namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, October 26, 2023

Sinhalese Children's Hits of 70s with EP-45 rpm

 එදා ඊ පී තැටි ගීයෙන් දොරට වැඩි ළපටි කැළ................

සිනමා කලාවේ මෙන්ම ගීත කලාවේ ද විවිධාකාර ’රැළි’ බිහිවන්නේ ලක්බිමේ පමණක් නොවේ. ඒ අනුව ’බීට්ල්ස්’ රැල්ල විසින් ශ්‍රි ලංකාවේ කන්ඩායම් ගී යුගය බිහිකරදුන්නේ 60 දශකයේදීය.  ඉක්බිති උදාවූ දශකයේ මුල් භාගයේදීම දෙවැනි රැල්ලට මුල පිරුවේ ’ළමා ගායිකාව’ කි. ඇය පෙරකී කන්ඩායම් ගී රැල්ලේ ගසාගෙන ආ ’ධරමරත්න සහෝදර’ කන්ඩායමේ ඥාති දියනිය වූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ගේ ගී ප්‍රවාහයයි. ඇය ඒකලව ගැයු ගීත හතරකින් සමන්විතව නිකුත් වූ ’සූරිය’ තැටිය විසින් ඇතිකළ ආන්දෝලනය සුඵ පටු නොවිය. 


----------
ශිරෝමි ප්‍රනාන්දු  - 70 දශකයේ අගභාගය
-----------
ඒ ලක්බිමේ මුල්වරට වේගරිද්ම බටහිර ’පොප්’ ශෛලිය අනුව ’ළමා ගායිකාවක්’ ගීත ගයනා කිරීමේ ප්‍රවණතාවයයි. ඇයගේ ’කොන්ද නමාගෙන (ආච්චි)...’ සහ ’ පොඩිකාලේ දගකෙරුවාම (අම්මා-තාත්තා)’  ගීත අත්කරගත් අසාමාන්‍ය ජනප්‍රීයතාවයෙන් කුඵගැන්වුනු වෙනත් තැටි නිෂ්පාදකයන් ද සිය ලේබල් සඳහා ගයන්නට ’ළමා ගායිකාවන්’ සොයන්නට තැත් දෑරිමේ ප්‍රතිඵලය වූයේ ’නිව් සවුන්ඩ්’ නම් වූ ජනප්‍රිය ගීත ලේබලයෙන් ’දමයන්ති ඒකනායක’  සහ ’ලෝටස්’ ලේබලයෙන් ’ලිලන්ති කරුණානායක’  මෙන්ම ’මොණරා’ නම් වු උද්ධෘතයෙන් සහ ’සරස්වතී’ලේබලයෙන්  ’ශිරෝමාලා ප්‍රනාන්දු’ කරළියට පැමිනීමයි. මීට අමතරව ’මලා ටී වඩුගේ’ නම් වූ දැරිය ද තැටියකට ගී ගැයුවාය.  මේ සියල්ල 1971 සිට 1979 කාලය ආවරණය කරයි.

ශීරෝමි මෙම ප්‍රවාහයේ නියමු ගායිකාවයි. ඇයගේ ගී පද රචනා මෙන්ම තනු සහ සංගීත අධ්‍යක්‍ෂනය ද මාමාවරුන්ගේ සංගීත කන්ඩායමේ නියමුවා වු ’මෙල්රෝයි ධර්මරත්න’ සහ ’මැක්ස්වෙල්’  ඇතුඵ පිරිස විසින් සිදු කළහ.


01 පොඩි කාලේ දග කෙරුවාම .....


02 කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ....


03 සකළ බුජං කොට කළිසම් තමයි අඳින්නේ...


04 හඳහාමි සුදු හඳහාමී.................


05 පුඵන් කොට්ට අත්දෙක තබලා ...(බළල් හාමිනේ)


06 රුවට රුවක් නැත මෙහෙම රුවක් නැත..................


07 මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ .................


08 උඳුවප් මාසේ සීතල දවසක ....(ජේසු බබා)


09 මං සමනලයෙක් වෙලා ...................


--------------------------------------------

’ශිරෝමි’ නම් ළමා ශිල්පිනිය බිහිකරදීමේ පුර්ණ ගෞරව බුහුමානය ඇයගේ ම මවගේ බාල සොයුරු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න ට හිමිවිය යුතුය. ඇයගේ ගීත සියල්ලකම පාහේ පද රචනාවන් මෙන්ම තනුව සහ සංගීත අධ්‍යක්‍ෂනය පවා සිදුකළේ ඔහුය. එහිදී ඔහු විවිධාකාර විෂය පඨයන් ඔස්සේ සිය ගී පද රචනා කෞෂල්‍යය මෙහෙයවූ බවක් පෙනීයයි. 70 දශකයේ මධ්‍යම පාන්තික සහ ඉහළ මාධ්‍යම පාන්තික දෙකොට්ඨාශයේ නිවෙස් හී දොරක් පාසා දකින්නට ලැබුනු ’ළමා මෙහෙකරුවන්’ ගේ අවසනාවන්ත, අසරණ දිවිපෙවෙත ඔහු සිය නිර්මාණ ඔස්සේ සකච්ඡා කලේය (සකළ බුජං, මම දුකින් තමයි ඉන්නේ කවුද...)

-----
ශිරෝමි ප්‍රනාන්දු  - 70 දශකයේ මුල් යුගය
-----

ඒ ගීත සංගීතවත් කිරීමේදී ඒකාකාර රාමුවකට කොටුවීමෙන් වැළකී, පෙරාපරදෙදිග විවිධ වාද්‍ය භාන්ඩ සංකලනයෙන් ඔහු ඒවා රසගැන්වීය. පහත වාදනය වන ගීතය සංගීතවත් කරනු වස් ඔහු සාම්ප්‍රදායික ලාංකීය වාද්‍ය භාන්ඩයක් වන ’උඩැක්කිය’ ද බටහිර ශූෂිර වාදf්‍යා්පකරණයක් වන ’ඕබෝ’ වද යොදාගෙන ඇත.







-------------------------------------------------------------

’රුවට රුවක් නැැත............මෙහෙම රුවක් නැත.............

-------------------------------------------

ඇයගේ ගීත ජනාදරයට පාත්‍ර වෙමින් දිවයින පුරා මහත් ආන්දෝලනයකට ලක්වෙද්දී, කරළියට පැමිණී දෙවැන්නිය ’දමයන්ති ඒකනායක’ ය. 


01 අම්මාගේ උකුලේ නැළවි ............


02 එක දවසක් සියා අපේ ගෙදර ඇවිල්ල......(බෝනික්කා)


01 උදේ සුපිපුනු මලක් බඳු...(නංගී)


02 මුඵ ලොව ලැබුනත්..... (පියා - දුවනිය සංවාදය)


-----------------------------

උදේ සුපිපුනු මලක් බඳු ...........................

-------------------------------------

---------------
දමයන්ති ඒකනායක
----------

’කරුණාරත්න අබේසේකර’ විසින් පබඳින ලදුව ’මොහොමඩ් සාලි’ සංගීතවේදියා විසින් රසගන්වන්නට යෙදුනු අතර ඒවාද ’ශීරෝමි’ ගී රැල්ළේ පාවි යමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගියේය.  එහි ඇතුළත් සංවාද ගීය ද සැළකිල්ලට ගෙනදෝ, ලිලන්ති කරුණායක සහ ඇනස්ලි මාලේවන ගේ සංවාදය ’සුළග සහ ළමයා’ අතරය.  සත්සර රටාවන් ක්ලැරන්ස් විසිනි.


01 කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ.... (කරුණාරත්න අබේසේකර)


02 ඇය කොන්ඩේ දිගට දාලා ..(ටීචර්) - (ක්ලැරන්ස්)


03 අහසේ ඈත දිළීසෙනවා ....(කණාමැදිරියෝ) (ක්ලැරන්ස්)


04 වැනියන් කලු වැනීයන්...(කේ ඩි කේ ධර්මවර්ධන)


ගීත අතරින් ’කියන්න සුළගේ’ අත්කරගත් ජයග්‍රහනය දිගු පුඵළින් මහත් විය.


-------------
ලිලන්ති කරුණානායක
-----------------









-----------------------------------------------

ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා...

---------------------------------------------

ශිරෝමාලා ප්‍රනාන්දු මතු කි තිදෙනා අතරින්ම ළාබාළතම දැරිය වන්නට ඇත. මන්ද ඇයගේ හඞ එකී ගීතයන්හි ඉතා ළපැටි, හුරුබුහුටි කෙළිලොල් බවකින් සමන්විත බැවිනි. ශ්‍රී ලංකාවේ සිනමා-ගුවන් විදුලි-තැටි ගීත නිර්මාණ සාහිත්‍යයේ හදවත් බඳු ජ්‍යෙෂ්ඨතම ප්‍රවිණ සංගීත අධ්‍යක්‍ෂවරු’සරස්වතී’ තැටි ලේබලය උදෙසා,  ’වාදක මන්ඩලය’ හොබවමින් මේ කුඩා දැරියගේ ගීත රසගැන්වූහ. ඒ අතර ....


පියානෝ  - ඒලියන්ද සොයිසා, 

වයලීන් කන්ඩායම - එම් කේ රොක්සාමි, වික්ටර් දඵගම, අමරසිරි පීරිස්

ස්පාඤ්ඤ ගිටාරය - මර්වින් විජේවර්ධන

හවායන් ගිටාරය - පැට්‍රික් දෙණිපිටිය

ක්ලැරිනට් - සරත් බාලසූරිය

සැක්ස්ෆෝන් - ස්ටැන්ලි පීරිස්

සිතාරය - වයි එම් සුමනසිරි

ඩබල් බේස් - එම් මානික්කවාසගර්

ජෑස් - ෆාරුක් මිස්කින්

බොංගෝ - ඩබ්ලිව් ශ්‍රියාරත්න (ෂෙල්ටන් ප්‍රේමරත්න සොයුරු)

කොංගෝ - ඩබ්ලිව් විජේසිරි

මෙකී ප්‍රවිණයන්ගේ අති විශීෂ්ඨ වාද්‍ය රසය හේතුවෙන්දෝ ඇයගේ ගීත සංගීත නාද රසයෙන් පිරි ඉතිරි ගිය බවක් හැගී යයි.


01 කිංචි පිංචි හාවා යද්දි තනිවෙලා ................ (කරුණාරත්න අබේසේකර ගී තනුවට සංගීතය සංගීතවේදී වික්ටර් දඵගම)


02 රණ මොනරු රන්වන් රන් රණ මොනරු .................(ගී පද සහ සංගීතය - ක්ලෝඩ් ද සොයිසා වෙතිනි)

-------
ශිරෝමාලා ප්‍රනාන්දු
-------

---------------------------

රණ මොනරු රන්වන් රන්...............

--------------------------------

යන මේ ගීත සමනළ වර්ණ මොනරෙකුගෙන් විචිත්‍රවත් වූ තැටි කවරයකින් හෙබි ඇයගේ ඇල්බමයේ ඇතුළත් විය.

ස්වරාලංකරණයෙන් විශීෂඨතා සහ නිපුනතා අත්කරගැන්මට තරම් පරිණත නොවුනු වයසක පසුවන ’දරු දැරියන්’ ලවා සම්පුර්ණ ගීතයක් ගයවා ගන්නවාට වඩා ඇයව හෝ ඔහුව ගායනයට නිරාවණය කිරීම සිමා කරන ’සංවාද’ ගීයක් නිර්මාණය වඩාත්ම වාසිදායක වන්නට ඇත. එහි ප්‍රතිපලය පහත ගැයුනු ගීතයන්ය.  ගීත ප්‍රබන්ධ කලාවේ ’මහගුරු’ ලෙස හැඳින්විය හැකි, ප්‍රවින ගුවන් විදුලි මාධ්‍යවේදී දිවංගත කරුණාරත්න අබේසේකර හැදූ මේ සංවාදයේ යෙදුනේ ජනකාන්ත ගායක එච් ආර් ජෝතිපාල සමග එදවස ළමා ගායිකාවක් වූ ’මැණික් චන්ද්‍රිකා’ ය. තනු රටාවද සංගීත සංයෝජනයද එය නිකුත් කල ’ෂාන්ස්’ ලේබලයේ නිර්මාතෘ ’ෂන්මුගම්’ සංගීතඥයාගෙනි.


දරිය - 

තාත්තී ....? තාත්තී....?


’ජෝති’  - 

දසමසක් කුසේ හොවලා ...

ලේ කිරි ලෙසින් පොවලා...

ඔබව හැදුව පුංචි කලේ ...


දැරිය

අම්මා.....


ජෝති

රෑ දවාලේ වැස්ස අව්වේ ...

ජිවිතේම වෙහෙස වූයේ ...

හොඳට හැදෙන තාලේ කිවේ ...


දරිය


තාත්තා ....

------------------

සවන්දෙන්න මෙතැනින්

------------------------

'

මේ ආකෘතිය ට අනුගතව ඊට සමාන්තර යුගයේ බිහිවුනු ගීතයකි මේ.



පියා - 

ලස්සනට වෙන්නට හදන්නේ .....

අඵත් මෝස්තර හොයන්නේ ....

තිස්සේම සිංදුයි අහන්නේ ....


දුවනිය -

අක්කා ...........



දුවනිය

දවසේ හිතෙන හිතෙන ගානේ ...

තුන හතරක් ගවුම් ඇඳන් ....

රෝස මලක් පෙනයි මූනේ ....


පියා

නංගී ....


--------------------------

සවන්දෙන්න මෙතැනින්

-------------------------

උක්ත සංවාදයද සුපුරුදු ලෙසම ’කරු අයියා’ යන ආදරණිය වදනින් කලාලොව දැන හැඳිනගත් ’කරුණාරත්න අබේසේකරයන්’ ගේය. තනු නිර්මාණය සහ සංගීතය ’ආර් ඒ චන්ද්‍රසේන’ සංගීතවේදියාගෙනි.

ශීරෝමාලා ට නොදෙවෙනි, ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කරන්නට ඇතැයි අනුමාන කරන  ළපැටි   දගකාර  හඞකින් ගී ගැයූ ළදැරිය ’මාලා ටී වඩුගේ ළමා ශිල්පිනියගේ තැටි ගීත, එදවස ගුවන් විදුලි ළමා ගී විචිත්‍රාංගයේ දී දරුවන් වෙත තිළිණ කලේ ලංකා ගුවන් විදුලි සේවය විසිනි.  එහි වාදක මන්ඩලයේ ප්‍රවිණ සරපුවරු වාදකයෙකු ලෙස කටයුතු කල සංගීතවේදී ස්ටැන්ලි එම් ප්‍රනාන්දු තනු නිර්මාණය කරමින් සංගීතවත් කල ඇයගේ නිර්මාණ පබැඳූවේ එදවස එහි තාක්‍ෂනික කාර්ය මඞුල්ලේ සාමාජික චන්ද්‍රසේන රංගේ විසිනි.


ගල්ලෑල්ලේ කුරුටුගාන ශීරුමාලී අර බලන්නකෝ.....

පාට පාට රූප පොතක් ගුරුතුමි ගෙනෙල්ලා....

වෙලට උඩින් ඉර පායා...

ගමට උඩින් හඳ පායා....

හරිම ලස්සනයි ඒ පිංතුරේ....


---------------------

සවන්දෙන්න මෙතැනින්

----------------------------


70 දශකයේ වෙළඳ තැටි උදෙසා ගී හඞ එක්කල සෙසු දැරියෝ ළමා වියෙන් නික්ම, නව යොවුන් වියට එළඹ සිටියහ. ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියාගේ දෙටු දියනිය විසිවසට එලඹි ’තිලංගනී’ සමග ඇයගේ වයස් ඛාන්ඩය නියෝජනය කල ’චම්පා අතපත්තු’ ද, එවකට  දොළොස් හැවිරිදි වියේ පසුවූ ’දර්ශනී චන්ද්‍රසේන’ ද මෙන්ම  ළමා ගී පද සාහිත්‍යයට අනුගත නොවූ  ’වින්ස්ලෝ සික්ස්’ නම් වූ හාර්මනි සංගීත කන්ඩායමේ සහෝදරියන් ද ඔවුන් අතර වෙති. 


මරදාන හන්දියේ වර්තමාන ’එල්ෆින්ස්ටන්’ රගහලට යාබද මාවතේ ’චන්ද්‍රසේන සංගීතායතනය’ පවත්වාගෙන යනු ලැබූ සංගීතවේදී ’ආර් ඒ චන්ද්‍රසේන’, ඔහුගේ නමින් ’ආර් ඒ සී’ තැටි ලේබලයේ මෙහෙයුම් කටයුතු ද සිදු කරනු ලැබීය. ඔහුගේ දියණියෝ ද, සිසුන්ද ඒ ගී තැටි ඔස්සේ ගීත රසිකයන් හඳුනාගත්හ. චන්ද්‍රසේනයන් ගේ වාද්‍ය වෘන්දයේ එදවස වාද්‍ය කලාවේ කෙළ පැමිනි ප්‍රවිණයන් ගණනාවක් සේවය කළහ. ඒ කාරණය නිසාවෙන් ඔහුගේ තැටි ගීතයන් විදුලි ඕගන් රටා ඇතුඵ වාද්‍ය රසයෙන් අනූන විය. ’මල් කිනිත්ත වාගේ...’ ගීතය එදවස ලංකා පරිපාලන සේවයේ නිලදරුවෙකු ලෙස කටයුතු කල අමර කුමාරරත්න විසින් එය රචනා කරන ලදී.


---------------------
දර්ශනී සහ තිලංගනී  - - 70 දශකයේදී 
--------------------

දර්ශනී සහ තිලංගනී ගැයු ජනප්‍රිය ගීත යුගළයකි



මල් කිණීත්ත වාගේ චූටි නංගි ලස්සනයි.....

අක්ක කන්නේ බොන්නෙ යන්නෙ එන්නේ හරිම තාලෙටයි.................


රාජසබේ තැගී ගෙනා ...................

සාරකථා මේවා තබා...

කාසිපනම් නැතුව නිකම් බෑ ළමයෝ කියන්ටා .......


-----------------------

සවන්දෙන්න මෙතැනින්


----------------------------

තිලංගනී සහ චන්ද්‍රසේන සංගීතායතනයේ ශිෂ්‍යා ’චම්පා’ ද එක්ව ගැයූ ගී තැටි ත්‍රීත්වයක ගීත ද ’කරුණාරත්න අබේසේකරයන් ගේ පද සංකල්පනාවන්ගෙන් සමන්විත විය. ඒ සියඵ ගීතවල තනු, සංගීත අධ්‍යක්‍ෂනය, වාදක මන්ඩල මෙහෙයවීම, ආර් ඒ චන්ද්‍රසේනයන් විසින් සිදු කරන්නට යෙදුනි.


’රොන්සුනු මල්පැනි දිගන්තේ ...................’

යව්වන යව්වන වසන්තේ ...................’

’රස ජීවන සිතුවිල්ලේ ...සුව සාදන සැනසිල්ලේ ...

හද සෝබන ගී නාදේ...ඔබ ගයන්න ඇයි නාවේ ..............’

--------------------

මෙතැනින් සවන්දෙන්න

---------------------------


’විලේ මලක උපන්නී... ජලේ රළක නිදන්නී...

මලේ සුවඳ විඳින්නී...පැළේ එළිය ලබන්නී....

අරුණෝදේ උදාගිරෙන් නැගෙන හිරුද සිනාසේ......



චිරං ජයතු මංගලම් ....මංගලම්..

ජය කුසුම්..ජය පැතුම්.. චිරං ජයතු මංගලම්...


’සිරිල් ඒ සීලවිමල’ එදවස පරසිඳු දිනපතා ජාතික පුවත්පත වූ ’දවස’ අගසකසු ධූරය හෙබවීය. ඔහු ද චන්ද්‍රසේන තැටි ගී සඳහා ගී පබඳීම සිදුකළේය. ඔහුගේ තාක්‍ෂනික ප්‍රයෝග සහිත සංකීර්ණ බටහිර තනු උදෙසා වදන් සැකසීම ඔවුන් හට අභියෝගයක්ම වන්නට ඇත. පහත ගී පද රචනය විමසනු මනාය. එය සාර්ථක පද ගැළපීමක් නොවූ නමුත් ඒ සියඵ කඩතොඵ ’සංගීත රසය’ විසින් අකාමකා දමනු ලැබිය.


සිරිලංකා අලංකාර ලංකා ................

මැණික් ගල ලංකා..මැණික් බිම ලංකා ...............

පොළෝ ගැබ හංගා ඉන්නා අසාවෙනි.............

(සිරිල් ඒ සීලවීමළ ගී පද)

චන්ද්‍රසේන සංගීත පාසලේ ශීෂ්‍ය ’ලලිත් ගම්හේවා’ මේ ’දැරියන් සහ යුවතියන්’ අතර කැපී පෙනුනු එකම ’යෞවනයා’ විය.


අපේ සිංහලේ ඔපකලේ .....

සම්බුදුන්ගේ ශ්‍රී දන්තදා .....

හිසේ රන්දවා ...

වැඩමුවේ ...හේමමාලි කුමරි එදා....


(කරුණාරත්න අබේසේකර ගී පද)


---------------------

මෙතැනින් සවන්දෙන්න


ඔහු දිනක සිය සංගීතාගාරය වෙත කැඳවාගත් අටහැවිරිදි දැරියකට ගීතයක් පුහුණු කරන්නට යෙදුනි. ඇය නියමිත පරිදි එය ගායනා කළ යුත්තේ ඇයගේ සෙනෙහෙබර මව සමගය. දැඩි පුහුණුවකින් පසුව ඇය නියමිත දිනයේ නියමිත ශබ්දාගාරයේදී චන්ද්‍රසේන සංගීතවේදියා ගේ මෙහෙයවීමෙන් අදාළ ගීතය ගයනා කළාය. ඇයගේ දෙමව්පියන් ඔහුගේ සුහද සමීප මිතුරෝ වූහ. ඔවුන් ඔහු හා එක්ව දශක ගණනාවක් සමීප ව කටයුතු කළහ. ඔවුන් දෙදෙනා ශ්‍රි ලංකාවේ ප්‍රවිණතම ජ්‍යෙෂ්ඨ ගායන ශීල්පීන් යුවළක් වු ’ධර්මදාස වල්පොළ’ සහ ’ලතා වල්පොළ’ ය. දියණිය ’ධම්මිකා’ ය. ඇය සිය මව හා සමග ගැයු පළමු යුග ගීතය වු එය ’බිස්වා’ ලේබලයෙන් ජනගත විය. ගී පද අමර කුමාරරත්නගෙනි.


-----------------------

මෙතැනින් සවන්දෙන්න


-----------------------


ඉහත ගීත සියල්ල සාවධානව සවන්යොමන ශ්‍රාවකයා මනාව අවබෝධ කරගන්නේ ඒවා සඳහා පුඵල් ලෙසත් බහුල ලෙසත් යොදාගෙන ඇති වාද්‍ය සංකලනයේ විචිත්‍රත්වයයි. වෙළඳ තැටියකදී එයාකාර සංගීත සංයෝජනයක් අත්‍යවශ්‍ය විය. ගීතයේ අරුත මෙන්ම එදා යුගයේ වාද්‍ය මිහිර ද රසිකයන්ගේ නොමද සැළකිල්ලට බඳුන් වූ බැවිනි. ඒ කරුණෙන්ද, ප්‍රමුඛතමයා වූයේ ආර් ඒ චන්ද්‍රසේනයන්ය. ඔහු ඒ කටයුත්තේ නිපුණයෙකුව, විශේෂඥයෙකුව සිටියේය. ඒ බව ඉහත වැයෙන ඔහුගේ නිර්මාණයන් වෙතට අවධානය යොමු කරන්නෙකුට පසක් වෙනවා ඇත.

-------------------------

බටහිර ගීත ගැයු ’ජෙට්ලයිනර්ස්’ සංගීත කන්ඩායමේ මෙහෙයුම්කරු ’ටෝනි ප්‍රනාන්දු’ සහ ඔහුගේ ප්‍රිය බිරිඳ ගායිකා ’මිනෝන් රත්නම්’ ගේ දරුවන් දෙදෙනා විසින් ද එක් ඊ පී තැටියකට ගීතයක් ගයන්නට යෙදුනේ කරුණාරත්න අබේසේකරයන්ගේ ගුවන් විදුලි ළමා ගීතයක පදමාළාවක් ඇසුරෙනි.


දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කොලේ ...

හායි හායි අපි ඔන්න සෙල්ලම් කාලේ ....

මං පළවෙනියාව කියලා අම්මට හරි අස හිතිලා...

දෙනවා කිව්වා තෑගි ගෙනෙල්ලා...

තාත්තා මට ආදරේලු .... අම්මා දේවි ඇඳුම් මසාලා ....

(කරු අබේසේකර)

ඊ පී තැටි පරපුර ඇසුරේ ගී ගැයු ළමාපෙළහෙි අන්දරය මෙපමණකින් නිමා වේ. ඔවුන් අතරින් වැඩිම ගීත ගණනක් ගැයූ ’ශිරෝමි ප්‍රනාන්දු’ ද ඇයට පසුව එකී ලැයිස්තුව නියෝජනය කළ ’ලිලන්ති කරුණානායක’ කැපි පෙණුනේය.

විශේෂ ස්තුතිය

කරුණාරත්න අබේසේකර පුත් දීලීප අබේසේකර මහතා ඇතුඵ ශ්‍රී ලංකා ඊ පී තැටි සංරක්‍ෂක සංසදය වෙත

--------------------The End ---------------------------------


Friday, October 13, 2023

Sarath Dasanayake - Upali Danawalavithana

 මා ඔබට නොකී වග නම්.......


කැළණි විහාරය අසබඩින් හැල්මේ දිවයන කැළණි ගං කොමළියගේ සිරුර මතින් ඔබමොබ යන්නට දැන් බාධාඅවහිරතා නැතත්, එදවස ගැමියන් ඊට සරණ පැතුවේ තොටියාගෙනි. 



ඔරුව මතට සිරුරු බර තබගත් ඇතැමෙකු හට නදී තරණය තමන්ගේ එදිනෙදා දිවියේම කොටසක් වෙද්දී තවත් අයගේ සිත කැළඹී යන්නේ ගංදියේ කැළඹීම පරදවමිනි. නදිතමෝ රුදුරු වෙසක් ගත් පැයේ ඔවුන්ගේ ඒ බිය සාධාරනය. සිරිපා අඩවියේ සිට පැමිනි තම චාරිකාව අහවර කරන්නට සැදී පැහැදී සිටින ඇය, කඩිමුඩියේ ඊට ලක ලැහැස්ති වන්නීය.

’මාලතී’ ද සිය පිරිවර සමග ඔරුකඳ තුරුළට වැදුනේ එහා ඉවුරේ නුදුරින් තිබුනු සිය නිවහන කරා යන්නටය. ඉරණමේ රුදුරු රකුසා කඩාපැන පෙරළා දැමූ ඔරුවෙන් ගංදියට වැටුනු පිරිසේ එකිනෙකා අවට ගම්වැසියන්ගේ පිහිටෙන් මරු කටින් එතෙර වූහ. එහෙත් පිහිණුම් ශූරී ’මාලතී’ අතුරුදහන්ය. සෝ සුසුම් හෙළන්නට, සැක සංකා උපදවාගන්නට ඇවැසි නැත්තේය. ඇය පිහිනා හෝ කිමිද එතෙර වි ඇති බව නිසැකය.  

ඇය කොතැනින් මතුවී ඒදැයි ඔවූහූ ගංඉවුරුතලාවට රොක්වි විපිළිසර විය. විනාඩි ගණන පැයක් බවට පත්වෙද්දී, ඇයගේ නෑ සිය හිත මිතුරන් කුහුල් සිතින් ඔබමොබ දිව ඇවිද යන්නට විය. ඇතැමෙක් දෙබැම රැළි නංවා, විමතිය පළකරමින් ඇය කොහේ ගියේදැයි විමසන්නට විය. කිසිම හෝඩුවාවක් නැත්තේය. පෙරඵනු ඔරුව ඉවුර වෙත ඇදගෙන එන්නට තැත් දැරූ පිරිසට කිසියම් අමුත්තක් දැනිනි. එය අසාමාන්‍ය ලෙස බරැතිය. තමන්ගේ කාර්ය භාරය අවසානයේ ඔවුන් නොපිට පෙරඵනු ඔරුකඳ ඔසවාලීය. 

දුටු දසුනින්, අයෙකු යටිගිරියෙන් කෑ මොර දෙන්නට පටන් ගත්තේය. සෙස්සෝ වහා ඒ දෙසට දිවවිත් ඔරුකඳ වටකරගනිද්දී, බවලත් ඇත්තෝ හිසඅතබදා විලාප නගන්නට විය. ’මාලතී’ ඔරුකඳ තුළ සැතපී සිටී. වහා ඇයව ඔසවා ගත් පිරිස රෝහල කරා පිටත්ව ගියත්, දිය රකුසාට අභියෝග කළ ඇයගෙන් ඔහු පළිගෙන තිබිනි. ඇය ඔවුන් සියල්ලගෙන් සමුගෙන නික්ම ගොසිනි. 

විළාප තබන්නන් අතරින් එක් අයෙකු සෙස්සන්ගේ වෙසෙස් අවධානයට පැහැර ගත්තේ, ඔහු නැගූ අඳෝනාව අන් අය ඉක්මවා උස්ව නැගී ආ හෙයිනි. ඔහු ඇයගේ පණනළ සැගව ගිය සිරුර බදා වැළඳ කෑ මොර ගසන්නට විය. විපත හමුවේ එතරම් සසළ නොවූ උදාසීන සිතැත්තන් හට බොහෝ දේ අනුමාන කරන්නට ආගන්තුකයාගේ විලාපය ඉඩ හසර ලබා දි තිබිනි. 


ගම්මු එකිනෙකා හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට පටන් ගත්තේය.

ඔය කොඵවා ... ’මාලතී’ ගේ කවුද බං ? 

ඒකී කවුරු එක්කලාවත් හාදකමක් තිබුනේ නෑ...

එකත් එකටම මේකාට එකී බහ දෙන්නට ඇති. ඒත් මාලතී නම් යස්සනියක්. එහෙම කළා නම් ඉතිං ...? අයේ ... ඉර අනිත් පැත්තෙං පායයි බං...

භවගමනේ මේ නැවතුමෙහි, මෙතුවක් රැඳුනු නිවහනේ දෙතුන් දිනක් නිසලව සැතපී සිටි ඇය, යළි නොම එහි එන්නට නික්ම යන හෝරාව එළඹියේය. එදා නැගූ විළාපය ට නොදෙවෙනි වැළපුමක සෝ සුසුම්....මැද ඇය සැතපී ගත් දෙණ නිවසින් බැහරට ගත් පිරිස අතර පෙරකී මානවකයා සිටිනු හැම විසින් දක්නා ලදී. ඔහු කදුඵ වගුරුවමින්, පහතට නැඹූරු කරගත් දෙනෙතිත් යුතුව දෙණෙහි එක් අන්තයකට පිටදී, සුසානය කරා පියමං කරනු පෙණිනි.

එහි කටයුතු නිමාකළ පිරිස, ආපසු නික්ම යන්නට සැරසෙද්දී, ඔහු ඉන් මදක් මෑත්ව ඈතින් පිහිටි සොහොන්පල්ලා ගේ කුටියට වැදී එහි කවුඵ දොරින්,හිස් බැල්මෙන් යුතුව ඇයගේ සොහෙන වෙත දෙනෙත් යොමා දැහැන්ගතව රැඳි සිටිනු ඇස ගැටිනි. ඒ  දසුන දුටුවෝ යළි යළිත් ඔහු ගැන කරුණු විමසන්නට විය. එය ගැමි සමාජ රටාවේ ස්වභාවයයි. 

ඔවුනතරින් තවත් අයෙක් තරුණයා වෙතට සෙමින් පියනැගුවේ සිතේ හටගත් සැකසංකා මේ සිදුවිමෙහි අවසන් ජවනිකාවේ තිරය වැසී යන්නට පෙර දුරකරගැන්මේ අටියෙනි.

මල්ලී.. සිසිර... මම කථා කරාට කමක් නැද්ද? 

මානවකයා නිරුත්තරය.

ඔයා ’මාලති’ නංගී එක්ක මොකක්හරි ...? එයා ඔයාට කැමතිවෙලාද හිටියේ ...? අපි හැමෝම දැක්කා ඔයා මේ දවස්ටිකේ හිටපු හැටි.... 

ඔහු සෙමින් හිස ඔසවා සිය අසල්වැසි තරුණයා වෙත නෙත් යොමු කළේය.

’නැහැ’ කවදාවත් ’නැහැ’

ඒ කිව්වේ සිසිර ..? 

එයා ට මම ගොඩක් ආදරේ කලා ... හිතින් ... අවුරුදු ගණනක්.... මගේ හිතේ හිටිය ගැණුළමයා... දවස පුරා..එයා විතරයි... පහුගිය අවුරුදු තුන හතරටම... 

ඉතිං..? ඔයා එයාට ඒබව දැන්නුවා ..?

’නැහැ’ ඒත් කවදාවත් ’නැහැ’... මට ඒ බව එයාට කියාගන්න විදියක් තිබුනේ නෑ. මට බය හිතුනා..සැක හිතුනා.  අනිත් එක හැමෝම දැනගෙන හිටියා එයාගේ හැටි. ඒත්.. මම අදටත් ..හැමදාමත් එයාට ආදරෙයි.මට මෙතැනින් එයාව තනිකරලා යන්න හිතෙන්නේ නෑ. මෙතන ඉඳන් මම කියනවා මම එයාට ආදරෙයි කියලා. අපි ඊලග භවයේ හමුවෙනවා. මම එදාට කොහොම හරි එයා මට අයිතිකරගන්නවා.

ංංංංංංංංංංංංංංංංංංංං

කලක් ගතවිය, එක්තරා දිනක කැළණි ගං ඉවුර අසබඩ ඒ ගම්මානය සිසිකරණින් නැහැවෙමින් තිබිනි.ඉඳහිට නැගෙන බිරුම් හඞක්, කලාතුරකින් නැගෙන වාහනයක හඞ, නිරන්තරයෙන් ගැයෙන රැහැයි ගීතයට බාධා කළේය. එහෙත් නිවසක එළිපත්තට පිවිසි අයෙකුට ඒ සියඵ හඞ පරයා සවනත වැකෙන්නේ එහි ඇතුඵ ගැබකින් නැගෙන ගුවන් විදුලි යන්ත්‍රයෙන් නැගෙන ගී රාවයයි.



වේලාව රාත්‍රි නමය පසුවි විනාඩි විස්සයි.

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි. 


(තේමා වාදනය)


ප්‍රිය අසන්නෙනි, මේ ඇරඹෙන්නේ ඔබේ රාත්‍රි අසන්නන්ගේ ඉල්ලීම් තීරයයි..


(යළිත් තේමා වාදනය)


අද අසන්නන්ගේ ඉල්ලීම් තීරය අරඹමින් ගායන ශිල්පී එච් ආර් ජෝතිපාල ගයන ගීතයක් මේ අසන්නන් වෙනුවෙන්....  පොල්ගොල්ලේ එස් එම් ගාමිනි රත්නායක.... මෝදර ගාමා ගාමිනි සුබසිංහ... ඇතුඵ පිරිස ...


ගී පද රචනය උපාලි ධනවලවිතාන සංගීතය සරත් දසනායක.


පහන් ටැඹ යට සොහොන් කොත ලග ....

කවුද කාටද අත වනන්නේ ..?

දෑස නිදිනැති රෑක මැදියම ඔබේ ඉකිහඞ දෝ ඇසෙන්නේ ....

ඔබ වියෝවෙන් වේදනාවෙන් ... හීන් හිරිපොද වැටුනු දවසක...

නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට.....


ඒ සොහොන්කොත පෙනෙන මානේ ...

පුංචි කුටියක කවුඵවක් ලග...

බලා ඉන්නෙමි සිතින් හමුවී ...

කියා ගන්නට සිතක බැඳි පෙම....



එහි නිවැසියන් හෝ ගම්මානයේ කිසිවෙකු, වෙනකක් තබා ’සිසිර’ හෝ එහි කියැවෙන්නේ තමන් අත්දුටු අත්විඳි පුවත යැයි අනුමාන නොකරන්නට ඇතිබව නිසැකය. 

(ඒ ගුවන් විදුලි ගීතය, එසේම පවතිනු දක්නට පොදුජන ගායක ජෝති රිසිවූයේය. එය කිසිවිටත්, කවර කළෙකත් ඔහු යළිත් ගායනා නොකළේය. ඒ කවරහෙයින්දැයි කියා දැනගන්නට අද උපාලි ධනවලවිතානයන් හෝ සරත් දසනායකයන් හෝ ජෝති අප අතර නැත. පසුබිම් පුවත හා සබැඳි නම් පමණක් මනංකල්පිතය)


(විශේෂ ස්තුතිය - ශ්‍රීමති ධනවලවිතාන මහත්මිය වෙත.)

ප්‍රභාත් රාජසූරිය.




































Wednesday, September 20, 2023

බිංදුමතී, ඉන්දුමතී සහ ඇයයි මමයි අප දෙදෙනා

තුන්කොන් පෙමක තතු පැවසූ ගී යුග්ම යුගළයක පවත.........................1973-1979


ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ’ස’ ප්‍රසංගය වේදිකාවේ දියත් වෙමින් තිබිනි. එහිදී ගැයුනු ගීයකින් ඔහු ’බිංදුමති’ ය අමතයි.


මං ආදර පෙම්මාදර බිංදුමති...............

පෙමා වඩන ලද බිංදුමතී......................

ළිඳ ලගටා යන්න එපා දියබරියා කයි..........

වැට ලගටා යන්න එපා කබරගොයා එයි..................

වෙළ ලගටා යන්න එපා අබිමානා එයි..............

ගම හැරදා යන්න එපා මා මෙහි තනිවෙයි.....................

කඵ උක්ගස විළසා කඵ කඵ නංගියේ.........

දර කඩලා ඉහ තියලා කොයිදෑ ගියේ .................

ගොම්මං සමයමටා ගම හොල්මං තියේ.....

නුඹ එන්නා මා එක්කා යම නංගියේ...............

අසන්න මෙතැනින්

-------------------



ඊට සවන් යොමන ශ්‍රාවක අප සිත්හි මැවෙන්නේ ගම්මානයේ එදා නිතර දුටු මෙන්ම ඉඳහිට අදද ඇස පිනවන දසුනකි. ඒ ’දරකෝටු’ මිටි බැඳ හිස මත රඳවා ලැසි ගමනින් පියමනින යුවතියකි. ඒ ’බිංදුමතී’ වෙත පෙමින් බැඳෙන්නේ ගම්මානයේ තරුණෙකි. ගී පද රචකයා ගම්මානයක අසිරිය චිත්ත රූ රටා අතරින් මවන්නට උත්සහ දරා ඇත්තේ ජනශ්‍රැතියට නිතර ඉලක්ක වූ  ’කබරගොයා’ සහ ’දියබරියා’ නම් වු උරග සත්වයන් දෙපොළ ආධාරයෙනි.  මෙහි කියැවෙන ’අබිමානා’ කවුරුන්දැයි පසු පරපුරේ ගීත රසිකයන් අතරින් බහුතරයට එතරම් අදහසක් ගෙන නොදෙනවා විය හැකිය.  එයද පෙරකී ’ජනශ්‍රැතිය’ පදනම් කොටගෙන ’ජනවිඥානයේ පැළපදියම් වූ චරිතයකි. ඒ අනුව ඔහු ’අමනුස්සයෙකි’. එනම් මිනිස් ආත්මයක් දරා නොසිටින්නෙකි. තනිපංගලමේ පාඵ ගම්මානයේ ගොම්මන් යාමයේ සැරසරණ යුවතියන් හට අනතුරු ඇගවිමේ ආයුධයක් ලෙස ගැමියන් අත රැඳුනේ මෙකී අමනුෂ්‍ය භිතිකාවයි.  එවැනි ගමන් බිමන් යෙදෙන රූ සිරියෙන් අනූන යුවතියන් හට  එදාද ඉඳ හිට හෝ නොහික්මුනු චරිතයන් ඇත්තන්ගේ හිරිහැර අතවර වලට මුහුණු පාන්නට සිදු වන්නට ඇත. ඔවුන් එයින් වළක්වා ආරක්‍ෂා කිරීමේ උපක්‍රමය නම්  ’අබිමානා’ සහ ඔහුගේම වරිගයේ තවත් සාමාජිකයෙකු වූ ’කඵ කුමාරයා’ ය. 

’බිංදුමතී’ වෙත එසේ හදපුද දෙන්නට වළි කෑ ’යෞවනයා’ හට ඒ සුබ සිහිනය සැබෑ කරගන්නට හැකියාව ලද බවද,  පසුදිනයක ගම්මානයේ තවත් ළඳකගේ එනම් ’ඉන්දුමතී’ ගේ ද නෙත්සර පහර ලබන්නට තරම් භාග්‍යවන්ත වී ඇතිබවක් මෙසේ කියැවෙන්නේය


ඉන්දුමතී හා බිංදුමතී................

දෙදෙනා මා පතයි .....................

මේ දෙදෙනාමත් .............

මට හැමදාමත් .................

එක වගේ තාමත් ............

ආදරෙයි ..............


නොසිතු සේ දෙදෙනෙක් එදා ....

හමුවිලා වෙන්වී ගියා ...............

ළතවිලා දෙහිතක් නිසා .........

තනිවූවා මතකයි සදා ..........

පෙරදා කඳුලේ ගිළෙයි ....


තනිවෙලා සිටිකාලෙදී ............

අත පෑ ඒ මා හා බැඳි ....

ඇගේ දෑසේ සිහිළෙන් මිදී ...

මා එයිදෝ ඔබ හා බැඳී ....

කිසිදා ඉන්දූමතී..................

අසන්න මෙතැනින්

-------------------

මෙවර තරුණයා ගේ භූමිකාවට පණපොවන්නේ ’වික්ටර් රත්නායකයන්ගේ’ සමකාලීන ’මිල්ටන් මල්ලවාරච්චි’ ය. එහිදි වික්ටර් එහි ස්වර සම්පාදකයාගේ වගකීම පවරාගනී. ඔහු කියනා පරිදී එවර ඔහු ගැමිවහර අනුව ’අල්ලපු අත්තත්’ මෙන්ම ’පයගහපු අත්තත්’ යන දෙකම අහිමිකර ගැනීමේ විපතට මුහුණ දෙයි. ඔහු අතීතාවර්ජනයක යෙදෙමින් ඒ පිළීබඳව විපිළිසර වෙයි. නෙත කඳුලින් බර කරගනියි.  

ගී නිර්මාණයේ අන්වර්ථ නාම දෙකකින් පෙනී සිටින්නියන් ගේ   දැළට හසුවී ත්‍රිකෝණප්‍රේම වෘතාන්තයක පැටළෙන්නට යන්නා මේ ගීත රචකයාම නොවිය හැකිද? 

ඔවුන් තිදෙනාට කුමක් සිදුවන්නට ඇද්දැයි ශ්‍රාවකයා ගේ කුතුහලය සංසිඳවන්නට ඔහු උත්සුක වි ඇතිසේය. මේ යුවතියන් අතරින් එකෙකු ඔහු අමතන්නී, ඇයගේ දුක්ගැනවිල්ල පවසයි.


ඔබගතින් මා ලගයි .... සිත ඈ සොයා යනවා ..............

මා ගතින් ඔබ ලගයි....සිත වේදනා දෙනවා .........

ඇගේ සුවඳේ සිත යාවේ ...මුසුවී වෙළි පැටලී ...

පිබිදෙද්දී අරුමැල්ලේ ...ඔබ ගාව මා ඉන්නේ ....


අප දෙන්නා ඔබ රවටා ... දෙහිතින් බැඳි ඵල නෑ ...........

සිත එක්තැන් නොම වේ නම් ..ඔබ ඈට හිමිවේවා .................

අසන්න මෙතැනින්

-------------------

කොපුල් තල මතින් උතුරා ගලා යන සන්තාපය මැඩපවත්වා ගනිමින් ඇයගේ ශෝකී ගීත රාවය ඔහුගේ හද කිතිවන්නේය. මේ ’ඉන්දුමතී’ ද එසේත් නැතහොත් ’බිංදුමතී’ දැයි අපැහැදිළිය මන්ද යත් ඒ බව ඉගි කරන්නට හැකි වදනක් හෝ එහි නොම ඇතුළත් වි ඇති බැවිනි. මෙවර ඇයගේ අඳෝනාව ගුවන් තරංග අතරට පා කර හරින්නේ ’ඉන්ද්‍රානි විජයබන්ඩාර’ නම් වූ ප්‍රවිණතම ගායිකාව විසිනි. එිහිදි ඇය නුහුරු නුපුරුදු බටහිර ගී මංපෙතක් ඔස්සේ ගමන් කරන්නීය. එදවස පරසිඳුව පැවති ’ලතින් ඇමෙරිකානු’ රටාව මතුකළ ’කන්ඩායම් ගී...’ කලාවේ හැඩතල එයින් මතුකරන්නීය. නිරන්තරයෙන් පසුබිමෙන් වැයෙන ’ගිටාර්’ නාදයකට අත්වැළ සපයන්නේ අන්තරා කොටස් හි විරාමය හගවන ’කොංගෝ’ බෙර නාදයයි. ඒ ගායිකාවගේ පෙම්බර සැමියාණන් සංගීතඥ සිසිර සේනාරත්න ගේ සත්සර මහිමයයි.

ඇයගේ අවනඩුව එසේ පවසද්දී ත්‍රිකෝණ පෙම්පුවත එක් කෝණයක් අරක් ගෙන සිටින්නිය ද නිහඞ නොවේ. ඇයගේ හද සන්තානයේ සන්තාපය වියැකි නැතිවා සේය. ඇය ද පෙරකී පළමු යුවතිය සේම ඔවුන් දෙදෙනාට පිරිසිදු සිතින්, පැහැබර සිතින්, ’ආසිරි’ සෙමෙර සළන්නීය. එදවස අවිහිංසක ගැමි යුවතියකගේ ඇතුඵ හද අනාවරණය කරමින් ඇය මෙසේ පවසන්නීය.


පෙරමාගේ දැතේ ...බැඳි දෑත ඈගේ... දෑතේ පැහිලා .................

මල හා ජලාසේ..... විළසේ බැඳේවා වේවි වාසනා ..........

දෙදෙනා සැරදේ ............ජය වේ ..............ජය වේ...................



සාගරය පරදා උතුරා පිදුව පෙරදිනේ ............

ආදරය කොයිදෝ ඔබගේ නපුරු කුමරුනේ ........?

ඔබේ කතා නැසී ගියා ..................


සිනමාහලේදී ..උයනේ මගේදී ප්‍රේම නගරයේ .........

අපේ ප්‍රේම පුවතේ දෙදෙනාට මැදිවි..... ආව නිහඞව් ....

අද මා යෙහෙළි ඔබගේ මිහිරී....

අසන්න මෙතැනින්

-------------------

එදා යුගයේ සිංහල සිනමා ගීතයේ කිරුඵ පැළඳී ඉන් නොනැවතී එයින් බැහැරට සිය අප්‍රමාණ නාදරටා වියමන පතුරුවාහල නැසිගිය සංගීතවේදී සරත් දසනායක  ’ඉන්ද්‍රානි පෙරේරා’ ගායන ශීල්පිනිය හට ගී පද රචකයා එනම් ’ඉන්දුමතී- බිංදුමතී’ දෙදෙනා ගේ සිහින කුමරාණෝ පද අතර රුවා හොවා සගවා ඇති එකියකගේ සන්තාපය මතුකරගන්නා රටාව කියාදෙයි.  තමා පණ සේ පෙම්කළ ඔහුගේ අතපතා, සිය අවිහිංසක ප්‍රේම විජිතය සුණු විසුණූ කරමින් කඩා පිනූ  ආගන්තුක චරිතය හමුවේ, පෙමින් පැරදී පළා යන්නට තැත් දරන ඇයගේ ඇතුඵ හදට එබි බලන්නට ශ්‍රාවකයා හට ඇරයුම් කරන්නේ එහි තාල ගැයුම් රටාවන් මැවූ දසනායකයන්ය.

මේ ’ත්‍රිකෝණ ප්‍රේමාලිංගනයක සිතිවිලි අවදිකළා වූ යාථාලෝකයේ පසුබිම් වෘතාන්තය විමසා දැන ගන්නට ඔහු අද අප අතර නැත්තේය. ඔහුව නොසිතූ නොපැතූ ආකාරයකට නොසිතූ නොපැතූ යුගයක සිය කරජකය ඉවත ළා ... මිහිමතින් සමුගෙන යන්නට දෛවය විසින් දැඩිව පොළඹවා තිබිනි. පස්වන දශකයේ සත්වසක් පමණක් භුක්ති විඳී  ඔහු ගේ  ආත්මය කොහේදෝ දුර ඈතක නොපෙනි  ගියේය. එහෙත් ඔහු ඔබට   අපට ගී රස වින්දන අටුකොටු පිරෙන්නට ඉතිරිකර තබා ගිය ගී සංකල්පනා අස්වැන්න ඔහුගේ නික්ම යෑමෙන් තිස්වසක් ද ඉක්මවමින් ඔබ අප භූක්ති විඳින්නේය.


ඔහුව ඔබ හැඳිනගත්තේද ?

ඔව්, ඔබ නිවැරදිය.... ඒ අසමසම කවිපද රචනා කුසලතාවය දෝතින් දරාගෙන මෙහි පහළ වී සහසික ’වෙඩිපහරකින්’ 1989 ඇසළ මස අවසන් දිනයේ අප අතරින් නික්ම ගිය සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්’ ය.



ඉහතින් පෙළගස්වා ඇත්තේ ඔහුගේ මහරු ගී පබැඳුම් පෙට්ටගම අවුස්සා එයින් තෝරා ගත් එකිනෙක හා සමිපව බැඳුනු නිර්මාණ දාමයක සතර පුරුකකි.


ආදරණිය නිර්මාපකයාණෙනි ඔබ නිතිපතා දිනපතා අප හදවත් තුළ සදා අමරණිය වෙයි. 



Thursday, September 7, 2023

Clarance අසමසම මියැසි නිමැයුම්කරුවාණෝ

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -08)

 එහෙත් 70 දශකය ගෙවි යද්දී කරළීයට පැමිණි ඇතැම් අල්ප ගණනක ’කන්ඩායම් ගී’ මෙම සංස්කෘතික සිමා උල්ලංඝනය නොකළා නොවේ. ප්‍රථිපලය වූයේ ඒවා ලංකා ගුවන් විදුලි සේවයේ ස්ථිර ලෙසම වාරණයට ලක්වී තහනම් වීමයි - (දුන්නේ කිස් එකයි..., මල්ලිකා ම්ල්ලිකා...’ ’ඔයා මිස්ද මිසිස්ද... යමං බන්ඩො වෙසක් බලන්න..) 




















පන්ඩිත් අමරදේව විසින් සාම්ප්‍රදායකි ’ජන ගායනා’ ඇසුරෙන් කල නව නිර්මණ පෙළගස්වමින් ගුවන් විදුලිය ඔස්සේ මෙහෙයවූ ’මධුවන්ති’ වැඩසටහන, කන්ඩායම් ගී යුගය හා සමපාත වූ අතර, ලතින් ඇමෙරිකානු කැලිප්සෝ සංගීත භාන්ඩ උපයෝගී කරගෙන සිය ගායනා ඉදිරිපත් කල මෙම කන්ඩායම් අතරින් ඇතැම් සාමාජිකයන් ද ’ජන ගී’ යට නව මුහුණුවරක් දෙමින් ඒවා ප්‍රතිනිර්මාණය කරන්නට යෙදිනි. මේ කටයුත්තේ නිරත වූ ප්‍රමුඛතම ගායක කන්ඩායම වින්ස්ටන් ජයවර්ධන ඇතුඵ පිරිස නියෝජනය කල ’ලොස් ෆ්ලෙමින්කෝස්’ ය.

’කන්ඩායම් ගී’ යුගය හා එක්ව සිය ගයන දිවියේ මුල්යුගය වර්ණවත් කරගත් පසුව විශීෂ්ඨ ගුවන් විදුලි ගායිකාවක් වූ ’මාලිනි බුලත්සිංහල’ මෙහිදී සිහිකටයුතුය. ඇය ’ග්‍රෙන් ලෙනාඩෝස්’ කන්ඩායමේ කාන්තා හඞවල් නියෝජනය කරන ලද අතර එක්වරක් පමණක් එදවසද ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ගායිකා සුජාතා අත්තනායක ද ’ධර්මරත්න බ්‍රදර්ස්’ කන්ඩායම සමග කන්ඩායම් ගීයක් ගැයුවාය. (රොමියෝ මමයි සේම ජුලියට් ඔබයි...)


අහසට පිබිනා ............භූමි කළේයා.............

පොළොවට පිඹිනා එරන් කලේයා...........රන්මසු දහසක් වටින කළේයා...

නොබිඳින් නෑනෝ මගේ කළේයා.............



තනනේ තනනේ තනනේ තනා ...තනානේ තනා නා............

පෝය සඳයි ඔය මුහුණයි සුදට දිළෙනවා ........

ඇඹුල උයාගෙන මගේ සුදු නෑනා යනවා ............


1960-70 දශකයන්හි බිහිවු ජනප්‍රිය කන්ඩායම් ගී අතරින් තෝරාගත් ගී කිහිපයක්


ලොස් මූචාචෝස් 


ආදරිය රන් මැණිකගේ, යකඩ තලන්නා (මුඵ ගතම වෙහෙසුනා), සෝබමාන ගුවන් සේවිකා, කුමුදුමලී එයි නාගෙන, 


ලොස් ෆ්ලෙමින්කෝස්

අහසට පිබිනා, පෝය සඳයි ඔය මුහුණයි, කඵ කෙල්ලේ ඔබ හරිම හැඩයි, පොඩි මලියා මගේ, සුදු මැණීකේ ඔබ උකුල සලන, සුදු මගේ හිනහවෙලා...


ජිප්සීස්

අම්මා අම්මා මේ මට, තොරන් බඳින්නට රබන් ගසන්නට, මල් මල් පිපිලා පරිසරය පුරා, මල්ලිකා, ඔබ දුටු ඒ මුල්දිනේ සිදූවූ සැමදේ, හිනා හිනා වෙන්න හිනා, ළිඳ ලග සංගමය මුල්තැන, කුරුමිට්ටෝ, නුඹ නාඩන් නුඹ නාඩන්, පිස්සු පිස්සු ...


මී මැස්සෝ

අත් පොඩි මි මැස්සෝ,


ගේ සහෝදරියෝ

ඈත ගම්මානෙක ගැමි ළඳකි මැණීකා..ඇයි දුක් වන්නේ කරදර වන්නේ,ළා හිරු බැසයනවා

ධර්මරත්න සහෝදරයෝ

ඈත හෙමින් වළා රොදක්,  අව්ව පායලා , නොන්ඩි කිරා, සහෝදරයෝ හතර දෙනෙක්,  මුතු මැණිකේ කුංකුම චන්දන,  රාජකුමාරි මල්සර දෝණි, රොමියෝ  මමයි. ප්‍රියංගිකා මගේ ප්‍රියංගිකා, වැහිදාක ගගනේදරේ, මෙන්න අපේ සුහද පැතුම්, බොරුවට අඩ අඩ..., කඳුකරේ පෙම් කථන්දරේ..

 ජේ බ්‍රදර්ස්

කරට කදේ රැගෙන යමි පාරදිගේ මං,

සියැක් එන්ටර්ටේන්මන්ට් (රේමන්ඩ් ෆොන්සේකා)

බිනරමලී ඔබ හැඩයිනේ, ඩං ඩං ඩංකුටු කුටු, මෑතක සිට ඔබ මා ගැන

ලා බම්බාස්

ලක්නදී සෝබා, කොක් අ ඩුඩ්ල් ඩූ, නුවර මැණිකෙලා (කලේ උකුලේ තියලා), 

සමණළයෝ (රේමන්ඩ් ෆොන්සේකා) 

කඳුගැට පසුකර යන්නේ, තේ රබර් පොල්, නැළවෙන මව් උකුලේ, සුන්දර ගැයුම් ගෙනෙන,මැණිකේ ඩිංගක් හිනැහෙනවා..

ග්‍රෙන් ලොනාර්ඩෝස්

දුන්හිඳ කෙල්ලේ, යාල යාල යලා යන්න

වින්ස්ලෝ සික්ස්

මුතුවාගේ බබළනවා (දුවරෝසී), රන් මොණරුන් 

ලොස් කැබැයියරොස්

ගයන ගැයුම් නටන නැටුම්, මල්බර හිමිදිරියේ,

ලා ලැවිනියන්ස්

හේවිසි හඞ මැද්දේ, රන් තරු බැබළෙන නිල් ආකාසේ

ලා සෙයිලනියන්ස්

හිරු නැගී එන උදයේ, පුංචි නංගී මාගේ, හොයියා හොයියා............

ද ලවර්ස්

ඉද්ද පිච්ච මල් පිපිලා..., ලස්සන සුසිනිඳු සඵ ඇඳලා...., කිරි පැණි ඉතිරෙන....

බෙන්තොට බීස්

මුහුදු තෙරේ සැන්දෑවේ, සළ සළ දිවසඵ උකුඵ තලේ, 

ද සන්ෂයින්ස්

ඔයා මගේ සුරංගනා කථාවේ, පොපියන දෙතොලේ....

සූපර්ස්ටාර්ස්

පිණිපොදේ වැටෙන පියකරු මල

බඹරාස්

පුංචි පුංචි පොඩි කොල්ලෝ,

ඇමිගෝ රොමැන්ටිකාස්

ඇගේ නම රන් එතනා, රුවන් අඹර සෙමෙර සලන

හමින් බර්ඩ්ස්

සමණළයෝ ඔබ උදෙන්ම යන්නේ...

මී මැස්සෝ

විලේ මලසේ දිළේ....

ලොස් මුචාචෝස්

සෝබමාන ගුවන් සේවිකා, මහගැටබෙර සද්දේ (පෙරහැර), මුඵ ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)

යුගයක් විචිත්‍රවත් කළ කමණීය කන්ඩායම් ගී කලාව පිරිහි යන්නට විවිධ හේතුසාධක ගෙනහැර දක්වන අතර ’කැසට්’ මාධ්‍යයේ ආගමනය සමග එක් කන්ඩායමකට ඊට ගැළපෙන ලෙස ගීත 12 ක් තරම් විශාල ගණනක් නිර්මාණය කරගැනීමේ අපහසුතාවයද, ඊට සමගාමීව 80 දශකය එළඹෙද්දී ඔවුන් හා ශ්‍රාවකයා සම්බන්ධ කල ප්‍රධාන පුරුක වූ ’ගී තැටි’ මාධ්‍යය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතීමද, විවහ සබඳතා සහ වගකීම් හමුවේ කාර්ය බහුල වීමද ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් එකම පවුලේ සාමාජික සහෝදරයන් ගෙන් සමන්විත වූ ’ධර්මරත්න බ්‍රදර්ස්’ සහ ’ජිප්පීස්’ සිය සාමාජිකයන් එකට ගොණුකරගෙන සාර්ථකව 80 දශකයෙන් ඔබ්බටද පියනැගීය. 

ක්ලැරන්ස් ගේ නාමය හා සබැඳි සතරවැනි ගායක කන්ඩායම පිළීබඳව එතරම් කතාබහට ලක්වූ අවස්ථා විරළය. ’මදාරා’ නමින් හැඳින්වූ ඒ හා බැඳුනු සාමාජිකයන් අතර ’රුකාන්ත ගුණතිලක’ ද වෙයි. කන්ඩායම් ගී යුගය අධිවේගයෙන් වියැකෙමින් පැවත ආ 80 දශකයේ දී වඩාත් කැපි පෙනෙන්නට සමත් වූයේ ’කන්ඩායම් ගී’ නොගැයූ වාදනයට මුල්තැන් දුන් ’වාදක කන්ඩායම්’ ය. රූපවාහිනි තාක්‍ෂනයේ ආගමනයත් සමගම, තමන් ප්‍රියකල ගායන ශිල්පීන් ගේ රුව නිතර එහි දිස්වෙද්දී, රසිකයන් ගේ ඊලග නොමද කුතුහලය යොමුවූයේ ඒවාට සංගීතය සැපයූ වාදක කන්ඩායම් වෙතටය. ඒ අතුව තම නවිනතම ඉලෙක්ට්‍රෝනික වාද්‍ය භාන්ඩ උජාරුවෙන් වයමින් රූපවාහිනියෙන් පෙනී සිටින්නට ඔවූහූ ප්‍රිය කරන්නට ඇත. තමන්ගේ වාදන රිද්මයන් සහ සංගීත නාදරටා අනුව, පෙරටුව රැඳි සිටින ගායකයා ගේ සමූහ ගායනයකට හෝ අත්වැල් ගායනයේ යෙදෙන්නට මැළීවූ ඔවූහූ, නිහඞවම සිය වාදන කාර්යයේ පමණක් පෙනී සිටියහ.  එහෙත් ඉඳහිට ස්වත්‍රන්ත්‍ර නිර්මාණයේ යෙදෙමින් ගීත ගයන්නට පෙළඹී ගායක කන්ඩායම්ද ඉඳහිට නොසිටියා නොවේ. ඔවුනතරින් 80 දශකයේ මුල් යුගයේ සංගීතඥ අර්නස්ට් සොයිසා’ මෙහෙයවූ ’සුපර්ස්ටාර්ස්’ කන්ඩායමද  ස්ටැන්ලි පීරිස් විසින් 70 දශකයේ සිට පවත්වාගෙන ආ ’ෆෝර්චූන්ස්’ ද 80 දශකයේ දෙවන භාගයේ නීල් වර්ණකුලසූරිය විසින් නියමු කර්තව්‍යය ඉෂ්ඨකල ’සන්ෆ්ලවර්’ වාදක කන්ඩායමද 90 දශකයේ උදාවේදී සංගීතඥ ආනන්ද පෙරේරා ගේ ’ශක්ති’ ද කැපි පෙණුනි. 

වේගරිද්මයේ හැඩතල මතුවු මෙම ගීත කලාවේ ආභාෂය ලද නිර්මාණ මෑත අනාගතයේ තවත් දශක ගණනාවක් ගෙවෙන තුරු ලාංකිය ගීතලෝලීන්ගේ හදවත් අරා රැඳි සිටිනු ඇතිබව නිසැකය. ඒ කෙසේ වෙතදු, අද පවා  ප්‍රිය සම්භාෂනයන්, විනෝද චාරිකා සහ ප්‍රිති උත්සවයන් හැඩවැඩ කරන්නේ එහි ගයනු පිනිස තෝරාගන්නේ ක්ලැරන්ස් ඇතුඵ සෙසු කන්ඩායම් ගී සාමාජිකයන් පිරිස සහ ඔවුන්ගේ ආභාෂය ලබමින් කළ වෙනත් නිර්මාණයන් විමෙන් ඒ බව මනාව පසක් වෙයි. ශ්‍රී ලාංකික සමාජයේ පුඵල්තම වයස් ඛාන්ඩය, විවිධ සමාජ ස්ථරවල දිවිගෙවන්නන් මුවග ඒවා රැව්දෙයි. 

ක්ලැරන්ස් ගේ තෙවැනි සංගීත සැරිසර නැවතුම්පොළ වූ ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් කෙමෙන් එකිනෙකා විසිරි යමින් සිටිද්දී, ඔහු සිය රිද්ම ගිටාරය වඩාත් තදින් ළයට තුරුඵ කරගනිමින්, ඒකල නිර්මාණකරණයේ යෙදුනේ තමන් විසින්ම නව ගීත ගණනාවක් හඳුන්වා දෙමිනි. එමගින් ඔහු 60 දශකයේ අත්කරගත් අසාමාන්‍ය ප්‍රසාදය නොම වියැකි, නොනැසී පවත්වා ගෙන 70 දශකය තරණය කරමින් සිය ගීත සංචාරයේ තෙවැනි දශකය එනම් 80 දශකයද ගෙවා දමන්නට සමත් විය. ඔහුගෙන් පසුව බිහිවූ ගායකයන් ගණනාවක් හා කරට කර සිටිමින්, තම ගායන දිවියේ මුලාරම්භයේ ළදරුවන් ව සිටියවුන් යොවුන් විය පසුකර යද්දීද තමන්වෙත් වසග කරවා තබන්නට ඔහුගේ අසාමන්‍ය ප්‍රතිභාවය විසින් ඉඩකඩ ලබා දි තිබිනි. 


සැන්දෑ වළාවන් පා වුනාවේ .............

වැල්ලේ මා තනිවු වෙලේ ................

ඇය එන්නේදෝ මග එන්නීදෝ සිතෙහි නම් සැකයක් නැතේ.................?

----------------------------

මෙතැනින් සවන්දෙන්න

ඒක පුද්ගල ප්‍රසංග කලාව ශ්‍රී ලංකාවේ මුල්බැස ජනප්‍රියත්වයට පත්වූ 70 සහ 80 දශකයන්හී, සිය සමකාලීනයන් වූ වික්ටර් රත්නායක, නන්දා මාලිනී, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග අමරා, සහ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ එච් ආර් ජෝතිපාලයන්ද ඇතුඵ පිරිස ඒ වෙතට නැඹරුවෙද්දී, තම ස්වාධීන නිර්මාණ එපමණටම බහුලව තිබියදී පවා, තමන්ගේ එවැනි ප්‍රසංගයකට මුල පුරන්නට ඔහු සමත් නොවීම ගැටඵ සහගතය. එවැන්නකදී කාර්ය බහුලත්වයට පත්වීමට සිදුවී සිය නිර්මාණ උල්පතට වැට කඩොඵ බඳීන්නට ඇතැම්විට ඔහු අකමැති වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. 

කෙසේවුවද, සිංහල ගීත ඉතිහාස වංශ කථාවේ නව පරිච්ඡේදයක තතු ඔහුගෙන් ඇරඹෙයි. ඔහුගේ පූර්වගාමියා වූ ’සී ටී ප්‍රනාන්දු’ විසින් 50 දශකයේ දී හඳුන්වාදුන් ගී ආර, ඔහු විසින් නවතාවයකින් එතැන් හි සිට වඩාත් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනු ලැබූ අතර විනෝද අවස්ථාවන් මියැසියෙන් රසගන්වන්නට වරම් අහිමි වූ උපන්බිමේ උරුමය රකින ගීතරසිකයන් ගේ රික්තයේ වැඩිකොටස ’ක්ලැරන්ස්’ විසින් පුරවනු ලැබීය. 

ඔහු කන්ඩායම් ගීත කලාවේ පුරෝගාමියා ලෙස හැඳින්වීම නොකළයුත්තක් වුවද, නිසැකවම ඔහු සිංහල සංගීතය නවදිශානාතියකට යොමු කරන්නට පුරෝගාමි වූවන් ගෙන් ප්‍රමුඛයා බව අවිවාදාත්මකය. බටහිර ගී ආර සිංහල සංගීතයට හඳුන්වාදුන්නෝ ඔහුට පෙර සිටියත්, සංඛ්‍යාත්මකව ඒ ගණයේ වැඩිම ගීත සංඛ්‍යාවක් තමන් වෙනුවෙන් මතුනොව අනුන් උදෙසාද නිර්මාණය කරගත් කරදුන් සංගීත ශීල්පියා ඔහු පමණි. ඊට නිදසුන් ඉහත ලිපි පෙළෙහි එමට ඉදිරිපත් කර තිබේ.  ඔහු ගැයු මුල්කාලීන ගී එකක් දෙකක් හැරෙන්නට සෙසු සියඵ ගීත ආශ්චර්යජනක ලෙස ශ්‍රාවක අවධානයද ආකර්ෂනයද දිනා ගන්නා ලදී. ඒවා ඔහුගේ යුගය ට වඩා දශක ගණනාවක් ඉදිරියෙන් පවතින්නට පවා ඉතා සුදුසු බව තහවුරු කර දෙන්නේ ඔහුගේ වියෝවෙන් පසු මෙළොව එළිය දුටු සංගීත රසිකයන්ද අතිවිශාල සංඛ්‍යාවක්, ඔහුගේ ගී ආර සහ නිර්මාණයන් වෙත දැඩිව වශිවි තිබිමෙනි. සිංහල සංගීතයේ සෙසු ශිල්පීන් විසින් බිහිකර පෝෂනය කළ ගීත අතිවිශාල සංඛ්‍යාවක් තිබුනද, ඒවායේ සංගීත සංයෝජනයන්, තනු නිර්මාණවල පූර්ණ ගෞරවය සියයට සියයක් ඒවයේ සංගීතඥයා වෙත පවරා දිමේ අයුක්ති සහගත බවක් හැගී යයි. මන්ද යත්, වාදක මන්ඩලයේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයන් සහ සෙසු ශිල්පීන් ගේ අදහස් උදහස් උක්ත ගී රසගැන්වීමේ ක්‍රියාවලියට බලපා ඇති බවක් වාර්තා වන නිසාය. එහෙත්, ’ක්ලැරන්ස්’ විසින් නිර්මාණිත ගී උදෙසා වෙනත් ශිල්පීන් එසේ සෘජුව මැදිහත් වූ බවක් අසන්නට ලැබෙන්නේ ඉතා විරළවය. එනම් ඒවා සියයට අනුවකටත් වඩා ඔහුගේ තනි දායකත්වයෙන් බිහිවූ ගීත බව එයින් පැහැදිළි වෙයි. '


මුතු මැණීකේ උදේ රැයින් ..........

මුතු පොටසේ හිනා වෙයන් ............

හිමිදිරියේ සිත සපරා හිනාවෙන්කෝ ...........................

පුරපෝදා සඳවාගේ ...හිනාවෙයන් ළඳමාගේ.......

මුතු මැණීකේ හිනාවෙයන්කෝ..................


----------------------------

මෙතැනින් සවන්දෙන්න

ආරම්භක දශකයේ, ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් බිහිවූ සංගීත කන්ඩායම් ත්‍රිත්වයම ලාංකීක වේගරිද්මය ලැදි සංගීතලෝලීන්ගේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ අතර අන් සංගීත කන්ඩායම් ගණනාවක් අතරින් ඉතා ඉහළ පිළිගැනීමට ලක්විය. ඔවුනතර විවිධ සමාජ ස්තරවල සාමාජිකයන් සිටිම වෙසෙසින් සඳහන් කළ යුතුය. ’මුන්ස්ටෝන්ස්’ කන්ඩායම අභාවයට ගිය අතර, ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සාමාජිකයන් එක්ව ප්‍රසංගයක් පවත්වා 2015 වසරේදී සිය කන්ඩායමේ සමුගැනීම සටහන් කළේය. එහෙත් ’ද ගෝල්ඩන් චයිම්ස්’ අඩසියවසක් ඉක්මවා අදද ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගෙන යන්නේ එහි නායක ’ෂානක’ පෙරේරා සහ ’ලාංකිකා’ දෙපොළ විසිනි.

’ක්ලැරන්ස්’ විසින් ඉතිරි කර තබා ගිය රික්තය හොඳින් පිරවිය හැකි සාමාජිකයෙකු දෙන්නෙකුගේ සේයා මතු වි නැගි ආවත්, ඔවුන් හට ද එය අඛන්ඩව ම අප කථා නායකයා සේම ජව සම්පන්නව ඉදිරියට පවත්වාගෙන යැමේ හැකියාව අහිමි වි ගියේය. ’ක්ලැරන්ස්’ හා 80 දශකයේ සමිප ව නිර්මාණකරණයේ යෙදුනු ඔවුන් දෙදෙනා අන් කවරෙකු හෝ නොව, සංගීතඥ ගායක ’රූකාන්ත ගුණතිලක’ සහ ’ග්‍රේෂන් ආනන්ද’ ය.  

කලා ක්‍ෂෙත්‍රයේ මතුනොව අන් කවර හෝ වෘත්තියකදී, එහි විශේෂඥතාවයට පත් වූවන්හට සිය කටයුත්තට දැඩිලෙස බාධා අවහිරතාවන්ට මුහුණ පාන්නට අන් කවර දේශයකට වඩා මෙහිදී සිදුවන බවක් පෙනියයි. ඔවුන් ගේ විවිධ දක්‍ෂතා අගයන්නට අවංක සිතින්, අව්‍යාජව පෙළඹෙන්නෝ මෙහි විරළය. ඔවුන්ගෙන් අති බහුතරය, මුහුණ දෙන්නට සිදුවන බාධා අකුල් හෙළිම් හමුවේ, උකටලීව සිය කාර්ය භාරයේ මන්දෝත්සාහී වෙයි. එයින් ඇතැමුන් තමන් කරන්නට යෙදුනු කටයුත්තෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙති. 

අසල්වැසි භාරතයේදී ඒ තත්වය වඩාත් හිතකරය, ධනාත්මකය. උත්තර භාරතීය බොලිවුඩ් සිනමා සංගීතයට නව හැඩතල එක්කරන්නට සමත් වූ ’රහුල් දේව් බර්මන්’ විසින් එය ජාත්‍යන්තරව දිනාගෙන තිබූ විජයග්‍රහනයන් පුඵල් කරනු ලැබූ අතර ඔහුගේ යුගය අවසන් වෙද්දී  ඒ කටයුත්තෙහි ’බප්පි ලහිරි...’ නිරතව සිටියේය. 

කන්ඩායම් ගී සාමාජිකයන් ගේ විජයග්‍රහකයා ලෙස කිරුඵ පැළඳි ක්ලැරන්ස්  නිර්මාණ රන්දාමය නොකැඩි නොබිඳි ඔහුගේ නොකල්හී සිදූවු සමුගැනීම දක්වා පැවතියේය. ක්ලැරන්ස්ලෝලීන් නොපැතූ නොසිතු ලෙස තෙපණස් වසක් තරම් වූ  අයුකාලයක් පමණක් භූක්ති විඳ 1996 වසරේ  සීතල උඳුවප් මසින්   13 දිනකදී ඔහු මෙළොවින් නික්ම ගියද, තිස්වස් පමණ කාලයකදී දහසක් ගී කුසුම් පුබුදුවා හෙළ ගී කෙත සුගන්ධවත් කළ ඔහුගේ නාමය, අනාදිමත් කාලයක් ලක්වැසි ගීත ලෝලී පරම්පරාවන් අතර යුගයෙන් යුගය රැව්දේවා යැයි පතමු.


මලට බඹරෙකු සේ..............

සිතට ඔබ එනවා...............

කිරණ සේ හිරගේ ................

හද සිනාවෙනවා ...............

ඔබ සිනහවෙනවා .................

-----------------------------------------------------------------------------

ක්ලැරන්ස් නිර්මාණ වංශකතානේ සමාප්තිය සමගින් කන්ඩායම් ගී කලා රසය මෙතැන් සිට ඉදිරියට....


මුලාශ්‍ර තොරතුරු - කෘතඥ පූර්වක ස්තුති ප්‍රනාමය 


ගායන ශිල්පී ඇනස්ලි මාලේවන මහතා (මූන්ස්ටෝන්ස් - ද සුපර් ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පී අනිල් භාරති මහතා (ද ගෝල්ඩන් චයිම්ස්)

ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය (ත්‍රී සිස්ටර්ස්) 

ගායන ශීල්පිනී ලාංකිකා පෙරේරා මහත්මිය (ද ගොල්ඩන් චයිම්ස්)

සංගීතඥ ගායන ශිල්පී  මෙල්රෝයි ධර්මරත්න මහතා (ධර්මරත්න බ්‍රදර්ස්)

සංගීතඥ ගායන ශිල්පී මහින්ද බන්ඩාර මහතා (ෆෝර්චූන්ස්) - ප්‍රවිණ ගිටාර් වාද්‍ය ශිල්පී  - 

පීටර් රණසිංහ මහතා (ලාංකා ගී තැටි සංරක්‍ෂකයන් -එකතුකරන්නන්ගේ සංගමය)


Thursday, August 24, 2023

ක්ලැරන්ස් - ඉන්ද්‍රානී - රුක්මණී දේවි - පන්ඩිත් අමරදේව - චිත්‍රා සෝමපාල ඇතුඵ පිරිස

ශ්‍රී ලංකාවේ කන්ඩායම්  සංගීතය සහ ක්ලැරන්ස් විජේවර්ධන ගී රසදහර (ලිපි මාලා අංක -07)

 ලිපිමාලා අංක 06 අවසානයේ වාදනය වූ මර්වින් මිහිදුකුළ ගීතයේ ඇතුළත් සංගීත සංයෝජනයේ මිහිරියාව විසින් ශ්‍රාවකයා ගතානුගතික ක්ලැරන්ස් වාද්‍යරටාවෙන් තරමක් එපිටට කැඳවාගෙන යයි. ඒ මෙහි අංක 05 ලිපියේ සඳහන් වූ ’සන්තුරය’ මුල්වීමෙනි. දසවස් කාලයක් තිස්සේ ඔහු සෙවනේ නැළවී සැනහී පැවතුනු ’ලීඩ් ගිටාරයේ’ තනිනොතනිය මකන්නට ඒ හා අත්වැල් බැඳගත් නවක නාද උත්පාදකයා මතු කි ලෙසම ’අපේක්‍ෂා’ ගීතාවලියෙන් පසුවද ක්ලැරන්ස් මියැසියේ වාද්‍ය සාමාජිකයන් හා බැඳි සිටියේ එපමණකින් නොවේ.  ක්ලැරන්ස් හා සමකාලීනව කන්ඩායම් ගී ලොව ජයදද නැංවූ තවත් සාමාජිකයන් දෙපොළකගේ සුසංයෝගයෙන් ගැයූනු ’ක්ලැරන්ස්’ ගීයකදී එය යළිත් නාද රසය පැතිරවීය.


සමුගෙන යන්නෙමි ..............

මම ඔබ තනිකොට ...............

අපේ මතු දියුණ සොයා ................

හිතකින් නොව මා ................

නැව්නැග යන්නේ ...............

සිත ඔබේ තුරුලෙ තියා ...................


ගතින් මෙතැන මම ...

සිතින් ඔබගේ ලග .....

කිසිදින වෙනස් නොවේ ...

ජිවීතයට නැත ඔබේ වැනි ...

මිණී කිරුළක් මේ ලොවේ.....


ගැයුම - වර්ණන් පෙරේරා (ද සන්ෂයින්ස් ගායක කන්ඩායම) සමග ඉන්ද්‍රානි පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)

ගී පද  - නැසිගිය කරුණාරත්න අබේසේකර

සංගීතය, තනුව  - ක්ලැරන්ස් විජේවර්ධන

-----------------------------------
මෙතැනින් සවන්දෙන්න


මේ ලැයිස්තුවේ පෙළගැසෙන්නට මිලගට ඉදිරිපත්වන්නේ ද ඉංග්‍රිසි ගීත ගැයු යව්වනියකි. ඇයව නොහැඳිනගත් අතිමහත් සංඛ්‍යාත සිංහල ගීත ලෝලීන් ගේ හදවත් කරා එකරැයින් සමිපකරවාලූයේ අන් කවරෙකු හෝ නොව ’ක්ලැරන්ස් විජේවර්ධනයන්මය’. ඇය ගැයු ක්ලැරන්ස් නිර්මාණයන් සති අන්ත ගුවන් විදුලියෙන් විසුරුවා හරිද්දී නාමය කියැවුනේ ’ෂ්‍යාමි ෆොන්සේකා’ නමිනි.  එසේ වාදනය කෙරුණේ එදවස වෙළඳ තැටි ගීත කලාවට අවතීර්ණ වූ නවතම සාමාජිකයා වූ විජය රාමණායකගේ ’තරංගා’ ලේබලයයි. එහි සංගීත සංයෝජනයන් ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ වරුන් ගේ ලෙස තැටියේ පැහැදිලිව සඳහන් වෙයි.


01 ගියකින් කෙසේ කියන් සිතුම් ළයේ ..............රන් රුවක් ගෙනෙල්ලා......මා ලගින් තියාලා නොඉල්ලනූ ආදරේ.


02 රස පිරුණු කථා හොඳට ගොත ඔබට කියන්නම් ......ඉර හැරනු වෙලේ සඳපහනේ ගීත ගයන්නම්... එනු ඉක්මන් වී...මා වෙත ළංවි...

ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණ පෙළහර විසිර පැතිර ගිය ඉසව් එයින් සිමානොවේ, එදා ගුවන් විදුලියේ ප්‍රවිණ ජ්‍යෙෂ්ඨයන් විසින් ’කැසට්’ යුගය වර්ණවත් කරමින් ගැයූ නව ගීත රාශියක ’තනු’ නිර්මාපකයා වුයේ ඔහුය. ඒවා එකී ගායක ගායිකාවන් ගේ ගායන දිවිය නව ඉසව් කරා රැගෙන ගියේය.

මහාචාර්ය සනත් නන්දසිරි - සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ (මහාචාර්ය සුනිල් ආරියරත්න) ,

ආදරේ නෑ ආදරේ.. (කිත්සිරි නිමල් ශාන්ත) , විකසිත වත කමලේ .... (කැමිලස් පෙරේරා)

ගායන ශිල්පී ටී එම් ජයරත්න - රුවට රුවේ සකුරා ඉවුරේ  (උපාලි ධනවලවිතාන),

දෙගොඩ තලා ගග ගලා (ප්‍රේමකීර්ති ද අල්විස්),

කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා (ආචාර්ය අජන්තා රණසිංහ).

හදිස්සියේ හනි හනිකට පය තබනා, (කැමිලස් පෙරේරා),

සොවින් බර නුවන් විදාලා (හෙමසිරි හල්පිට)

සිගිරි ළඳුනේ ඇයි තනිවී (වර්ණන් පෙරේරා),

අපමණ සාගරේ ජලාසේ (අජන්තා රණසිංහ) 

මාලිනී බුලත්සිංහල  - බිංදු ඉහෙන පින්නේ අරුණ උදේ (අජන්තා රණසිංහ)

ප්‍රියා සූර්යසේන - ඈත රන් විමන් තුලින් (ෂෙල්ටන් විරරත්න), පැතුම් පිරිලා උතුරා යනවා,

සැන්දෑයාමේ එක්වූ යාමේ.... (අජන්තා රණසිංහ) රටකින් එහා ඉගිලී .... (ප්‍රේමකීර්ති ද අල්විස්),

හිරුද මුවාවි ලැසි ගමන..(උපාලි ධනවලවිතාන)

එච් ආර් ජෝතිපාල - මල් පිබිදෙන එක වසන්ත සමයක (ක්ලැරන්ස් ගී පද සහ සංගීතරටා)

මරියසෙල් ගුණතිලක - යොවුන් සිහින ලෝකේ (ක්ලැරන්ස් ගී පද සමග සංගීතරටා)

නීලා වික්‍රමසිංහ  - රහසේ හඞනා අප පැතුම්...යුග ගැයුම ක්ලැරන්ස් (කිත්සිරි නිමල්ශාන්ත)

ප්‍රියන්ත ප්‍රනාන්දු (ඉන්ද්‍රානි පෙරේරා  සමග) - නිරංජලා කාටදෝ ආදරේලු දැන් ..  

නිහාල් නෙල්සන් - සූකිරි බට්ටෝ තණකොළ පෙත්තෝ .... 

රෝහණ සිරිවර්ධන - නුදුටු ඔබ හා ඇසුරෙන් එක්වි...........

මැක්ස්වෙල් මෙන්ඩිස් - මගේ සුරතල් පොඩි දුව.......

වර්ණන් පෙරෙරා සමග ඉන්ද්‍රනී පෙරේරා  -සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට ..(කරුණාරත්න අබේසේකර)

ලංකා ගුවන් විදුලියේ කැපී පෙනෙන භූමිකාවක යෙදුනු ප්‍රවිණ සංගීතඥ ’පී එල් ඒ සෝමපාල’ 50 දශකයේ මුල් යුගයේදී, සිය දයාබර බිරිඳ ’චිත්‍රා’ සමගින් ගැයු රමණිය යුග ගීතාවලිය 70 දශකයේ දී පවා බිඳකුඳු ගීතලෝලී,ශ්‍රාවක මතකයෙන් ඈත්ව නොතිබුනු අතර, ඒ නිසාදෝ ඒවායේ මුල් ගීත එදවස නිරන්තරයෙන් ගුවනින් ඇසුණු විවිධ වැඩසටහන් අතරින් වාදනය විය. 50 දශකයේ ග්‍රැමෆෝන් යුගයේ ගීත රචනා ශෛලිය අනුව යමින් ශ්‍රී ලාංකාවේ ස්වභාව සෞන්දර්යය සහ ඓතිහාසික මෙන්ම ආගමික සිද්ධස්ථාන පාදක කොටගෙන ලියැවුනු එකී ගීතාවලිය බිහිවී රජත ජයන්තිය එළඹුනු 1978 වසරේදී ඒවා නව ඉලෙක්ට්‍රෝනික සංගීත සංයෝජනය යොදා අධ්‍යක්‍ෂනය කරමින් ප්‍රතිනිර්මාණය කිරීමේ භාරදුර කටයුත්තට අතගැසුවේද ’ක්ලැරන්ස්’ ය. ඒ අනුව  උඩරට කඳුකර සිරියා පරදන....., යමුනා යමුනා සෝබන ගංගා....., උකුළේ කළේ හොවා පිරි සිසිල් ........, ලලිත කලා ඔපකරනා..., දඹුඵ ගලේ රංගිරි දඹුඵ ගලේ..., නම් වූ ඒ ගීතාවලිය සිය ’සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කන්ඩායමේ සාමාජියන්ගේ සහභාගීත්වය මෙන්ම එවකට දිවයිනේ තවත් සුප්‍රකට වාදක මන්ඩලයක් වූ ’ෆෝර්චූන්ස්.....’ පවත්වාගෙන ගිය සංගීතඥ ’ස්ටැන්ලි පීරිස්’ ගේ සැක්ස්ෆෝන් වාදන රසයද කැටිකොටගෙන ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනි. එහිදී ජ්‍යෙෂ්ඨ ගායිකා චිත්‍රා සෝමපාල සමගින් ඔහු ’කුරුඵ ගමේ කුරුඵ ගෙදර කුරුඵ කුමාරී...(ගී පද ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක නැසිගිය ලලිත් එස් මෛත්‍රිපාල) නම් වු අතිශය ජනප්‍රිය ගීතය ගයමින් නැවත පටිගත කලේය. 
----------------------------------------
පහතින් සවන්දෙන්න

1978 වසරේ රජත ජයන්ති සැමරූ තවත් කැපී පෙනෙන නිර්මාණයක් වුයේ ඩබ්ලියු ඒ සිල්වා ගේ එනමින් වු චිරප්‍රසිද්ධ නවකථාව ඇසුරෙන් බී ඒ ඩබ්ලිව් ජයමාන්න විසින් හැදු ’කැළෑ හඳ’ සිනමාපටයයි. 1950 දශකයේ යව්වන යව්වනියන්ගේ සදාතනික සිහිවටනයක් බවට පත් ව තිබුනේ යැයි කියැවෙන ’කැළෑහඳ’ සිනමා සිත්තම, එදවස නාගරික ජන සමාජයේ වැඩියෙන්ම කථාබහට ලක් වි තිබුනු මෙන්ම එහි සාමාජිකයන් විසින් වැඩියෙන්ම නැරඹු සිනමාපටයක් බවට පත් වි තිබුනු බව වාර්තා වේ. වර්තමාන පරපුරේ සාමාජිකයන් දැනුවත් වූ මෑත කාලීනව තිරගත වූ ’හෝ ගාන පොකුණ’ , ’සූරිය අරණ’, ’ඇබා’ වැනි සිනමා කෘති ලද්දේ යම්කිසි ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ද ඊට නොදෙවෙනි වූ ජනප්‍රියත්වයක් 50 දශකයේ ’කැළෑහඳ’ අත්කරගෙන තිබුනි. එදවස යව්වනයන් සිය පාසල් වියේ පරිශීලනය කල සාහිත්‍ය කෘති අතරට ඒ නමින් පළවී තිබුනු නවකථාව ද ඊට රුකුළක් වන්නට ඇත.  

1978 වසරේ දී ඔවුන් වැඩුනු දරුවන් සහිත මැදිවියේ රසිකයන් බවට පත් වී සිටිද්දී, සිය යොවුන් වියේ කළ කී දෑ ආවර්ජනය කරමින්, එදවස තමන්  වසගයට පත් ගායක ගායිකාවන් අගයමින් ඔවුන්ගේ නිර්මාණ ගුවන් විදුලිය ඔස්සේ රසවිඳිමින් සිටින්නට ඇත. එකී සාමාජිකයන් අතර, ලියුම්කරුගේ දෙම්ව්පියන්ද විය. ඔවූහූ ’රුක්මණි දේවී’ ශිල්පිනියට මුඵ හදවතින්ම ඇඵම් කළ ඇයව ප්‍රාණසමාන ලෙස සැලකූ රසිකයන්ය. මෙම වසරේ සිදුවු ඇයගේ හදිසි අභාවයෙන් ඔවූහූ මහත් සේ කැළඹීමට පත්වූ අතර, ඇයගේ දේහය මිහිදන් කරනා තුරු, ගුවන් විදුලිය ක්‍රියාත්මක කරවමින්. එයින් දිනය පුරා නිරන්තරයෙන් වාදනය කෙරුණු ’රුක්මණී ගී’ ශ්‍රවණය කලේ නෙත කඳුලක් රඳවාගෙනය. ඒ අතරින් ගුවන් විදුලිය විසින් වැඩිම වාර ගණනක් වාදනය කළේ ’කැළෑහඳේ’ ඇතුළත් වූ ’රුක්මණී ගීතාවලියයි’.

’රූපවාහිනි සේවා’ ඒ වනවිටත් ලාංකීය සාමාන්‍ය ජනයා හට අත්විඳින්නට නොලැබුනු මෙකී වසරේ,  මෑත ලංකා ඉතිහාසයේ මුල්වරට ඒ වසර දක්වා කවර හෝ කලා ශිල්පියෙකු හෝ ශීල්පිණියකගේ අවමංගල්‍යයකට සහභාගි වූ වැඩිම ජන සන්නිපාතය ඇයගේ දේහය හොව තිබුනු මීගමූවේ ’ජයරුක්’ නිවසේ වන්නට ඇත. ඒ බව පුවත්පත් වාර්තා පසක් කල අතර, රාජ්‍ය චිත්‍රපට අංශය විසින් රූ ගත කරන්නට යෙදුනු රුක්මණී අවමංගල්‍යය ඇතුළත් සේයාපටය ඊට සාක්‍ෂි ගෙනහැර දක්වයි.

1953 වෙසක් මහේ තිරගත වූ  ’කැළෑහඳේ’ ඇතුළත් ගීත, ප්‍රධාන රංගන ශිල්පිනී සහ ගයන ශිල්පිනී භූමිකාවන් හි යෙදුනු හෙළයේ පළමු නිළි රැජින ’රුක්මණි දේවි’ ගේ හඞින් ගායනා කරන්නට යෙදී, මහත් සේ ශ්‍රාවක සම්මානනයට පාත්‍ර විනි. අවසනාවන්ත ලෙස එය ඇයගේ ජීවන ඉරණම විසඳූ තිරණාත්මක සමුගැනීම සිදුවු වසරද වූයේය. මතු දැක්වූ පරිදිම,  ’රුක්මණී දේවි’ අකල් වියෝව යොවුන් වියේ සහ වැඩිහිටි වියේ සිටි ඇයගේ රසිකයන් දැඩිව කම්පනයට භාජනය කළ සිදුවිමක් වූ අතර. ගුවන් විදුලියෙන් නිරන්තරයෙන් වැයුනු ඇයගේ ගීතපෙළට පරිබාහිරව සමරු වැඩසටහන් ද පවත්වමින් ඇයට උපහාර දක්වන්නට යොදුනු අතර, ඉතිරිව තිබුනු ප්‍රධාන ජාතික පුවත්පත් සියල්ලම පාහේ ඇයගේ දිවිමග තොරතුරු ඇතුළත් ලේඛන සහ සේයාරූ වලින් පිරි තිබිනි. එපමණකුදු නොව ’රුක්මණි දේවි’ උපහාර ගීතිකා වහා වහා පටිගත වු අතර ඒවා තැටිවල ඇතුළත් වි වෙළඳ පොළට නිකුත් වෙමින් පැවතියේය.  වේගරිද්මයෙන් උන්මාදයට පත්, එදා යෞවනයන්ගේ ජනප්‍රියතම පොප් ගායන ශිල්පියා සහ ශිල්පිනිය වූ ’ක්ලැරන්ස්’ සහ ’ඉන්ද්‍රානි’ දෛවෝපගතව ’රුක්මණී දේවි’ නිර්මාණයන් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු යොදා තිබුනේ ඇයගේ ගීත 04 ක් ඉන්ද්‍රානි ගේ හඞින් ගයන අතවාරයේද ’ඉන්ද්‍රානි’ ගේ ජනප්‍රියතම ගීත 04 ක් ’රුක්මණි දේවි’ විසින් ගයන්නට එකගතාවයකට එළඹෙීමෙනි. එය සැබැවින්ම මේ නිලිරැජින ගේ කරුණික ඉල්ලිමක් අනුවය.  ’ක්ලැරන්ස්’ ගේ සංගීත සංයෝජනයන්ට අනුකූලව ඉන්ද්‍රානි ’රුක්මණී ගී’ ගයා තිබුනත්, එහි ඉතිරි කොටස  ක්‍රියාත්මක කරන්නට රුක්මණි දේවි ජීවත්ව සිටියේ නැත.

කෙසේවෙතත් රුක්මණිදේවි ගේ අකල් වියෝව සිදුවන්නට පෙර, ආසන්න යුගයකදී, ’කැළෑහඳ’ සිනමාපටයේ ඇතුළත් වූ ඇයගේ ජනප්‍රිය ගීතයක් නව සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කරගන්නට අවස්ථාව ලද එකම එදා නව පරපුරේ සංගීත අධ්‍යක්‍ෂවරයා වුයේ ’ක්ලැරන්ස්’ මය. 

ඇය හා පුරා කියා ගීත ලොවට පිවිසවූ  රන් දොරටුව වූ ’සිරිබුද්ධගයා විහාරේ’ පටිගත වී ඇත්තේ 1939 වසරේ දී ’ග්‍රැමෆෝන්’ ගීතයක් ලෙසිනි. ඒ ඇය එදවස අතිමහත් භක්තිපූර්වකව සිහිපත් කළ ඇයගේ සංගීතාචාර්යවරයා වූ දිවංගත ප්‍රවිණ සංගීතවේදී එච් ඩබ්ලිව් රූපසිංහ සමගය. ගිල්බට් වීරසේකර විසින් විරචිත එය, වසර 38 කට පමන පසුව දෛවෝපගතව ප්‍රතිනිර්මාණය කරන්නට වරම් ලද්දේ ’ක්ලැරන්ස්’ ය. ඔහූ 1972 වසරේ සමුගෙන ගිය එච් ඩබ්ලිව් රූපසිංහයන්ගෙන් පසුව එදවස සිංහල ගීත කලාවේ ජ්‍යෙෂ්ඨතමයා වූ ආචාර්ය පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් සිය භාරදූර කටයුත්තට යොදාගත්තේය.  ක්ලැරන්ස් ගේ වෙනත් නිර්මාණ සඳහා අනුග්‍රහය දැක්වූ එදවස සංගීත ලෝලී ව්‍යාපරික ’අජන්තා විජේසේන’ ගේ  ’ලෝටස්’ වෙළඳ තැටි ආයතනය විසින් එය නිකුත් කරන්නට යෙදිනි.

----------------------------------------
පහතින් සවන්දෙන්න

එයින් නොනැවතුනු ක්ලැරන්ස් ශ්‍රි ලංකිකයන්ගේ හදවතේ ලැගුම් ගත් පැරණිතම බොදු බැති ගීය ලෙස කිරුඵ පලන් ටවර්හෝල් නූර්ති ගී යුගයේ නිතිඥ ජෝන් ද සිල්වා ගේ සිරිසගබෝ නාටකයට ඇතුළත් වූ චිරප්‍රසිද්ධ ’දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා..............’  ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනු අතර එහි ඇතුළත් වු සෙසු ගීත වූයේ 01 දැඩිකල මාතා පෙම්බර මාතා.....(රුක්මණි ගේ මුල් යුගයේ ගීතයකි) 

ඉන්ද්‍රානි සහ ක්ලැරන්ස් විසින් ගැයු ’රුක්මණි ගී...............’ අතර


අන්න සුදෝ අර පාටවලා ....................

සන්ධ්‍යවේ විනෝදේ ප්‍රිති කෙරේ ...............

සුරතේ වෙළි යස සුළග වැදී ....................

යස ඕඵ පිපිලා නීල ජලේ ......

(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)


දෙවා ගිනි මවාදී මගේ හෘදයේ ........

ගියාදෝ අනේ මා දමාලා ප්‍රියේ..................

(ගී පද නැසිගිය හර්බට් එම් සෙනෙවිරත්න)

මෙන්ම 1949 වසරේ තිරගත වූ බී ඒ ඩබ්ලිව් ජයමාන්න ගේ ’පෙරළෙන ඉරණම’ සිනමාපටයේ ඇතුළත් වූ,   ’ඕඵ මලෙහි සුදෝසුදූ................’ ගීතයද විය. (ගී පද ජේ එල් පී නන්දනකීර්ති, සංගීත නිර්මාණය - බි ඇස් පෙරේරා)

----------------------------------------
පහතින් සවන්දෙන්න

70 දශකය ඉකුත් වී යද්දී පවා දිවයිනේ ව්‍යාපාරික භවතුන් හට සිය නිෂ්පාදන ප්‍රචලිත කරගැනීමට ඉතිරිව තිබු එකම සහ ප්‍රධාන විද්යුත් මාධ්‍යය නාලිකාව වුයේ ලංකා ගුවන් විදුලියේ සිංහල දෙවැනි සේවයයි (දැන් වෙළඳ සේවය) එහි මිහිරි ලෙස ගැයුනු වෙළඳ දැන්වීම් ගී ඛන්ඩ ගණනාවක් නිර්මාණය කර ගයනු ලැබ තිබුනේ ඔහුය. සිනූ හඞ දෙයි බෙත්ලෙහෙමේ... (පාවහන්), දේදුන්නේ පාට පෙරා දසුන් මවන සතිය පුරා (චිත්‍රකථා පත්‍රයක්) 

---------------------------
ක්ලැරන්ස් සහ මරියසෙල් එක්ව ඔහුගේ නිර්මාණ එක්තැන් කොට ප්‍රතිනිර්මාණය කළ එදවස ජනප්‍රිය වෙමින් පැවති නොනවතින රැල්ල ගණයේ කැසට් පටයක වග තුග වෙළඳ දැන්වීමකින් - 1980 දශකයේ මුල් භාගය
-------------------------

මතු සඳහන් කල පරිද්දෙන් ඔහුගේ වසන්ත සමයේ  අතුඉති පිරි ඉතිරි යන්නට ගී මල්ඵල හට ගැන්වූ ’කන්ඩායම් ගී’ යුගය මුකුලිත වුවද, සුවඳැති, නෙක වර්ණයෙන් බබළන ගී කුසුම් නිරන්තරයෙන් විකසිත වෙමින් පැවතිනි. සූපර් ගෝලඩන් චයිම්ස් රසවතුන් ගේ දුරස් වීමෙන් පසුව කරළියට පැමිනි ’කැසට්’ ගී යුගයද ඔපවත් වූයේ ’ක්ලැරන්ස් ගී’ මල්වරුසාවෙනි.

අඳුර ඉරා සඳමිනි මේලාවේ ........තුෂර බිංදු තීරයේ .....(අජන්තා රණසිංහ), මෙන්ම ඔහුට හුරුපුරුදු  රසවදන් පිරිද්දිමේ කලාවෙන් විචිත්‍රවත් වූ ’සැන්දෑ වලාවන්................’ මලට බඹරෙකු සේ ..........’ ’රන් සමණළයින් (රම්‍යා)...........’දිනෙක මේ නදී තිරේ........’ ’සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ.........’ මුතුමැණිකේ උදේ රැයන්...........’ ’අරුණ කිරණ වැදි ................’ ’සඳ එක් දිනක් තරු හා බැඳී...........’  ’පියඹා යනවා මා අකාසෙයේ............’  මලේ හැන්දෑවේ වහින වෙලාවේ.... ’මාලිනියේ මා ලාලනියේ....’  ඒ අතර වෙයි

රුසිරු ගී තනු උල්පතකට උරුම්කම් කී මේ සොඳුරු ගාන්ධර්වයා වෙනත් මියැසි මැවිසුරුවන්ගේ ගී රටාවන් උදෙසා නොගැයුවේද? නැත...  එය එසේ වී තිබේ. සංගීතඥ ස්ටැන්ලි පීරිස් ගේ ගී තනුවකට අජන්තා රණසිංහයන් ලියූ ’දුව මා වගේ නේද නෑ අම්මා..............’ මෙන්ම එදා අංකුර තනු නිර්මාපකයෙක් වූ රූකාන්ත ගුණතිලක ගේ ’සාගරේ තරංගයේ... (අජන්තා) එවැනි අවස්ථා සිහිකැඳවයි.

70 දශකයේ මූලාරම්භයේදී පවා ’කන්ඩායම් ගී’ කලාව නමැති වෘක්‍ෂය සුපුෂ්පිතව සුවඳ විහිදමින් තිබුනත්, ඔවුන්ගේ තැනු ගීතවල එක්තරා පැහැදිලි කැපී පෙනෙන අඩුවක් පැවතීයේය. ගීතයක තිබිය යුතු සංගීත සංයෝජන සුමියුරු අන්තර් වාද්‍ය සංගීත ඛන්ඩ ඒවයේ නොතිබුනු අතර වෙළඳ තැටි නිපදවූවන් විසින් ඒවායේ ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගන්නා ලෙස මෙම කන්ඩායම් වෙතට උපදෙස් නිකුත් කර තිබිනි. එකි විශේෂඥ කාර්ය භාරය ඉටුකරගැනීම උදෙසා එවකට ඔවුන්හට දිවයිනේ සිටි ප්‍රමුඛතම අත්දැකීම් බහුල බටහිර සංගීතය ශිල්පීය කලාව පිළිබඳව අවබෝධයෙන් සිටි සංගීතඥයන්ගේ අධාරෝපකාරය අතවශ්‍ය වි තිබිනි. ඒ අනුව සංගීතඥ ආර් ඒ චන්ද්‍රසේන, එම් කේ රොක්සාමි සහ පැට්‍රික් දෙණිපිටිය ඒ භාරදුර කටයුත්තේ නිරතවිය. තැටිගත වී ගුවන් විදුලි ශ්‍රාවක මනස කුල්මත් කල ’කන්ඩායම් ගී’ බොහෝ ගණනක සංගීත සංයෝජනයෙන් වර්ණවත් වූයේ මෙකී නිර්මාණකරුවන්ගේ දායකත්වය නිසාය. ’මුන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්’ පමණක් මේ කුලකයට ඇතුඵ නොවූයේ ’ක්ලැරන්ස්’ ගේ කමනීය සංගීත ඛන්ඩ වලින් එකී ගී හැඩවී තිබිම නිසාය.

60 දශකයේ මධ්‍ය භාගයේ දී ගුවන් විදුලිය විසින්  මේ ගීත වර්ගය වාරණය කළ මැනවැයි ක්‍ෂේත්‍රයේ මීට එරෙහි වූ පිරිස හඞ නැගූවත් ’කන්ඩායම් ගී’ සංසදයක් පිහිටුවා ගත් එකී සාමාජිකයෝ ආයාචනාත්මක ලිපි යොමුකරමින් මේවා වාරණය නොකරණ ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිබව වාර්තා වේ. සැබැවින්ම මේවා ලද දැවැන්ත ශ්‍රාවක ප්‍රතිචාරය ට මගපාදාදෙන ලද්දේ අන් කවරෙකුටත් වඩා ’ලංකා ගුවන් විදුලිය’ විය. අගනුවරින් ඈත දුර වෙසෙන ගැමි ශ්‍රාවකයන් පවා ’කන්ඩායම් ගී’ හඳුනාගත්තේ එයිනි.

’සංකරත්වයේ’ සිමා මායිම් අතික්‍රමණය කළා යැයි චෝදනා නගා ඒවා පාගා පොඩිකර දමන්නට ඇතැම් බලදරුවන් තැත් දැරූවද, ඒවායේ ගී පද පිරික්සද්දී, ඒවා අතිමහත් බහුතරය ’ළමා ගී’ යක රුවගුණ ගනී. 

සංස්කෘතිකාංග (කඳසුරිඳුනි ඔබේ....’ ’ඩං ඩං ඩං ඩංකු ටුකුටු, මංගලම් කියලා මල් මිටක් තබාලා..’ රුහැණුබිමේ කතරගමේ, වාසනාව දෝතට ගෙන සිනහසලා, මෙන්න අපේ සුහද පැතුම් ....) ජනශ්‍රැතිය (මහදැනමුත්තා අපේ ගුර රටේ උගත්තා.., අහසට පිඹිනා භූමි කළේයා, ඔළිද තිබෙන්නේ කොයි කොයි දෙසේ,  එදා  මෙදා වෘත්තීන් (සෝබමාන ගුවන් සේවිකා..., කරට කදේ රැගෙන යමි පාරදිගේ මං, මුඵ ගතම වෙහෙසුනා, හෝයියා හෝයියා........., අපි මිතුරෝ මුහුදු ගියෝ...) ස්වභාව සෞන්දර්යය (ඉද්ද පිච්ච මල් පිපිලා, ගළනා දිළෙනා ලක්නදී සෝබා, දුන්හිඳ කෙල්ලේ, යාල යාල යාල යන්න, හිරු නැගී එන උදයේ අප යන්නෙ, පාට පාට රන්තටු සළලා, අව්ව පායලා, හෝ වැස්ස වහිනවා) පාසල් සමය (සඳක් බැස ගියා අවරගිරෙ, ), සහෝදර- දාරක ප්‍රේමය (පුංචි නංගි මාගේ ඈ හරිම ලස්සනයි, ලස්සන සුසිනිඳු සඵ ඇගලා..., ගමෙන් ලියුමක් ඇවිල්ලා, නැළවෙන්න නොහඩන්න චූටි පුතා, සිහින පැතුම් විමනේ, කිරිමුහුද කළඹාලා ගෙනා, බොරුවට අඞ අඞ...)  වැනි දෑ ඒවා මාතෘකා කරගනී. ශෘංගාරය කැටිකොට ගත් ගීත ද ඒ අතර පැවතියද ඒවා එදා නිතර ඇසුනු සරළ ගුවන් විදුලි ගී පදවැල් හා නොසම වූයේ නොවේ.  

මෙතැන් සිට ඉදිරියට ................

සේයාරුව අනුග්‍රහය  - රුක්ෂාන් කරුණානායක මහතා (විශේෂ ස්තුතිය)