namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Monday, May 19, 2025

Sinahala songs of 70s - Review

 ගීයක් යනු කිම?..... විමසා දැන ගනු  මැනවි...

මෙහිදී අඵතෙන් නිර්මාණය වූ  ’ගීත’ වලට සවන්දීමෙන් (හෝ වර්තමානයේ ඊට වඩා සිදුවන ආකාරයට නැරඹීමෙන්) ’ගීතය’ නම් කලා මාධ්‍යය පවතින්නේද, එහි භූමිකාව වන්නේ ද, රූප රචනය ඔස්සේ රගදෙන්නට ’රිද්මය’ සැපයිම හා ’ප්‍රේමවියෝග අඳෝනා’ කියාපෑම   ලෙසින් ළමා  - යොවුන් පරපුර දුර්මතයකට පොළඹවන සුඵ බවක් හැගේ.

එහෙත්. උත්ප්‍රාසජනක ලෙස, ඉහත වයස් ඛාන්ඩයේ රූපවාහිනි සේවා ’රියැලිටි’ වැඩසටහන් උදෙසා සහභාගි වන ආධුනිකයන් විසින් ගායනා කරන්නේ සිංහල ගීතයේ මල්බර වසන්ත සමයේ නිර්මාණය කරන්නට යෙදුනු අරුත්බර, රසපූර්ණ. මධූර ගීතයන්  බව පෙනියයි. එයින් ඔවුන් කෙසේ වෙතදු යටත් පිරිසෙයින් ඔවුන් ඒවා සඳහා යොමුකරවන වැඩිහිටියන් වර්තමානයේ නව පරපුරේ සාමාජිකයන් වෙතින් නිර්මාණය වන ගීත ප්‍රතික්‍ෂේප කරන බවක් වැටහී යයි.

'ඉඳහිට කිහිපයක හෝ හැරෙන්නට මෙකී නව ගීතවල කිසිලෙසකින් වත් නිරික්‍ෂනය කළ නොහැකිව පවතින නමුත්, ’ගීතය’ නම් කලා මාධ්‍යයෙන් එහි පාත්‍ර වර්ගයා වූ ශ්‍රාවකයා වෙත පිරිනැමිය යුතු වූ, ඔහුට ගතහැකි වන ඵලප්‍රයෝජන ලුහුඞින් හකුඵවා ලන්නේ නම්















01 අර්ථපූර්ණබව

02 ගායන (ස්වර හැසිරවීම) මාධූර්යය

03 වාද්‍ය රසය 

04 රිද්මය

විය යුතුයැයි හැගේ.

නවකථාවක් හෝ සිනමා කෘතියක්, චිත්‍රකථාවක්, නාට්‍යයක්, ඉගිනඵවක් රස විඳිමකට වඩා වෙනස් මානයකට රැගෙන යමින් අසන්නාට නැවුම් අත්දැකීමක් අත්කරදීමට ගීතය සමත්විය යුතු නොවන්නේද? ඉහත කලා කෘතිවලින් ’භාව ප්‍රකම්පනය’ ට පත්වන රසිකයා හට ඒවාට වෙනස් ලෙස ඉතා කෙටි කාලාන්තරයකදී එකී තත්වය විඳගන්නට ගීතය විසින් අවස්ථාව උදාකර දෙනු ලබයි.  ඒ ඔහු හෝ ඇය ’ගීතය’ ට පාදක වූ අරුත එනම් එයින් විස්තර කෙරෙන අත්දැකීම හොඳින් වටහගනු ලැබ ග්‍රහනය කරගන්නට සමත්වී නම් පමණකි.

සිනමාව හැරුණුවිට, ශ්‍රී ලාංකීය ශ්‍රව්‍ය  - දෘෂ්‍ය ජනමාධ්‍යය කලාව රජයේ ඒකාධිකාරයෙන් ගිලිහෙන්නට පෙර ඒවා ප්‍රමිතිගතව, දැඩි විනයානුකූල මාධ්‍ය ප්‍රතිපත්තියකට යටත්ව පවත්වාගෙන යන ලද අතර එහිදි ලාංකීය වැඩිහිටි රසිකයන්හට අත්දැකීම් අත්කර දුන්නේ ’ගුවන් විදුලි මධ්‍යයයි’ එය ඇසුරු කරන සතරවන හෝ ඇතැම් විට පස්වන ලාංකීය ශ්‍රාවක පරම්පරාව වත්මන් ළමා පරපුරයි. එහෙත් ඒ ඔවුනරින් ඉතා සුඵ ප්‍රතිශතයක් විය හැකි බව නිසැකය. දිපව්‍යාප්ත ’රූපවාහිනි’ මාධ්‍යයක් ලෙස පැවතුනු එකම නාලිකාව ද එහි ගුණාත්මකව බව සැලකිය යුතු මට්ටමින් රැකගන්නට සමත් වීමට සාක්‍ෂි ලෙස ඔවුන් විසින් 80 දශකයේ විසුරුවා හරින ලදුව දැන් සමාජ මාධ්‍යයෙන් නතුකරගන්නා ලද විශි්ෂඨ සංගීතමය සහ වාර්තාමය වැඩසටහන්, දෙස් විදෙස් උසස් ගණයේ ටෙලි නාට්‍ය සහ කාටුන් වැඩසටහන් පෙළ ගෙනහැර දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව උඩුයටිකුරු කළ විපර්යාසය සිදුවන්නට පෙර යුගය ලෙස සැලකිය හැක්කේ ’90’ දශකයේ මුල් යුගයෙන් එපිටට දිවයන දශකයන්ය. පොදු මහජනතාවගේ  ’ගීත’ රසවින්දනයේ උල්පත ලෙස පැවතියේ ’ලංකා ගුවන් විදුලියයි සහ ඊට දෙවැනි වූ ’සිනමා කලාවයි’. නාගරික මධ්‍යම පන්තියේ සාමාජික ප්‍රජාව වෙත ඊට අතිරේකව සේවා සැපයූ ’වෙළඳ තැටි සහ පසුව කැසට් නිෂ්පාදකයන්, ඔවුන් සතුව පැවති ’තැටි - පටි ධාවන යන්ත්‍ර’ සඳහා ’ගීත’ අඵතෙන් නිෂ්පාදනය කරන්නට යෙදුනි.

ඒවා ’වානිජමය අරමුනු’ පෙරදැරිකොටගෙන සිදු කළ යුතුව තිබුනත්, ’ගී තැටි’ සහ ’කැසට්’ ව්‍යාපාරිකයන් අති බහුතරය ’ගීතය’ නම් කලා මාධ්‍යයේ ප්‍රමිතිය කඩතොඵ කරන්නට උත්සුක නොවූ අතර, ඒවායේ වාද්‍ය රසය සහ ඇතැම්විට ’රිද්මය’ තිව්ර කිරීමෙන් සිය පාරිභෝගික භවතුන් ගේ අවධානය දිනා ගන්නට තැත් දැරූහ.

’ගීතය’ නම් වූ මාධ්‍යයේ, අව්‍යාජ ස්වරූපය මතුකර දක්වන ඉහත ගති ලක්‍ෂන එකිනෙක සළකා බලමින්, එදවස සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කල නිර්මාණ පිළිබඳව විමසා බලනු මනාය.

------------------
Pandith Amaradeva
--------------------

01 අර්ථ රසය

කැළඹී කැළති අවුල්ව ගිය ශ්‍රාවක මනස ඒකාග්‍රතාවයට පත් කර, එහි ආවේගාත්මක බව, මිනිසා ස්වභාවයෙන්ම නැඹූරු වු ’ප්‍රචන්ඩ’ බව සංසිඳුවාලන්නටද, ඒකාග්‍රතාවයෙන් නිසසල බවට පත් වූ මනස දැහැන්ගත කරනට, භාව ප්‍රකම්පනය කරනට ගීතයක ගැබ්වු  පදවැළකින් ජනිත වන අර්ථය ඉවහල් වේ. එය ඇතැම්විට වෙනත් කලා මධ්‍යයක එනම් සිනමා පටයක, නාට්‍ය ජවනිකාවක, විශේෂංගමය ශ්‍රව්‍ය වැඩසටහනක ද්විතීය ප්‍රථිපලයක් ලෙස නිර්මාණය කෙරුණා විය හැකිය. එහෙත් එය ’ශ්‍රාවකයා’ ට අදාළ නොවේ. ඔහුට ඇතැම් විට එහි මුලාශ්‍රය තබා එය ගැයූ ගායක ගායිකාවන් ගේ හෝ අවම වශයෙන් එහි ප්‍රබන්ධකයා කවුරුන්දැයි හෝ විමසා බැලීමට අවශ්‍ය නොවනු ඇත. එනමුත්  එයින් කියැවෙන, විස්තර කෙරෙන අත්දැකීම, පණිවුඩය සිය ජිවිතයේ කවර හෝ අවධියක කිසියම් සිදුවිම්කට හෝ සිදුවිම් දාමයකට ආරෝපනය කරගත හැකි වන්නේය. එයින් එය ’ඔහුගේම’ අත්දැකීමක් බවට ද එයිනුදු ඔබ්බට ගොස් එය සිය දිවියේ සදාතනික සිහිවටනයක් බවටද පත් කර ගනු ලබනවා ඇත. 

මේවාට නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි නිර්මාණ මහත් රාශියක් බිහිවූයේ සිංහල ගීතයේ සමෘදිමත් යුගය ලෙස සැළකිය හැකි 70 දශකයේදීමය.  ඒවායින් බොහොමයක් ’ගුවන් විදුලි ගීත’ හා ’සිනමා ජවනිකා පසුබිම්’ කොට ගැයුනු ’ඒකල’ ’යුග’ හෝ ’සමූහ’ ගීතයන්ය.

දෙම්වපිය සෙවණේ, ඔවුන්ගේ ආදර - සත්කාර ලබමින් දශක දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් රැඳෙමින් අවසානයේ පතිකුලයට පිවිස, ඔවුන් හැරදමා නික්ම යන මොහොතේ යුවතියකගේ සිතුවිලි දහරාවට එබි බලන නිර්මාණකරුවා ගේ වදන් ලාංකිය සාම්ප්‍රදායික සමාජයේ ඕනෑම යුවතියකගේ බඳුනොව ඇයගේ දෙමව්පියන්ගේ පොදු අත්දැකීමක් වනු ඇත්තේය. ඒ ප්‍රතිභාපූර්ණ ශිල්පියා ඔහුගේ යුගය විචිත්‍රවත් කළ නිර්මාණ ගොන්නක් දායද කල ආචාර්ය අජන්තා රණසිංහ නම් වු මාධ්‍ය රසවතාණන්ය.

---------------
Dr. Sujatha Attanayake
---------------


පුංචි දවස්වල නින්දට යද්දී..............

පිතූපාදං නමාමහං කියලා ...........

වැන්ද දෙපා යළි අදත් වඳින්නම් ...........

මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි..............

මල් බෝනික්කන්...පූසි පැටව් ටික...පාට ගවුම් පොඩි අද තනිවෙනවා....

පියාණෙනි ඔබේ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා..........

(ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක, සංගීතය - නැසිගිය සංගීතඥ සරත් දසනායක - ගුවන් විදුලි ගී - ’කිරිකවඩි’ ගී තැටිය - 1975)

එසේ පාත්‍ර වර්ගයා ගේ  ’හදවත’ ආමන්ත්‍රණය කරනට සමත්කම් දක්වන්නට තරම් ප්‍රවිණත්වයට පත්වූ ගීත රචකයන් පොකුරක පෙර නොවූ විරූ සම්ප්‍රාප්තිය එකවර සිදූවු 70 දශකය, ඒ කාරණයෙන්ම විචිත්‍රත්වයට පත් වී කැපී පෙනෙයි. ඔවුන් එකෙකු අනිකෙකු අභිබවා ගියා නොවේ. ඔවූහූ එකිනෙකා විවිධ පැතිකඩ ඔස්සේ සිංහල බසේ කාව්‍යාත්මක බව, සංස්කෘත ඇතුඵ වෙනත් ඥාති භාෂාවන් විසින් එය ලද පන්නරය මේ යැයි මොනවට ගෙනහැර පැවේය.

ඒ අතරින්  පුජ්‍ය ප්‍රජාව නියෝජනය කළ වැළමිටියාවේ ධම්මරඛ්ඛිත හිමි, මර්සලීනු ජයකොඩි පියතුමා, සමග අදටත් මේ කර්තව්‍යයේ යෙදෙන රඹුකන සිද්ධාර්ථ හිමි, පල්ලේගම හේමරත්න හිමි සහ ලීනස් මෙන්ඩිස් පියනම යන මේ නාමයන් සඳහන් කළ යුතුය 

එසේම, ලංකා ගුවන් විදුලි සේවයට සේවය කරමින් අකාලයේ මෙළොව හැරගිය  කරුණාරත්න අබේසේකර, ඩෝල්ටන් අල්විස්,චිත්‍රාන්නද අබේසේකර, ලලිත් එස් මෛත්‍රිපාල, කේ ඩි කේ ධර්මවර්ධන, ප්‍රේමකිර්ති ද අල්විස්,චන්ද්‍රා වයමන්, මහින්ද අල්ගම   එසේම අදටත් ඉඳහිට නිර්මාණකරණයේ යෙදෙන දයා ද අල්විස්, රත්නාලංකා අබේවික්‍රම, ලූෂන් බුලත්සිංහල, හඩ්සන් සමරසිංහ, චන්ද්‍රසේන රංගේ සහ ඊට අමතරව පුවත්පත් කලාවේදීන් ලෙස කටයුතු කරන ලදුව නික්ම ගිය ජොර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිල් ඒ සිළවිමල, සිසිර කුමාර මානික්කාරච්චි, අජන්තා රණසිංහ, මෙන්ම සැඳැ සමය ගතකරන සෝමපාල ලීලානන්දයන් ද සිහිකටයුතුය.

මෙකී ක්‍ෂේත්‍රයන්ගෙන් පරිබාහිරව නමුත් ඒ හා සමීපව කටයුතු කළ සාහිත්‍ය කලාවේ විකුමන් පෑ  මහඇදුරු සුනිල් ආරියරත්න, මහඇදුරු තිලක් රත්නාකර, මහඇදුරු චන්ද්‍රසිරි පල්ලියගුරු, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, හියුබත් දිසානයක, පියසේන කොස්තා,  මහගම සේකර, මඩවල එස් රත්නායක, උපාලි ධනවල විතාන, අධිනිතිඥ ඩබ්ලිව් ඒ අබේසිංහ, හේම ශ්‍රි ද අල්විස්, සුනිල් සරත් පෙරේරා,යමුනා මාලිනි පෙරේරා, රත්න ශ්‍රී විජේස්ිංහ, ශ්‍රී නිහාල් ජයසිංහ, උදය මානවසිංහ, ප්‍රභාත් මානවසිංහ, ඇලෝයි ගුණවර්ධන, දෙල්තොට චන්ද්‍රපාල, තු ව කුසුමපාල, ප්‍රියානන්ද විජේසුන්දර, ඔගස්ටස් විනායාගරත්නම්, ගුණරත්න අබේසේකර, ී කරුණාසේන ජයලත්, බන්ඩාර කේ විජේතුංග  මෙන්ම සංගීතඥයන් සහ තනු නිර්මාපකයන් මතුනොව ගායන ශීල්පීන් ලෙස කටයුතු කළ යූ ඩී පෙරේරා, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත,  ක්ලැරන්ස් විජේවර්ධන, වර්ණන් පෙරේරා, මෙල්රෝයි ධර්මරත්න, සෝමතිලක ජයමහ ද වෙසෙසා දක්වනු වටී.

40 දශකයේ සිට ක්‍රමයෙන් පරිණත වෙමින් පැවති සිංහල ගීත රචනා කලාව, එදිනෙදා ව්‍යවහර බස් වහරින් මෙන්ම පුරාණ සිංහල සාහිත්‍ය බස්වහරින්ද පෝෂණය කරන්නට උක්ත නිරමාණකරුවන් සමත් විය. ඔවූහූ කුඩා දරුවන් ලෙස පාසල් සිසුන් ලෙස ගතකල අවධියේ දිවයිනේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයට සිංහල සාහිත්‍යය සහ රසාස්වාදනය පුඵල් ලෙස ඇතුළත්ව තිබිනි. ඒ නිසාවෙන් ඔවූහූ සිංහල සංදේශ කාව්‍යය, පුරාණ ගද්‍ය රචනා හොඳින් පරිශීලනය කර, එහි ගැබ්වුනු කමනීය සංස්කෘත සහ හෙළ තත්සම තත්භව වදන් සිතෙහි ධාරණය කර, සිය වදන් කෝෂය පුඵල් කරගෙන සිටින්නට ඇත. 

සැළලිහිණි. ගිරා, කොවුල්, මයුර සංදේශ කාව්‍යයන් රචනා වූ කෝටටේ යුගයේ (1400-1550) පඞිවරුන්, යතිවරුන් ඔවුන්ගේ පූර්වගාමිකයන් වූ ’ගුරුඵගෝමි පඞිවරයා’ විසින් පොළොන්නරු යුගයේ ලියූ  ’ධර්මප්‍රදිපිකාව’, ’කාලිංග බෝධි ජාතකය’, ’අමාවතුර’ වැනි ග්‍රන්ථ ද කුරුණෑගල යුගයේ කාලිකාල සාහිත්‍ය පන්ඩිත පරක්‍රමබාහූ නරපතියා විසින් විරචිත රමණිය ’කව් සිඵමිණ’ කාව්‍ය සංග්‍රහය ගුරු කොට ගන්නට ඇත. 

මෙම පරිණාමිය දාමය අනුව, 50-80 දශකයේ නූතන ගීත රචනා සාහිත්‍යයේ ස්වරණ යුගයේ අක්මුල් ඈත පොළොන්නරු යුගය දක්වා විහිදී පැවතෙන ආකාරය දැකිය හැකිය.

පෙරදිග සමාජය අගයන මානව ගුණධර්ම සහ සිරිත් විරිත් අළලා ගී කව් කලාව පුබුදුවන්නට පෑන් තුඩ මෙහෙයවූවන් අතර සීරිල් ඒ සීළවිමලයන්ගේ නාමය වැදගත්ය. අඹු-සැමි අරගලයන් හටගන්නට එකිනෙකා කෙරෙන් පිරිහි ගිය අනf්‍යා්න්‍ය විශ්වාසය සහ  ගෞරව සම්ප්‍රයුක්තබව හේතුවෙයි.  මින් අඩසියවසකට පෙර යුගයක ඔහු විසින් පබැඳු පදපෙළක  තත්කාලින යුගයේ සිංහල ගැමි සමාජයේ  අඹු-සැමි  සබඳතාවයේ මහිමය කියැවෙයි.


ඇය - වෙළේ මඞේ අව් පින්නේ   වේළෙනවා..........

දිවා රැයේ අප වෙනුවෙන් වෙහෙසෙනවා................

ඔබේ දහඩියෙන් අප ජීවත් වෙනවා ...........

ප්‍රියේ ඔබට මතුබුදුබව අත්වෙනවා ................

ඔහු - දවල් ඇඹුල කුඹුරට ගෙනඑයි නිතර.........

ළමුන් නිසා කරදර බොහොමයි ගෙදර ............

දුකින් කල ගියත් කිසිදින නැහැ දබර ............

බුදුන් දැක නිවන් දකිනු පිය සොඳුර ..............

(රන්ජන් ජයතිලක සහ සුජාතා අත්තනායක - සංගීතය ලාල් හිනටිගල - 1967)

ඔහු විසින් ලියූ ’ළීඳෙන් වතුර බිලා ..........’  ’මෝහෙන් මුළාවෙලා මානෙන් උදම්වෙලා.....’ - වික්ටර් රත්නායක, ගුණදහම් අගයන සමාජයක යහපැවැත්මේ මූලික තතු මතුකර පෙන්වයි.

ආචාර්ය නැසිගිය අජන්තා රණසිංහ විසින් පදබැන්දූ මෙහි, ’ප්‍රේමවියෝගය’ ක තතු කියැවෙන අතර, දෙදෙනාගෙන් අයෙකුට එයින් නිබඳවම උරුමවන සන්තාපය, ශෝකය, අපේක්‍ෂාභංගත්වය කිසිවිටක ’ක්‍රෝධ වෛර’ මානව දුබලතා, දුර්ගුණ අවුඵවාලිමේ නිමිත්තක් ලෙස නොගතයුතු මනා බව පසක් කොට දෙයි. එය සමාජයක යහපැවැත්මට හානිකරය, මානව සබඳතාවයන් තළා පොඩිකර දමයි.  අවසනදී එය අතිමහත් ව්‍යාසනයකට හේතු සාධක වන බවට මෑත කාලීන නිදසුන් එමට ගෙනහැර දැක්විය හැකිය.  

තම සිහින විජිතය සුනුවිසුනු කරමින් පිටුපා යන ඇයට ඔහු සුපුරුදු හෘදයාංගම සොඳුරු වදනින් ආමන්ත්‍රණය කරමින් අවසනයේ ආසිරි පතන්නේ නව දිවියේ ’මැණික් පහන් වැට’ දැල්වේවා යනුවෙනි.


විකසිත පෙම් පොකුරු පියුම් ........

ඔබේ පයට පොඩිවී ගියාදෙන් ...............

පතිකුලයට අද මට පිටුපා යන....

මගේ සොඳුරු ළඳුනේ ............

තනිකම රජයන පාඵ විමානේ ...

ගොම්මන් කඵවර හඞා වැටෙද්දී....

ඔබ දිවි අරණේ ...රුවන් විජිතයේ ...

මැණීක් පහන් වැට දැල්වේවා ....

(පන්ඩිත් අමරදේව ගැයුමේ සත්සර ආචාර්ය ප්‍රේමසිරි කේමදාස)


කේ ඩි කේ ධර්මවර්ධන සහ කරුණාරත්න අබේසේකර වැන්නෝ හෙළ සාහිත ආකාරයේ ගැඹුරට කිමිද, සංදේශ කාව්‍යයන් සහ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියෙන් ගුරු හරුකම් ලැබ, ඒ ප්‍රදිපාලෝකයෙන් සිය නිර්මාණාලෝක ස්ථම්භයන් දල්වා දීප්තිමත් කරගනිති.

-------------------
Late.  K.D.K. Dharmawardena with his late wife Samadara Kottage 
-------------------

උකුළ ළැමහස මලවි කරළිය ....

මුවා කළ ඇගේ දුහුල් සඵ තිර ...

විවර කෙරුවා මනස්සළෙලුන් ..,

උමතු වූ දෙණුවන් රැහැන් මැඞ ...

මා අබියස මැවෙන තුසිතය ..,

සුරන් නැළවූ සුයාමය....

(කේ ඩි කේ ධර්මවර්ධන නිර්මාණප්‍රභාව පන්ඩිත් අමරදේව - සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක - වෙළඳ ගී තැටි)

සාහිත්‍ය කලාව. සමගින් සිය ජීවන අත්දැකීම් එකට මුසුකරමින් කළතා මැවූ ගී රසාකාරයක සිංහල ගීත ශ්‍රාවකයා පා කළ ඔවුන් ගේ නිරමාණ සංයමයෙන් සීරුවෙන් අධ්‍යයනය කරන්නෙකුට, සිංහල භාෂා සාහිත්‍යයේ ගාම්භීරත්වය මැනකියා ගැනිමේ අවස්ථාවට අමතරව, එහි යෙදුම්, වදන් කෝෂය, උපමා, ප්‍රස්ථා පිරුඵ. ව්‍යාංගාර්ථයන්, යන මේ භාෂා නිපුණතාවයන් අත්කර ගැනීමේ හැකියාව ලැබෙනු නිසැකය.

අතීතයේ ගීත ප්‍රබන්ධ බලමුඵව එදා සමාජයේ බහුලව පැතිර, දන මුව තුඩ තුඩ රැව් දුන්  ’ජන ගී සහ කවි’ ද සිය නිර්මාණ වපසරියට ඇතුළත් කරගත් අතර ඊට නිදසුන් එමටය. ප්‍රේමකීර්ති ද අල්විස් ඊට රැකුල් දුන් අයුරු විමසනු මනාය.

-----------------
Late. Neela Wickramasinghe
------------------

අත රන්වන් පරවියනේ..............

තුඩ රන්වන් පරවියනේ .......

ගෙල රන්වන් පරවියනේ ...

පාට එරන් පරවියනේ ...ස්වර්ණදීප පරවියනේ.........


(නැසිගිය ශිල්පිනී නීලා වික්‍රමසිංහ සමග නැසිගිය සෝමරත්න පෙරේරා සංගීතඥයාගේ ගැයුම සහ තනුව)

ඔහු ඇතුඵ පිරිස ලාංකීය සමාජයේ පහළ ස්ථරවල දිවිගෙවූ සාමාජිකයන්ගේ ’සමාජ ගැටඵ’ පිළිබඳව ගීතයෙන් සාකච්ඡා කරන්නට නොපැකිඵනු බවට එළවිය හැකි නිදර්ශනයන් ද විරළ නොවේ.

------------------
Late Malini Bulathsinhala
------------------

’මා එක්කලා අමනාපව...වී දබර..........

දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර ..........

හඳමාමා නැගෙන තුරු අපි තරු ගනිමු... 

දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු..,

හඳමාමා අතම ඒ පණිවුඩ යවමු...

හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු...


(අප හැරගිය මාලිනී බුලත්සිංහල ගායිකාවගේ ගැයුම, තනුව දිවංගත එච් එම් ජයවර්ධන විසිනි)


මෙතැන් සිට ඉදිරියට ................

Monday, March 31, 2025

Evergreen Sinhala Songs of 70s

පිළිතුරු ගී රචනා කලාව - 70 දශකය

දිනපතාම පාහේ වෙළඳ තැටියකින්, ගුවන් විදුලියෙන්, සිනමාවෙන්, වේදිකා නාට්‍යයෙන් සිංහල ගීත කලාවට මහා ගීත ප්‍රවාහයක් කුණාටුවක් හමා ගිය 70 දශකයේ දී, එසේ බිහි වූ ගීත දිනය පුරා විසුරුවා හරින්නට ’ලංකා ගුවන් විදුලිය’ සැදී පැහැදී සිටියේය. ඒ උදෙසා එහි විවිධාංගීකරණයට ලක් වූ ගීතමය විචිත්‍රාංග දිනකට අඩ පැයක්, අඩ පැයකින් අඩක් ලෙස එකක් පසුපස එකක් පෙළගස්වනු ලැබ තිබිනි.


ළමා ගී, 

කන්ඩායම් ගී,

බොදු ගී

සරල ගී

චිත්‍රපට ගී

සමූහ ගී

වේදිකා නාට්‍ය ගී

විරිදු

යුග ගී

පර්යේෂන ගී

දේශාභිමානී ගී

නිවේදක තෝරයි

සම්පාදක තෝරයි


ඒ අතරින් කිහිපයකි. රූපවාහිනි මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආගන්තුක වු අපට, එදිනෙදා විනෝදාස්වාදය සඳහා ඉතිරිව පැවති එකම මාධ්‍යය මේ රාජ්‍ය ගුවන් විදුලියයි. 












---------------------

එදා ගුවන් විදුලියේ ගී පබැඳුම් පහන් තරු - නිවේදිකා දයා ද අල්විස් මහත්මිය සහ නිවේදක කේ ඩි කේ ධර්මවර්ධන (සිංහල දෙවැනි සේවය - 70 -- 80  දශක)
---------------------

පෞද්ගලික පංති නොගිය සිසු දරුවෝ හවස් වරුව පුරාම. පාසල් නිවාඩුව පුරාම, ගීත රසාස්වාදය විඳිමින් සිය රසිකත්වය වර්ධනය කර ගත්හ.

ගීතයක් අතිශයින් ජනප්‍රිය වූ විට එහි පදමාලාවෙන් අරුත් ගැන්වෙන කාරණය උදෙසා වෙනත් පදමාලාවක් ප්‍රබන්ධ කර එදවස තිබූ ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හරින්නට ලක්දිව පුරා විසිරි සිටි කවියන් කිවිඳියන් පැකිඵනේ නැත. එය අරුත්බර නම්  මුලින් කී ජනප්‍රිය ගීතයට පිළිතුරු ගීතයක් ලෙස නිර්මාණය කරන්නට එහි බලධාරීන් උත්සුක විය. එදවස ප්‍රකට සංගීතවේදීන් ඊට මධුර තනු සහ සංගීත රටා නිර්මාණය කර දුන්හ.


මේ කාරණයේදී ඇතැම් විට එකම ගීත රචකයා ගීත යුගළයක්ම පැන - පිළිතුරු ගීත ලෙස සකසන්නට ඉදිරිපත් වූ අවස්ථා ද නැත්තේ නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස් කවියා ගේ බිරිඳ දයා ද අල්විස් කිවිඳිය සිය සැමියාට නොදෙවෙනි ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සිය හඞ හසුරුවමින් කටයුතු කළ 70 දශකයේ ලියු ගීත යුගළයක අතීත පුවත් අඩසියවසකට පසු අදටත් රසික හදවත් වලින් වියැකි ගොස් නැත්තේය.


සහසක් පැතුමන් ඉපදී මියගොස් ...

ඉතිරිව ගිය එක පැතුම දරාගෙන...

ඇහැළ මහට අඩ සඳ පෑයූ දා ...

මතකද සිරි දළදා වැන්දා.......


සෙංකඩගල පුර ඉපිද හැදී වැඩුනු ’දයා’ සිය ගමිපියසේ තොරතුරු එසේ ලියා එයින් නොනැවතී ඊට මේ ගීතයෙන් පිළිඹිබු වන ’යුවතිය’ ගේ  ආදරවන්තයා ට ආරුඩ වෙමින් යළිත් පදවැලක් පබැඳුවාය.


සහසක් පැතුමන් නැම මා පැතුවේ...

එකම පැතුම පමණකි හිත රැඳුනේ ...

හද අඹරෙහි අඩසඳ වැනි නෑනේ...

මතකයි සිරි දළදා වැන්දා ................


මේ යුගයේ දීම සෙංකඩගල පුරය අළලා ඇගේ සැමියා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියු ගීයක්ද මහත් සේ රසික ජනාදරය දිනාගෙන තිබුනි.


මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි....

මේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි...

වැව් ඉවුරේ දියරැල පෙරසේම බිඳෙනවා...

නුග ගස් පෙළ අප නැතුවත් තව දඵ ළනවා ....

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා...

නුඹත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....

--------

මර්වින් පෙරේරා 
----------

ගීතය ගුවනින් උදේ හවා තරංග මාලාවන් හා මුසුවෙමන් ශ්‍රාවක සවනත පිනවද්දී එයින් මත් වු එක්තරා ශ්‍රාවිකාවක් ඊට පිළීවදිනින් සංග්‍රහ කර ගුවන් විදුලි ගීත රචනා බැංකුව වෙත තැපැල් කර හැරියාය. ගීතය තෝරාගත් සංගීතවේදී ’ගුණදාස කපුගේ’ ශූරීන් ගුවන් විදුලියේ සේවය කළ වැඩසටහන් සම්පාදිකාවක් ගායන ශිල්පිනියක් ලෙස අබිසෙස් ලැබ ගයන්නට නියමිත සරළ ගී වැඩසටහනක් උදෙසා ඊට මධුර තනුවක් මුසු කරදුන්නේය. 

ගීතයේ ගායිකාව පුන්‍යා කත්‍රිආරච්චිය රචිකාව පාසල් ගුරුවරියක වූ සුනිලා විජේසිංහය ඇය කෘතහස්ත පුවත්පත් කලාවේදීයෙකුව ’දිවයින’ කර්තෘ මන්ඩලයේ සේවය කළ ’චන්ද්‍රසිරි දොඩංගොඩ’ ශූරීන් ගේ දයාබර බිරිඳය.


මා ඔබ මුණ ගැසුනු අයුරු සිහිකරන්නෙපා.............

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා ..............


එදවස වෙළඳ දැන්වීම පිටපත් රචකයෙකු ලෙසද, සාරගර්භ අරුත්බර සාහිත වදනින් සිය ගීත රචනා කලාව මෙහෙයවන්නෙකු ලෙස ද පරසිඳුව සිටි උපාලි ධනවලවිතානයන් මුදුකර ගම්මානයක තමා අත්දුටු දසුනක් ඇසුරෙන් ගීතයක් පබැඳුවේය. ඒ එදා ගුවන් විදුලියේ සංගීත පාලක සංගීතවේදී දයාරත්න රණතුංග වෙනුවෙනි.


මංගල මධු සමය පතා .......

කුලගෙට ආ රූපිකාව...

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා...

කුස ගින්දර නිවා ලන්න දියඹට යනවා.....


(සංගීතය සරත් ද අල්විස්)

--------------

සංගීතවේදී දයාරත්න රණතුංග  - උපාලි ධනවලවිතාන
----------------

ඔහුගේ බිරිඳ ගායිකා මහාචාර්ය ’අමරා කස්තුරිරත්න’ ගුවන් විදුලි අසන්නන් වෙත හඳුන්වාදුන්නේ ’අමරා රණතුංග’ නමිනි. ඇය ඊට සැපයූ පිළිතුර ලියා දුන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.


පාඵ පැලේ මට තනි නෑ හිමියනේ ...

සිත සංකා ගන්න එපා හිමියනේ ...

විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි...

සතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි...

කිඳුරු ලියන් දුටුවෝතින් මා අමතක වන්න එපා...

කාසි නැතත් හිමිසඳිනේ වැඩි ඈතක යන්න එපා.....


බාධක දුක් දුරුවිලා ගිය කාරිය හරි යනවා...

මගෙ දෙයියෝ උදැනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා....


(සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග)



ගුවන් විදුලි සංස්ථා සංගීතමය වැඩසටහන් විසින් හඳුන්වාදුන් මෙම රැල්ල එයින් ඇදීගියේ වෙළඳ තැටි කලාවටය.


70 දශකයේ මධ්‍ය භාගයේ ව්‍යාපාර ගණනාවක් රජය සතු දෙපාර්තුමෙන්තු’ , ’සංස්ථා’ සහ ’මන්ඩල’ ලෙසින් ක්‍රියාත්මකව තිබිනි. ’ජාතික කිරි මන්ඩලය’ ’වැස්සියකගේ’ රක්ත වර්ණ ලාංඡනය දරා සිය නිපැයුම් වූ රසකළ කිරි සහ යෝගට් අලෙවිකරමින් සිටියේය. ඊට අයිති අලෙවි කුටි ද ’කහ සහ රක්ත වර්ණ සිරස් තීරූ මගින් වර්ණ ගන්වා පැවතියේය. චන්ද්‍රකුමාර් කඳනාරච්චි කැටුව ගුවන් විදුලිය අසල තිබුනු කිරිමන්ඩල කුටියකට ගොඩවැදුනු ’කේ ඩි කේ ධර්මවර්ධන’ නම් වූ ප්‍රවිණ ගුවන් විදුලි නිවේදකයා සිය මිතුරාගේ වෙළඳ තැටියකට පෙම් ගීතයක් පබඳන්නට පටන් ගත්තේය. 

’මචං මේක නම් හරියන්නේ නෑ....’

’මේක රේඩියෝ සිලෝන් එකෙන් තහනම් කරනවාමයි....


පදමළාව කියවූ ගායකයාට කියැවිනි. ඒ එදා ගීත පදරචනාවක ගුණාත්මක භාවය, සදාචාරය, ආගම, සිරිත් විරිත්  මෙකි නොකී නිර්ණායක ගොන්නකින් පදමාළාවකට සිමා පැණවි තිබුනු යුගයක වු බැවින් වන්නට ඇත.

’තහනම්...?   තහනම් ...? 

එහෙනං මෙහාට ගනින් ඕක...

කියමින් කේ ඩි කේ සිය පදමළාව විසිකර දැමුවේය. යළිත් වරක් කොලයක් ගෙන තවත් එකක් ලියන්නට පටන් ගත්තේය. 

ඇගේ සිනහව තහනම් ...

ගෙදරින් මට තහනම් ....

සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...

චර පුරුෂයෝ දැන් මා වටලා ...

යනඑන හැම තැන් මුරදාලා .......


(චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නන්ගර, පදබැඳුම - කේ ඩි කේ ධර්මවර්ධන)


මුලින් කී පදමාලාවට මෙය නෑකමක් තිබෙන්නට ඇත. එහෙත් එය විමසා දැනගන්නට අද ’චන්ද්‍රකුමාර්’ හෝ ’කේ ඩි කේ’ හෝ ’උපාලි කන්නන්ගර’ යන මේ කිසිවෙකුත් අප අතර නැත. දුරකථනයෙන් අසා දැනගත් දේ එපමණක්ම පමණක් විය.


'දින සති මාස ගණන් ගතවිය. ගායකයා යළිත් ඊට පිළිතුරු දුන්නේ මෙයාකාරයෙනි.


’සිනහව ඇගේ තහනම් වූ පසු පෙර දවසේ....’

’මා නොයනා ගුරු පාරක් ඇත මේ පදෙසේ ....

’එහි වූ තුරුවැල් මල් ගැන නොදනිමි පෙරසේ ...

එනමුදු මඟ සළකුණු තවමත් ඇත මනසේ .....



(කේ ඩි කේ - උපාලි - චන්ද්‍රකුමාර්)


අනිල් භාරති ගැයු ’අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද’ ගීතය ද , මිල්ටන් මල්ලවාරච්චි ගේ අතිපරසිඳු ’එදා රෑ ගුවන් තොටුපොළේදී මා..............’ යන යුගළයද එළිදුටුවේ වෙළඳ ගී තැටි ඔස්සේය. ප්‍රවිණ සංගීතඳ ගායක මෙල්රෝයි ධර්මරත්න සුරස ගීත පද රචකයෙකු ද වෙයි. ඔහු මේ බව අළලා ලියුවග නම්


ගිය ඉරිදා ඔබ මා සමගයි....

මේ ඉරිදා ඔබ වෙන තැනකයි...

වෙන තැනකයි ඔබ වෙන රටකයි....

සෝ දුක් කඳුළැලි තවම නැගෙයි.......

ඔබ නැති පාඵව සිතට නැගෙයි.....


(ඉන්ද්‍රානී පෙරේරා ගැයුමකි - ’තරංගා’ වෙළඳ තැටි - 1976)


ක්ලැරන්ස් විජේවර්ධන ගේ ’ද ගෝල්ඩන් චයිම්ස්’ වාදක ගායක පිරිස ගැයු ’අක්කාගේ ලියුම’ ශ්‍රවණය නොකළ රසිකයෙකු 70 දශකයේ සිටියේ නම් ඔහු ගීත ලෝළියෙකු නොවනු නිසැකය.









----------------

වම් පස සේයාරුවේ වම් කෙළවර තරුණ ඉන්ද්‍රානී පෙරේරා සිය සොයුරියන් සහ සංගීතවේදී නැසිගීය සරත් දසනායකයන් සමග ගීතයක් පටිගත කිරීමකදී සහ දකුණු පස වම් කෙළවර  තරුණ මෙල්රෝයි ධර්මරත්නයන් ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු සහ ලැම්බට් පෙම්මාවඩූ (හඳමාමා ළමා සඟරාව  - ගුවන් විදුලිය) ඔහුගේ මනාලිය දකුණු පසින් ටයි පටියක් පැළඳ සිටින්නාගේ දකුණීන් ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ ඔහුගේ වම් අත පැත්තෙන් ප්‍රවිණ හවායන් ගිටාර් වාදන ශුරී උපේන්ද්‍ර ප්‍රනාන්දු
-------------------


ගමෙන් ලියුමක් ඇවිල්ලා ....

අක්කගෙන් වාගේ ....

මොකක් කියලාද දන්නෑ...

එහි ගියෙත් නෑනේ .....


පහළ කුඹුරේ නිල්ගොයම් රැල්...

හරිම සාරුසාරයි... 

වැසි වැටි වැව් ළිං පිරීලා ...

හරිම සිරියාවයි....

ළඟදි එනවානං හොඳයි ...

නිවාඩුව දැන් දැන් ළඟයි...


ඔහුම  ඊට පිළිවදනින් සංග්‍රහ කරමින්


දයාබර අක්කේ....

කලක් ගතවී ගියා....

තවම නෑ පිළීතුරක් ලියා ....

අදම මෙය ලියැමියැයි කියා...

ලියන්නේ වැඩ දහක් තියා...

ගමේ එන්නට සිතේ තියා..

සිටිය මුත් සති ගණන් ගියා...

ඉවරයක් නැති ලියුම් ලියා...

පළක් නෑ මම ගමේ නොයා...


මෙම සටහනේ කවරයේ පළකර ඇති එදා ගුවන් විදුලියේ ගීත රචනා කලාව එකාලෝක කල මහා පහන් ටැම් අතර රැඳුනු ’දයා ද අල්විස්’ සහ ’කේ ඩි කේ ධර්මවර්ධන’ දෙදෙනා සිය අනොන්‍ය එකඟත්වයෙන් ලියූ අපුරූ ගීත යුගයකින් මෙම සටහන් ඈවර කරන්නට සිත්විය.


හින්දුන් ගේ අති පූජනීය වන්දනීය ආගමික සාහිත්‍යය ග්‍රන්ථයක් වූ ’රාමායනය’ ඔවුන් පරපුරෙන් පරපුරට ආගමික බැතිමත් බව වඩවාලමින් ගෞරව බුහුමානයෙන් පිළිගනු ලබන්නේය. එකළ අප කුඩා දරුවන්ව සිටියත් ’රාමායනය’ ගැන දැනුවත් නොවි සිටියේ නැත. එහි සියඵ ගෞරව හිමිවිය යුත්තේ එදා පළවූ ’චිත්‍රකථා’ සාහිත්‍ය කරුවන්හටය. ’සතුට’ චිත්‍රකතා පුවත්පත ’රාමායනය’ සිතුවමින් අප කරා රැගෙන අවේය. 


’රාවණ’ චරිතයට අරූඩ වූ ’කේ ඩි කේ’ සිරූවෙන් ඇමිණු පද මෙළෙසිනි.


සීතාවනි ඔබ හැඩ රුව ඇතිබව...............

දිවිහිමියෙන් පතිදම් සුරකින බව.........

දනිමි ඔබත් දැනගත යුතු මේ බව....

ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව ......................


ඔහුගේ විවාදසම්පන්න මතය එවක සිංහල සාහිත්‍ය ගීත ලෝකයේ දැවැන්තයෙකු වූ ’අරිසෙන් අහුබුදු’ ඇතුඵ හෙළ හවුලේ නියමුවන්ද දැරූහ. ඔවුනට අනුව ’රාවණ’ රජ ස්ත්‍රීධූර්තයෙකු නොව, සිය නැඟනිය ’සුපර්නිඛා’ වන්ගේ නාස් කන් ඡේදනය කරවා ’ලක්‍ෂමණ’ ඇයට විරූපි කිරීමේ පළීය ගැනුමට, ’සීතා’ ව පැහැරගැනීමේ කටයුත්ත කළ විරුවෙකි

අරිසෙන් අහුබුදු ශූරීන් සිය ’සක්විති රාවණ’ වේදිකා නාට්‍යයෙන් ඒ බව කියා සිටියේය. එහෙයින් ’කේ ඩි කේ ලියූවගනම්


මගේ සොහොයුරියක් පෙර දවසක් දා ...........

රාම කුමරුගෙන් හිරිහැර වින්දා ....

පිළිතුරු ලෙස ඔබ සිරකර තැබුවා...

රජ පෙළපත අබිමන් දද බැන්දා ...

-------------------

ඔහු එය ගයන්නට එකල අතිදක්‍ෂ සංගීතවේදියෙකු ලෙස කටයුතු කළ එහෙත් ගීත නොගයා සිටි ’වින්සන්ට් ප්‍රේමසිරි’ කලාකරුවාට ඇරයුම් කලේය. ඔහු ගේ හැඩුම් ගැයුම් ලතාව එදා වැඩිහිටියන් පමණක් නොව කුඩාවුන් වූ අප පවා හඩවා රාවණ රජූ කෙරෙහි අපමණ ගෞරව උපද්දවාලන්නට සමත්වූ බව කියමි.

--------------
මෙම සේයාරුවේ සිටින්නෝ

ජාතික ඇඳුම හැදගත් පුද්ගලායට වම් පැත්තෙන් නැසිගිය මර්වින් පෙරේරා ඔහුට දකුණින් ආචාරය වික්ටර් රත්නායක සහ ඊට දකුණු පසින් නැසිගිය වින්සන්ට් ප්‍රෙමසිරි සංගීතවේදියා

-----------


ඒ ගීතය තැටියට නැගී ගුවනින් ගැයෙද්දී. ඊට සවන්යොමා සිටි ’දයා ද අල්විස්’ නිවේදිකාව සිය කාර්යාල සගයා මුණගැසෙන්නට ගියේය.


’කේ ඩි කේ’ මම එහෙනම්  ’සීතා’ ගැනත් දෙයක් ලියනවා ඕකට හරියන්න...  කමක් නෑනේ..?


අනේ.... කමක් නැහැ දයා ලියන්න.......


ටික දිනකට පසු ’මාලිනි බුලත්සිංහල’ ගුවන් විදුලි ගායිකාවගේ හඩ අපට ඇසෙන්නට වුයේ මෙවන් පදවැළකිනි.



රාම කුමරුනේ ඇත්ත කියන්නම්....

ඔබ ලඟ නෑ මා පැතූ ආදරේ  ...

රාවණ රජු මට සිහිවෙනවා...

ලක් දෙරණේ සුව සිහිවෙනවා...............

-------------------------

එසේ කියන්නේ ’සිතා’ ය. ’රාමායනයේ’ ලියා ඇති දේ යළිත් අභියෝගයකට ලක්ව ජනගත වී තිබේ. සුවහසක් ලාංකීය ද්‍රවිඩ ජනතාවගේ සහ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ මුවඟ රැව්දෙන ’රාමා-සිතා’ සදාතනික දිව්‍යමය ප්‍රේමය ගැන සැක සංකා උපදවා ඇත්තේය.  


සියවර ’සිතා’ ගේ ආලිංගන ප්‍රේමය අයැද සිටි ’රාවණ’ රජ්ජුරුවෝ එය දිනාගැන්මට අපොහොසත්ව ඇය ’අශෝක වනයක’ සිරකර තබන්නේය. ඒ ඇයට සිය අදහස වෙනස් කරන්නට දින වකවානු දෙමිනි. ඒ බව එහි චරපුරුෂ සේවයට භාරතයේ සිට පැමිණි ගෝත්‍රික නායක ’හනුමා’ හට ’සිතා’ සැළ කරන්නිය. ඔහු නොපමාව ඒ බව සිය ස්වාමියා වූ ’රාම’ කුමරුට දන්වා වහා සේනා රැස්කරන්නේ එබැවිනි. ඒ රාමායනයයි.

ගීතය වාදනය කිරීම යෙහෙකිද ?

කේ ඩි කේ ලාගේ, දයාලාගේ. ප්‍රේමකිර්තිලාගේ ’රජ්ජුරුවෝ (ප්‍රේමකීර්ති ගේ ආමන්ත්‍රණය) ඒ නමට නොකැළැල් ගුණය එක් කල එදා ගුවන් විදුලියේ මහ පුටුව හෙබ වූ ’රිජ්වේ තිලකරත්න’ ඊට අවසර දුන්නේය. ගීතය අපට අහන්නට ලැබුනේ ඔහුට පින්සිදුවන්නටය. නැත්නම් එය ආගමික අපහාස ලේබලයට හසුවි සදාකල් අතුරුදහන් වන්නට ඉඩ තිබිනි.


එහෙත් 1977 වසරේ දී ’රිජ්වේ සර්’ යන්නට ගියා නොව යන්නට බල කෙරිණි. ඔහු ඉන් තෙවසරකදී රුදුරු මිනිස් ලොවින් යන්නටම ගියේය. 


අපට ඔබට සදාතනික කලා නිර්මාණ දෙකක් පමණක් ඉතිරි විය.

එපමණකි

--------------

මේ අතරවාරයේ සුනිල් සාන්තයන් චිත්‍රා සෝමපාල හා ගැයු ’බෝවිටියා දං පඵ කං වාරේ..............’ නම් වු අතිශය සොඳුරු ගීතය ඔහු විසින්ම පද විපර්යාසයකට භාජනයක කොට වෙනත් ළයකින් ගායනා කරන්නට  යෙදුනු අතර

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැඳූ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්   -නීලා වික්‍රමසිංහ ඒකල පන්ඩිත් අමරදේවයන් හා යුග ගීයක් ලෙසද, ආචාර්ය අජන්තා රණසිංහ ගේ ’දම්පැහැ වීදුරු පුංචි වළල්ලක්’ චන්ද්‍රානි ගුණවර්ධනට පසුව වෙනස් පද පෙරළියකින් ශ්‍රීලාල් සෙනවිරත්න ගැයු වගද, කරුණාරත්න අබේසේකරයන් විසින් ඉන්ද්‍රානි විජයබන්ඩාරට ලියු ’කරුලනි කාගේදෝ මංගල්ලේ... පද පෙරළියකින් ළමා ගායිකා ලිලන්ති කරුණායක ගැයු වගද, ඔහුම ලියා ශ්‍රීමති තිලකරත්න ගැයු ’මගේ පුතා සැපට නිදයි කුටියේ ඇඳිරියේ....’ නවපද මුසුවකින් ඇන්ජලීන් ගුණතිලක විසින් ගැයු බවද වෙසෙසා දක්වනු මනාය. 

ගීතය ආත්මය කරගත් රසික සමූහයකින් හෙබි එදා යුගය මෙවන් රසවත් සිදුවිම් හා සබැඳි නිර්මාණ රැසකින් පරිපුර්ණ විය. යුග යුග දශක ගණන් ශ්‍රාවක මතකයේ ලැගුම් ගත් අමරණිය ගී උල්පතක අතීත මතකාර්ජනය නිමා කරමි.


Monday, March 3, 2025

CD Fonseka මියැසි මල් වසන්තයෙන් බිඳක්......

සමන් වැලේ ජයට පිපුණු මල්....... 05  - සමාප්ති සටහන

 සී ඩී ෆොන්සේකා ගේ හඞ අනන්‍යතාවය අදටද එසේම ඉතිරිව පවතී. ඔහුගේ සමකාලීනයන් අතර මතු නොව ඔහුගේ පසුකාලීනයක් අතර ද, ඔහුගේ ’හඞ’ අනුකරණය කළ හැකි කිසිවෙකු නොසිටි බව ඉඳුරා කිව හැකිය. ඔහුගේ ගීත ගණනින් එතරම් මහත් නොවූවත්, ඒවයේ මධුරත්වය මහත්ය.  60 දශකයේ ප්‍රසංග වේදිකා සංදර්ශන ලැයිස්තු සංරක්‍ෂනය කළවුන් දිවයිනේ එවකට පළමු පෙළේ ගායක ගායිකාවන් අතර ඔහුගේ නමද තිබෙනු දකිනු ඇත. 



ලංකා ගුවන් විදුලි සේවය විසින් ඔහුගේ ජනාදරයට පත් ගීත දෙක තුනක් සතියකට වාදනය කළ බව මතකය. අනාදිමත් කාලයක සිට සතියේ දිනවල පෙරවරු කාලයේ අඩපැයක් සිනමා ගී සඳහා වෙන්කර දුන්නේ එහි ’වෙළඳ සේවය’ විසිනි. එහි දී ඔහුගේ ජනප්‍රියතම ගීත වූ ’තරුණ සිතට මිහිර රැගෙන ආපු කුරුල්ලා (සැනසුම කොතැනද - සංගීතය ප්‍රේමසිරි කේමදාස - 1966), ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා .....(සැ`ඟවුනු මැණික - 1967 - සංගීතය - පැට්‍රික් දෙණිපිටිය) වාදනය කිරීමේ ප්‍රතිඵලය වූයේ 70 දශකයේ කුඩාවුන් පවා ’සී ඩී ෆොන්සේකා’ නාමය හැඳිනගැනීමයි.   දිවා කාලය ගතවෙද්දී යළිත් වරක් ඔහුගේ තවත් ජනප්‍රිය වෙළඳ සේවා පටිගතකිරීමක් වූ ’දෑස පුරා සිත නළවන ලතාවයි....’ ගීය ද වාදනය නොවු සතියක් නොවූ තරම්ය. 


1978 පමණ වෙද්දී ඔහු ගේ සිඟිති දියණීය ’ෂර්මිලා’ සමග ගැයූ රසබර සංවාද යුග ගී ඇසෙන්නට විය. ’පියා - දියණි’ සුසංයෝගයෙන් ගැයුනු ගී අතළොස්ස අතර ඒ යුග්ම  - සංවාද ගීතාවලිය ප්‍රමුඛ ව පැවතියේය. 


අන් කවර කලකට වඩා, කිතුණුවන්ගේ උත්සව සමය වූ ’නත්තල’ ලබද්දී, සී ඩී ෆොන්සේකා ගේ හඞ ගුවනේ රැව් පිළරැව් නොදුන් දිනක් නැති තරම්ය.  ඔහු ගැයු ’පුඵන් වගේ සුදු රැවුළ දිගයි....’ එය බිහිවු 60 දශකයේ සිට නව සහස්‍රයද උදාවන තෙක් නත්තල රසගැන්වීය.


ශ්‍රී ලංකාවට රූපවාහිනි සේවා හඳුන්වාදුන් ’ස්වාධීන රූපවාහිනිය’ සිය අතිශය ප්‍රකට සංගීතමය ප්‍රණිතාංගයන්හිදී ’සී ඩී ගේ රුව’ සිය ප්‍රේක්‍ෂක දනන් ගේ නෙතට හසුකරදෙන්නට උත්සුක විය. ඔහුගේ රුව ලාංකික සංගීත ලෝලීන් අතිබහුතරය දැක දැන ගත්තේ එයිනි. ඉන් පසුව, ජාතික රූපවාහිනියේදී ද ඔහුට ගී ගයන්නට අවස්ථාව හිමි විය.  එහෙත් 80 දශකයේ අවසන් භාගය වෙද්දී ඔහුගේ සොඳුරු මදහස පිරි මුවකමළ තරමක් වෙනස් වූ සෙයක් දක්නට ලැබිනි. 


පෙම්වතුන්ට වදනින් විස්තර කළ නොහැකි අත්දෑකිම් එමටය. එය සර්වකාලීනය ඒ අතරින් ඇතැම් ඒවා කටුකය, වේදනාකාරීය... පෙම්රජදහනේ මාලිගා බිඳ වැටී සුණුවිසුනු වී ගිය, බිඳුනු හදවත් වලින් ආතුර වූ පෙම්වතුන් ගේ ශෝකාලාපයන් ගීයට කවියට නැගුනේ ඉඳහිට නොවේ...

පන්ඩිත් අමරදේවයන් ගේ හඞින් දැහැන්ගතවන රසිකයන්හට අනන්දජනක අහ්ලාදයක් ගෙනදුන් ’සුනිල් සරත් පෙරේරා ශූරීන්’ ගේ ගී පද රචනාවක ගැබ්වු පදවැල් ඔබේ මතකයේ නිසැකවමට රැඳි ඇත්තේය. ’ පෙර දිනයක මා පෙම්කල යුවතිය... සියපුතු නළවනවා....’ ’1975’  වසරේ ගැයුනු එම ගීත රසයෙන් කුල්මත් වූ රසිකයන් මෙන්ම රසිකයන්ගේත් රසිකයන් වූ ’ගී පද රචකයන්’ ද එමට එදා සිටින්නට ඇත.  සිංහල ගීත සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ කිතුණු පියතුමා ’මර්සලීනු ජයකොඩි’ බව අවිවාදාත්මකය. ඔහුට පසුපසින් රැඳුනේ  ’ලීනස් මෙන්ඩිස්’ පියතුමාණන්ය. එතුමාණේ පෙරකී කී ගීතය රසවිඳිමෙන් ලත් ආනන්දයෙන් උද්දාම වී මෙම ගීතය පබැඳුවා විය හැකිය.   සී ඩී ෆොන්සේකා සිය ගායන ප්‍රතිභාව මනාලෙස ප්‍රකට කල අවස්ථාවක් එයින් මතුවන්නේය. නිවීසැනසිල්ලේ අසනු මැනව ඔහුගේ ’හැඟුම්බර’ වේදනාකාරී ස්වරය... 



04 මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන...


ඔබ ඔහු සමගින් යනු දුටුවා...


සොඳුරු ඔබේ වත මිලාන වී ගොස් ...


නිලුපුල් නෙත් බොඳ වනු දුටුවා...


මට අදහනු බැහැ ළමා උයන තුල...


මගේ නෙත ගැටුනේ ඔබද කියා...


පමා නොවි තව පවසනු මැන ඔබ...


කෙළෙසද ඔබේ සිත බිඳුනේ කියා .....


(ගී පද  - ලීනස් මෙන්ඩිස් පියතුමාගෙනි - 1978 )



නත්තල හැඩ කළ ඔහුගේ අමරණිය ’නත්තල් සීයා’ ගීතය ට නොදෙවෙනි ජනප්‍රසාදයක් ලද්දේ ඔහු ඇතුඵ පිරිස ගැයූ  ’මංගල ආසිරි ගීතය’ කි. හෙළ සංගීත කෙත සරුකළ බොහෝ ’ආසිරි ගී’ ඇතත්, ඒවා ද පටිගත වන්නට කලකට පෙර ඔහු ’60 දශකයේ’ මංගල සිරිය හැඩගන්වනු වස් පහත කියැවෙන ගීතය ගැයුවේ සමකාලීන අතිශය ජනප්‍රිය බටහිර ගීත ගායිකාවක් වූ ’මිනෝන් රත්නම් ප්‍රනාන්දු’ ගේ හඞ ද එකතුකරගනිමිනි. ඇය ඒකල ව ගැයු ’කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ ......’ 60-70-80 දශක ත්‍රිත්වයේ ලක්‍ෂ සංඛ්‍යාත මංගලෝත්සවයන් හැඩ කල හැඟුම්බර ගීතයකි. අද වැඩිහිටියන්ව සිටින එදා කුඩා දරුවන්හට මේ ගීත කිසිලෙසකින් අමතක විය නොහේ.  අතිශය ජනප්‍රිය බටහිර ගීතයක් වූ ’කන්ග්‍රැටුලේෂ්න් ඇන්ඩ් සෙලිබේ්‍රෂ්න්’ ගීතයට සිංහල වදනින් සැරසූ ’පාවඩ දාලා පා ඔසවාලා............’  අද අසන්නට නැත්තේ එය ඇසූ කිසිවකු ’ජනමාධ්‍ය’ කලායතනයන්හී නොසිටින නිසාදෝ යැයි කුකුසකි.

රසවත් කරන ලද්දකි.

05 පාවඩ දාලා පා ඔසවලා ....

'මංගල යුවළ පැමිණ සිනහ නගාලා...

කෝමල ලීලා ආදර පාලා ...

අතදී සෙත් පතන්න තෑගි පුදාලා...

(සහය ගායනය - මිනෝන් රත්නම් ප්‍රනාන්දු)


සී ඩී ෆොන්සේකා නාමය යටතේ වාදනය වූ ගීත ගොන්නෙහි යටපත්ව සැඟවුනු නිර්මාණ ද ගණනාවකි. 70 දශකයේදී ම ඔහු ගැයු මෙම ගීතය වෙළඳ තැටියකින් උපුටනය කරනන්ට යෙදිනි. යොවුන් පෙම්වතුන්ගේ සැළමුතු ප්‍රේමය දෙදරවා බිඳ හැර ඇතිවන ගැටීම් හමුවේ, මතුවන ’ප්‍රේම විප්‍රයෝගය’ අරභයා ගැයුනු ගීත සිංහල ගීතාවලියේ එමටය. එහෙත් එය මෙතරම් සරළව, එදිනෙදා වහරණ ’සිංහලයෙන්’ ලියැවුනු අවස්ථා නම් විරළය.



06 රහසේ කීව ප්‍රේම කතා නෑ ...

එදා දුන්න ඒ පොරොන්දු නෑ ...

හද නළවන ආදර ගී නෑ ...

ඒයාට දැන් මාව ඕනේ නෑ ...

එකී දශකයේදී පවා දිවයිනේ ප්‍රමුඛතම ගායන ශීල්පියෙකු ලෙස ශ්‍රාවක බුහුමනට පාත්‍ර ව සිටි ’සී ඩී ෆොන්සේකා’ ’රූපවාහිනිය’ නවමාධ්‍යයේ පෙනී සිටිමින් එහි සංගීතමට වැඩසටහන් උදෙසා දායකත්වය පළකළේය.

කලක්, රෝගාතුර ව සිටි මේ සොඳුරු කලාකරුවා දිවිගමනේ  ... වසර පසුකරමින් යද්දී ජීවිතයේ සයවන දශකයේ අඩක් ඉක්මවා යන්නට ද මත්තෙන් 1986 වසරේ වෙසක් මස එකොළොස්වැනි දින දී දෙව්මව් තුරුළේ සැතපෙන්නට නික්ම ගියේය.


(තොරතුරු මුලාශ්‍රය සහ සේයාරූ  - ෂර්මිලා ෆොන්සේකා මහත්මිය විසිනි)

ඇයට කෘතඥ පූර්වක ස්තුතිය පළකරමි

සමාප්තයි


Friday, February 14, 2025

CD Fonseka මියැසි මල් වසන්තයෙන් බිඳක්......

සමන් වැළේ ජයට පිපුනු මල් ....................04 වෙනි දිගහැරුම

 පාසල නිමාවී සිය පියාගේ ගීත පටිගතකිරීම් උදෙසා රේඩියෝ සිලෝන් ආයතනයට ඔහු කැටුව යෑම පුංචි ෂර්මිලා ගේ පුරුද්දක් බවට පත් වි තිබිනි. පෙර නොවූ විරූ මහත් වාදකයන් රැසක් වටකරගත් ඔහු එක්තරා ගීතයක් පටිගත කරනු ඇය දිනක් විදුරු කවුඵවෙන් මෙපිට සිට බලා සිටියේ විමතියෙනි



ඕ...කේ... රෙඩි... වන් ... ටූ ....ත්‍රී.......


සිනා සපිරි මුව කමලේයා....

සිනා පිරුනු වත බබළායා....

අමාවකට පුන්සඳ සේයා..................

සිනා පිරුණ වත බබළයා......


පුංචි මලින් පිරි දෙවැටෙයා....

මාල ගීරා ගී ඇසුනේයා...

ඈත සිට අත වැනුවේයා...

කෝල සිතින් මා බැලුවේයා...... 

----------------------------

ගී පද සංකල්පනාව - ධර්මසිරි ගමගේ, තනුව - සී ඩී ෆොන්සේකා 

-----------------------------


--------------------

පාදක සටහන - 

’සිනා සපිරි මුව......’ දේශිය ජන ගී ශෛලිය අනුගමනය කරන ලද අපුර්ව නිර්මාණයකි. ඊට මනාව අනුගතවෙමින්, එහි අරුත පණගන්වාලමින් සුප්‍රකට ජන ගීයක් වූ ’ඔළිඳ කෙළියේ’ සහ පැල්, පාරු කවි නාදමාලාවන් ඔහු ඊට එක්කර ඇතිබව පෙනෙයි. ඔහු එතුවක් අනුගමනය කරන ලද ගීත ශෛලියයෙන් මිදෙන්නට දරන ලද සාර්ථක උත්සහයක් ලෙස හඳුනාගත හැකිය.  සංගීත රටා නිර්මණයේදී ද ’යක්බෙරය.  (පහතරට සාම්ප්‍රදායික තොවිල් බෙරය) යොදාගෙන තිබේ. 

--------------------------------------------

සවන්දෙන්න මුල් ගීතයට මෙතැනින් - 1979 ?

-------------------------------------------


ප්‍රවිණ සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගමයන් විසින් ඔවුන් උදෙසා සංගීතවත් කළ එකම ගීතය සඳහා පද රචනයෙන් දායක වූයේ පසුව පැවදි දිවියට පත් ’සරත් මුණසිංහ’ විසිනි. 

රුවන් පොළෝ තලේ.... අපේ...

උතුම් රටයි සදා ලොවේ...

පියාණෙනි එපා යන්නට අපේ පුංචි රටින් එහා.....

ඔබ හා අම්මා හින්දා ...


මහා ඉසුරු සොයා ගන්න...

සැප සම්පත් ලබා දෙන්න...

යන්න ඕනෑ රටින් එහා....


--------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------------

වසර කිහිපයකට පසුව 80 දශකයේ මුල් යුගයේදී ඒ වනවිටද පාසල් සිසුවියකව සිටි ’ෂර්මිලා’ යළිදු සිය පියාණන් හා එක්ව ගයන්නී, දෙදෙනා එක්ව ගැයු තෙවන සංවාද ගීතය පටිගත කළේ කලාශූරී නැසිගිය අරිසෙන් අහුබුදු ශූරීන් ගේ විචිත්‍රවත් පදමාළාවකට පෙණපොවමිනි. 1982 දී ලංකා ගුවන් විදුලියේ පටිගත වූ මෙම ආදර්ශමත් ගීතය ඔවුන් විසින් තැටිගත කිරීමෙන් නොනැවතී  තැටියකට ඇතුළත් කරන ලද අතර ’ගුවන් විදුලි ගී තැටි අංක - 06’ යටතේ වෙළඳ පොළට පවා නිකුත් කරන්නට යෙදුනි. ඒ 1983 වසරේදී පමණය. 



එය වර්තමානයේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිර්දේශිතව  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව විසින් පළකළ 03 වැනි ශ්‍රේණියේ සිංහල පෙළපොතට ඇතුළත් කර ඇත.


සමන් වැලේ මල් ජයට පිපිලා ....

මුඵ මිදුලම සුවඳයි...අපේ මේ මුඵ මිදුළම සුවඳයි....

හැම ගෙදරම මල් රුවට පිපේනම් ..ගම්මානෙම සොඳුරුයි...

දුවේ මේ ගම්මානෙම සොඳුරුයි ......

------------------------------

ගී පද අරිසෙන් අහුබුදු ශූරීන් විසිනි

තනුව සහ සංගීතය - සී ඩී ෆොන්සේකා

--------------------------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------------------

1986 වසරෙදී කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැතුනු සුවිශේෂී සැමරුම් උත්සවයකදී ඇය සිය පියා ළමා වියේ ගැයු ආසිරි ගීය ඔහු සමග යළිත් ගැයුවාය. ඒ ජනපති ජේ ආර් ජයවර්ධනයන්ගේ විවහමංගලf්‍යා්ත්සවයේ ස්වර්ණ ජයන්ති සැමරුම වෙනුවෙනි.

සී ඩී ෆොන්සේකා ගැයු ගීත ගණනින් අතිමහත් නොවේ...එහෙත් අල්පයකුදු යැයි කියන්නට ද නොහැකිය. 50 - 60 දශකයේ ගායන පහන් සිඵව දැල්වූ ඔහු 70 දශකයේදී සමකාලීන බොහෝ සගයන් මෙන්ම ’වෙළඳ ගී තැටි කලාව’ වෙත නැඹුරු වන්නට විය. ඇතැම්විට මතු අනාගතයේ තමන්ගේ නාමය රැඳෙන්නේ එහිදෝ යැයි ඔහු අනුමාන කරන්නට ඇතුවා වද්ද ?

’සිල්වර්ලයින්’ ’ජෙම්ටෝන්’ සහ ’සූරිය’ නම් වූ 70 දශකයේ ප්‍රකට තැටි ලේබලයන්  හා එක්ව ගී ගැයූ ඔහු එහිදි නව නිර්මාණ අතළොස්සක් දොරට වඩමවා දුන්නේ සිය ආදරණිය රසිකයන් ගේ බලාපොරොත්තු සුන් නොකරන්නටය. එහිදි ඔහු 70 දශකයේ ප්‍රකට නැඹුරුතාව අනුව යමින් බටහිර ඉලෙක්ට්‍රෝනික වාදනයන්ගෙන් සරසාගත් ගී පොකුරක් බිහිකරදුන්නේය

-------------
ආචාර්ය වික්ටර් රත්නායක ඇතුඵ පිරිස සමග ගීතයක් පටිගතකරමින්.......
--------------


 ඒ මලින් පිරී වසන්තේ ...

අද අපට සිහිනයක්දෝ ...

මා අහම්බෙන් දැකීමත් 

දැන් ඔබට මදිකමක්දෝ ...?

(ගී පද කරුණාරත්න අබේසේකරයන්ගෙනි- සංගීතය - සී ඩී ෆොන්සේකා)



02 කවටකමට ඔබෙයි මගෙයි නම ලියා....

යහඵ ළමයි විහිඵ තහඵ මට කියා..

ඔබ ආදරේද ඇහුවා....

මා දන්නේ නෑ යි කිව්වා...

(ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - සී ඩී ෆොන්සේකා)



03 මැණිකෙගේ කොන්ඩේ ...

ලස්සන කොන්ඩේ ... පැද්දෙන කොන්ඩේ....

(ගී පද - හඩ්සන් සමරසිංහ සංගීතය - පැට්‍රික් දෙණිපිටිය)



04 රහසේ කීව ප්‍රේමකතා නෑ .....

   එදා දුන්න ඒ පොරොන්දු නෑ ...

  හද නළවන ආදර ගී නෑ.........

  එයාට දැන් මාව ඕනේ නෑ....................

( ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සංගීතය - පැට්‍රික් දෙණිපිටිය)


-----------------------------

මෙම ගීත 04 මෙතැනින් සවන්දෙන්න

----------------------------------

නැවතත් දෙසතියකින් මෙහි පිවිසෙනු මැන.......... 


ප්‍රණාම පූර්වක ස්තුතිය - ෂර්මිලා ෆොන්සේකා මහත්මිය වෙතටයි

Friday, January 31, 2025

CD Fonseka සී ඩී ෆොන්සේකා රස ගී උල්පතෙන් අංශු මාත්‍රයක්...

 සමන් වැළේ ජයට පිපුනු මල් ......................   03 වෙනි දිගහැරුම

 ඔහු තමා නිරත ව සිටි ගීත ගායනා කලාව වෙත නැඹුර කරගන්නට තෝරාගත්තේ සිය කුටුම්භයේ ලාබාළතම සාමාජිකාව වූ සිඟිති ෂර්මිලා ය. ඇය සත්හැවිරිදි තරම් ළපැටි වියේ දී, එදවස ප්‍රසංග සඳහා පරසිඳු වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා ශාලාවේ පැවැත්වූ ’සවන් ඩ්‍රීම්ස් (SEVEN DREAMS) නමින් වු සංගීත ප්‍රසංගයේ දී ඉංග්‍රිසි ගීතයන්  වූ MOTHER OF MINE  සහ PAPER ROSES ගායනා කරන්නට යෙදුනාය.

Mother of Mine - 1971


PAPER ROSES



’එදා ජීප්සීස් ලා ත් සිංග් කළා, සුනිල් අයියා මාව වඩාගෙන බදාගත්තා සිංදුව ඉවරවෙලා’  ඇය පැවසුවාය.



එකී වකවානුවේදීම දෙහිවල සිංහ සමාජය විසින් පවත්වන්නට යෙදුනු සංගීත තරඟයක ’කණිෂ්ඨ අංශයේ’ පළමු ස්ථානය දිනා ගන්නට සමත් වූ ඇයට ශ්‍රැතිය අනුව හඞ මනාව හසුරුවාගනිමින් ගීත ගැයීමේ නිපුනතාවය ඇතිබව වටහා ගත් ’සී ඩී ෆොන්සේකා’ තම ගුවන් විදුලි සරළ ගී වැඩසටහන් සඳහා ඇයව සහභාගි කරවා ගන්නට තිරණය කළේය.

1979 ජාත්‍යන්තර ළමා වසර මහත් උත්සවශ්‍රීයෙන් මෙහිද පවත්වන්නට යෙදුනු අතර ළමුන්ගේ විවිධ වැඩසටහන් සහ විනෝදාංශ සහ ප්‍රසංග ද සංවිධානය කරන්නට හා පවත්වන්නට යෙදිනි.  ඇය සිය පාසලෙන් තෝරා එවන්නට යෙදී කොළඹ බිෂොප් විදුහල් ශාලාවේදී උක්ත ඉංග්‍රිසි ගීත යළි ගායනා කරන්නට අවස්ථාව ලද්දීය.


1977 වසරේ එක්තරා දිනයක බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ කණිෂ්ඨ අංශයේ සිසුවියක වූ සිඟිති ’ෂර්මිලා’ ට දිනක ’ඩැඩි’ ගෙන් විධානයකි.


’නංගී....  ලෑස්තිවෙන්න මගෙත් එක්ක රෙඩියෝ සිලෝන් යන්න......’


ෂර්මිලා  මැදිරියේ තමා දෙසට රඳවා එල්ලා තිබුනු දිගු මයික්‍රෆෝනය දෙස නෙත් යොමා බලන්නී. නුහුරු පරිසරයේ ඔබ මොබ යුහුසුඵව නෙයෙක් වාද්‍ය භාන්ඩ අතදරා සැරිසරන වැඩිහිටියන් දෙස කුහුලින් යුතුව බලා සිටියාය.

ඩැඩී විසින් හොඳින් පුහුණු කර තිබුනු ඇය ඇමතු පියා...

නංගී අපි ලෑස්තිවෙමු නේද ්’ විමසුනු ඇසුනු මහ සංගීතවෙීදි සෝමදාස ඇල්විටිගලයන් 

නංගී - අයියයිද මේ ?  කියමින් විහිඵ කරනු ඇසුණු ඇය සිය පියා දෙස බලමින් යම්තමින් සිනහ පෑවාය.

හෙළ ගීත කලාවේ එදාමෙදා තුර ශීල්ප දැක්වූ දැවැන්තයන් එකිනෙකා මැදිරියට ඇතුඵ වෙමින් සිය වාද්‍ය භාන්ඩ සූදානම් කරගන්නට විය.

-------------------
ෂර්මිලා බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 06 ශ්‍රේණියේදී

--------------------

වික්ටර් දඵගම, පියදාස අතුකෝරාළ, පුන්‍යසිරි මහවත්ත, ටියුලින් ජයරත්න, සෝමපාල රත්නායක, රෝහණ බෝගොඩ වැනි ප්‍රවිණයෝ ඒ අතර විය.

මේ ඔවුන් සැරසෙන්නේ ලංකා ගුවන් විදුලි සරළ ගී වංශ කථාවේ ඉතා අල්ප ප්‍රමාණයකින් ගැයුනු  ’පියා-දියණි’ සංවාදයක් පටිගත කරනටය.

මැදිරියේ ඉහළ දැල්වුනු ’රතු ආලෝකය’ ගීතය පටිගත කිරීමට සුදානම් විමේ සංඥාව නිකුත් කළේය.  එදවස ගී පටිගතකිරීම් වාදක මන්ඩලය සමග සජීවීව සිදු කරන්නට නියමිතව තිබුනු භාරදුර කටයුත්තක් වූ අතර සුඵ අතපසුවිමකින් එය යළිත් පටිගතකරන්නට සිදුවි තිබිනි.


තාත්තේ... ?

සුදු දුවේ .....

තාත්තේ ...?

සුදු දුවේ ...


බෝනික්කි නළවලා වැලි පොල්කටු ලිපේ තියා....

මල්ලි එක්ක සෙල්ලම් බත් කුස්සියේ ඉව්වයි කියලා....

අම්මා මට මොකද බනින්නේ ...?

නාඞන් මගේ දූ කුමරියේ සැර කරන්නේ ...ආදරේට...

අම්මා දූට හරිම ආදරෙයි... නාඞා ඉන්න මගේ සුදු දුවේ...


පාසල් වැඩ ඉවර වෙලා ..අම්මිගේ තුරුළට දිව්වා ...

නැන්දා එක්ක කරන කතා ..අහන්න එනවයි කියලා...

කෝටු පාර දෙනවා කියන්නේ...

නාඞන් මගේ දූ කුමරියේ සැර කරන්නේ ...ආදරේට...

අම්මා දූට හරිම ආදරෙයි... නාඞා ඉන්න මගේ සුදු දුවේ...


--------------------------------

සවන්දෙන්න

---------------------------------


’මේක වැඩිගේ ඔෆීස් එකේ... අංකල් කෙනෙක් ලිව්වේ... මට දැන් නම මතක නෑනේ...’ සංවාදය අතරතුරේ දී ඇය පැවසුවාය.

-----------------------
ළමා ෂර්මිලා වයස අවු 07 දී ගී ගයමින්.....
__________________

එදා දිවයිනට පැවති එකම විද්යුත් මාධ්‍යය වු ගුවන් විදුලියෙන් මෙවන් ගීත ඇසූ ළපටි පෙළ අනන්ත අප්‍රමාණ විය හැකිය. දූ දරු - මා පිය සෙනෙහස දයාව මෙන්ම එදවස දනන් අතර වැඩිහිටියන් ළපැටියන්ගෙන් අපේක්‍ෂිත ආචාර ධර්ම පිළිබඳ කදිම ඔවදනක් මෙහි ඇතුළත්ය. අද වැඩිහිටියන්ව සිටින රසික ඔබ එදා ඔබේ වැඩිහිටියන්ගෙන් ළපැටි ඔබ ලැබූ මහරු ඔවදන් නිතැතින්ම සිහියට එනවා ඇත.

දිනක ’සී ඩී’ ගුවන් විදුලියේ එක්තරා කුටියක් කරා ඇය කැටුව ගියේ අමුත්තෙකු හමුවන්නටය. ඒ ඇය හා ගයන්නට තවත් සංවාදයක් පබඳාගනු පිණිසය. පියා සහ දියණිය ලෙස හොඳින් බැලූ අමුත්තා ඇය තම හිතවතා ගේ පවුලේ බඩපිස්සිය බව දැන සිටියේය.

ගීතය ලියාදුන් ඔහු අනාවැකියක් කියා සිටියේය.... ’සී ඩී... මේ සිංදුව හිට් නොවුනොත්.... මීට පස්සේ මට ’කරු’ කියලා කතාකරන්න එපා. ඔහු අන් කවරෙකුවත් නොව එවකට ගුවන් විදුලියේ ගීත රචනා කලාවේ ද නිවේදන සහ වෙළඳ දැන්වීම් පිටපත් කලාවේද දැවැන්තයා වූ නැසිගිය කරුණාරත්න අබේසේකරයන් ය.


ඇය එයින්  තමාවැනි දහ දහසක් දරුවන්ට යළීත් සිඟිති පාඩමක් කියාදුන්නාය.


දියණීය

මම වෙමි තාත්තගේ බඩපිස්සී......

එමි ඔබ විදියට හැඩ ගැස්සී....


පියා

මගේ රිදී රන් රුවන් ලොවේ...

මගේ නිධානය ඔබයි දුවේ......


දියණිය

වින්ද දුකට හදමින් පෙරදා වන්දි ගෙවන්නද මා කවදා ..?


පියා

සුදුමල් කැකුඵය ගැහැණු ළමයි...

හැමකටම ලොකු හැදුනු කමයි....


දියණිය


සෙවණෙහි කීකරු වී ඉන්නම්...

සැපදුක එකලෙස විඳගන්නම්....


පියා

හැදුනොත් ලෝකෙන් දොස්නාසා...

දෙවියොත් වස්තුවේ වෙති ආසා......


(ගී පද - කරුණාරත්න අබේසේකර  තනුව - සී ඩී ෆොන්සේකා විසිනි)

----------------------------------

මෙතැනින් රසවිඳින්න

---------------------------------

ප්‍රවිණ සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගමයන් විසින් ඔවුන් උදෙසා සංගීතවත් කළ එකම ගීතය සඳහා පද රචනයෙන් දායක වූයේ පසුව පැවදි දිවියට පත් ’සරත් මුණසිංහ’ විසිනි. 

රුවන් පොළෝ තලේ.... අපේ...

උතුම් රටයි සදා ලොවේ...

පියාණෙනි එපා යන්නට අපේ පුංචි රටින් එහා.....

ඔබ හා අම්මා හින්දා ...


මහා ඉසුරු සොයා ගන්න...

සැප සම්පත් ලබා දෙන්න...

යන්න ඕනෑ රටින් එහා....


--------------------------

මෙතැනින් සවන්දෙන්න

--------------------------------

---------------------

පසු සටහන

’70 දශකයේ අගභාගයේ වීවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, විදෙස් ගතවිමේ සීමා මායිම් දැඩිලෙස ලිහිල් කරන්නට යෙදුනි. එතැන් හි සිට ..විශාල වශයෙන් පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් විශාල ලෙස මැදපෙරදිග ඇතුඵ වෙනත් බටහිර රටවල් රාශියක් කරා ඇදෙන්නට වු අතර එතැන්හිදී දයාබර සැමියාගෙන් දුරස් වූ බිරින්දෑවරුන් මෙන්ම දරුවන්ගෙන් දුරස් වු දෙමව්පියන්ද එමට විය. ඔවුන්ගෙන් බහුතරයකට යසඉසුරු ලැබු බව සත්‍යයකි. එහෙත් ඊට ගෙවන්නට සිදුවූ වන්දිය සිය කුරුඵ කැදැල්ලේ විසිරියෑමයි. 


මෙම සංසිද්ධිය නිමිති කොටගෙන 1978-88 අතර කාලයේ ලියැවුනු ගීත, පබැඳුනු නාට්‍ය සහ සිනමා පට මෙන්ම ටෙලි නාට්‍යයන්ද එමටය. 

නැවතත් දෙසතියකින් හමුවෙමු.....


ප්‍රණාම පූර්වක ස්තුතිය - ෂර්මිලා ෆොන්සේකා මහත්මිය වෙතටයි