namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, November 24, 2022

R Muththusamy songs of 60-70s මුත්තුස්වාමි ගී රස සරණිය

ඔහු ආර් මුත්තුස්වාමි නම් විය ............. විවිධ රස කැළතු සත්සර ලාලිත්‍යය


මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ පළමු සිනමා සංගීත නිර්මාණ ඇතුළත් වුයේ 1956 තිරගත වු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පළමු සිනමාකෘතිය වු ’රේඛාවේ’ ය. එවර ඔහු ඒවා පටිගතකිරීම් මෙහෙයවීමට ඉන්දියාවට ගියේ නැති බවත් ඒ වෙනුවට ඒ යුගයේ බටහිර සංගීත විද්‍යාව හදාරා එහි නිපුණත්වය ලද බී ඇස් පෙරේරා සංගීතඥයා ඊට යොමුකරවු බවත් සඳහන්ය. 




රේඛාවේ ’ඉන්ද‍්‍රානි විජයබන්ඩාර’ සහ ’සිසිර සේනාරත්න’ මෙන්ම ’අයිවෝ ඩෙනිස්’ සහ ’තිලකසිරි ප‍්‍රනාන්දු’ ගැයු සියඵ ගීත වල තනු නිර්මාණය පමණක් සිදුකල සුනිලුන් ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ කාර්ය භාරය පෙරකී බඹරැන්දේ ශ‍්‍රීනාත් පෙරේරා වෙත පැවරීය. 


ලෙස්ටර් ගේ ’රේඛාව’ එදවස සම්මත සිනමා ආකෘතියෙන් බැහැර වීම නිසාදෝ මුල්‍යමය සාර්ථකත්වය නොළද්දේය. භාරතයේ මහා සිනමාකරු ’රාජ් කපූර්’ ඔහුගේ ’රේඛාව’ නරඹා එය අගය කර ලෙස්ටර් ට හැකිනම් තවත් අවස්ථාවක් උදාකරදෙන ලෙස ලාංකීය සිනමා කර්මාන්තයේ එදවස දැවැන්තයෙකු වූ ’සිනමාස්’ සමාගමේ අධිපති ’කේ ගුණරත්නම්’ ගෙන් ඉල්ලා සිටි බව ද කියැවේ.


ඒ අනුව ලාංකීය සිනමාලෝලීන්හට දැවැන්ත පසුතල සහිත බටහිර ක‍්‍රියාදාම ගණයේ සිනමා කෘතියක් ලෙස ’සංදේශය’ නරඹන්නට අවස්ථාව ලැබුනේ 1960 වසරේදීය. එය දක්‍ෂින භාරතීය සිනමා වට්ටෝරුවේ සංඝටක වූ ’සංගීතය’, ’සටන්’ සහ ’උද්වේගකර දර්ශන’ යන්ගෙන් සමාලංකෘත වූ නිසාදෝ අති සාර්ථක සිනමා පටයක් ලෙස කිරුඵ පැළැන්දේය.


එහි ඇතුළත් ’අරිසෙන් අහුබුදු’ ශූරීන් ගේ ගී පද රචනා උදෙසා නැවතත් ලෙස්ටර් ගේ ඉල්ලීමට අවනත වෙමින් ’සුනිලුන්’ මධුර ගී තනු නිර්මාණය කළේය. එහෙත් මෙවර ගුණරත්නම්ගේ නිර්්දේශය නිසාදෝ ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ භාරදුර කටයුත්ත පැවරුනේ දක්‍ෂින භාරතියෙකු ව පසුව ලාංකීය පුරවැසි භාවය ලත් නැසිගිය ’ආර් මුත්තුසාමි’ සංගීතවේදියා වෙතය.


ඔහුගේ කාර්යභාරයේ සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කිරීමේ වගකීම රසික ඔබ වෙත පැවරේ. ලතා වල්පොළ ගායන ශිල්පිනිය   මෙන්ම එච් ආර් ජෝතිපාල ගායන තරුව ගැයු සංදේශයේ ගීත සියල්ලම සැටවස් පිරී අදද එදාමෙන් ශ‍්‍රාවක හද පිනවමින් පවතින්නේය.


01 පුන්සඳ එළියයි එන මද සුළගයි මල් මල් සුවඳයි .....................


02 ?න ගිරා ?න අඹේ මී බීබී රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ ..................


03 රැුජින මමයි අපේ රාජ්ජේ මගේ සැමියා රජා තමයි.......................


04 සුදට සුද වළාකුලයි නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි ...................


සහ ජෝති ඇතුඵ පිරිස ගැයු 


05 පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා .................


මෙන්ම බෙග් ඇතුඵ පිරිස ගැයු


06 කෝ හතුරෝ කෝ හතුරෝ .................


ධර්මදාස වල්පොළ ගේ හඞ ඇතුළත්


07 කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා .................


නරඹන්න ’පුන්සඳ එළියයි...,

-----------------------


එදවස සිනමා පටයක අවම වශයෙන් වත් අඩංගු විය යුතුව තිබුනු ගීතමාලාව සම්පුර්ණ කර දුන්නේය. සංදේශයේ මේ අත්‍යන්ත සාර්ථකත්වයට සුනිල් සාන්ත සහ මුත්තුසාමි දෙපොළ ගේ මෙම සංගීතමය කාර්ය භාරය ද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන්නට ඇතිබව නිසැකය. මන්ද යත් එදවස සිනමා ගීතයක් සවන්දෙන්නට නම් සාමාන්‍ය ජනයා අදාළ සිනමා පටය නැවත නැවතත් නරඹනවා හැරෙන්නට වෙනත් විකල්ප නොතිබුනු නිසාවෙනි. නමුත් යමක් කමක් තිබූ අයට නිවසේ ග‍්‍රැමෆෝන් තැටි ධාවන යන්ත‍්‍රයක් තිබුනේ නම් එහි ගීත ඇතුළත් තැටිය ගෙනැවිත් වාදනය කරමින් රස විඳින්නට හැකි විය. (එහෙත් සංදේශය සිනමා පටයේ තැටියක් නිකුත් කරන ලද්දේදැයි නොපැහැදිලිය*.


ඉහත පූර්විකාවෙන් ප‍්‍රවේශය උදාකර ගන්නේ පෙරකී භාරතීය සම්භවයක් සහිත ලාංකීය සංගීතවේදී ආර් මුත්තුස්වාමි එනම් රාමයියා මුත්තුස්වාමි ගේ සංගීත කාර්යභාරයේ තොරතුරු අතරින් බිඳක් මතුකරදෙනු පිණිසය.


ඉහත ලැයිස්තු ගත වුයේ ඔහු හා පුරා කියා සිංහල සිනමාපටයක සංගීත සංයෝජනයේ යෙදුනු අවස්ථාව නොවේ. ඉන් වසර පහකට පමණ පෙර දී  තිරයේ ඇඳුනු ’මාතලන්’ නම් සිනමාපටය වෙනුවෙන් ද යොවුන් ලතා වල්පොළ ශිල්පිනිය යොදවා ඔහු ඒ ප‍්‍රමාණයේම ගීත සංඛ්‍යාවක් බිහිකරදුන්නේය. ඒවයේ සංගීත අදියුරු මතුනොව සත්සර රටා තනු පවා ඔහුගේය.



එතැන් සිට ’60 දශකයේ’ සිංහල සිනමා සංගීත බලාධිකාරිය පැවැත්වූවන් අතර ඔහු ප‍්‍රමුඛයෙකුව සිටියේය. විසල් වාද්‍ය වෘන්දයක් යොදවා දිර්ඝ අන්තර් වාදන සංගීත ඛන්ඩ  ඔහු සිය සිනමා ගී නිර්මාණ සඳහා යොදාගත්තේය




වසන්ත සමයේ මි අඹ වනයේ ..........

අනන්ත සුවයකි ගෙන දෙන්නේ ..........

ගිමන් හරින්නට සමන් වැලක් යට .........

නිරන්තරේ ඒ යාදෙන්නේ................


(ධර්මදාස වල්පොළ ගැයුම - ’ඉපදුනේ ඇයි- 1967 )

සවන්දෙන්න ’වසන්ත සමයේ’

-----------------------

කර්ණාටක සංගීතයේ හසළ දැනුමකින් හෙබියා වූ ඔහු ගේ පරපුර එහි සංගීතවේදීන් ලෙස කටයුතු කළ බව කියැවේ. එහෙත් ඔහු ඒ කර්ණාටක ශෛලියේ ඇලිගැලී සිටියේ නැති අතර තමන්ට පැවරී ඇති භාරදුර කාර්ය භාරය, එනම් ගීත මගින් අදාළ සිනමාපටය ජනප‍්‍රිය කරවීමේ වගකීම හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරනු ලැබ ඇති බවට සාක්‍ෂි එමට හමුවෙයි.


රාගධාරී ශෛලිය භාවිත කරමින් එදවස ලාංකීය රිදිසිණු හඞ නිළි රැුජින ’රුක්මණි දේවී’ වෙනුවෙන් ඔහු එදා කල නිර්මාණයක රසය එදත් අදත් නොඅඩුව පවතී.


සිතාරේ ...සිතාරේ ...සිතාරේ...........


අතැගිලි පිරිමදින හඞට ගයන සිතාරේ ...වයන සිතාරේ............


(ගී පද - කරුණාරත්න අබේසේකර - සම්පත - 1966)


සවන්දෙන්න ’සිතාරේ...........'

-----------------------


බටහිර සංගීතයේ ආභාෂය ලබනට නිසි තැන නිසි පරිදි කටයුතු කරන්නට ඔහු කිසි විටක පැකිලුනේ නැත. විමසනු මැනවි. එදවස බටහිර ඉංග‍්‍රිසී ගිත ගයක කන්ඩායමක් වු ’ද ජෙට්ලයිනර්ස්’ ප‍්‍රමුඛ ගායිකා ’මිනෝන් රත්නම් ප‍්‍රනාන්දු’ ගේ හඞ එම් එස් ආනන්දන් හැදු  ’සත පනහ’ වෙනුවෙන් යොදාගත් ආකාරයයි මේ



අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී .........


ඔව් මේ රැ ............


කවුරුද එන්නේ හොරාවගේ මත්වි එය හොඳ නෑ ...........


මම නැළවෙන්නේ  ඔබේ සිතේ හැංගී ඔව් මේ රැ ...


සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා ඔව් මේ රැ ......


(සත පනහ- 1965) ගී පද හර්බට් ඇම් සෙනවිරත්න ගෙනි.


සවන්දෙන්න ’අද අපි ඉන්නේ’

-----------------------


මේ යුගය  පසුවි යද්දී ලංකාවේ සංගීත භාවිතාව මහත් පෙරළියකට ලක්වෙමින් පැවතියේ ’බීට්ල්ස්’ වැනි බටහිර සංගීත කන්ඩායම් අනුකරණය කරමින්  හතු පිපෙන්නා සේ බිහිවු විසල් ගණනක ’ගායක කන්ඩායම්’ නිසාය.  ක්ලැරන්ස් විජේවර්ධනගේ ’මූන්ස්ටෝන්ස්’ කළඑළි බසිද්දී තවත් යොවුන් ශිල්පියෙකු වු ’නෙවිල් ප‍්‍රනාන්දු’ නම් අතිදක්‍ෂ ගිටාර් වාදකයා විසින් තමන්ගේ ’ලොස් කැබැයියරෝස්’ සතරදෙනාගේ ගායක සංසදය බිහිකර තිබිනි. 

ආචාර්ය ලෙස්ටර් ද  එයින් කුල්මත් වී පන්ඩිත් අමරදේවයන් ලවා සිය සිනමා නිර්මාණයක් වූ ’දෙලොවක් අතර’ ට ,’නෙවිල් ගේ කන්ඩායම’ යොදාගත්තේය. 

මෙම රසවතුන් අතරින් සමහරු සාම්ප‍්‍රදායික භාරතිය සංගීත භාන්ඩ යොදා ගනිද්දී තවත් අය බටහිර ලතින් ඇමෙරිකානු වාද්‍ය භාන්ඩ සහ  බෙරවර්ග භාවිතයට පෙළඹි සිටියේය. ’ඩ‍්‍රම්ස්’ කට්ටලය වාදනය කරමින් ගැයු ගීත ඒ අතර කෙමෙන් විසිර පැතිර යද්දී ’මුත්තුස්වාමි’ සංගීතවේදියා එයින් උපරිම ඵලනෙලා ගන්නට සමත් විය. 


යුරෝපයේ හිම වැටෙනා තාලෙට .............


සිතල සුවය දැනේ .........


ජපානයේ පිපි හිරිමල් සුවඳයි අප වෙත තුරුඵ වුනේ ..........


මේ ලක් පොළවේ නිල්කඳුවැටි මැද සීතල සුවය ගෙනේ ........


තේ කඳු පාමුල පිපිමල් සුවඳයි අපදැක තුරුඵ වුනේ .............


(ලතා සහ ධර්මදාස වල්පොළ ’උතුම් ස්ත‍්‍රි - 1969 වෙනුවෙන් - ගී පද - නැසිගිය ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ)


නරඹන්න යුතලයේ දී ’යුරෝපයේ හිම’

-----------------------------


1970 වසර උදාවෙද්දී ’මුත්තුස්වාමී’ සංගීතවේදියා ලංකා ගුවන් විදුලි ද‍්‍රවිඩ වාද්‍ය වෘන්දයේ මෙහෙයුම්කරුවාණෝ ලෙස පත්කරනු ලැබ සිටියේය. එතැන් හි සිට සිනමා සංගීත කර්මාන්තයෙන් ඉසිඹු ලද ඔහු විසින් සිය ප‍්‍රතිභාව ගුවන් විදුලි ගීත කලාව කරා විහිදුවන්නට විය. 


ශ‍්‍රීණීධරිත ස්වර්ණ භූමියයි..............

කමනීය විජය භූමියයි............

අසමානය ජනම් භූමි සම්මානනීය භූමියයි...............

(ලතා වල්පොළ 1972 ජනරජ ව්‍යවස්ථා උළෙල සැමරුම් ගී පද හේම ශ‍්‍රී ද අල්විස් විසිනි)


රහසක් ඇත ඔබ හට පවසන්නට .........

සෙව්වෙමි සසර පුරා ...........

පෙරමග බල බල .............

පියමැන ඉන්නෙමි .........

ඔබමුණ ගැසෙන තුරා ............


(ලතා  - ධර්මදාස වල්පොළ ගුවන් විදුලි සරළ ගී - හේම ශ‍්‍රී ද අල්විස් ගී පද සංකල්පනා - 1972)


සවන්දෙන්න ’රහසක් ඇත’

-----------------------

උක්ත වසර ගෙවිගිය කාලය සිංහල ගී තැටි ඇල්බම් කර්මාන්තයේ වසන්තයයි. විවිධ වෙළඳ සමාගම් පවත්වාගෙන ගිය ගිත කලාවට පෙම්බැඳි රසවතුන් එකිනෙකා පරයා ජනප‍්‍රිය ගුවන් විදුලි ගායක ගායිකාවන් යොදා නව ගීත මෙන්ම එදවස අතිශය ජනප‍්‍රසාදයට පත් ගුවන් විදුලි ගීත ද ප‍්‍රතිනිර්මාණය කරමින් සිය තැටි ලේබල් ඔස්සේ ජනගත කරන්නට තරග කලේය. ඔවුනතර 


’සූරිය’ - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය

’ජෙම්ටොන්’ - විජයපාල හෙටිටආරච්චි

’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලය ලංකා නියෝජිත - පැට‍්‍රික් කොරේරා

’අර් ඒ සී’ සහ ’ශ‍්‍රීමත්’  මෙන්ම ’වාසනා’ ලේබල - සංගීතවේදී ආර් ඒ චන්ද‍්‍රසේන

’නිව් සවුන්ඩ්’ - ලක්‍ෂමන් පෙරේරා

’ලෝටස්’ - ක‍්‍රීශාන්ත කුරේ

’සිල්වර්ලයින්’ - කෙනත් සී පෙරේරා

’ෂානක’ - නවරත්න අත්තනායක (සුජාතා අත්තනායක ගී)

’තරංගා’ - විජය රාමණායක

අදද එදාමෙන් අමර වරම ලද මිල්ටන් මල්ලවාරච්චි, ඉන්ද‍්‍රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මලිනී, ටී එම් ජයරත්න, නීලා වික‍්‍රමසිංහ, සෝමතිලක ජයමහ, ලතා ව්ලපොළ, ඇනස්ලි මාලේවන, ළමා ගායිකාවන් වූ දමයන්ති ඒකනායක, ලිලන්ති කරුණානායක, ශිරෝමි ප‍්‍රනාන්දු ජනප‍්‍රිය ගී ගණනාවක් එළිදුටුවේ ඉහත ලේබලයන්ගේ නැවුම් ගී ලෙසය (ඒවායෙන් සමහරක් ගුවන් විදුලි ගී නොවේ* ’ජොති’ සහ ’එම් එස් ප‍්‍රනාන්දු’ වැනි ජනප‍්‍රිය ආරේ ගායකයන් ගැයු ගුවන් විදුලි ගී නැතුවා නොවුනද එය ඉතා අල්පයකි. ඔවුන් දෙදෙනාගේ අතිශය ජනප‍්‍රිය ගීත බහුතරය සිනමාවෙන් හැරෙන්නට බිහිවුනේ ’වෙළඳ තැටි’ වෙතිනි. 

’වෙළඳ තැටි’ නිෂ්පාදකයන් නොසිටින්නට ’ලංකාවේ කන්ඩායම් ගී යුගය’ බිහිනොවන්නට ඉඩ තිබිනි. මක්නිසාද යත් ඔවුනට එක්තරා යුගයක ගුවන් විදුලියේ දොර කවුඵ වැසී එය තහනම් පදෙසක් බවට පත් වි තිබුනු නිසාවෙනි.

සංගීතවේදී ආර් මුත්තුස්වාමී හට 1973 දී ’ගොපඵ හඞ’ සිනමාකෘතිය සංගීතවත් කරන්නට වරම් ලබන ලදුව හරූන් ලන්ත‍්‍රා ශිල්පියාගේ අතිශය ජනප‍්‍රිය නිර්මාණයක් වු ’මගේ නාමලී බැඳි ආදරේ...........’ බිහිකරදුන්නේ  නමුදු එය අවසනාවකට හින්දි ගී තනුවක ප්‍රතිනිර්මානයෙන් එළිදුටුවේය.. ඒ අතරවාරයේ ඔහුටද මතු කී වෙළඳ ගී තැටි ඇල්බමයක් සඳහා සිය නිසග ප‍්‍රතිභාව යොමුකරන්නට අවස්ථාව ලද්දේය. ඒ කෙනත් සී පෙරේරා ගේ ’සිල්වර්ලයින්’ ලේබලය වෙතටය. ඔහු බොහෝ අවස්ථාවලදී ගුවන් විදුලි ගී ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට වඩා නැවුම් හරවත් මධුරතර නිර්මාණ සිය ශ‍්‍රාවක පාරිභෝගික භවතුන් උදෙසා පිරිනමන්නට ඇප කැපවි සිටියෙකි. ඒ වෙනුවෙන් දිව ? වෙහෙසුනු ඔහු නිසා ලාංකීය සංගීත කෙතට හරවත් ගී රැුසක් එකතුවිය. සිය නැවුම් ගී නිර්මාන ’ගුවන් විදුලියේ’ මැදිහත්වීමකින් තොරව ප‍්‍රසිද්ධකරලීමේ අපහසුතාවය මනාලෙස වටහගෙන සිටි නිසාදෝ ඔහු සෑම ඉරුදිනකම  පෙරවරු 10 සිට අඩපැයක කාලයක අනුග‍්‍රහක වෙළඳ වැඩසටහනක් ගුවන් විදුලියේ එදවස සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවය වෙතින් වෙන්කරවාගෙන ප‍්‍රවිණ ගුවන් විදුලි ශිල්පී නාට්‍යවේදී දිවංගත ගැමුණු විජේසූරිය ශිල්පියා එහි නිවේදක කාර්යය භාරය ඉටුකරගන්නට යොදා ගත්තේය. ශ‍්‍රාවක අපද ’සිල්වර්ලයින්’ නිකුත් කළ නැවුම් ගී රසය විඳගත්තේ මෙම වැඩසටහන ඔස්සේය.

මුත්තුස්වාම් සංගීතවේදියා එවරද ’පෞද්ගලික වෙළඳ තැටි ගී’ යනු හොඳින් ලාභ ඉපදවිය යුතු ව්‍යාපාරයක් යන්න මනාලෙස අවබෝධකරගෙන සිටින්නට ඇති අතර ඒ අනුව විවිධ තාක්‍ෂනික ශීල්පීයෝප‍්‍රකම ද යොදාගැනීමෙන් නොනැවත බටහිර  ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩ වැඩිමනත් ව යොදා එමෙන්ම එහි එන ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (Harmony)  - (Counter Melody) විමසා බලනු මැනවි මුත්තුස්වාමී ස්වරාලංකරණ රසෝඝය ආචාර්ය සුජාතා අත්තානයක කමණිය ස්වර සමාධියෙන්.

ප‍්‍රාථමික තාක්‍ෂනයකදී වුවද කළහැකි උපරිම ශබ්ද ප‍්‍රයෝග භාවිත කරන්නට එදවස සංගීතවේදීන් සහ සංයෝජකයන් උත්සුක වූහ. ඒ සිය නිර්මාණයෙන් උපරිම වෙනසක් රසයක් ජනිත කරවන්නටය.

පහත වැයෙන ’නළලත කියඹු ලතා’ ගීතයේදී ’රිවර්බ්  (Reverb) නම් තාක්‍ෂනය භාවිත කර ඇති බවක් හැගීයයි. එහිදී ගායන ශිල්පියා ගේ හඞ දෝංකාර නවයි. ඇතැම් සිනමා ගී සහ විශේෂ තැටි ඇල්බම් පටිගත කිරිමේදී මෙවන් ශබ්ද ප‍්‍රයෝග එදවස භාවිත කරනු ලැබ තිබින

නළලත කියඹු ලතා ..............

පළඳින සිරිළියේ .........

හිරු සඳු මිහි මඞලේ ............

ඔබ රුව නෙවෙද ප‍්‍රියේ ..............

නළලතා කියඹු ලතා ..............

තුඩ තුඩ මියුරු නදින් .........

ඔබ ගී වරුණ ඇසේ ...

කවි ගී මුතුහරසේ ............

ලියැවෙයි සතර දෙසේ .............

පෙම්හද පොකුරු පියුම් හදඔබේ ලියේ .............

පහනේ සිඵව ලෙසින් බැබලේ ...........

මෙරූප නාරිලතා ගුණ රූ වරුණ කියා .......

දයාද ඇයි පැතුවේ රන්මිනි අගය කියා ..........

අරුමය අරුම ලොවේ ...........

ඒකයි සොඳුරු ලියේ ....

යහගුන නිමල යොවුන් හදඔබේ ලියේ ..........

ධනයට වැඩියෙන් නැතිවද අගේ .............

(ගී පද ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහ - 1975*

ලේබලය - සිල්වර්ලයින්

නිපැයුම - කෙනත් සී පෙරේරා


සවන්දෙන්න ’නළලත කියඹු ලතා’වට

-----------------------

’රාමයියා මුත්තුස්වාමි’ සංගීතවේදියාගේ වෘත්තිය දිවියෙන් අසුරු සැණක තොරතුරු මෙලෙස කැටිකොට දැක්වුයේ වෙසෙසින් ඔහු එහි රාමුවකට, ශෙලීයකට කොටුනොවු ස්වාධීන පුඵල් දැක්මක් සහිත නිර්මාණකරුවෙක් බව පසක් කරනු රිසියෙනි.

ආර් මුත්තුස්වාමී  ගාන්ධර්වයාණෝ 1988 ජූනි මස 27 දාතමේදීී සිය දයාබර පියඹ ’නිලීයා මුත්තුස්වාමී’ සහ ’දරු තිදෙනා’ මෙන්ම සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවකයන් තනිකර දමා මෙළොවින් නික්ම ගියහ.

---------------------------------------------------------------------

මුත්තුස්වාමි සංගීතවේදියාණෙනි ඔබට මොක් සුව පතමි...........













6 comments:

  1. පළමු කමෙන්ටුවෙන්ම අඩුවක් ගැන කියනවාට සමා වෙන්න. ලිපියේ වටිනාකම නිසාම මෙවැනි අතපසුවීමක් වුණත් නොසලකා හරින්නට බැහැ කියා හිතුනා.
    ෆ්ලොරිඩා ජයලත් හැදුවේ 'ස්වීප් ටිකට්' ෆිල්ම් එක නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එය එම් එස් ආන්නද ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. අහිතක් හිතන්න එපා. මේ කාරනාව වැදගත් එකක් නිසයි හරියටම නිවැරදි කළ යුත්තේ. ස්වීප් ටිකට් සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වෙන්නේ ෆ්ලොරිඩා ජයලත් එය අධ්‍යක්ෂණය කළ නිසයි. ඇය තමා පළමු ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂිකාව.
      ඒ බව නුවන් නයනජිත් කුමාර ලියූ 'ශ්‍රී ලාංකේය සිනමා වංශය' පොතේ 32, 535 පිටුවලින් කියවෙනවා.

      Delete
    3. ඔව්, එය නිවැරදියි.ඊට පස්සේ රූබි ද මෙල්...පිපෙන කුමුදු 1967 වෙන්නැති

      Delete
  2. කාලයේ වැලිතලයෙන් යටවී ඇති මිණිමුතු යළි මතු කරදීමෙන් ඔබ කරන්නේ මහඟු සේවයක්. මෙහි සඳහන් වී ඇති ආකාරයට හරූන් ලන්ත්‍රාගේ 'මගේ නාමලී....' ගීතය ස්වතන්ත්‍ර තනුවක් යන අදහස එන්නට ඉඩ ඇතත් එය හින්දි තනුවක් නේද?

    ReplyDelete
    Replies
    1. එය නිනිවැරදියි. එය එතැනින් ඉවත් කළ නොහැකියි. ඒ බව එතැන සඳහන් කරන්නම් ස්තුතියි

      Delete