රගමින් ගයන්නේය... ගයමින් රගන්නේය... අසමසම වේගරිද්ම පෞරුෂය ඔහුමය -
70 දශකයේ දී ගුවන් විදුලියෙන් ඇදී පාවි ගීය නිහාල් ගී රසාකාරය......
1967 වසරේ එක්තරා දිනයකදී ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරයන් විසින් එක්තරා ගීතයක් ගුවණට මුසුකරන්නට පෙරාතුව ’මල් වෙඩිල්ලක්................’ දල්වන්නට සුදානම් වන්නේ යැයි හඳුන්වාදුන් ඔහු එවකට භද‍්‍ර යෞවන වියේ සිටි අංකුර ගායන ශීල්පියෙකු විය.
ගීත රචනා කලාව, ගීතයක ආකෘතිය සහ සැකැස්ම පිළීබඳව ඉතා පුඵල් අවබෝධයක් හා අත්දැකීම් වලින් සන්නද්ධ වූ අබේසේකරයන්ගේ අනාවැකිය පුර්ණ ලෙස සත්‍ය වී එය ශ‍්‍රි ලාංකීය ගීතාම්බරයේ හාත්පස එකාලෝක කල මල් වෙඩිල්ලක්ම විය.
ලස්සනට පිපුණු වනමල් ගල් පීදෙන දියවැල් ..............
මං ආසා කරන මැණික් කැටේ නිල් ....................
දුර ඈත කැලේ ගල් ගුහාවක වෙසෙනවා කල් .....
ලස්සන මගේ කිරිල්ලි සුරතල් .....................
එදවස ප‍්‍රවිණ සංගීතඥයෙකු ලෙස කටයුතු කල ආර් ඒ චන්ද‍්‍රසේන සංගීතවේදියාගේ සත්සර නිමැයුම අනුව ගී ගැයු ඔහු ඉහත පදවැළ නිසාම වැඩිහිටි ගී රසිකයන් හොඳින් හඳුනන ගායන ශිල්පී නිහාල් නෙල්සන්ය.
ඉන් අනතුරුව එළැඹි 70 දශකයේදී පෙරළිකාර භූමිකාවක නිරත වු ඔහු ..... එදවස සරළ ප‍්‍රසංග වේදිකාව මතට ගොඩ වී ගැයීමෙන් නොනැවතී ඔහුටම ආවේනික සුවිශේෂී රංගනයක නිරත වෙමින් වරෙක බඳ ළෙලවමින්ද තවත් වරෙක හිස බමවමින්ද ක්ෂණයකින් දෙවුර නටවමින්ද විදුලි වේගයෙන් සිය ඉරියව් මාරු කරමින් ද අදමෙන් පුඵල් නොවු පටු වේදිකාවේ සිමිත ඉඩකඩ තමාගේ භූක්තියට සරි කරගනිමින් ගැයුවේය.
බයිලා චක‍්‍රවර්ති එම් එස් ප‍්‍රනාන්දු හැරුණුවිට ගායන ලීලා භාවය නෙතින් නරඹන්නට රිසිවූ අයෙකු වෙත්නම් ඊට පාත‍්‍රවූයේ ඔහුය. එදාමෙදා තුර කිසිවෙකුට හෝ ඔශුගේ අපුර්ව ගායන ලීලාව හඞ අනුකරණය කරන්නට හැකිවුයේ නැත්තේමය. වරෙක අමරදේව, ජෝති, මිල්ටන් මල්ලවාරච්චි.පෙරේරා ඇතුඵ පිරිස අනුකරණය කරමින් ගයන්නෝ ඔහුව තම විෂයපඨයට හසුකරගන්නට සමත් නොවිය. අඩසියවසක් ඉක්මවා කාලය ගතවීත් එ කරුණ එසේමය.
80 දශකයේ හටගත් කැසට් ගී වියවුල එනම් කැසට් මහාරැුල්ල ට හසුවී වාර්තාගත කැසට් පට ප‍්‍රමාණයකට ගී ගයන්නට ඔහුට හැකීවුවද ඒවායේ අරුත්බර බව සහ වදන්කෝෂය පිළිබඳව ගුවන් විදුලි සංයමයට නතු වු ශ‍්‍රාවකයන්හට ගැටඵ බොහොමයක් තිබිණි. ඒ නිසා ඔහු ද සෙසු වේගරිද්ම බයිලා ගායක ගායිකවන් හට අත්වන්නට වු ඉරණමට මුහුණ පාන්නට සිදුවී ’ගුවන් විදුලි’ යෙන් නිහාල් ගී හඞ නෑසි ගියේය. එහෙත් පෙරකී සෙසු ශීල්පීන් සහ ඔහු අතර එහිදී කැපී පෙනෙන වෙනසක් පැවතියේය.
කැසට් පට විප්ලවයට නතුවන්නට පෙර ’නිහාල් නෙල්සන්’ ඒ සංගීත කලාවේ පුර්වගාමි තාක්‍ෂනය වු ’වෙළඳ ඊ පී තැටි’ ගීත කලාවටද මනාසේ අනුගතව සිටියේය. එහෙත් එහිදී ඔහු අනුගමනය කල ක‍්‍රමවේදය පසුව ඔහු තෝරාගත් මගින් හාත්පසින්ම වෙනස් විය. සංයමයෙන් නිවුනු හඞින් අරුත්බර ළයාන්විත ගීත ගණනාවක් එදා වෙළඳ තැටියෙන් ඔහුගේ ළයාදර ගී හඞින් කළඑළි දුටුවේය.
කරුණා සුවඳ තවරාලු ...........
හද පියුමේ ...
මවගේ සෙනෙහසයි ...
උල්පත සැනසීමේ ....
දුවලා ඇවිත් පෙර ලෙස මා ...
එක පිම්මේ ...
අම්මා කියන්නේ කාටද අද අම්මේ .................
--------------------
සවන්දෙන්න
70 දශකයේ ඉරුදින සනිඅන්තයක ගුවන් විදුලියට දෙසවන් යොමාගත්තවුන් කුල්මත් කල ඔහුගේ නිවුනු හැගුම්බර වදන් මාලා එදා එළෙස ගුවන් තරංග අතරට මුසුවි ලක්දිව සිසාරා පැතිර විසිර ගියේය. පෙර කී ලෙස ඔහුව මුලින්ම හඳුන්වාදුන් කරුණාරත්න අබේසේකරයන් විසින් සිය වෙළඳ අනුග‍්‍රහක වැඩසටහන් මාලාව ඔස්සේ නිතිපතා නිහාල් නෙල්සන් තරුණයාගේ ගී එයින් ඇසෙන්නට ඉඩකඩ සළස්වා දුන්නේය.
වරෙක ඔහුගේ හඞින් එදවස නිතර මගතොට නුපුරුදු නොවන දසුනක් වු ’කරත්තකරුවා’ ගේ භූමිකාවට පණ පෙවිනි. තමා ගයන ගීතය වඩාත් රසවත් කරන්නට සිය ශ‍්‍රාවකයන් මිහිරෙන් ආනන්දයෙන් මත් කරන්නට ඔහුට ඇවැසි වි තිබිණි. තමාගේ පටිගතකීරීම උදෙසා සහභාගී වෙමින් සිටි වාද්‍ය වෘන්දයේ ප‍්‍රමුඛතම සාමාජිකයා වු සංගීතවේද ස්ටැන්ලි පීරිස් සිය සැක්ස්ෆෝනය අතදරා සිටියේ ගීතයට ඇතුළත් වූ නියමිත අන්තර් වාද්‍ය ඛන්ඩ එයින් වයන්නට ඔහුට පැවරී තිබුනු නිසාය.
සුපුරුදු හිතාදර ස්වරයෙන් ආමන්ත‍්‍රණයෙන් ඔහුව අමතමින් .... ගීතයේ අවසානයේ ක්ෂණික විරාමයකට ඉඩ නොතබා අදාළ කරත්ත කවියේ අනුවාදනය වයන්නට හැකිදැයි විමසුවේය. පිළිතුර අවාසි සහගතය. එය අසිරූ බවට කියවිනි. නිහාල් නෙල්සන් ගායනශිල්පීයා තම උත්සහය අතහැරියේ නැත. එය නැවත නැවතත් උත්සහ කර බලන ලෙස ත් එය කළහැකි බව තමාට විශ්වාස යැයි සිතෙන බවටත් ඇවිටිළි කළේය.
අවසානයේ ජයගත්තේ ඔහු නොව එවන් අපුරු ගීතයක් වින්දනය කරන ඔබ සහ ශ‍්‍රාවක අපය. ඔහු නිසා සිංහල ගීතයක පළමුවරට එදාමෙදා තුර සීව්පද කවියක් බටහිර සැක්ස්ෆෝන් ශූෂිර වාද්‍ය භාන්ඩයෙන් වාදනය වෙයි.
කිංකිණි හඞට සමවෙනා ...............
ගිගිරි සැලේ ගවකුර හඞට මුසුවෙනා .................
ඇදපන් පුල්ලි ගොනෝ .................
මගේ දරුපැටියයි අඹුවයි ඇත බඩගින්නේ .............
දැන් කීපදිනක් මගටමට ගෙවුනේ ...
? සීත නිසා තොල් අතරින් සීපද වැයුනේ ...
සීපද වැයුනේ ..................
---------------
නරඹන්න යූ තලයෙන්
මෙතැනින් මෙතැනින් රූපය මත ක්ලික් කරන්න
70 දශකයේ මධ්‍ය භාගය වෙද්දී ගුවන් විදුලියේ ඉරුදින මධ්‍යයනය ශ‍්‍රාවක අපහට ද සුවිශේෂි විය. ඒ නිවසේ තැටිපටි සතුනොවූ අපහට වේගරිද්ම ගී සවන්දෙන්නට සතියේ ඉතිරිව තිබෙන එකම විනාඩි පහළොව එදාට එළඹෙන නිසාය. එය නම්කෙරී තීබුනේ ’බයිලා ගී තිරය’ ලෙසය. නමින් පලක් නැත. එම් එස් ගේ, නිහාල් නෙල්සන් ගේ, වෝල්ටර් ප‍්‍රනාන්දු (එම් එස් සොයුරු*, ඒලියන් ද සොයිසා, සෝමසිරි ප‍්‍රනාන්දු, පෝල් ප‍්‍රනාන්දු, ඇතූඵ පිරිස ගේ ගී අසන්නට ඒ මොහොත වෙන්වෙන බැවිනි එහි දිනක නැගුනු නිහාල් ගී රාවයෙන් කියවුනේ මෙවන් පණිවුඩයකි.
ඔරු පදින්න පහළ ගගට එන්න යන්න මාලී............
බොරු කරන්නේ නැහැනේ ඔබට ඇත්තයි මම මාලී.........
සරු දිවියක රස බලන්න කාලේ ලගයි මාලේ ....
පෙරූ රත්තරං වාගේ අපේ ආදරේ මාලී....
මා ප‍්‍රිය මාලී ... මා ළැදි මාලී ...
ආදර මාලී මගේම මාලී ...................
-------------------
සවන්දෙන්න මෙතැනින්
ඔහුගේ ඇතැම් ගීතයන්හි රිද්මය පමණක් නොව ඔහුගේ වදන් උසුරුව ද එහි අධිවේගීය. 90 දශකයේ ඔහු නිර්මාණය කල ’කුක්කු කූක් කූක් කුකුළා හඞනවා............’ නම් වු ගීතයකින් ඔහු තමන්ටම ආවේනික රංගනයට මැනැවින් අනුගත වන වදන් මාළාවක් අධිවේගයෙන් තෙපළයි.
’පත්තරවල විස්තරවල ඇස්ඇරගෙන තත්පරයට අපි කියනවා..............’ එහෙත් එය ඔහු කිසිවිටක පසුකාලීනව ප‍්‍රගුණ කළ ශීල්පයක් නොවන බවට සාක්‍ෂි ඔහුගේ 70 දශකයේ ගැයු ඉහත ’මාලී..........’ ගීතයෙන් ගෙනහැර දැක්විය හැකිය. එහිද ඔහු සිඝ‍්‍රගාමි වදන් උච්චාරණයටකට යොමුවෙයි.
ගීතය අධිවේගයෙන් ධාවනය වෙයි. අමුතුම රසයකි රිද්මයකි. සංයමයෙන් සතිය පුර ගැයෙන ගුවන් විදුලි සරළ ගීත ශ‍්‍රවනයට හුරු වි සිටි ශ‍්‍රාවක අපට මේ නවක වේගරිද්මය රසාකරයකි. පසුකාලීනව දැනගැන්මට ලැබුනේ ඒ ඔහු අමතන්නේ ඔහුගේ සැබෑ ආදරවන්තියටම බවයි. දශක සතරක සරුදිවියක රස ඔහු හා විඳි සදාදරණිය ’මාලි’ එක්තර කාලයකට ඉහතදී ඔහු ද මෙළොව ද හැර ගිය බව සන්තාපයෙන් සිහිකටයුතුය.
මා ලොකු වූ පසු දොස්තර මහතෙකු වෙන්නද පියතුමනී.......?
ලෝගුව දාගෙන නිතිවේදියෙකු වෙන්නද කියනු මැනේ ....
සිහිති සුරතළෙකු ගේ භූමිකාවටකට එසේ පණපොවන ඔහු තවත් වරෙක ඔවුනට ගීයෙන් ජනකථා කියාදෙන වැඩිහිටියා බවට හැරෙයි
ඔන්න එකමත් එක රටක හිටියා කොක්කු ජෝඩුවක්....
දෙන්නා ගමනක් යන ගමන් දුටුවා ඉදිබු රංචුවක්....
වෙන්න ඇති ඔවුනට උහුලගන්න බැරි ඇබැද්දියක්...
අන්න ඒකයි ඔය යන්නේ සොයං වතුර පිරි විළක් .....
(නිතිඥ ජෝන් ද සිල්වා ශූරීන් ගේ ටවර් හෝල් නත්‍ය ’ශ‍්‍රි වික‍්‍රම’ හි ගැයුනු ’දන්න වංහුං අප කන්නසාමි රාජධූරයේ...............’ ගීතයේ නාදමාලාව අනුව ගැයේ)
-------------------
මෙතැනින් සවන්දෙන්න
70 දශකයේ ජනාදරයට පත්වු වෙළඳ තැටි ලේබලයක් වු ’ඊබීඩීකේ- නිව් සවුන්ඩ්’ යටතේ ඔහු එවන් ගී ගැයුවේය.
යුරෝපයේ අති සුන්දර ප‍්‍රංහ රටේ පැරිස් නුවර.......
බෙදා හරින යොවුන් මිහිර ප‍්‍රංශ රටේ පැරිස් නුවර............
80 දශකයේ දී මාධ්‍යයෙන් වෙසෙසින් මුද‍්‍රිත මාධ්‍යයෙන් ඔහු වෙත එල්ල වු ගල්මුල් විවේචන එමටය. ඒ ඔහු ගේ සංගීත ආර සහ ගීත සඳහා යොදාගන්නා පදමාලාවන් ග‍්‍රාම්‍ය සහ අශීෂ්ඨ යැයි කියමිනි. ජෝති ද දිවමන් ව සිටියදී 80 දශකයේ මැද භාගයේදී පමන සංගීත ලෝකයේ ’ප‍්‍රබුද්ධ’ සහ ’පීචං’ යනුවෙන් ගායන කල්ලි දෙකක් පිළිබඳව සංවාදයක් ක‍්‍රියාත්මක වෙද්දී නිහාල් නෙල්සන් ව ’පීචං’ ගණයේ ලා සැළකිනි. එකී සියඵ විවේචනයන්හට පදනම වැටුනේ 1980 පමණ ඔහු විසින් ගැයු ’ගුණේ අයියගේ බජව් දාන කාමරේ...........මේක ගුණේ අයියගේ බජව් දාන කාමරේ......’ නම් වු ගීතයකට මුවා වෙමිනි. එහිදී ඔහු ඉහත සහ පහත පළවන අරුත්බර මියුරු ගීතාවලිය ගයා ඒවා ගුවනින් අසා ඔහුටම ආවේනික ශ‍්‍රාවක සංසදයක් නිර්මාණය කරගෙන තිබිනි. පෙරකී දශකය අවසන් වෙද්දී ද ඔහු ආන්දෝලානාත්මක චරිතයක් බවට පත් වුයේ ගවමස් අනුභවය විවේචනය කරමින් ගැයු වේගරිද්ම ගීතයක් හේතුවෙනි. එවකට රටේ පාලකයා විසින් එය රූපවාහිනි පටිගතකිරීමක් සිදුකරන ලෙස නියෝග කර තිබු බවද කියැවේ. ඒ යුගයේ එය නිරතුරු ඔහුගේ රුව ද සහිතව ජාතික රූපවාහිනි මාධ්‍යයෙන් විසුරුවා හැරිනි. වසරකදී පුද්ගලයෙකු අනුභව කරන ගවමස් ප‍්‍රමාණය ගණිතමය සුත‍්‍රයක් ලෙසින් ගීතයට නංවා ගයන එයින් ඔහුගේ අවධාරණය වඩාත් තිව්ර වීම එකී ගීතයේ විශේෂත්වයයි. ඔහුට ඉන් තිස්වසරකට පමන පෙර ’ලස්සනට පිපුණු වනමල් .................’ ගීතය පබැඳූ කවියාණන් වු ’සරත් මුණසිංහ’ එවකට බමුණුගම ශාන්තවිමල නමින් පැවදිව සිටි අතර ’ගවමස් කෑමේ ප‍්‍රතිවිපාක ගීතය’ ද ඔහු විසින් රචනා කරන්නට යෙදිනි.
කිරිදුන්නේ මිනිසුන්ටයි සිරුරෙනි ඇගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ .............
70 දශකයේ ඔහුගැයු ගීත වර්තමානයේ සමාජ මාධ්‍යයන්හී පවා එතරම් අසන්නට දකින්නට නැතත්, ඒවා ඔහු ගේ ගායන නිසග ගායන කෞෂල්‍යය ප‍්‍රකට කල සොඳුරු නිර්මාණයන්ය.
ලස්සන ඇස්දෙක පුංචි කරන් ................
ඔබ මා දෙස නොබලා ..................
කී දේ කොහොමද ඉන්නේ අසා ..................
මා සුසුමන් නෙහෙළා .........................
ඔබ රජවිමනක සැනසෙනවා ........
මා මහමග යනවා ................
---------------------
මෙතැනින් සවන්දෙන්න
ඉහත කරුණු සියුම් ලෙස සැළකිල්ලට බඳුන් කරද්දී ’නිහාල් නෙල්සන්’ යනු ද තමන්ටම ආවේනික ගායන ශෛලියක් ගොඩනගාගත්, සුවිශේෂී චරිතයක් බව පසක් වෙයි. එහෙත් එයින් ඔහු වේගරිද්ම බයිලා රාමුවකට කොටුකළ හැකිද යන්න විමසා බැලිය යුත්තේ ඔහු ගේ ඉහත 70 දශකයේ ගීත අතර එන එක්තරා සංවේදී පදමළාවක් රැුගත් ’කරුණා සුවඳ ගීතයෙනි. එවැනි ගී ඔහු ගයා ඇත්තේ ඉතා අල්පයකුදු වුවත් ඒ එකම නිර්මාණයෙන් පවා නිහාල් නෙල්සන් ශිල්පියාණන්ගේ නිසග ප‍්‍රතිභාව කැපී පෙනෙන්නේය.
වත්මන් පරපුර මතුනෙව එදා සංගීත කලාව ද ප‍්‍රියකල රසිකයන් බහුතරය එතරම් හොඳින් හඳුනා නොගත් එහෙත් අතිදක්‍ෂ සංගීතවේදියෙකු වූ නැසිගිය ’ලාල් තේනබදු’ විසින් මතු කි නිහාල් නෙල්සන් ගීතාවලියේ බහුතරයක් ගීත තනු නිර්මාණය කර සංගීතවත් කල අතර අතිශය නිහඞ ගීත පදමාලා නිර්මපකයෙකු ව සිටිද්දී ගායන ක්‍ෂේත‍්‍රයේද ඔහුට සමකාලීනව විස්කම් පෑ වර්ණන් පෙරේරා විසින් ද පසුව වේගරිද්ම ගීත රචනා කලාවේ කැපී පෙනෙන භූමිකාවක නිරත වූ නැසිගිය හේමසිරි හල්පිට ද ඔහුගේ ගීත රචනය කරන්නට යෙදුනි. මෙම සටහන සමගින් අමුණා ඇති ගීත සියල්ලම පාහේ ලංකා ගුවන් විදුලි සේවා බලධාරීන් විසින් දැඩි සංගීත ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය 70 දශකයේදී පවා අනුමත කරන ලදුව නිරන්තරයෙන් සති අන්තයේ ලංකා ගුවන් විදුලි සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවයේ විසුරුවා හරින ලද ගී නිර්මාණයන්ය. එනම් සත්‍ය වශයෙන් ම ගුවන් විදුලියේ නිර්මණය නොකෙරුණද ඒවා ’නිහාල් නෙල්සන් ගුවන් විදුලි ගී’ ලෙස නම්කීරිමේ වරදක් නොපෙනෙන්නේය. මක් නිසාද යත් 70 දශකයේ පවා ඔහු ගැයු වේගරිද්ම ගීත සුවිසල් ගණනකින් ගුවන් විදුලි නිලදරුවන් විසින් සීරූවෙන් කිරාමැන තෝරා බෙරා ගන්නා ලද අතළොස්සක ගී නිසාය.
වෙළඳ තැටි ධාවන යන්ත‍්‍ර හෝ පසුව කැසට් යන්ත‍්‍ර නිවස්වල නොතිබු ගුවන් විදුලි ශ‍්‍රාවක කැළ ’නිහාල් නෙල්සන්’ නම් ගායනශිල්පිය හඳුනාගත්තේ මෙහි පෙළගස්වා ඇති ගීත ඔස්සේය.
නමගම අසලා ...
වතගොත සොයලා ...
දැනහඳුනාගත්ත නිසා අපි ඇසුරු කලා ...
හැමදින දැකලා ... දෙහදම බැඳිලා ...
පෙර සසරේ පුරුදු ලෙසින් ...
ආදරේ කලා .....
සැණකෙළි උයනේ අපි හමුවුනු දවසේ ....
--------------
සවන්දෙන්න
අඩසියවසක් ඉක්මවා සිංහල වේගරිද්ම පොප් කලාවේ රැුඳී සිටින, ඔහුටම ආවේනික ගායන හා නර්තන ක‍්‍රමවේදයකින් ගීතලෝලීන් සැනසූ ප‍්‍රවිණ ගායනවේදී නිහාල් නෙල්සන් වෙත චිර ජීවන ආයුරාරෝග සම්පත්තිය පතමු.
----------------------------------------------
තැටි කංචුක සේයාරූ - අන්තර්ජාලයෙනි (srilankanrecords.com)
විශේෂ ස්තුතිය - ප‍්‍රවිණ ගීත රචක ගායනවේදී වර්ණන් පෙරේරා මහතා වෙත
--------------------------------------------------------
නිහාල් නෙල්සන් ගායන ශීල්පියාණන් කලට වේලාවට සම්බන්ධ කරගන්නට නොහැකි වීම නිසා ඉහත ගීතාවලියේ පද සහ සංගීත සංකලන තොරතුරු නිසි පරිදි එකරැුස් කරගන්නට නොහැකි විම සම්බන්ධයෙන් කණගාටුව පළකරමි. ඔහු සමබන්ධ කරගන්නට හැකි වු වහාම එහි ඒ තොරතුරු සටහන් කරන්නට පියවර ගනිමි.
ස්තුතියි
එදා ඇසුණු ගී
ගී මුතුමාලා බ්ලොග්
18 ඉල් මස 2022
ඉන්නව යහළුවෙක් කන-බොන ගී අහන
ReplyDeleteමිතුරු හමුවලදි නිතරම මුණ ගැහෙන
අමතක කරන්නැතිවම මිනිහා ගයන
'කරුණා සුවඳ' සිහි කරවයි - මවගෙ ගුණ!
ඒ ගී රසරසමිහිර සිහිකරනු මනා..
Deleteගැයුම් ලිලාව අගයනු කියනු මනා....
දස්කම් විස්කම් සළකා බලනු මනා....
දුර්ගුන අඩුපාඩු නොසොයා සිටිනු මනා...
ස්තුතියි මේ සටහන තැබීම පිලිබඳ...ලස්සනට පායපු තරු එකිනෙක අහසින් ගිලිහෙමින් යයි...නුපුරුදු අළුත් තරු, එලි අඳුර නිවන්ට අසමත්... කෙමෙන් අඳුර ගලයි...සියලුරසයන් කෙමෙන් ලොවෙන් ගිලිහී යයි...අපද යම් දිනෙක මියැදී යලි උපන්නොත්...ඒ නව රස තළුමරයී.....එයයි යථාර්තය...සියල්ල වෙනස් වෙමින් අවසානය කරා ලඟා වේ..
ReplyDelete