namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Wednesday, July 3, 2024

ත්‍රී සිස්ටර්ස් ගීත මේලාව - 1970 - 1987

එදා ගී වසන්තය එළැඹී දා.............අහසේ මිදුම් වළා අතරේ රැව්දුන් කිරිල්ලියන්ගේ  ගී හඞ  - 02 

 ත්‍රී සිස්ටර්ස් ගී නිර්මාණ එකතුවේ ඇතුළත් ගැයුම් බොහොමයක ප්‍රධාන ගායිකාව (Lead Singer )  සැබැවින්ම ඇයයි. ගැයුමකදී  හඞ හැසිරවෙන පරාසයේ නිරන්තරයෙන් ඉහළින් සිය හඞ පවත්වා ගන්නට ඇය කවරාකාරයෙන් සමත් වී ඇද්දැයි පසක් කරගැන්ම සුදුසු නිදසුන් පෙළක් ගෙනහැර දක්වනු මනාය. මෙම ගැයුම් අතරේදී සොයුරියන් දෙපොළ ඇයගේ අත්වැල් ගායනයේ සහයිකාවන් ලෙස එහිදි පෙනි සිටියහ. ඇය ගේ ඒකල ගී හඞ ’ත්‍රී  සිස්ටර්ස්’ පොප් වේගරිද්මයේදී කැපි පෙනෙමින් අවදී වූ ඒ ගීත පෙළ ආවර්ජනය කරගනු මැනව. (මේ ගීතවල ආරම්භක ගී පදවලදී මතුව නැගෙන්නේ මල්ලිකාවන්ගේ සුපැහැදිලි ගී හඞය. එකරුණ වඩාත් මතුකරදැක්වූයේ එදා මෙම ගී ශ්‍රවණය නොකළ, ඔවුන්ව නුහුරු නුපුරුදු නව ශ්‍රාවක ප්‍රජාව උදෙසාය)













60 දශකයේ දෙවන භාගයේ ලක්දිව පරසිඳු ගුවන් විදුලි ගී රසමවන්නියන් වමේ සිට

මල්ලිකා පෙරේරා, චන්ද්‍රා ද සිල්වා වීරසිංහ, සහ ලතා දිසානයක 



01ලස්සන දවසක ලස්සන දෑසක් හමුවිලා.................  හේම ශ්‍රී ද අල්විස්, සරත් දසනායක

02පෙම් බැඳුනා දැක්ක දිනේ මං හිටියේ පැත්තකනේ - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

03මිහිරි ගීත ගයාලා දෑතේ දෑත තියලා - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

04 කුමාරිහාමි මා උඩරට හොඳ වලව් පෙලපතේ.. - වර්ණන් පෙරේරා, මයික් ගුණසේකර

05 පිපෙන පියුම් සඳෙහි කැඵම් - ක්ලැරන්ස් විජේවර්ධන, ක්ලැරන්ස්

06 ආදරේ කියන්න දන්නේ නෑ - ටී ලක්‍ෂමන් පෙරේරා, වික්ටර් දඵගම

07 වාසනවා දෝතට ගෙන සිනහ සලා - කරුණාරත්න අබේසේකර, සරත් දසනායක

08 මංගලම් කියලා මල් මිටක් තබාලා - කරුණාරත්න අබේසේකර , වික්ටර් දඵගම

09 තරුණියන්ගේ හිත මලක් වගේ - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

10 ඉඳුනිල් මැණිකා කියමින් අමතා - කරුණාරත්න අබේසේකර, වික්ටර් දඵගම

11 නෑ ආදරේ නෑ - හේම ශ්‍රී ද අල්විස්, වික්ටර් දඵගම

12 එක කුඩූවක හැදී යව්වන කාලයේදී - ප්‍රේමකීර්ති ද අල්විස්, සරත් දසනායක

13 ගාලා සුවඳ රස අඳුන්  - මහගම සේකර, සෝමදාස ඇල්විටිගල  - සිහින ලොවක් - 1972 (සිරිල් වික්‍රමගේ අධ්‍යක්‍ෂනය) - ඒකල ගායනා කොටස් 

----------------------------------------

සවන්දෙන්න

------------------------------

සවන්දුන් ශ්‍රාවක රසික ඔබ අවිවාදයෙන්ම පිළිගන්නා කරුණක් මෙහිදී මතුකරනු මනාය. අදින් අඩ සියවසකට මද කලකට ඔබ්බෙන් නිර්මිත මෙම ගීතාවලියේ වාද්‍ය සංකලනය අදටද මිහිරි මධුර බවින් පරිපූර්ණිත නොවේද ? බිඳකුඳු හෝ එය පිරිහි ඇද්ද ? එනම් එදා ඉහල ලැයිස්තුගත සංගීතවේදීන් අඩසියවසක අනාගතයේදී පවා නොපිරිහෙන ශ්‍රවණ මාධූර්යයකින් තම නිර්මාණ සරසවා ගත් බව නොවේද ? සියවස් ගණනකදී පරම්පරා ත්‍රිත්වයකින් හෝ රසයෙන් උජ්වලිත එය ආශ්චර්යයකි. ඔබට වත්මනෙහි බිහිවන නව ගී නිර්මාණයකින් මේ රසය විඳගනු නොහැක්කේමය. එසේනම් මේ සර්වකාලීන මධූර ගීතාවලිය අදද ජීවමාන නොවේද ?

ලංකා ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක් ලෙස ලියාපදිංචි වූ ඇය එහිදී ද සිය ගායන කෞෂල්‍යය ගෙනහැර පැවේ සිය වෙළඳ තැටි නිර්මාණ පෙළ රසගැන්වූ ’සරත් දසනායක’ සංගීතවේදියාගේ මගපෙන්වීමෙනි.


කුරුල්ලනේ නුඹලගේ සංතෝසය

මදකට අපට දියව්.........

විසල් වනේ හොඳ ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්...............

(ගී පද - කරුණාරත්න අබේසේකර, නිෂ්පාදනය - ලංකා ගුවන් විදුලි සංස්ථාව - සරළ ගී)

-----------------------------

මල්ලිකා ඇතුඵ කෙවිළියෝ ගුවන් විදුලියේදී මැවූ රසය මෙතැනින්

---------------------------------------------------

සටහන -

’ක්ලැරන්ස්’ සහ ’වික්ටර් දඵගම’ හා සම සමව සිටිමින් සරත් දසනායකයන් ’ත්‍රී සිස්ටර්ස්’ ගී ආර මනාව දැන හැඳින, බටහිර හර්මනි පොප් ගායනා ශෛලිය අනුව ගිය තනු සහ සංගීත සංයෝජනයන් මහත් රාශියකින් ඔවුන්ගේ ගීත රසගැන්වූයේය. එයින් බැහැරව ඔවුන්ගේ ගායන කෞෂල්‍යය වඩාත් කැපි පෙනෙන්නට සළස්වනු පිනිස, බොහෝවිට පෙරදිග සංගීත රටාවන්ට අනුගතව ගැයුනු ’ගුවන් විදුලි සරළ ගී’ මෙවලමක් කරගනු ලැබිය. ඉඩ ලද හැම විටම, ඔහු ඊට නොපැකිළිව ඉදිරිපත් වූයේය. ඉහත කී නිදසුන  ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ’ත්‍රී සිස්ටර්ස්’ නමින් වර්ගීකරණය කෙරුනු එකම නිර්මාණය දැයි විමසනු වටි?

ඊට අමතරව ඔහු ඉන්ද්‍රානි පෙරේරා වෙනුවෙන් එහි  ’,වසර ගණන් ඇසුරේ සිටියත්, (ගී පද ධර්ම ශ්‍රී වික්‍රමසිංහ),  සඳකිඳුරී මා සඳගිරි පව්වේ (මහාචාර්ය සුනිල් ආරියරත්න), ’රතු මල් ගවුමට ලස්සන වැටුනා..(ඩොනල්ඩ් අයිවන්) වැනි වේගරිද්මයෙන් බැහැර ගීත ද නිර්මාණය කරදෙන්නට පෙළෙඹිනි. පොප් ගීතයෙන් ඇයව දැන හැඳින සිටි 70 දශකයේ රසිකයන් ගුවනින් ඇයගේ මේ නුහුරු එහෙත් මනරම් ගායන කුසලතා සවන් යොමා විශ්මයට පත් වන්නට ඇත. 

’පන්ඩිත් අමරදේවයන්’ මෙන්ම ’ආචාර්ය වික්ටර් රත්නායකයන්’ හැරුණුවිට වෙනත් සංගීත අධ්‍යක්‍ෂවරු ’ඉන්ද්‍රානි’ ගේ අසාමන්‍ය දුර්ලභ ගී නාදයෙන් නිසිඵල නෙළා ගන්නට අසමත් වීම කණගාටුදායකය. ඇයගේ සමකාලීන ප්‍රවිණ සංගීතවේදීන් බහුතරය අද දිවමන්ව නොසිටී. ඔවුහූ සතර අගතියෙන් තොරව ක්‍රියා කළේ නම් ඇයගේ හඞින් ගැයුනු මධුර සරළ ගීතාවලියකින් සිංහල ගීත සම්පත සරු වන්නට ඉඩ තිබිනි.  

1975 දී පන්ඩිත් අමරදේවයන් මුල්වරට සිය සංගීත අධ්‍යක්‍ෂනයේ සෙවණට, ජෝතිපාලයන් කැඳවූයේ, ’තරංගා’ සිනමා වෘතාන්තයේ ගී ගයනු පිණිසය. එහි ’කාන්තා’  හඞ පෞරුෂය ’ඉන්ද්‍රානි පෙරේරාගෙනි.

වික්ටර් රත්නායක ඇයව ’පොඩි මල්ලී’ සිනමාපටයේ ගැයුමකට යොමුකරවාගත්තේ 1979 වසරේදීය. එහි වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි වල සාකච්ඡා කෙරේ.

------------------------------------------------------------------

’70’ දශකයේ උදාවේ එනම් 1969 දෙසැම්බර් 31 දින  ශ්‍රී ලංකාවේ මංගල බටහිර වේගරිද්ම පොප් ගායිකා කන්ඩායමේ උපත සනිටුහන් කරයි.   මේ සොයුරියන් ත්‍රිත්වය එදා කොළඹ ටැප්‍රොබේන් එනම් පසුව ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලයේදී හා පුරා ප්‍රේක්‍ෂකයා ඉදිරියේ පෙනී සිටියහ. 

එහෙත් ඊට අඩිතාලම දමන්නේ මල්ලිකා ගේ කණිටු සොයුරියන් දෙපොළින් වැඩිමහල් ’ඉන්ද්‍රානි’ ය. ඇය ගේ හඞට වසඟ වන ජෙරල්ඩ් වික්‍රමසූරිය නම් වු ව්‍යාපරික රසවතා සිය ’සූරිය’ තැටි ලේබලයට එක්කල ’මූන්ස්ටෝන්ස්’ ගායක කන්ඩායමේ කාන්තා නියෝජනයට ඇයව කැඳවාගනී. ඒ අනුව ලාංකීය පොප් ගී කලාවෙහි වසඟයට පත් ශ්‍රාවක රසිකයන් හට ’දිල්හානී දුවනී.............’ ගීතය ශ්‍රවනයට අවස්ථාව උදාකරදෙන්නේ ’ජෙරල්ඩ්’ ය. රසිකයන් හොඳින් දන්නා පරිදිම ’මූන්ස්ටෝන්ස්’ යනු අන් කවරක් නොව මෙම ගීත අම්බරයේ  සදා දිළෙන තාරකාව වූ ’ක්ලැරන්ස්  එනම් ක්ලැරන්ස් විජේවර්ධන ගේ මුල්ම සංගීත කන්ඩායමයි.  ඇය ඉන් අනතුරුව යළිත් ඔවුන් හා එක්ව හඞ මුසුකරන්නේ ’සිගිරිය’ එනම් ’වන දෙව්ලිය තුරුලේ...’ ගීතය උදෙසාය. 

එවකටද දිවයිනේ ක්‍රියාශීලී ප්‍රකට ගායිකාවක් ලෙස සම්මානනයට පාත්‍ර වූ ’මල්ලිකා’ ගේ ගායන සුරුවිරුකම් ද හොඳින් දැන හැඳින ගත් ව්‍යාපාරික ’වික්‍රමසූරිය’ මහතා ගේ යෝජනාව වන්නේ පාසල් දැරියන් වූ ’ඉන්ද්‍රානි’ සහ ’අයිරාංගනී’  ද ඇය හා සමග එක්ව ගායිකා කන්ඩායමයක් ලෙස කටයුතු කළමනා බවයි. ඔවුන් විසින් කිසියම් පෙරළියක් කරනු ඇතැයි ඔහුගේ ශූර ව්‍යාපාරික ඥානයට වැටහෙන්නට ඇත. ගීත ලෝලියෙකු වූ දැරියන්ගේ පියාණන් විසින් ඊට වෙනත් නම් කුමටදැයි යන්න විමසා ඔවුන් ’ත්‍රී සිස්ටර්ස්’ නොව්දැයි කියා සිටියේය.  ඒ එදා ක්ලැරන්ස් ගේ ’මූන්ස්ටෝන්ස්’ සහ පසුව ’ගෝල්ඩන් චයිම්ස් සහ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ කන්ඩායම්වලට පමණක් දෙවැනි වූ ගායිකා කන්ඩායමේ ජන්ම පත්‍ර පූර්විකාවයි.

පෙරකී ගායකයන් ද ’ත්‍රී සිස්ටර්ස්’ ද එතැන් හි සිට ’සූරිය’ ලේබලයේ නිත්‍ය ගායක පිරිස් වූහ. 

දෙහිවල ප්‍රීස්බෙටිරියන් බාලිකාවන් වූ ඔවුන් ගෙන් පළමුවැන්නිය 1945 වසරේ බිනර මසින් විසිතුන්වැනි දාතමින් උපන් ’මල්ලිකා’ පසුව දේවි බාලිකා සිසුවියක්ව සිට එතැනින් උසස් පෙළ කඩඉම පසුකරයද්දීම පන්ඩිත් අමරදේවයන් ගේ සංගීත පාඨමාලාවන් හදරා තිබිනි, අමරා සහ දයාරත්න රණතුංග, පියසිරි විජේරත්න වැන්නවුන් ද ඒ සංගීත පන්තියේ සෙසු සාමාජික සාමාජිකාවන් ව සිටියහ. ඇය පසුව සංගීතවේදී ’බී වික්ටර් පෙරේරා’ ගෙන් ශ්‍රෘස්තය වැඩිදුරටත් හදාරන්නට පෙළඹුනේ සිය නිවහන පිහිටි ’රාජගිරියේ’ ඔහුද පදිංචිව සිටි බැවිනි. 


මල්ලිකා, ඉන්ද්‍රානී, සහ බඩ පිස්සිය අයිරාංගනී (දකූණු කෙළවර)එදා ප්‍රසංග වේදිකාව හැඩ ගන්වමින්

සත් හැවිරිදි බොළඳ ළපැටි ’මල්ලිකා’ දැරිය සිය පියාණන් ලඟ දැවටෙමින් ’පියානෝ’ වක් ඉල්ලා හඞා වැටෙන්නට විය. මේ සිඟිත්තියගේ සිහිනය සැබෑ වූ දා ඇය උතුරා යන සතුටෙන් එය තමාට වාදනය කරන්නට උගන්වන්නටැයි කියා සිටියාය. ඒ අනුව බර්ගර් ජාතික ’වොම්බෙග්’ නම් ගුරුතුමිය ව කැඳවන ලද්දේ ඇයට ’බටහිර සංගීත’ අභ්‍යාසයන් උගන්වනු පිණිසය. එදවස සෙසු ගුරුවරු බොහොමයක් මෙන්ම ඇයද අත්වැරැදීම් වලදී සැඩපරුෂය. ඒ අනුව අතැඟිලි මතට කෝදු පාර වරදින්නේ නැත.

පසලේ ඉහළ පංති වලදී ඇය ගේ ’බටහිර සංගීත ගුරුතුමිය’ජෝෂප්’ මහත්මියයි. මෙළෙසින් ඇය ගේ බටහිර සංගීත දිවිය ක්‍රමයෙන් ඔප මට්ටම් වෙමින් පැවතින.

60 දශකයේ මධ්‍ය භාගයේදී ජී ඩී එල් පෙරේරා කලාකරුවා විසින් දියත් කෙරුනු ’කලාපෙළ’ සාමාජිකාවක් ලෙස ’මල්ලිකා’ කටයුතු කලේ ඇය පාසල් දැරියක්ව සිටිද්දීමය. එවිට ඉන්ද්‍රානි සහ අයිරාංගනී  කුඩා නව යෞවන වියේ පාසල් යුවතින්ය. ප්‍රවින සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා, රංගනවේදිනී ලියෝනී (කොතලාවල), ගායනවේදී දේවානන්ද වෛද්‍යසේකර, රංගනවේදින්ී දෙනවක හාමිනේ රංගන ශීල්පී බුද්ධි වික්‍රම ඇතුඵ පිරිස මෙම ’කලාපෙළ’ සෙසු සාමාජික සාමාජිකාවන් අතර සිටියහ. මොවූහූ සියල්ල එක්වී ’සාමා’ සිනමාපටය බිහිකළේ 1965 වසරේදී බව යළි සිහිකරනු මනාය.

මෙම සහෝදර යුවතියන් ත්‍රිත්වයේ දොරට වැඩුම සටහන් කරන්නට ගැයුනු ගීතය, මෙකී කන්ඩායම බිහිකරන්නට නිමිත්ත වූ  කඵ කෙල්ල ’ඉන්ද්‍රානී’ අරභයා ලියැවුනේ එදවස විශිෂ්ඨ ගණයේ ගී පද රචකයෙකු වූ ’හේම ශ්‍රී ද අල්විස්’ ශූරීන් විසිනි. බටහිර සංගීත කලාවේ ගුරුමුෂ්ඨි මනාව දැනකියා සත්‍යාභ්‍යාසයෙන්, න්‍යයාත්මක හැදෑරීමෙන් ශිල්ප කලාව තිව්ර කරගන්නට යෙදී, අතිසුමධූර ස්වත්‍රන්ත්‍ර තනු නිර්මාණ පෙළකින් සිංහල ගීතාවලිය රසගැන්වූ ’වික්ටර් දඵගම’ සංගීතවේදියාගෙනි.


------------------------
හේම ශ්‍රී ද අල්විස් සහ වික්ටර් දඵගම 
--------------------------

නෙත්යුග රන්තරු යුවළ තමයි................

තොල්පෙති නාදඵ වලට සමයි............

මගේ හද ඔබෙ සුව යහන තමයි...........

ඔබ සොයනා කඵ කෙල්ල මමයි............


අඳුරින් බර වැලිකතරේ පවා........

ආලෝකය දෙමි උදය හවා..............

ගිමනට සීතල සෙවන මවා..............

දිය දහරක් වෙමි පවස නිවා.................


රළ ලෙස ජීවන දිය දහරේ.............

අතගෙන එමි ඔබ යන පාරේ............

සුපුරුදු ගතිගුණ අත නෑරේ.............

දුක හෝ සැප විඳ ගමු මිහිරේ...............


මෙම ගීතයෙන් ද හර්මනි ගීත කලාවේ හැඩ රුව මනාව අවබෝධ කරගත හැක්කේය. ගීතයේ ඇතැම් පැදි සමූහය විසින්ම එක්ව ගයයි එහෙත් තවත් කොටස් තනි සාමාජිකයෙකු විසින් ගයද්දී පසුබිමින් වෙනත් තාල රූපයක් රැගත් ගැයුමක් ශ්‍රවණය වේ.

--------------------------------------

1969 දෙසැම්බර් 31 දින දොරට වැඩි ත්‍රී සිස්ටර්ස් මංගල ගැයුම මෙතැනින් 


------------------------------------------------

තොරතුරු සහ සේයා එකතුව වෙනුවෙන් -- ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වෙත කෘතඥ පූර්වක ස්තුතිය

මෙතැනින් ඉදිරියට දෙසතියක විරාමයෙන්..............


8 comments:

  1. හරිම අගෙයි.. මේ සමහර ගීත ඒ යුගයේ ඇහුවාට පසුව දැන් තමයි අහන්න ලැබුණේ..
    මේ ගීත අපේ හිත් වලට ළං කළ මිහිරියාව කොතෙක්දැයි කියන්න බෑ..
    අදත් ඒ මිහිර එසේමයි..
    ප්‍රභාත් ඉහතින් කියා තියෙනවා වගේම මේ මිහිරට සහ සුන්දරත්වයට කාලය බාධාවක් වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. අපේ ළමා කාළෙන් බිඳක් ආයෙත් ගෙවන්නට, විඳින්නට දුන්නාට ඔබතුමාට බොහොම පිං 🙏

      Delete
    2. අකාලික නිර්මාණ බව ඔප්පු වී අවසානයි. නැතහොත් අවු 50 පසුවද නැවත සිහිකරන්නේ නැත.

      Delete
    3. අචල.තුෂාර

      රසවින්දේ නම් එය මහත්..සතුටකි.

      Delete
  2. කුරුල්ලනේ නුඹලගේ සංතෝසය අහම්බයකින් ඇහුණ ගීතයක්. මෙහෙම ගී අහම්බෙන් ඇහුණම මං යූටියුබ් හෝ ‍වෙබ්සයිට්ස් පීරලා කොහෙන් හොයාගන්නවා. තරංගා චිත්‍රපටයේ ගීතය පවන් සුසුම් දැලින් වෙළී නේද.. මං ජීවිතේ අහපු සුන්දරම සිංහල යුගගීවලින් එකක් එය. ඔබතුමාට ස්තූතියි ‍මේ මනරම් ගී බෙදාගන්නවාට!

    ReplyDelete
    Replies
    1. පවන් සුසුම් ඇතුඵ තවත් ගීතවල මුල් පිටපත් වැසි දැරියට මතු කොටස් සමග රසවිඳිය හැක.

      දෙසතියකින් මෙතැනට එන්න

      Delete
  3. හොඳයි, අගෙයි, නියමයි වගෙ හැමදාම
    මතු කරවනු මැනවි හැංගුණු තොරතුරුම!

    ReplyDelete
    Replies
    1. අප පරපුර නොව මතු පරපුරට....
      තොරතුරු ඉතිරි කරනට දැරුවෙමි වෙහෙස......
      දැයකට මෙහෙවර කළ මේ ඇත්තන්ට...
      කළගුන නොසළකන ඈයෝ කුමකටද ?

      Delete