ගීයක් යනු කිම?..... විමසා දැන ගනු මැනවි... 03
03 වාද්‍ය රසය
එදවස මෙන්ම වත්මනෙහි ද ලාංකීය ගී රසිකයන්ගේ අවම අවධානයට ලක් වූ කාරණයකි. සිතුවමක් හැඩ වැඩ කරන්නේ වර්ණ යෙදීමෙනි. උත්සව ශාලාවක් විවිධ සැරසිලි මගින් වඩාත් ආකර්ශනීය බවට පත් කරයි. ගීයක සැරසිලි, වර්ණ සංකලනය එහි ආරම්භයේදී, පදකොටස් අතරවාරයේ දී හා ඇතැම් අවස්ථාවන්හිදී ගැයුම අවසන් වූ පසුවද යෙදෙන විවිධ සංගීත ඛන්ඩයන් ලෙස ගිණිය හැකිය.
-------------------------------පන්ඩිත් අමරදේවයන් හට සංගීතවේදී සරත් දසනායකයන්ගෙන් උපදෙසක් සිනමා නඵ අධ්‍යක්‍ෂ මිල්ටන් ජයවර්ධන (දකුණේ) ඔවුන් දෙස බලා සිටී. (පා වේලා නිල් වලාවේ......... ගීතයේ පුහුණුවද ?)
---------------------------------
ඇතැම් ගීයක ගායකයා ගේ හඞට ප්‍රමුඛත්වය දී සංගීත රසය අවම මට්ටමකින් ඇතුළත් කරද්දී තවත් ගීතයක පමණ ඉක්මවා යෙදුනු වාද්‍ය රසයෙන් ගායකයා ගේ හඞ පෞරුෂය යටපත් කර දමයි. ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේදී තනු නිර්මාපකයා ම එහි සංගීත සංයෝජකයා එනම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අවස්ථා බහුලය. එහෙත් ඇතැම් ගීතයන් හි තනුව අයෙකුගේය. සංගීත රටා මුසුව තවත් අයෙකු විසිනි.
ඉහත සඳහන් කරන ලද පරිදි, ගීයක තනුව මනසේ ඉපදී හැදී වැඩී යද්දී, අන්තර් වාද්‍ය සංගීත රටාවන්ද ඒ හා සමග මතුවෙද්දී, ක්‍ෂේත්‍රයේ නිපුණයෙකු, එහි ස්වර ලිපිය පිටපත් කරගනු ලැබූ අවස්ථාද, නැතහොත් එකී සංගීත ඛන්ඩ ඔහු ලවාම නිර්මාණය කරවා ගත් අවස්ථා ද වර්තා වේ. ඉන් අනතුරුව වාද්‍ය වෘන්දය නියෝජනය කරන ප්‍රවිණයන්ගේ ද සහභාගීත්වයෙන් අදාළ ස්වර රටාවන්, විවිධ සංගීත භාන්ඩයන් උපයෝගි කරගෙන වාදනය කෙරේ. ඒ අනුව එය ඇතැම් අවස්ථාලදී සාමූහික ප්‍රයන්තයකි. එහෙත්, ඇතැම් සංගීතඥයන් ඒ කටයුත්තට වෙනත් ශිල්පීන්ගේ යෝජනා අදහස් සැළකිල්ලට ගැනීම ප්‍රතික්‍ෂ්ප කරමින්. තමන් අවසාන තීරකයා බවට පත් වෙයි.
බටහිර සංගීත විෂයෙහි යොදාගැනෙන සුසංවාද ප්‍රසංවාද ක්‍රමවේදයන් අනුව ගායනයේ මධුර බව තිව්ර කරගනී. ගීතය ගැයෙද්දී,ගායනයට පසුබිමෙන් සමාන්තරව විවිධාකාර සංගීත භාන්ඩ වාදනය කරවයි. ඒවාද එකිනෙක මිශ්‍ර කරවයි. සිනමා ජවනිකාවන් උදෙසා ගැයෙද්දී, ගී පද අතර විරාම සංගීත ඛන්ඩ දිර්ඝ වෙයි. ගීත සතරක් පමණක් ඇතුළත් වන වෙළඳ තැටියකදී නිර්මාණකරුවා වෙතට එල්ලවන සිමා බන්ධන වැඩිය. අවම කාලාන්තරයකදී ගීතය ගයා නිම කරවා දිය යුතු නොවන්නේ නම් තැටියේ එක් පැත්තක ගීත දෙකක් අඩංගු කිරීමෙන් වැළකි සිටිමට සිදු වේ.
ඇතැම් ගීතයක එකම ස්වර මාලාවක් වාදනය වන එකම සංගීත ඛන්ඩය පළමු සහ දෙවන විරාමයන් උදෙසා භාවිත කෙරෙද්දී, ඇතැම් සංගීවේදීන් විසින් එය වඩාත් විචිත්‍රවත් කරන්නේ අවස්ථා ද්විත්වය සඳහා වෙනස් විරාම සංගීත ඛන්ඩ වයමින්ය.
විදෙස් තනු උපයෝගී කොටගත් ගීතවල ඇතුළත් සංගීත ඛන්ඩ පවා අනුකරණය කරන්නට ඇතැම් අය පෙළඹි සිටියත් තවත් අය ඒවාට නව සංගීත ඛන්ඩ නිර්මාණය කරදෙයි. ඒ ගීතය ජනප්‍රසාදයට පත්ව ප්‍රතිනිර්මාණයේදී ඒ සංගීත ඛන්ඩ පවා ඉවත් කර වෙනත් නව සංයෝජනයන් සහ වාද්‍ය භාන්ඩ උපයෝගී කොට ගැනේ.
----------------------------
සංගීතවේදී ලංකා ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ නායක (80 දශකය) ටියුලින් ජයරත්න තමා වාදනය කළ වයිබ්‍රෆෝන් උපකරණය දෙස බලා සිටී... (මේ ගුවන් විදුලි මැදිරියකි)
පුංචි පංතිවල හැබෑම හුරතල් - ටී එම් ජයරත්න සහ නාග සළඹ වැයෙන පදට - මාලිනී බුලත්සිංහල සංගීත සංයෝජන සහ තනු ඔහුගේය. ඔහු මෙම උපකරණය නිතර වාදනය කරන ලද්දේ මහඇදුරු සනත් නන්දසිරි ගේ ගීත වලටය. ඔහුගේ වයිබ්‍රෆෝන් වාදන ඇතුළත් ගීත අතර
ආදර සැමරුම් කැටිවූ නෙතු සඟලින්, උදා ලහිරු හිනැහේ, කාගේද මේ කෝමළ නාමලියා, මෙන්ම වික්ටර් ගේ ඒදන්ඩෙන් පිය මනිනු එපා.. වැනි ගීත වේ
-------------------------------
පුඵල් පරාසයක් විහිදී යන විවිධාකාර පෙරදිග සහ බටහිර වාද්‍ය භාන්ඩ සිය නිර්මාණයන් සඳහා යොදාගන්නට දිවයිනේ විශ්ෂ්ඨතමයන් වූ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න,සරත් දසනායක, වික්ටර් රත්නායක සහ කේමදාස වැන්නන් ක්‍රියා කළේය. එමගින් ඔවුන් වඩාත් විසිතුරු, රමණීය නිර්මාණ ඉදිරිපත් කළහ. ඒ සඳහා වාදකයන් විශාල සංඛ්‍යාවක සහභාගීත්වය සිදු විය.
සමහර ගීත ශ්‍රාවකයන් වෙතට සමීප කලේ ඒවයේ වදන්, ගැයුමේ මිහිර හෝ අරුත් නොවේ, පුර්ණ ලෙස එහි රිද්මය සමග වාද්‍ය සංගීත මුසුව විසින් ගීතය ජනප්‍රිය කරවීමේ මුඵ බර කරට ගත්හ.
ඉහත දැක්වූ අවස්ථාවන් සඳහ නිදසුන් සිංහල ගී ඉතිහාසය හාරා අවුස්සා එමට සපයා ගත හැකිය.
සිනමාරූපි බවක් ආරුඩ කරගත් වෙළඳ තැටියක ඇතුළත් වූ ගීතයක ගැබ් වී තිබුනේ අතිදිර්ඝ සංගීත ඛන්ඩයන්ය. ඒවාද වාද්‍ය භාන්ඩ ගණනාවක සංකලනයකින් සමන්විත විය. ඉහතදී ගුවන් විදුලියෙන් නිරතුරු විසුරුවා හැර ජනප්‍රිය කර නොතිබුනේ නම්, වානිජමය අරමුණකින් බහිවන ගීතයක එවන් හැඩතල පැවතීම අතව්‍යශ්‍ය විය. 70 දශකයේ අගනුවරින් බැහැර, එනම් ත්‍රිකුණාමලය ප්‍රදේශය විසූ, ලාංකීය එකම ද්විත්ව සංගීත කරුවන් දෙපොළ වූ ’පරමේෂ් සහ කෝණේශ් ’ විසින් සංගීතවත් කරන ලදුව සිය පෞද්ගලික මුල්‍ය ආයෝජනයෙන් එය නිර්මාණය කරනු ලැබිය.
-------------------
එම් පී පරමේෂ් සහ කෝණේශ් - ත්‍රිකුණාමලයේ සංගීතවේදී යුග්මය - 1970 දශකය
----------------
බටහිර සංගීත විෂයෙහි පැණෙන, නාදරටා ක්‍රමවේද මනාව ප්‍රකට කළ එය, ශ්‍රවණය කරන කවරෙකු හෝ ඊට සිනමා ජවනිකාවක පසුබිම් ගීතයකි යන ලේබලය දෙවරක් නොසිතා අලවනු නිසැකය.
දුර ඈත අතීතේ .............කඳු සීත පළාතේ ...........මල් පිබිදෙන කාලේ.............. දෙහදක කතන්දරේ...............
(අතුරු වාදනය)
අකාසේ සිඹින නීලවන් කඳුවැටි....සුදු මීදුමේ සිහින් සඵව ඔතාගෙන සිටි.........................
කඩාහැළෙන ඇල්ලක් ලග ඇයව හමුවුනා .... ඈගේ දෑසේ නිල් කැඵම්...ආදරේ හැගුම්...හදට සුව ගෙනේ...............
(සංගීතඥයන්ගේ තනුව අනුව පද රචනය සංගීතඥ ගීත රචක මෙල්රෝයි ධර්මරත්න විසිනි, ගැයුම ආචාර්ය වික්ටර් රත්නායක - 1974)
ඉහත සඳහන් පරිදි, ලාංකීය ගීත නිර්මාණයේදී තනු නිර්මාපකය සහ සංගීත අධ්‍යක්‍ෂවරයා බොහෝවිට තනි පුද්ගලයෙක් වූ අතර, ඔහු විසින් අතුරු වාද්‍ය ඛන්ඩ නිර්මාණය සහ තූර්ය වාද්‍ය භාන්ඩ අදේශ කිරීම සිදු කරයි. එහෙත්, ඔවුනොවුන්ගේ සල්ලාපයන්ගෙන් වාර්තාවන පරිදි, ස්වර ලිපියේ අන්තර්ගත නොවූ, වාදන ඛන්ඩ පසුව වාද්‍ය මන්ඩල සාමාජිකයන්ගේ අභිමතය අනුව ගීය හැඩවැඩ කරන්නට රොක්වෙයි.
ගීතය පටිගත කරන අවස්ථාවේ , සංගීත අධ්‍යක්‍ෂනයේ නිපුණයෙකු හා දීර්ඝ අත්දැකීම් සහ පළපුරුදු නියමුවකු ගේ අධාර උපකාරය ලබන්නට උත්සුක වන අතර 70 දශකයේදී ඒ කර්තව්‍යය සඳහා ගුරු හරුකම් ලබා දී ඇත්තේ නැසිගිය සංගීතඥයන් වූ ’ආර් ඒ චන්ද්‍රසේන’ සහ ’එම් කේ රොක්සාමි’ විසිනි. අතිශය පුඵල් අත්දැකීම් සම්භාරයක් අත්කරගෙන සිටි ’රොක්සාමි’ ගේ සේවය දිවයිනේ ප්‍රකට සංගීතකරුවන් විසින් එදා නිරතුරු පැතීය. ඔහු වාදක මන්ඩලය නියෝජනය නොකරන අවස්ථාවකදී වුව, ගීතය පටිගතකරන ශබ්දාගාරයේ රැඳි සිටිනු දකින්නට ඔවුන් ප්‍රිය කළහ. රිසි වූහ.
ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය නිර්මණයන් උදෙසා පුඵල් පරාසයක පෙරදිග - බටහිර වාද්‍ය භාන්ඩ ගණනාවක් යොදා ගන්නට රිසි වු අතර ඒවා සියල්ලම පාහේ කැපී පෙනෙන 01 ආරම්භක සංගීත ඛන්ඩයකින් 02 අන්තර් වාදන ඛන්ඩ 03 සුසංවාද ප්‍රසංවාද සංගීත ඛන්ඩ වලින් අලංකෘතය. කොර් ඇන්ගලියිස් නම් වූ අපුර්ව, ලාංකීකයන්ට ආගන්තුක ශුෂීර වාද්‍ය භාන්ඩය සිංහල ගීත කරළියට පිවිසියේ ඔහුගේ අනුග්‍රහයෙනි.
’ආවා ආදරෙන් රන් කැඵම් දිදි ...............’ (කරුණාරත්න අබේසේකර) , ඉන්දුමතී හා බින්දුමතී (ප්‍රේමකීර්ති ද අල්විස්)’- මිල්ටන් මල්ලවාරච්චි , නීල බිගු කැළ (කේ ඩි කේ ධර්මවර්ධන - රජගෙදර පරවියෝ-1975)
--------------------
වමේ සිට සංගීතවේදී එම් කේ රොක්සාමි (වයලීන්) සංගීතවේදී ග්‍රේෂන් ආනන්ද (ගිටාර්) පිටුපසින්, සංගීතවේදී මර්වින් පෙරේරා (වයලීන්), සංගීතවේදී පියදාස අතුකෝරාළ (සිතාර්) සිංහල ගුවන් විදුලි ගීතයේ රසමියුරුබව මතුකළ පමුඛයන්ය. ඔවුන් සියඵදෙනා අප අතැර ගොසිනි.
-----------
සරත් දසනායක ගේ ගීතාවලිය රසවිඳින්නෝ මිහිරෙන් මත්වන්නේ ඔහුද ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නට පෙළඹුනු බැවිනි. එහෙත් ඔහු ගායනය පසුබිමෙන් වාදනය වන සංගීත ඛන්ඩ යොදාගැනීම අවම කරගන්නට උත්සහ දරා ඇති බව පසක් වෙයි. පහත දැක්වෙන නිදසුන් ඊට සාක්‍ෂි සපයයි.
ආවා ආදරෙන් රන් කැඵම් දිදී - ආචාර්ය වික්ටර් රත්නායක සහ එම් කේ රොක්සාමී - සුසංවාද සංයෝජනය - වයලීන් පෙළ සහ මිල්ටන් මල්ලවාරච්චි ගී නාදයේ මුසුව
බොඳ මිදුම් කඳුරැල්ලේ ... -(අජන්තා රණසිංහ- දුහුඵ මලක් - 1976) - සුජාතා අත්තනායක - අබේවර්ධන බාලසූරිය, රොන් සොයා පියඹන ... (කරුණාරත්න අබේසේකර - ආවා සොයා ආදරේ - 1975) - ලතා වල්පොළ, මන්දහාසේ මන්දහාසිනි.. (ධර්මසිරි ගමගේ - සමන්මලී - 1978) - ත්‍රී සිස්ටර්ස්, මුව මදහාසේ සීපද රාවේ... (සෝමපාල ලීලානන්ද - ආශා දෑසින් - 1978) - මිල්ටන් මල්ලවාරච්චි, මියුරු කල්පනා නෙතක දැල්වුනා .. (ප්‍රේමකීර්ති ද අල්විස් - දිනුම් කණුව - 1974) - වික්ටර් රත්නායක
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් උච්චාවචිත ස්වර පරාසයේ දෝලනය කරවන වාද්‍ය රසය, සුසංවාද - ප්‍රසංවාද ශෛලියේ භාවිත කළ අවස්ථා ද නැත්තේ නොවේ.
සැනසුම් සුසුමන් පාවිලා ..(ගාමිණි විජේතුංග - නෑදෑයෝ - 1977) - ටී එම් ජයරත්න, ආදර මල් පවනේ (දුලිකා - 1973) - ලතා වල්පොළ, අඳුරු කුටිය තුළ (ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ) - ටී එම් ජයරත්න සහ අයිවෝ ඩෙනිස්,
සිනමා සංගීතයේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න උචිත පරිදි බටහිර ශීල්පීය ක්‍රමෝපායන් අනුගමනය කරන්නට පසුබට නොවීය.
සුපුන් සඳක් නැගීලා .... (ශ්‍රී නිහාල් ජයසිංහ-සිහින හතක් - 1966) - මිල්ටන් පෙරේරා - සුජාතා අත්තනායක
ආචාර්ය වික්ටර් රත්නායකගේ ’ස’ ප්‍රසංගයේ ප්‍රේක්‍ෂකාගාරය වශීකෘත කරන ලද්දේ, ඔහුගේ වාද්‍ය වෘන්දය නියෝජනය කළ ශූරයන් අතර ’සර්පිනා’ වාදනයේ අතිශූරයෙකු නැසගිය සංගීතඥ ’ඒලියන් ද සොයිසා’ ය. මහඇදුරු සුනිල් ආරියරත්න පබැඳු ප්‍රේක්‍ෂකාගාරයේ සාමාජිකයන් මනසින් ගම්මානයේ වෙල් නියර අද්දරට කැඳවාගෙන ගිය ’ පොඩි කුමාරිහාමියේ ....එපා වලව්වට යන්න නියර පිට.....’ ගීතය වික්ටර් විසින් සංගීතවත් කොට ගැයුවේ එහි මනස්කාන්ත සර්පිනාවාදනයක යෙදෙන ’ඒලියන්’ වෙනුවෙන්දෝ යැයි වරෙක සිතේ.
ගීයක රිද්මය පවත්වාගනු පිනිස තාල වාදනය කරන්නට ’දෙඅතින් වයන’ කිසියම් ’ඝන’ වර්ගීකරණයට අයත් භාන්ඩයක් යොදාගැනේ. එය පෙරදිග සංගීතයේදී ’තබ්ලා’ ද බටහිර සංගීතයේදී ’ඩ්‍රම්ස්’ හෝ වෙනත් සමාන වද්‍ය භාන්ඩයක්ද විය හැකිය. එදවස නිර්මාණකරණයේ යෙදුනු ලාංකීය ප්‍රවිණ සංගීත අධ්‍යක්‍ෂවරුන්, තමන් යෙදී සිටි කාර්ය භාරයේ ’සාමූහිකත්වය’ මනාව අවබෝධකරගනිමින්, වාද්‍ය වෘන්දයේ සහය වන වෙනත් ප්‍රවිණයන්ගේ අදහස් උදහස්, වාද්‍යලංකරන ඉවසා අනුමත කළ බවට තොරතුරු සාධක බොහෝය.
ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක සහ ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණයන් උදෙස පෘථුල දායකත්වයක් පළකල පර්කෂ්න්’ වාද්‍ය ශිල්පී ’ප්‍රේමනාත් කොඩිතුවක්කු’ ද විවිධ අවස්ථාවලදී තම සිතැගි පරිදි සිය සිතේ මැවෙන වාද්‍ය රටාවන්ගෙන් ගීතය රසගන්වන්නට උත්සුක විය. 1978 වසරේදී කැසට් පටයක් උදෙසාම හාපුරා කියා නව නිර්මාණ පෙළකින් පරිපූර්ණව දොරට වැඩි (Anytime - Anywhere) ’එනිටයිම් - එනිවෙයාර්’ නමින් වූ මිල්ටන් මල්ලවාරච්චි කැසට් පටයේ ඇතුළත්
සඳඵ තලේ ඔබ සිටියා බලා ......................
ඈත තියා මම දුටුවා ...............
අසුපිට එන සඳ .....ඔබ දැකගන්නට....
තවත් සඳක් දෝ...මට සිතුනා ............
ගීතයේ අසුකුර ගැටන හඞ මතුකරගන්නට ඔහු සිය ’කොම්බෝ’ උපකරණය මගින් නවමු තාලවාදනයක් උපදවා ගත්තේය. ඔහු විසින්ම තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්‍ෂනයේ යෙදුනු, ගුවන් විදුලි සරළ ගීතයකට, සාම්ප්‍රදායානුකුල ’තබ්ලා’ වාදන රටාවට නවමු හැඩතලයක් එක්කර ගන්නට ඔහු සමත්විය. ඒ ’ඩ්‍රම්ස්’ කට්ටලයේ සුවිශේෂී උපාංගයක් වූ ’ස්නෙයා ඩ්‍රම්ස්’ වාදනයක් තබ්ලාව හා එකට මුසු කරගැනීමෙනි
එහි ගැයුම ඔහුගේ දෙටු සොයුරිය වූ ගුවන් විදුලි ගායන ශීල්පී ’චන්ද්‍රා බන්ඩාර’ සහ ’ෆීලික්ස් ඇන්ටන්’ ගෙනි. ගී පද සංකල්පනාව ප්‍රේමකිර්ති ද අල්විස් ගෙනි. මේ 70 දශකයේ මැද භාගයයි.
හද ගී පොතේ පිටුවක් ඉරා...ලියා එවමි ආදරේ..............
සඳ ඉර හා තරු එළියේ ...පළමු ලියන ආදරේ..................
1978 තිරගත වූ ’අපේක්‍ෂා’ සිනමාවේදී එච් ඩී ප්‍රේමරත්න ගේ දෙවැනි නිර්මාණය වු අතර එය ’ක්ලැරන්ස් විජේවර්ධන’ ද සංගීත සංයෝජනයේ යෙදුනු දෙවැන්නයි. එහි තාල වාදනයේ යෙදුනේ ද ප්‍රේමනාත් කොඩිතුවක්කුය. ඇන්ජලීන් ගුණතිලක ගායන ශීල්පිනිය ගැයූ ගීතයකට ඔහු මනරම් ආරම්භක ’කොම්බෝ’ බෙර රිද්මයක් (Combo percussion) සපයයි.
ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා.......
තුරුණු වියේ සිත ඔකඳ වෙලා...................
මතු කී ඒක පුද්ගල රසසාගරයේ කිමිද ගිය රසවතුන් ගේ නෙත්මානයේ රැඳි, වයලීනය අතදරා උපැස් යුවළකින් සැරසී ගත්, තවත් අයෙකු, වික්ටර් රත්නායකයන්ගේ පසුබිමින් රැඳි සිටියේය. ඔහු සිංහල සංගීත ක්‍ෂේත්‍රය මනනන්දනීය වාදනයෙන්, මධුරතර තනුවෙන් රසගැන්වූ සංගීතඥ මරද කොලොන්නේ රොක්සාමි එනම් කවුරුත් හොඳින් නමින් දැන හැඳනගත් ඉහතින්ද, මේ ලිපිමාලාව පුරාවටම නෙකවර නම සටහන් වන ’එම් කේ රොක්සාමි’ ය. ’රොක් මාස්ටර්’ ගේ දායකත්වයෙන්, අධීක්‍ෂනයෙන්, සහයෝගයෙන්, යෝජනාවෙන්, උපදෙසින් තොර සිනමා , වෙළඳ තැටි ඈ මෙකී කවරාකාරයේ ගී පටිගතකිරීමක් සිදුවූයේ නම් එය අතිශය දුලබ අවස්ථාවක් විය හැකිය. ඔහුගේ භාවපූර්ණිත වයලීන් වාද්‍ය ඛණ්ඩ ඇතුළත් ගීත මහත් රැසක් එදා සිංහල ගීතකෝෂ්ඨාගාරය පුරා විසිරි පැතිරී පැවතින.
මෙතැන් සිට ඉදිරියට ................
No comments:
Post a Comment