විඳගනු නොහැක්කේමය. එසේනම් මේ සර්වකාලීන මධූර ගීතාවලිය අදද ජීවමාන නොවේද ?

ලංකා ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක් ලෙස ලියාපදිංචි වූ ඇය එහිදී ද සිය ගායන කෞෂල්‍යය ගෙනහැර පැවේ සිය වෙළඳ තැටි නිර්මාණ පෙළ රසගැන්වූ ’සරත් දසනායක’ සංගීතවේදියාගේ මගපෙන්වීමෙනි.


කුරුල්ලනේ නුඹලගේ සංතෝසය

මදකට අපට දියව්.........

විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්...............

(ගී පද - කරුණාරත්න අබේසේකර, නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලි සංස්ථාව - සරළ ගී)

-----------------------------

මල්ලිකා ඇතුඵ කෙවිළියෝ ගුවන් විදුලියේදී මැවූ රසය මෙතැනින්

---------------------------------------------------

සටහන -

’ක්ලැරන්ස්’ සහ ’වික්ටර් දඵගම’ හා සම සමව සිටිමින් සරත් දසනායකයන් ’ත්‍රී සිස්ටර්ස්’ ගී ආර මනාව දැන හැඳින, බටහිර හර්මනි පොප් ගායනා ශෛලිය අනුව ගිය තනු සහ සංගීත සංයෝජනයන් මහත් රාශියකින් ඔවුන්ගේ ගීත රසගැන්වූයේය. එයින් බැහැරව ඔවුන්ගේ ගායන කෞෂල්‍යය වඩාත් කැපි පෙනෙන්නට සළස්වනු පිනිස, බොහෝවිට පෙරදිග සංගීත රටාවන්ට අනුගතව ගැයුනු ’ගුවන් විදුලි සරළ ගී’ මෙවලමක් කරගනු ලැබිය. ඉඩ ලද හැම විටම, ඔහු ඊට නොපැකිළිව ඉදිරිපත් වූයේය. ඉහත කී නිදසුන  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ’ත්‍රී සිස්ටර්ස්’ නමින් වර්ගීකරණය කෙරුනු එකම නිර්මාණය දැයි විමසනු වටි?

ඊට අමතරව ඔහු ඉන්ද්‍රානි පෙරේරා වෙනුවෙන් එහි  ’,වසර ගණන් ඇසුරේ සිටියත්, (ගී පද ධර්ම ශ්‍රී වික්‍රමසිංහ),  සඳකිඳුරී මා සඳගිරි පව්වේ (මහාචාර්ය සුනිල් ආරියරත්න), ’රතු මල් ගවුමට ලස්සන වැටුනා..(ඩොනල්ඩ් අයිවන්) වැනි වේගරිද්මයෙන් බැහැර ගීත ද නිර්මාණය කරදෙන්නට පෙළෙඹිනි. පොප් ගීතයෙන් ඇයව දැන හැඳින සිටි 70 දශකයේ රසිකයන් ගුවනින් ඇයගේ මේ නුහුරු එහෙත් මනරම් ගායන කුසලතා සවන් යොමා විශ්මයට පත් වන්නට ඇත. 

’පන්ඩිත් අමරදේවයන්’ මෙන්ම ’ආචාර්ය වික්ටර් රත්නායකයන්’ හැරුණුවිට වෙනත් සංගීත අධ්‍යක්‍ෂවරු ’ඉන්ද්‍රානි’ ගේ අසාමන්‍ය දුර්ලභ ගී නාදයෙන් නිසිඵල නෙළා ගන්නට අසමත් වීම කණගාටුදායකය. ඇයගේ සමකාලීන ප්‍රවිණ සංගීතවේදීන් බහුතරය අද දිවමන්ව නොසිටී. ඔවුහූ සතර අගතියෙන් තොරව ක්‍රියා කළේ නම් ඇයගේ හඞින් ගැයුනු මධුර සරළ ගීතාවලියකින් සිංහල ගීත සම්පත සරු වන්නට ඉඩ තිබිනි.  

1975 දී පන්ඩිත් අමරදේවයන් මුල්වරට සිය සංගීත අධ්‍යක්‍ෂනයේ සෙවණට, ජෝතිපාලයන් කැඳවූයේ, ’තරංගා’ සිනමා වෘතාන්තයේ ගී ගයනු පිණිසය. එහි ’කාන්තා’  හඞ පෞරුෂය ’ඉන්ද්‍රානි පෙරේරාගෙනි.

වික්ටර් රත්නායක ඇයව ’පොඩි මල්ලී’ සිනමාපටයේ ගැයුමකට යොමුකරවාගත්තේ 1979 වසරේදීය. එහි වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි වල සාකච්ඡා කෙරේ.

------------------------------------------------------------------

’70’ දශකයේ උදාවේ එනම් 1969 දෙසැම්බර් 31 දින  ශ්‍රී ලංකාවේ මංගල බටහිර වේගරිද්ම පොප් ගායිකා කන්ඩායමේ උපත සනිටුහන් කරයි.   මේ සොයුරියන් ත්‍රිත්වය එදා කොළඹ ටැප්‍රොබේන් එනම් පසුව ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලයේදී හා පුරා ප්‍රේක්‍ෂකයා ඉදිරියේ පෙනී සිටියහ. 

එහෙත් ඊට අඩිතාලම දමන්නේ මල්ලිකා ගේ කණිටු සොයුරියන් දෙපොළින් වැඩිමහල් ’ඉන්ද්‍රානි’ ය. ඇය ගේ හඞට වසඟ වන ජෙරල්ඩ් වික්‍රමසූරිය නම් වු ව්‍යාපරික රසවතා සිය ’සූරිය’ තැටි ලේබලයට එක්කල ’මූන්ස්ටෝන්ස්’ ගායක කන්ඩායමේ කාන්තා නියෝජනයට ඇයව කැඳවාගනී. ඒ අනුව ලාංකීය පොප් ගී කලාවෙහි වසඟයට පත් ශ්‍රාවක රසිකයන් හට ’දිල්හානී දුවනී.............’ ගීතය ශ්‍රවනයට අවස්ථාව උදාකරදෙන්නේ ’ජෙරල්ඩ්’ ය. රසිකයන් හොඳින් දන්නා පරිදිම ’මූන්ස්ටෝන්ස්’ යනු අන් කවරක් නොව මෙම ගීත අම්බරයේ  සදා දිළෙන තාරකාව වූ ’ක්ලැරන්ස්  එනම් ක්ලැරන්ස් විජේවර්ධන ගේ මුල්ම සංගීත කන්ඩායමයි.  ඇය ඉන් අනතුරුව යළිත් ඔවුන් හා එක්ව හඞ මුසුකරන්නේ ’සිගිරිය’ එනම් ’වන දෙව්ලිය තුරුලේ...’ ගීතය උදෙසාය. 

එවකටද දිවයිනේ ක්‍රියාශීලී ප්‍රකට ගායිකාවක් ලෙස සම්මානනයට පාත්‍ර වූ ’මල්ලිකා’ ගේ ගායන සුරුවිරුකම් ද හොඳින් දැන හැඳින ගත් ව්‍යාපාරික ’වික්‍රමසූරිය’ මහතා ගේ යෝජනාව වන්නේ පාසල් දැරියන් වූ ’ඉන්ද්‍රානි’ සහ ’අයිරාංගනී’  ද ඇය හා සමග එක්ව ගායිකා කන්ඩායමයක් ලෙස කටයුතු කළමනා බවයි. ඔවුන් විසින් කිසියම් පෙරළියක් කරනු ඇතැයි ඔහුගේ ශූර ව්‍යාපාරික ඥානයට වැටහෙන්නට ඇත. ගීත ලෝලියෙකු වූ දැරියන්ගේ පියාණන් විසින් ඊට වෙනත් නම් කුමටදැයි යන්න විමසා ඔවුන් ’ත්‍රී සිස්ටර්ස්’ නොව්දැයි කියා සිටියේය.  ඒ එදා ක්ලැරන්ස් ගේ ’මූන්ස්ටෝන්ස්’ සහ පසුව ’ගෝල්ඩන් චයිම්ස් සහ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායම්වලට පමණක් දෙවැනි වූ ගායිකා කන්ඩායමේ ජන්ම පත්‍ර පූර්විකාවයි.

පෙරකී ගායකයන් ද ’ත්‍රී සිස්ටර්ස්’ ද එතැන් හි සිට ’සූරිය’ ලේබලයේ නිත්‍ය ගායක පිරිස් වූහ. 

දෙහිවල ප්‍රීස්බෙටිරියන් බාලිකාවන් වූ ඔවුන් ගෙන් පළමුවැන්නිය 1945 වසරේ බිනර මසින් විසිතුන්වැනි දාතමින් උපන් ’මල්ලිකා’ පසුව දේවි බාලිකා සිසුවියක්ව සිට එතැනින් උසස් පෙළ කඩඉම පසුකරයද්දීම පන්ඩිත් අමරදේවයන් ගේ සංගීත පාඨමාලාවන් හදරා තිබිනි, අමරා සහ දයාරත්න රණතුංග, පියසිරි විජේරත්න වැන්නවුන් ද ඒ සංගීත පන්තියේ සෙසු සාමාජික සාමාජිකාවන් ව සිටියහ. ඇය පසුව සංගීතවේදී ’බී වික්ටර් පෙරේරා’ ගෙන් ශ්‍රෘස්තය වැඩිදුරටත් හදාරන්නට පෙළඹුනේ සිය නිවහන පිහිටි ’රාජගිරියේ’ ඔහුද පදිංචිව සිටි බැවිනි. 


මල්ලිකා, ඉන්ද්‍රානී, සහ බඩ පිස්සිය අයිරාංගනී (දකූණු කෙළවර)එදා ප්‍රසංග වේදිකාව හැඩ ගන්වමින්

සත් හැවිරිදි බොළඳ ළපැටි ’මල්ලිකා’ දැරිය සිය පියාණන් ලඟ දැවටෙමින් ’පියානෝ’ වක් ඉල්ලා හඞා වැටෙන්නට විය. මේ සිඟිත්තියගේ සිහිනය සැබෑ වූ දා ඇය උතුරා යන සතුටෙන් එය තමාට වාදනය කරන්නට උගන්වන්නටැයි කියා සිටියාය. ඒ අනුව බර්ගර් ජාතික ’වොම්බෙග්’ නම් ගුරුතුමිය ව කැඳවන ලද්දේ ඇයට ’බටහිර සංගීත’ අභ්‍යාසයන් උගන්වනු පිණිසය. එදවස සෙසු ගුරුවරු බොහොමයක් මෙන්ම ඇයද අත්වැරැදීම් වලදී සැඩපරුෂය. ඒ අනුව අතැඟිලි මතට කෝදු පාර වරදින්නේ නැත.

පසලේ ඉහළ පංති වලදී ඇය ගේ ’බටහිර සංගීත ගුරුතුමිය’ජෝෂප්’ මහත්මියයි. මෙළෙසින් ඇය ගේ බටහිර සංගීත දිවිය ක්‍රමයෙන් ඔප මට්ටම් වෙමින් පැවතින.

60 දශකයේ මධ්‍ය භාගයේදී ජී ඩී එල් පෙරේරා කලාකරුවා විසින් දියත් කෙරුනු ’කලාපෙළ’ සාමාජිකාවක් ලෙස ’මල්ලිකා’ කටයුතු කලේ ඇය පාසල් දැරියක්ව සිටිද්දීමය. එවිට ඉන්ද්‍රානි සහ අයිරාංගනී  කුඩා නව යෞවන වියේ පාසල් යුවතින්ය. ප්‍රවින සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා, රංගනවේදිනී ලියෝනී (කොතලාවල), ගායනවේදී දේවානන්ද වෛද්‍යසේකර, රංගනවේදින්ී දෙනවක හාමිනේ රංගන ශීල්පී බුද්ධි වික්‍රම ඇතුඵ පිරිස මෙම ’කලාපෙළ’ සෙසු සාමාජික සාමාජිකාවන් අතර සිටියහ. මොවූහූ සියල්ල එක්වී ’සාමා’ සිනමාපටය බිහිකළේ 1965 වසරේදී බව යළි සිහිකරනු මනාය.

මෙම සහෝදර යුවතියන් ත්‍රිත්වයේ දොරට වැඩුම සටහන් කරන්නට ගැයුනු ගීතය, මෙකී කන්ඩායම බිහිකරන්නට නිමිත්ත වූ  කඵ කෙල්ල ’ඉන්ද්‍රානී’ අරභයා ලියැවුනේ එදවස විශිෂ්ඨ ගණයේ ගී පද රචකයෙකු වූ ’හේම ශ්‍රී ද අල්විස්’ ශූරීන් විසිනි. බටහිර සංගීත කලාවේ ගුරුමුෂ්ඨි මනාව දැනකියා සත්‍යාභ්‍යාසයෙන්, න්‍යයාත්මක හැදෑරීමෙන් ශිල්ප කලාව තිව්ර කරගන්නට යෙදී, අතිසුමධූර ස්වත්‍රන්ත්‍ර තනු නිර්මාණ පෙළකින් සිංහල ගීතාවලිය රසගැන්වූ ’වික්ටර් දඵගම’ සංගීතවේදියාගෙනි.


------------------------
හේම ශ්‍රී ද අල්විස් සහ වික්ටර් දඵගම 
--------------------------

නෙත්යුග රන්තරු යුවළ තමයි................

තොල්පෙති නාදඵ වලට සමයි............

මගේ හද ඔබෙ සුව යහන තමයි...........

ඔබ සොයනා කඵ කෙල්ල මමයි............


අඳුරින් බර වැලිකතරේ පවා........

ආලෝකය දෙමි උදය හවා..............

ගිමනට සීතල සෙවන මවා..............

දිය දහරක් වෙමි පවස නිවා.................


රළ ලෙස ජීවන දිය දහරේ.............

අතගෙන එමි ඔබ යන පාරේ............

සුපුරුදු ගතිගුණ අත නෑරේ.............

දුක හෝ සැප විඳ ගමු මිහිරේ...............


මෙම ගීතයෙන් ද හර්මනි ගීත කලාවේ හැඩ රුව මනාව අවබෝධ කරගත හැක්කේය. ගීතයේ ඇතැම් පැදි සමූහය විසින්ම එක්ව ගයයි එහෙත් තවත් කොටස් තනි සාමාජිකයෙකු විසින් ගයද්දී පසුබිමින් වෙනත් තාල රූපයක් රැගත් ගැයුමක් ශ්‍රවණය වේ.

--------------------------------------

1969 දෙසැම්බර් 31 දින දොරට වැඩි ත්‍රී සිස්ටර්ස් මංගල ගැයුම මෙතැනින් 


------------------------------------------------

තොරතුරු සහ සේයා එකතුව වෙනුවෙන් -- ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වෙත කෘතඥ පූර්වක ස්තුතිය

මෙතැනින් ඉදිරියට දෙසතියක විරාමයෙන්..............