namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, November 22, 2021

Mouth ORGAN MUSIC in Sinhalese Songs of 70-90s මවුත් ඕගන් මාධූර්යය කැටිකොටගත් එදා ඇසුණු ගී........

දෙතොල් පහස හමුවේ මතුවෙන සත්සර මාධූර්යය ................  ලිපි මාලාවේ පස්වැන්න......


 80 දශකයට පිවිසීමෙදී ගී ක්‍ෂේත‍්‍රයට අභිනවයෙන් පා තැබූ ගායිකාවන් දෙදෙනෙකු ගේ සුවිශේෂී ගායන කෞෂල්‍යය නිසා ඔවුන් දෙදෙන ඉතා කෙටි කාලයකින් රසික අවධානය දිනා ගන්නට සමත් වුවේය. එයින් පළමුවැන්නිය ජාතික තරුණ සේවා සභාව ඔස්සේ සිය කලාදිවිය ඔපමට්ටම් කරගත් ’චන්ද‍්‍රලේඛා පෙරේරා’ ය. ආචාර්ය රෝහණයන් ඇයටද ඇගේ අතගන්නට පෙරුම් පිරූ නවක ශිල්පී රුකාන්තයන් හට ද කුලරත්න ආරියවංශයන් ගේ පබැඳුමකට ස්වර නිර්මාණයන් සහය වෙද්දී මවුත්ඔ්ගනයේ කාර්ය භාරය ඉටුකරන්නට ’මර්වින් ප‍්‍රියන්ත’ නොපැකිළිව ඉදිරිපත් විය..



මට මුඵ ලොවම ඔබයි...............


මගේ මුඵ ලොවම ඔබයි ..........


සිනහව කදුළ ඔබයි .........


ජය පැරදුමත් ඔබයි .................

-----------------------
මෙතැනින් සවන්දෙන්න

දෙවැන්නිය ’මායා දමයන්ති පෙරේරා’ ය ඇය සිය කණිටු සොහොයුරිය ’අනෝජා වීරසිංහ’ නම් ප‍්‍රවිණ සිනමා රංගන ශිල්පිනියගේ අඩිපාරේ යමින් බදුලු පුරවරයෙන් කලා කෙතට පිවිසියාය. 


පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ ............


නළලත මා සිත්තම් කල කුංකුම තිලකේ ..........


ඔබ දුටු ලස්සන ඇයි බොඳවි මැකුනේ ..............


පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිළකේ .....................


(ස්වර නිර්මාණය - ප‍්‍රවිණ සංගීතඥ සරත් ද අල්විස් - 1983 ගී පද  - නැසිගිය හේමසිරි හල්පිට)


---------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------


ඔහු ගුවන් විදුලිය ද කැසට් පටයද වේදිකා නාට්‍ය ද වෙනුවෙන් ගීත ගණනාවක තනු සහ සංගීත නිර්මාණය නිරත වුවද ඒවා එතරම්ම ශ‍්‍රාවක අවධානය රඳවා තබා ගන්නට සමත් වුයේ නැතත් 70 දශකයේ අවසන් භාගයේ දී ඔහු එවකට ජනප‍්‍රසාදයේ හිනිපෙත්තේ වැජඹි ප‍්‍රවිණතම ගායන ශීල්පිනිය ’සුජාතා අත්තනායක’ උදෙස තනු නිර්මාණයෙන් ද සංගීත සංයොජ්නයෙන්ද දායකත්වය දැක්වු ගීතයක් ගුවන් විදුලි ගීත ලෝලීන්ගේ මතකයේ සදා ලැගුම් ගත්තේය. එය ඔහුගේ සංගීත කලා දිවියේ හැරවුමකි. මර්වින් ප‍්‍රියන්ත නම් ගී තනු නිර්මාපකයා,සංගීත සංයෝජකයාගේ දොරට වැඩුම එයින් සනිටුහන් වන නිසාය.


මගේ යෙහෙළියන් නවතැනේදී ....


මුකුඵ වෙවි ඔබ ගැන පවසනවා...


මසිත අහිංසක රුවක් මැවි....


සිගිති පෙමක් අද මතුවෙනවා.......


(ගැයුම ආචාර්ය සුජාතා අත්තනායක - සංගීත නිර්මාණය සහ තනු රටා- මර්වින් ප‍්‍රියන්ත -  ගී පද  -  නිමල් රත්නසිරි රෑපසිංහ  - 1979 - ගුවන් විදුලි ගීයකි)


-----------------

මෙතැනින් සවන්දෙන්න

------------------


සිය සුපුරුදු වාද්‍ය භාන්ඩයටම ඇලි ගැලි නොසිටි ඔහු විසින් වරෙක ’එකෝඩියනය’ ද වරෙක ’කී බෝඩය’ ද හඬවමින් වාදන සහය දැක්වු ගීත ගණනාවක් පසුව ගීත රසිකයන්ගේ ප‍්‍රියතම ගීත ලැයිස්තුවේ සටහන් වුයේය. ඒවා අතර


ජගත් වික‍්‍රමසිංහ සමග කී බෝඩ් වාදනය -


උන්මාද වූ පේ‍්‍රමාදරේ  - දමයන්ති ජයසූරිය සමග කමල් අද්දරආරච්චි - සප්ත කන්‍යා - 1993 ගී පද - කැමිලස් පෙරේරා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ (අධ්‍යක්‍ෂනය - නැසිගිය එච් ඩී පේ‍්‍රමරත්න* 



බුදුනේ බුදුපියානනේ - නැසිගිය ටී ෂෙල්ටන් පෙරේරා - සසර චේතනා - 1984 ගී පද මහචාර්ය සුනිල් ආරියරත්න සංගීතය නැසිගිය සරත් දසනායක (අධ්‍යක්‍ෂනය - මාලිනි ෆොන්සේකා*



කදුඵ බිඳක් මා වෙනුවෙන්  - රුකාන්ත ගුණතිලක - ගී පද - බන්දුල ජයසිංහ - සංගීතය රෝහණ වීරසිංහ

කිරුඵ මුතුලිහි සර සර හඬින් වැගිරෙනා - ජානක වික‍්‍රමසිංහ ගී පද - රත්න ශ‍්‍රි විජේසිංහ - සංගීතය - නැසිගිය එච් එම් ජයවර්ධන


සඳක් නම් බැස යන්න තිබුනා - රොහාන් ශාන්ත බුලේගොඩ - ගී පද - ? - සංගීතය එච් එම් ජයවර්ධන


අපි කථා නොකර ඉමු සිනා නොවි ඉමු - ජානක වික‍්‍රමසිංහ -ගී පද - ? සංගීතය - නැසිගිය ගුණදාස කපුගේ

ඉවාන් පවුලුෂා  -රූපවාහිනි ’යාත‍්‍රා’ වැඩසටහන - සෙනේෂ් දිසානායක ගැයුම -  අප්සරා ද සිල්වා - සංගීතය - ප‍්‍රියන්ත ඩිරෙක්ට්ස්


ගීතයෙන් වසග වන රසිකයෝ අතරින් ඇතැමුන් වාද්‍ය භාන්ඩයක් අතදරා තමා වශී කල ගීතය වයන්නට ද වයමින් ගයන්නටද පුරුදුව සිටිති. එහිදී ශ‍්‍රවණේන්ද‍්‍රියේ සංවේදිතාවය හොඳින් වඩවා ගත්තෝ ස්වර ඥානයද සතුවුයේ නම්  එහි නියමිත ස්වරය නියමාකාරයෙන් වාදනය කරයි. එවැන්නෝ සුලබ නොවෙති. බහුතරයක් රසිකයන් වයන්නේ අපස්වරයන්ය. එහෙත් ඒ බවක් දැන වටහනොගෙනය.


’මර්වින් ප‍්‍රියන්තගේ’ පූජාර්භ ගුරුදේවයාණෝ ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සංගීත ඇදුරුතුමන් විසින් ඔහුට පැවරූ භාරදුර කටයුත්තක් නියමාකාරයෙන් ඇද පඵදු රහිතව සම්පුර්ණකරදෙමින් ඔහු යෞවන වියේදීම සිය ආචාර්යවරයාගේ සම්භාවනාවට පාත‍්‍ර වූ බව මතු කියැවිනි. 


එහි සංකීර්ණ ස්වර ලිපියේ ස්වභාවය නැවතත් ආවර්ජනය කරමින් ඔහු හඬ අවදිකළේය.


මාලිනී බුලත්සිංහල ගේ ’සඳ මඬලේ සිට තරු මඬලේ සිට....දිවැස් හෙළන පුතුනේ’ ගීතයේදී එතුමා මා වෙත පැවරූ අන්තර්වාද්‍ය ඛන්ඩයේ ස්වර ලිපියේ දී මධ්‍ය ’ස’  ස්වරයේ සිට මධ්‍ය ’ධ’ ස්වරය දක්වා ස්වර පහක පරතරයක් මා අවරණය කළ යුතුව තිබුනා පමණක් නොව එතැනින් යළිත් ’රි’ ස්වරයේ උච්ච ’ස’ දක්වා ද පසුව මධ්‍ය ’ම’ සිට උච්ච ’ම’ දක්වා ද ගමන් කරන්නට සිදුවූවා. එවැනි ස්වර ලිපියක වාදනය එතුමාට ’කජු කනවා’ වගේ වැඩක්. නමුත් එවකට අධූනිකයෙකුව සිටි මා වැන්නෙකුට එය මහත් අභීයෝගයක්. විශිෂ්ඨයෙකු යටතේ ගුරු හරුකම් ලබමින් එවැනි දෑ කෙරෙහි ඒ යුගයේ යොමුවීම නිසයි මට ක්‍ෂේත‍්‍රයේ අඩසියවසක් තරම් දිර්ඝ කාලයක් ස්ථාවරව රැුඳෙන්නට හැකියාව සහ පන්නරය ලැබුවේ. ඒ නිසා මා එතුමාට සදා ණයගැති විය යුතු බව යළි යළිත් පසක් කරන්නට කැමතියි.  


70 දශකයේ මධ්‍ය භාගය ගෙවියද්දී, ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ නිර්මාණ ගණනාවකට සහය වු ඔහු විසින් වැයූ සුරම්‍ය වාද්‍ය ඛන්ඩයක මතකාරවර්ජනයේදී මතුවු නිර්මාණයකට පදපෙළීන් සහය වූයේ ’ගාමිණී ලේල්වල’ කවියා විසිනි.


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි......................


කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..............................


හිතැගි කළඹ කැටයම් කල නීල පළිගු ගොඵ කැඩපත ..............


හද සිත්තල සිතුවම් කල රූකඩ මඬු මුව රගහල .........

---------------------

රසවිඳින්න මෙතැන් හි සිට

------------------------


පෙරකී ගීතයේ අන්තර්වාද්‍ය රස නිෂ්පත්තියේදී  ’මවුත්ඔ්ගනය’ සහ ’බටනලාව’ සුසංවාදී පිළීසඳරක යෙදෙයි, එහෙත් දැහැන්ගත වී ඒකාත්මික සිතින් නිර්ාමාණයේ මිහිර උරාබොන්නන් මියැසිකලාව පිළීබඳව සුඛාවබෝධයන් ලද්දේ වීනම් පමණක් ඒ බව වටහගනු ලබනවා ඇති අතර සාමාන්‍ය රසිකයන්හට එහි අරුමයක් නැත්තේය.


’ඒ ගීතයේ අන්තර්වාදනය’ ’ගිටාරයකට’ සුදුසු ලෙසයි සකස් වි තිබුනේ නමුත් ’දයා අයියාගේ’ (දයාරත්න රණතුංග) උපදෙස් පරිදි එය මා ’මවුත්ඔ්ගනයෙන්’ වාදනය කරමින් එයින් නැවුම් රසයක් ජනිත කරවන්නට සමත් වූවා. එහි ගෞරව බුහුමානය ඔහුට හිමිවිය යුතුයි.


1996 වසරේ දී ඔහු දිවයිනෙන් බැහැරව යයි. ඒ කළකිරීමෙන් හෝ ජීවන මාර්ගයක නිරතවන්නට නොව තමා ළමා වියේ සිට ප‍්‍රිය කල ’ගීත කලාව’ වෙනුවෙනි. හා පුර කියා ’වාදක මන්ඩලයේ සාමජික’ තනතුර දරමින් ඔහු විදේශ සංගීත චාරිකාවක නිරත වන්නේ සුනිල් එදිරිසිංහ - මාලිනි බුලත්සිංහල - එඩ්වර්ඩ් ජයකොඩි සහ චරිතා ප‍්‍රියදර්ශනී කන්ඩායම හා එක්වය.

යළිදු වරෙකදී , නව සහස‍්‍රකයේ උදාව සමගින් හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පන්ඩිත් පද්ම ශ‍්‍රී අමරදේව ගේ වාද්‍ය වෘන්දයේ ’සරපුවරු’ වාදකයා ලෙස කටයුතු කරමින් ඔහු යුරෝපයේ සංචාරයක නිරත වන්නේ රටවල් 12 ක දිර්ඝ චාරිකාවක් අරඹමිනි.


’සිසිර - ඉන්ද‍්‍රානී’  යුවළ විසින් පැවැත්වූ ’සිසින්ද‍්‍රා’ ප‍්‍රසංගයේද ’දයාරත්න  - අමරා රණතුංග’ ගේ ’උදුම්බරා’ සත්සර සංදර්ශනයේදීද ඔහුගේ දායකත්වය ගිළිහි නොගියේය.


මවුත්ඔ්ගනය’ දිර්ඝ ස්වර වැයීමට සුදුසු වාද්‍ය භාන්ඩයක්. ’දෝස්ති’ හින්දි සිනමා පටයේදී එය මනාලෙස පිළිඹිබු කොට දක්වා තිබෙනවා. ළයාන්විතව ඇදී යමින් ශෝකී හුදකලා අවස්ථාවන් මතුකොට දැක්වීමට එහි නාදය පොහොසත්ය. 


ඔහු කියා සිටී.


මර්වින් ප‍්‍රියන්ත’ සංගීත අධ්‍යක්‍ෂනය කළ සිනමා නිර්මානයන්
නොපවතීද ?


සංගීතඥයෙකු කාර්ය භාරය පුඵල් වන්නේ ද ඔහු වෙත අත්දැකීම් සම්භාරයක් අත්කරදෙන්නේද ’සිනමා සහ වේදිකා නාට්‍ය’ සංගීත රසමුසුකිරිමේදීය. ’පතිනියකගේ හෝරාව’ සහ ’ජොලි හලෝ’ ඔහුගේ සත්සර රටාවන්ගෙන් හැඩ වැඩ වූ සිනමා නිර්මාන යුගළකි.


ගීතය නම් වූ කලා නිර්මාණයේ ගුණාංගයන්ගේ ගුණාත්මක බව එනම් ප‍්‍රබන්ධයේ අරුත්බර බව, ගායනයේ රසභාවය, සංගීත වද්‍ය ඛන්ඩයන්ගේ උපයෝගීතාවය ඒවයේ විවිධත්වය යන මේ කරුණු කෙරෙහි හොඳින් සැළකිළිමත් වෙමින් ඒවා තමන්ට හැකි උපරිම අයුරින් සම්පුර්ණ කරන්නට එකී එකී කටයුත්තේ නිරතව සිටි ශිල්පීන් එදා වග බලගත්හ. පරම්පරා ගණනක් පවතින දශක ගණනක් මතකයේ රැුඳෙන සුමධුර,රසපූර්ණ,භාවපූර්ණ ගීත බිහිවන්නට ද ඒවා යුග යුග පවතින්නට ද එය හේතුභූත වු බව කිව හැකිය. ගීත සහෘදයන් එදා මෙන්ම අදත් සැනහෙන්නේ එදා ඔවුන්ගේ අප‍්‍රතිහත ධෛර්යයේ අප‍්‍රමාණ කැපවිමේ ප‍්‍රතිඵලය ලෙස නිපැයුනු මෙකී නිර්මාණපෙළිනි. හුදු මුල්‍ය වාසිය හා ප‍්‍රසිද්ධය ම  නොව ’හොඳ නිර්මාණයකට දායක වුයේ යැයි’ නම් වු සිය ආත්ම තෘප්තිය ම ඔවුන් ගේ දිවිමග නිරතුරු සුවපත් කරවා දෙනු නිසැකය නොඅනුමානය.


-------------------

මර්වින් ප‍්‍රියන්ත විසින් 80 දශකයේ නිකුත් කල ගී අනුවාදන කැසට් පටයෙන් උපුටා ගන්නා ලද්දකි 

රසවිඳීන්න මෙතැනින්

-----------------------

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

                                    සමාප්තයි.

                                  ----------------

                                 එදා ඇසුණු ගී

2021 බිනර මස 15 දාතමිනි.


1 comment: