namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, October 20, 2022

70 දශකයේ ගුවන් විදුලි සරළ ගීතයේ විකසිත වු බටහිර නාද රසය - SLBC Light Songs in western music style - 1970s

නාද මිහිර නොම වියැකී ගිය ඒ ගී රසය ගුවනින් ඇසුණා පමණි......වානිජ තැටි ගීය පරදවාලු ගුවන් විදුලි ගී වින්දන..


වත්මනෙහි වැඩිහිටි වියේ සිටින එනම් වයස අවුරුදු 45 ක් හෝ ඉන් ඔබ්බට ගමන් කරනු ලැබ ඇත්තා වු ගී රසවතුන් බොහොමයක් ගුවන් විදුලිය ඔස්සේ සිය රසිකත්වය වඩවා ගත්තෝ විමට ඇති ඉඩකඩ ඉතා බහුලය. එවැන්නෝ විමසු කළ ඔවුහු අපි පුංචි කාලේ රේඩියෝ නිතර ඇහැව්වා ................. යන වදනින් පිළිතුර සැපයෙනු ඇත්තේය. ඒහි ගැබ්වු ඔවුන්ගේ පුංචි කාළය පිළිබඳව වැඩිමනත් කරුණු හාරා අවුස්සා පැණයන් නගන්නේ නම් ඔවුහු මෙසේද කියනු ඇත්තේය.

-------------------------
සේයාරුව පිළිවෙලින් නරඹන්නාගේ වමේ සිට

01 ශීලා පරණමානගේ  - රන් හූයෙන් අතැගිලි පටලා - ගායිකාව

02 මර් වින්  පෙරේරා  -- දියඵම දිය ඇළි - ගායන ශීල්පියා

03 ප්‍රේමකීරති ද අල්විස්   -- දියඵම දිය ඇළි රචක ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක

04 මාලා වජිරා පෙරේරා - රන් හූයෙන් රචිකාවිය - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාව

පහළ වමේ සිට

01 සුසිල් පෙරේරා - - 70 දශකයේ ගීතවලට ඩ්‍රම්ස් වාදනය **

02 සරත් බාලසූරිය - රන් හූයෙන් සංගීතඥ - තනු නිර්මාපක 

--------------------------------
** සුපර් ගෝල්ඩන් චයිම්ස් - ශ්‍රී කාන්ත දසනායක
සුපර්ස්ටාර්ස් --  මහින්ද සිල්වා සහ නේසන් ත්‍යාගරාජා
සහ ඩන්කන් ක්ලයිඩ් ද වෙනත් ප්‍රවිණ ඩ්‍රම්ස් වාද්‍ය ශුරීන් අතර විය
-----------------------------

ඒ කාලේ අපේ රේඩියෝ එක මහ විසාලයි. ලොකු පෙට්ටියක් වගෙයි...........

එය එසේමය මෙකී ඒ කාලය යටත් පිරිසියෙන් 70 දශකයයි හෝ ඉන් එපිට යුගයයි. එදවස පැවති ප්‍රථමික තාක්ෂනය ඉලෙක්ට්‍රෝනික් තාක්ෂනය විකුම් පාන්නට පෙර අවධියේය. අතැගිලි දෙකක් එක්වු තරම් පුඵලැති ඒ තරම් උසැති උපාංග ගණනාවකින් සමන්විත වුද ඒවා අධික ලෙස රත්වීමෙන් ගන්ධයක් නිකුත් කරමින් තිබුනා වූද දෝත පෑ විට එහි වර්ගඵලය ද ඉක්මවා යන තරමේ ඕවලාකාර ස්පීකරයකින් සමන්විත වූද ඒ ගුවන් විදුලි යන්ත්‍රයන් වෙත සේවා සපයන ලාංකීය ගුවන් විදුලි සේවා මාධ්‍යයන් පවා තිබුනේ ප්‍රාථමික තාක්ශනයට යටත් වය. ඒ අනුව එයින් නිකුත්වන හඞ වත්මනෙහි මෙන් පැහැදිළිව පැතිරුනේ නැතිබව පෙර කී ශ්‍රාවකයන් අත්දෑකිමෙන් සිහිකැඳවාගනු ඇත. එහි බලපෑමට වඩාත්ම හසුවුයේ නිවේදකයන් ගේ හඞ ට වඩා ගීතයන්ගේ නාදයයි. ඒවයේ වාදනය වන වාද්‍ය භාන්ඩ සිය ගණනක් වුවත් සවනත වැකුනේ අල්ප ගණනකි. 


වේගරිද්ම ගීතයේ බටහිර ආර අනුගමනය කලේ නම් වැයෙන ඩ්‍රම්ස් නාදරටා එහිදී දුර්වලය. හොඳන් ඇසුනේ නැත්තේය. එහෙත් ගී ශ්‍රවණය කිරීමෙන්ම ලත් අත්දෑකිමෙන් හා පළපුරුද්දෙන් එහි එකී වාද්‍ය භාන්ඩය වැයෙන බව ඇතැම් ගීතලෝලී ශ්‍රාවකයන් හොඳින් වහට ගනු ලැබි තිබිණ.

ගුවන් විදුලියෙන් සති අන්තයේ වාදනය කෙරෙන වෙළඳ තැටි වෙළඳ වැඩසටහන් තුලින් සවනත වැකුණි. ඒවා උපරිම වාද්‍ය රසාස්වාදයක් ද මිහිරියාවක්ද ලබාදුන්නේය. ඒ පෙරකී සංකීර්ණ වාද්‍ය රසමුසුව නිසාය. ඊට සමගාමිව සරළ උත්තර භාරතීය වාද්‍ය රසයෙන් සමලංකෘත වු ගුවන් විදුලි කාර්යාලයයේ පටිගත වු ගීත වෙන්කර හඳුනා ගත හැකිවුයේ ද මතු කි අත්දෑකිම් සහ පළපුරුද්දෙනි. වැඩිකල් ගත්වන්නට පෙර ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නන් නිර්මාපක රසවතුන් ද ඔවුන් ගේ නිර්මාණ වෙළඳ තැටියෙන් නැගෙන ගීතවලට රසයෙන් නොපරදින්නට ගුණයෙන් නොපිරිහි පවත්වා ගන්නට ද වෙර දෑරූහ. ඒ කෙසේද යත් ඔවුන් ද බටහිර වාද්‍ය රසය තමන්ගේ නිර්මාණ සංගීතවත් කීරීමට යොදාගත් බැවිනි.


ඒ අනුව තැටියකින් හෝ 70 දශකය අවසන් භාගයේදී සංගීත වෙළඳ පොළ අක්‍රමණය කල කැසට් පටයකින් හෝ පවා ඇසිය නොහැකි නමුදු ගුවන් විදුලියෙන් පමණක් ම ඇසිය හැකිව තිබුනා වු ගීත එයින් බිහිකරන්නට පෙරමුන ගන්නා ලද්දේ අන් කවර කරුණකට වඩා තමන්ගේ කාර්ය භාරයේ වගකීම හොඳින් අවබෝධකරගත් ගුවන් විදුලි ශිල්පීන් විසිනි.


ගුවන් විදුලි ගීත බටහිරකරණය කරනට පෙරමුණ ගත්තාවු ගාන්ධර්වයන් අතර නැසිගිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙන්ම ආචාර්ය වික්ටර් රත්නායක ද පසුව සරත් බාලසූරිය, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, රෝහිත විජේසූරිය,මර්වින් පෙරේරා, සේන ජයන්ත වීරසේකර, පී එල් ඒ සෝමපාල, පැට්‍රික් දෙණිපිටිය, මොහාමඩ් සාලි, වික්ටර් දඵගම, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න, ආචාර්ය ලයනල් අල්ගම  වැන්නෝ නම්කළ හැකිය. ඔවුහු අවසර ඉඩකඩ ලැබෙන පරිදි සීමිත ලෙස සීරුවෙන්  ඒ කටයුත්තට අත ගැසීය. ඊට සිය ආයතනික සිමා මායිම් අසිරූවෙන් අපහසුවෙන් ලිහිළ් කරවාගෙන දොරට විවර කර දුන් එහි එදවස සංගීත පාලක ධූරය හොබවු ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ භූමිකාව ද කෘතඥ පුර්වකව සිහිකටයුතු මනාය. සංගීතවේදී සරත් දසනායකයන් විසින් ද ගුවන් විදුලි ගීත මහත් රාශියකට සංගීතය මුසුකරමින් තනු නිර්මාණය කළද ඔහු එහි ක්‍රමවේදයට අනුගත වෙමින් බටහිර සංගීත භාන්ඩ අවම ලෙසින් යොදාගත් බවක් පෙනීයයි. එහෙත් ඔහු වෙළඳ සහ සිනමා සංගීතයේදී එය පුර්ණලෙස වෙනසකට භාජනය කළේය.


මවුත් ඕගනය - එකොස්ටික් ඩ්‍රම්ස් කට්ටලය - එකෝඩියනය - විද්යුත්කරණය කල වයිබ්‍රෆෝනය, ඕබෝ, කොරැංගලිස්, ඉන්ග්ලිෂ් මැන්ඩලීන්, ක්ලැරිනට් සහ පසුව 60 දශකයේ මධ්‍ය යුගයේදී ලක්දිවට සපැමිනි ඉලෙක්ට්‍රෝනික සරපුවරුව (ඕගන්) ද ක්‍රම ක්‍රමයෙන් ගුවන් විදුලි ගීතය රසගන්වන්නට හැඩගන්වන්නට විය. 


ප්‍රතිඵලය වුයේ වෙළඳ පොළට නිකුත් කර තිබුනු  වානිජමය තැටි ගී රසඋල්පත පරදවා ගුවන් විදුලි ගීතය ශ්‍රාවකයන්ගේ හද බැඳ ගැනීමට සමත් වීමයි. මීට නිදසුන් අල්පයක් හෝ ගෙනහැර නොපෑවේ නම් මෙම සටහන අර්ථවිරහිත වනු ඇතැයි සිතේ. මෙම ගීත එදවස ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පී වික්‍රමයන් බව එදවස මෙන්ම මෙදවසද දැන කියා ගත් ශ්‍රාවකයන් අතිශයින් විරළ ය. එහෙත් සංගීතඥ ගායකයන් එය හොඳින් දනිති.


මේ අතරවාරයේ ඇතැම් ගායන ශීල්පීන් තමන්ගේ ගීතයන්හි වාද්‍ය රසය උත්පාදනයට හේතු වු සංගීත සංයෝජනයන් පිළීබඳව වඩාත් සැළකිලිමත් වු අතර, ගුවන් විදුලි කටහඞ පරීක්‍ෂනයටද පාත්‍ර වන්නට වරම් ලැබ ශ්‍රේණිගත සරළ ගී ගායනයට අපොහොසත් වු නිසාදෝ සිය පෞද්ගලික බරපැණ වියහියදම් කරමින් බාහිර ශබ්දාගාර සහ වාද්‍ය මන්ඩලයන් තමන්ම සපයා ගනිමින් තමා විසින්ම ගීත පටිගත කරවා ඒවයේ මුල් පිටපත් ඇතුළත් හඞ චුම්බක පටි ගුවන් විදුලිය වෙත ගෙනගොස් භාරදිමේ අවදානම් කටයුත්තේ නිරතවිය. එය එසේ අවදානම් වන්නේ කෙසේද යත්, ඒවා ප්‍රචාරය කිරිමේ පුර්ණ අනුමැතිය ලබාදීමේ වගකීම සතුවුයේ සංගීත පාලකවරයා හටය. ඔහු හෝ ඇය එය ප්‍රතික්‍ෂේප කළේ නම් එවිට  අදාල ගායකයා ගේ පෙර කී සියඵ උත්සහයන් අපතේ යන්නට ඉඩ තිබින. 


මෙම වර් ග ෙය් ගායන ශිල්පීන්ට හොඳම සහ ප්‍රමුඛතම නිදසුන වුයේ චන්ද්‍රකුමාර් කඳනාරච්චිය. ඔහු ගේ නෙඵම් විළේ කැඵම් පෙරා (ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය උපාලි කන්නන්ගර තනුව ගායකයා සතුය) මෙන්ම ඇගේ සිනහව තහනම් (ගී පද කේ ඩි කේ ධර්මවර්ධන තනුව ගායකයා සතුය සංගීතය උපාලි කන්නංගර) එවැනි ප්‍රමුඛතම නිදසුන් ද්විත්වයකි. ඔහුගේ වාසනා මහිමය එයින් මතුවුයේ ඒවා ගුවන් විදුලිය විසින් ප්‍රචාරය කරන්නට අකමැත්ත පළ නොකිරීමත් ඒ නිසා ඒවා අවසානයේ ගුවන් විදුලි ශ්‍රාවකයා ගේ මනා අවධානයට ලක් වි ප්‍රසාදයට පත් වීමෙන් ඔහු එදවස ගුවන් විදුලි ගායන ශීල්පියෙකුගේ තත්වය හා සමවන මට්ටමට පැමිණිමෙනි. 70 දශකයේ මුදල් හදල් සතුව තිබිම නිසා තම නිවසේ පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමිකරුවන් වු රසිකයන් හට එදා වෙළඳ පොලේ කිසිවිටක චන්ද්‍රකුමාර් කඳනාරච්චිගේ ඉහත ගීත ඇතුළත් වෙළඳ තැටියක් මිළඳි ගන්නට අවස්ථාව නොවිය. මන් ද යත් ඒවා ද එක්තරා අන්දමකින් ගුවන් විදුලි ගීතම වු නිසාමය. (එහෙත් පසුව ඒවාද කැස්ට පටවලට ගායනා කරන්නට යෙදුනි)


පූර්ව කැසට් තාක්‍ෂන යුගයේදී, තමා උන්මාදනීය කළ ගුවන් විදුලි ගීයක් නැවත නැවත ශ්‍රවණය කිරීමේ වරම ලබන්නට රසිකයන් සිහින මැව්වද ඒ සිහින සැබෑ කරදෙන්නට නම් වෙළඳ තැටි ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වී අදාළ ගායකයා ලවා ඒ ගීතය බාහිර ශබ්දාගාරයක ප්‍රතිනිර්මාණය කරවා තැටිවලට නංවා අලෙවි කළ යුතුවියයුතුමය. සූරිය තැටි ලේබලය හිමිකරු වු ජෙරල්ඩ් වික්‍රමසූරිය රසවතා මෙන්ම ජෙම්ටෝන් ලේබලයේ හිමිකරු විජයපාල හෙට්ටිආරච්චි ව්‍යාපාරික භවතාණන් ඊට ඉදිරිපත් වූ නිසා මෙකී ශ්‍රාවකයන්හට පන්ඩිත් අමරදේව, නන්දා මාලිනී සහ වික්ටර් රත්නායක මෙන්ම සනත් නන්දසිරිගේ ගුවන් විදුලි ගීතවල නව පටිගතකීරිම් රසවිඳින්නට අවස්ථාව හිමිවිය.


පන්ඩිත් අමරදේව ගැයු 

අනෝතත්ථ විල නෙඵම නෙළාලා (අමිතා වැදිසිංහ සමග) - ගී පද සුනිල් සරත් පෙරේරා සංගීතය වික්ටර් දඵගම

මින්දද හීසර වැදී සැළෙන හඞ  - ගී පද මඩවල එස් ර්ත්නායක

බඹරෙකු ආවයි නිරිත දිගේයා - මඩවල එස් රත්නායක


වික්ටර් රත්නායක ගැයු

ප්‍රේම පරාදිසේ - ප්‍රේමකීරති ද අල්විස්

සිහින සතක් දුටුවෙමි මම - ප්‍රේමකීරති


අමිතා වැදිසිංහ ගැයු

රන් දොරින් එන්න ආදරේ - කරුණාරත්න අබේසේකර - වික්ටර් දඵගම


නන්දා මාලිනි ගැයු

සාරි පොඩිත්තක් හැඳගෙන - සුනිල් ආරියරත්න

ආදරයේ කෝඩුකාරයෝ - සුනිල් ආරියරත්න

සකුරා මල් පිපිලා හරි පුදුමයි - සුනිල් ආරියරත්න

රුක් අත්තන මල මුදුනේ - මහින්ද අල්ගම

මල් මල් හීනය මි බඳ උදයේ - සුනිල් ආරියරත්න


සුජාතා අත්තනායක ගැයු

බොළං පොඩි නංගී ටිකක් හිටපං - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක

ආගන්තුක කුරුල්ලා - අජන්තා රණසිංහ - නවරත්න අත්තනායක

මංගල කසී සඵ මාලා - සුනිල් ආර් ගමගේ - නෙවිල් ප්‍රනාන්දු (ගුවන් විදුලි ගීය) නවරත්න අත්තනායක (තැටිය)

පුංචි දවස්වල නින්දට යද්දී - අජන්තා රණසිංහ - සරත් දසනායක


ඉන්දනි විජයබන්ඩාර ගැයු

රතුපාට මල් මට තාම මතකයි - අජන්තා රණසිංහ - දයාරත්න රණතුංග

ඔබේ කටහඞ තාම මතකයි - කරුණාරත්න අබේසේකර - සිසිර සේනාරත්න


සී ඩී ෆොන්සේකා ගැයු

ඔයාට රත්නේ මං ආදරේයි - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ - සී ඩී ෆොන්සේකා

ඊට නිදසුන් අල්පයකි. මේ ලැයිස්තුව බොහෝ දිගය ඒවයේ ගුවන් විදුලි පිටපතක් ද, වෙළඳ තැටි ගී පිටපතක් ද 70 දශකයේදීම බිහිවිය. ඒවා නිකුත් කළ වාහාම වත්මනෙහි මෙන් 70 දශකයේදීම ගුවන් විදුලිය විසින් තමන්ගේ පිටපත් යටපත් කර දමා පෙරකී වෙළඳ තැටිය වාදනය කරන්නට සැළැස්වීමේ අරමුණ පසක් කරගැනීමට අසිරුය. එය අදාළ ව්‍යාපාරිකයන් ගේ බලපෑම හෝ වෙනත් සැගවුනු අරමුනු තිබෙන්නට ඇත. ඒ නිසා එදා ගී ශ්‍රවණය කළ බොහෝ ගුවන් විදුලි අසන්නන් අද පවා ඒවයේ මුල් ගුවන් විදුලි ගී ඇද්දැයි පවා අදද නොදනී. එනමුදු එදා ගුවන් විදුලියේ සිටි ඇතැම් ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් සිය ආයතනය විසින් නිපදවු ඒවයේ මුල් ගීතයම අඛන්ඩව වාදනය කළ අවස්ථා ද විරළ නොවු බවට ඔවුන්ට ගෞරව පිණිස සටහන් කර තබමි.


මවුත්ඕගනය සහ විදුලි ගිටාර් සමග ඩ්‍රම්ස් කට්ටල වාදන මුසුව (මවුත් ඕගන් - මර්වින් ප්‍රියන්ත සහ හර්බට් ගුණවර්ධන)

මල් පිපිළා ජිවිත උයනේ මල් පිපිළා - දයාරත්න රණතුංග - සංගීතඥ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973 

ගී ලියන්න මට කිවේ ඔබේ නෙතයි - දයාරත්න රණතුංග - දයාරත්න රණතුංග - 1974

සඳක් සදිසි ළඳක් නොවෙද ලැසි ගමනින් එන - අමරා සහ දයාරත්න - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974

සඳ මඩලේ සිට තරු මඪලේ සිට - මාලිනි බුලත්සිංහල - ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න - 1975

රාමා සිතා ඔබයි මමයි - ක්‍රිස්ටෝපර් පෝල් - ෂෙල්ටන් ප්‍රේමරත්න - 1974

රන් හූයෙන් අතැගිලි පටලා රන් මාලය - ශීලා පරණමානගේ - සරත් බාලසූරිය - 1975

කතරට කුමටද වසන්තයක් - වික්ටර් රත්නායක - එම (මවුත් ඕගන් වාදක නැසිගිය හර්බට් ගුණවර්ධන) - 1974

පායන සඳ ගැන මොනව හිතන්නද - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1973 (මවුත් ඕගනය - හර්බට් ගුණවර්ධන)

සඳ හිරු තරු මැත පොකුරු ගැහී යන - වික්ටර් රත්නායක - එම - 1973 (හර්බට් ගුණවර්ධන)

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ - වික්ටර් රත්නායක - 1974 (හර්බට් ගුණවර්ධන)

--------------------

නෙඵම් මලේ එක පෙත්තද තියෙන්නේ - රෝහණ වීරසිංහ
සවන්දීම - මෙතැනින්

ගී පද ප්රේමකීර්ති ද අල්විස් 
------------------------

විදුලි ඕගනය (වාදක - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු) 

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973

සුභා කියා මා ඔබ අමතන්නද - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1973

නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනන්දු - 1973

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා - අමරා රණතුංග - සංගීතඥ සරත් ද අල්විස් - 1974

ගංගා දියරෑළි ගලා - පුන්සිරි සොයිසා - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1974

දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන - අමරා රණතුංග - පුලස්ති ඉන්දික - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

--------------------------
නොහඩන් ළඳුනේ සුරා පොදක් මා - පුන්සිරි සොයිසා
සවන්දීම - මෙතැනින්
 

මෙම ගීතයේදී සැක්සෆෝන්, විදුලි ඕගනය, හවායන් ගිටාරය මනා සේ යොදාගෙන ඇතිබව පෙනේ

ගී පද - චන්ද්‍රසේන රංගේ

 ------------------------

ඩ්‍රම්ස් කට්ටලය (වාදක - සුසිල් පෙරේරා)

ඔවිල්ලේ පෙම් සඳැල්ලේ රන් තොටිල්ලේ - ෆිලික්ස් අන්ටන් සහ චන්ද්‍රානි මානෙල් කල්දේරා  - වික්ටර් දඵගම - 1972

හද ගී පොතේ පිටුවක් ඉරා - ෆිලික්ස් ඇන්ටන් - චන්ද්‍රා බන්ඩාර - ප්‍රේමනාත් කොඩිතුවක්කු - 1973

වන බඹර තුඩින් පිපි තඹුරු විලෙන් - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1973

දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

එක මොහොතක් ඔබ සෙවනේ - මර්වින් පෙරේරා - අමිතා දඵගම - මර්වින් - 1974

නිලුපුල් යුවලේ - මර්වින් පෙරෙරා - එම - 1973

විදුලි දුම්රියේ චංචල නාදෙන් - රූපා ඉන්දුමතී - ලක්‍ෂමන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1973

ආදර සුභා වසනා වේවා - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975

ආත්ම ගණනක සිතුවිලි අතරේ - ශ්‍රීමතී තිලකරත්න - සරත් බාලසූරිය - 1975


එකොඩියන්ස් (වාදක - )

දෙපා නගන්නට හිත නැතුවා පෙම් විමන් මෙසේ- බන්දුල විජේවිර - එම - 1976


සැක්සෆෝන් (එම් කේ රොක්සාමි - ස්ටැන්ලි පීරිස්)

බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973

සරතැසි නිවා දිවි කතරේ - ප්‍රියා සූරියසේන - එම් කේ රොක්සාමි - 1973

මල්සර උක්දඞු දුන්නෙන් පැනි බී - ආචාර්ය වික්ටර් රත්නායක - වික්ටර් රත්නායක - 1973

අපි සවුදිය පුරමු - වික්ටර් රත්නායක - එම - 1973

දිනපතාම ඔබ පතාම හදවත හැඞුවා - රංජිත් රීටන් - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු - 1975

අකුරු සතරකි මනස පැටලිලා - මරව්න් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

දියඵම දියඇලි දියරැල හා - මර්වින් පෙරේරා - මර්වින් පෙරේරා - 1974

ම්ල් පෙත්තක පන්හිඳකින් - රොම්ලස් පෙරේරා - සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි - 1973

පිය මදහස මුව මුකුඵ - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1974

සැකබිය ඇත්තේ සෙනෙහස ඇතිතැන - සුජාතා අත්තනායක - 1972

-----------------------
බිගු වැළපීලා මල් පරවිලා - ප්‍රියා සූරියසේන 
සවන්දීම - මෙතැනින්
 

 ------------------------

ඕබෝ - ක්ලැරිනට් (මොහොමඩ් සාලි - ඒ ජේ කරීම්)

රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස් - මොහාමඩ් සාලි - 1971

විලෙන් පෙරෙන දිය - අයිරින් ද අල්විස් - මොහොමඩ් සාලි - 1970

හෙළ ජාතික පියුම් විලේ - අයිරින් ද අල්විස් - ලක්ෂ්මන් රොද්‍රීගෝ - මොහොමඩ් සාලි - 1970

සිප එන සමනළ මුදුනින් - වික්ටර් රත්නායක - පුන්‍යසිරි මහවත්ත - 1972

පියාපත් සලා මම ඔබ සොයා එමි - මිල්ටන් මල්ලවාරච්චි - එම් කේ රොක්සාමි - 1972

පිය හිමියනි මා හදවත - රූපා ඉන්දුමතී - ලක්ෂ්මන් රොද්‍රිගෝ - මොහොමඩ් සාලි - 1972

අමරස පෙම් රසයෙන් කැළතෙන් - ශ්‍රීමතී තිලකරත්න - වික්ටර් රත්නායක - 1972

මංගල කසී සඵ මාලා දෑතේ රන් වළලු - සුජාතා අත්තනායක - නෙවිල් ප්‍රනාන්දු - 1971

රන්තරු දෑසෙහි සැංගී සිනාසේ - අයිරින් ද අල්විස්

සවන්දීම - මෙතැනින්

ගී පද හේම ශ්‍රී ද අල්විස්
 ------------------------


කොරැංගලිස් (වාදක එම් එම් නූර්)

පියාසලනා ළිහිණියෙකු සේ - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර රත්නායක - 1972

සුඛ වේදනා දුක් වේදනා මේ තරමි - මිල්ටන් මල්ලවාරච්චි - වික්ටර් රත්නායක - 1972

අනන්තයට මා ඉගිල්ලු ඔබේ සිතුම් - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1973

කල්පනා රැැහැනින් බැඳි - ශ්‍රීමති තිලකරත්න - වික්ටර් රත්නායක - 1972

එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න- පුන්‍යසිරි මහවත්ත - 1973

---------
එක ගිණිකුරයි මුඵ ගෙදරම -ශ්‍රීමතී තිලකරත්න
සවන්දීම - මෙතැනින්


ගී පද ප්රේමකීර්ති ද අල්විස් 
------------------------

මේ ගී සමග වැයුනු මියුරු වාදන ගුවන් විදුලියෙන් නෙපැහැදිළිව ඇසුණු යුගය 1977 වසරෙන් පසු නිමවෙතැයි සිතුවද එය වෙනත් ආකාරයෙන් සඵල වුයේ එදවස නවින තාක්‍ෂණය කැටිකොට ගත් ජපාන ඉලෙක්ට්‍රෝනික කැසට් සහ තැටි ධාවකයන් සහිත යන්ත්‍රවලින් ඒවා මිළදී ගෙන සවන්දීමට හැකියාව ලැබිමෙනි. එහෙත් ගුවන් විදුලි ගීතයක මුල් රසය පැහැදිළිව විඳගැන්මේ සිහිනය සැබෑ වුයේ ගුවන් විදුලිය එෆ් එම් තාක්ෂනය අත්කර ගත් 80 දශකයේ පසු භාගයේදීය. එතැන් හි සිට තැටියෙන් වාදනය කරණ ගීතයේ තැටි ධාවන ශ්බ්දය පසුබිමෙන් පැහැදිලිව ඇසෙද්දීම කලකට ඉහතදී යෙදු සංගීත රසයේ මිහිර එඅයුරිනිම් විඳගැන්මට ඉඩ කඩ අත්විය.

80 දශකයේ දී ක්‍රම ක්‍රමයෙන් පටිගත කල අන්තර්ගතය ඉතා පහසුවෙන්  මකාදමමින් නැවත නැවතත් භාවිත කිරීමේ හැකියාව නිසාත්, සාක්කුවේ ලාගෙන තැනින් තැනට ගෙනයාමේ පහසුකම නිසාත් කැසට් පටය අධිවේගයෙන් ජනප්‍රසාදයට ලක් වෙද්දී ඒවා විසින්ම තැටි තාක්ෂනය වෙළඳ පොලින් අතුගා පිස දමන ලදී. අතිවිශාල ගීත සංඛ්‍යාවක් නිරන්තරයෙන් කැසට් පට මගින් සතිපතා වෙළඳ පොළට අඵතෙන් නිකුත් වෙද්දී ගුවන් විදුලි ගීත නිෂ්පාදනයේ පැවති සිමා මායිම් අවහිරතා ද මගහැරි ගොස් බාහිර කැස්ට ගීත සහ ගුවන් විදුලි ගීත ලෙස පහසුවෙන් වෙන්කර හඳුනාගත නොහැකි තරමට ඒවයේ සංගීත සංයෝජනයන් නවීකරණයට බඳුන් විය. 

ආචාර්ය දයාරත්න රණතුංග විසින් ම ක්‍ෂේත්‍රයට හඳුන්වාදුන් ආධුනික ගායක සෞම්‍ය කුමාර යාපා බන්ඩාර ගැයු මිදි ඇඹුලයි කියලා (ගී පද නැසිගිය උපාලි ධනවල විතාන) මෙන්ම මි මැසි සඳ නැති නිසංසලේ වැනි ගුවන් විදුලිය විසින් නිපැයු  ගීතවල වාද්‍ය රසය කැසට් ගීතය හා කරට කර තිබුනේය. සමකාලීනව ක්‍ෂේත්‍රයේ වැජඹුනු ස්වර්ණලතා කවිශ්වර ගැයු ගුවන් විදුලි ගීත ද මේ ගණයට ඇතුළත් කළ හැකිය (බිඳුනු පෙමක විරහ විරාම්  - පුන්සිරි සොයිසා සහය ගායනය)


අනාදිමත් කාලයක සිට ලාංකීය ගීත රසිකයන් ගේ බුහුමනට නිරන්තරයෙන් පාත්‍ර වුයේ ගායන ශිල්පියා හෝ ශිල්පිනිය වුවද මෑත කාලයේදී එය ක්‍රමයෙන් වෙනස්ව ගී පද රචකයා ගේ ප්‍රතිභාව සහ සංගීතඥයා මැවු රසය ද දැන හැඳින අවබෝධයෙන් විඳ ගැනිමේ ක්‍රමවේදය ඔවුන් අත්කරගනිමින් සිටී. එහෙත් ඒ රසය නිවැරදි ලෙසින් වයා මතුකරවාදුන් ආදරණිය වාදක සාමාජිකයන්ගේ ප්‍රවිණතාවයන් සහ කුසළතා ඇගයීමට ඔවුන් තවත් පමා වන බවක් හැගේ

සිංහල සංගීත කලාව දැඩි ලෙස පිරිහිමට පත්ව යමින් නව නිර්මාණය රසයෙන් හීන දීන ව ජනගත වෙද්දී, අදටත් කමණිය ආනන්දජනක ගී තනු සහ වැයුම් ඉතිරිව පවතින්නේ එදා ඇසුණු ගීතාවලියෙහි පමණි. මතු පරපුරට වාද්‍ය රසයේ මහිමතාවය දැන හැඳිනගැනීම උදෙසා මෙවන් ආරයේ ලිපි නිබඳව බිහිවේවා....

-------------------------------

01 රන් හූයෙන් අතැගිලි පටලා රන් මාලය ගෙලවට සරසා ....................


  සිතේ සතුට සහ ඇසෙනා රාවය..... මංගලම්.........මංගලම්...භවතු සබ්බ මංගලම්.........


ගැයුම - 70 දශකයේ ගුවන් විදුලි ගායිකා ශීලා පරණමානගේ


පබැඳුම - ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා මාලා වජිරා පෙරේරා 

මියැසිය - නැසිගිය සංගීතඥ සරත් බාලසූරිය 

------------------------------------------------

02 දියඵම දියඇළි දියරැල හා ...........


'ගල ගල යයි සමුදුර සොයලා ..............

'හද උපදී ආදරේ................


ගැයුම - සංගීතඥ නැසිගිය මර්වින් පෙරේරා

පබැඳුම - නැසිගිය ප්‍රවිණ ගුවන් විදුලි නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස්

මියැසිය - මර්වින් පෙරේරා

ඩ්‍රම්ස් වාදනය - ප්‍රවිණ ඩ්‍රම්ස් වාදනශූරී සුසිල් පෙරේරා (ගායිකා ආචාර්ය සුජාතා අත්තනායක ගේ බාල සොයුරා)

----------------------------------
සවන්දීම - මෙතැනින්

---------------------------------------------

පාදක සටහන්

රන් හූයෙන් අතැගිලි පටලා - ගායන ශීල්පිනිය ශීලා පරණමානගේ, මෙම ගීතය ගායනා කරන තුරුම 70 දශකයේ ලංකා ගුවන් විදුලි ගායක මඞුල්ලේ ප්‍රමුඛතම විරිදු ගී ගායිකාවක් ලෙස කටයුතු කළාය. ඇය එහිදි එදවස ජනප්‍රියව පැවති විරිදු ගී වැඩසටහන් පෙළෙහි විශිෂ්තම ගායිකාව වූ දයා නෙල්ලම්පිටියට පමණක් දෙවැනි වන්නට ඇත. සෑම දිනයකම සන්ධ්‍යා භාගයේ ගුවන් විදුලියෙන් විසුරුවා හරින ලදි විනාඩි 15 ක විරිදු ගී වැඩසටහන්වලදී ඇයගේ ද දයා ගේ ද ගී නොඇසුනේ නම් ඒ කලාතුරකිනි. කුසුම් පීරිස්, රත්නාලංකා අබේවික්‍රම සහ 60 දශකයේ දයා වයමන් නම් වු ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකාවන් අතර ගීත පබැඳුම් කලාවේ දස්කම් පෑ තෙවැන්නිය වුයේ මාලා වජිරා පෙරේරාය. ඇය පබැඳු වෙනත් ගී අතර ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගැයු හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා රසිකයන් අතර ගේ හදවත් පිනවු නිර්මාණයක් බවට පත් වී තිබිණි.

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග්

2022 වප් මසින් විසිවෙනිදිනදීය.

Special thanks to Mrs. Sheela Paranamanage, Mrs. Nishanthi Balasooriya and Mr. Crishantha Fernando.



Thursday, October 13, 2022

වින්සන්ට් ප්‍රේමසිරි ගුවන් විදුලි විරහ ගී කදුඵ...

 බොදු සාහිත රසාකරයෙන් බිඳක් ඇසුරුකර මැවු ගීයකින් උපන් ගී රස දාමය....


බොදුණුවන්ගේ පූජාර්භ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඇතුලත් පන්සිය පනස් ජාතක පොත ඇසුරෙන් කුරුණෑගල රාජ්‍ය සමයේ දී සිංහල පන්සිය පනස් ජාතක පුස්තකය සංග්‍රහ කරන ලද්දේ යැයි ඉතිහාසගත පුවත් වාර්තා කරයි. එහි ඇතුළත් පැරණි භාරතීය කථාගංයන් අතරින් ඇතැම් ඒවා යුග යුග ලාංකීය ජන දිවිය ඒකාලෝක කරන්නට සමත් වු අතර ඒවා ඇසුරෙන් නිපදවු විවිධාකාර කලා රසාංගයන් ඊට හේතු පාදක විය. කෝලම් ජන නාටක සංදේශ කාව්‍ය දැනට අභාවයට ගොස් ඇති නූර්ති මෙන්ම කවිකොළ  සහ පසුව බිහිවු වේදිකා නාට්‍ය සිනමා කෘති ගීත ටෙලි නිර්මාණ මහත් රාශියක් ඒ අතර වෙයි 















------------------------------

සේයාරුව නරඹන ඔබේ දකුණත සිට පළමුවැන්නා  ප්‍රාග් ඓතිහාසික ලංකා ඉතිහාසය සහ බෞද්ධ සාහිත්‍යයේ රසමුසු තැන් මතුකරගනිමින් භාවපූර්ණ විරහ ගී ගැයු එකම ගුවන් විදුලි ගායන ශිල්පීයා වූ ද සිනමා සහ ගුවන් විදුලි සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම සිනමා නඵවෙකු (ජෝඩු වළලු - 1980)  කටයුතු කළා වූද නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාණන්ය.ඔහු 1979 වසරේ සාර්ථක ලෙස තිරගත වූ පතිරාජ එල් එස් දයානන්ද විසින් අධ්‍යක්‍ෂනය කරන ලද විසිහතර පැය සිනමාකෘතියේ  සත්සර නාදපතිය.

දෙවැන්නා ආචාර්ය වික්ටර් රත්නායකයන්ය සතරවැන්නා වික්ටර් ගේ හිතමිතුරු ගුවන් විදුලි ගායක සංගීතඥ දිවංගත මර් වින් පෙරේරාය.

Photo Credit - Crishantha Fernando (pupil of late Mr. Mervyn Perera) 
-------------------------

එහි එන ඇතැම් ජනකථාවන් අතිශයින්ම ලුහුඞුය. පරිච්ජේද දෙත තුනකින් පමණක් සමන්විතය එහෙත් එහි අතිශය බහුතර සංඛ්‍යාවක කථාංග මධ්‍යම ප්‍රමනයේ ඒවා වන අතර දීර්ඝතම වෘතාන්තය උම්මග්ග ජාතකය ලෙස හැඳින්වෙයි.

තමන් උපතින් උරුමකරගත් අසාමාන්‍ය ප්‍රඥා බල මහිමය  මෙහෙයවා එහි උපදේශක තනතුරුධාරියා විසින් සිය දේශයේ රජුත් රටවැසියා සහ සෙසු පාලකයන් වෙනත් අධිපතියෙකු යටතේ සේවය කලා වූ උපදේශකයෙකුගේ කූටෝපායකින් ග්‍රහනයට නතු කරගෙන විනාශකර දෑමීමේ කුමන්ත්‍රණයක් ව්‍යවර්ථ කල අයුරු එහි විස්තර කරයි.

එය අතුරු කථා ද කිහිපයකින් සමන්විතය. එයිනුදු කලා සාහිත රසය ප්‍රියකරන හෙළ බොදු වැසියන් අනාදිමත් කාලයක සිට හොඳින් දන්න හඳුනන දික්තල - කාලගෝල - දික්පිටියා කථාව සුවිශේෂිය.

'රූපත් යුවතියක් වු දික්තල විවහ කරගන්නේ ඒ අභිප්‍රාය මස්තකප්‍රාප්ත කරගන්නට සත්වසරක් බැළමෙහෙවර කළා වු විරූපී කුදු කාලගෝලය. කලකට පසු ඇගේ නිවසට නෑගම් යන යුවළට පළලැති ගංගාවක් තරණය කරන්නට සිදු වෙයි. තොටියෙකු ගේ සහය නොළබන ඔවුන්ට ඊට පිහිටවන තැනැත්තා දික්පිටියා නමිනි. ඔහු පළමුව යුවතියව එයින් එතෙර කරදෙන්නට ගිවිසගෙන ඇය හා ගංගාව තරණයේ දී ප්‍රියතෙපුලින් මන්ත්‍රණය කර ඇයගේ සිත්දිනා ගෙන එතෙර ඉවුරට ලගා වී පලා යයි. 

එයින් මහත් සේ නොසන්සුන් වූ ඇගේ සැමියා දිය පහරට පැන එය තරණය කිරීම අසිරු නොවන බව දැන වහා එතෙර වී ඔවුන් ලුහුබැඳ ගොස් ග්‍රහණයට ගනී. දික්පිටියා විසින් තර්ජනය කොට බියවද්දා පහර දී පළවා හරින්නට .තැත් දැරුවද එය නොතක පසුපස වැටී යන ඔවුන් මතු කි ප්‍රඥාසම්පන්න උපදේශක මහෞෂධ යන්ගේ රාජ්‍යයට ඇතුඵ වේ. ඔවුහු ඔහු ඉදිරියට පමුණුවන අතර අව්‍යාජ සැමියා කවරෙක්දැයි නිශ්චය කර ගැන්මට ඔහු මිනිසුන් දෙදෙනා වෙන් වෙන්ව කැඳවා බිරිඳ ගේ දෙම්ව්පියන් නම්ගොත් විමසයි. පරීක්‍ෂණයෙන් සමත් ව විරූප කුදු මිනිසාට නැවතත් සිය බරිඳ හිමිකරගන්නට වාසනාව ලබයි.

කාලශූරී පුන්‍යසේන ගුණසිංහයන් මෙම පරසිඳු කථාංගය ඇසුරෙන් දික්තල - කාලගෝල නාඩගම නිපදවා වේදිකා ගත කරන්නේ 60 දශකයේදීය. එහි කාලගෝල නම් වු පාත්‍රයා විසින් ගැයුණු ගීයක් පසුව නිරතුරුව එදවස පැවති එකම විද්යුත් මාධ්‍ය වු ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ විසුරුවා හරින්නට යෙදී ශ්‍රාවකයන් අතර අතිශයින්ම ජනප්‍රසාදයට පත්විය. 


ආලේ බැන්ද මාගේ රම්‍යවන් ......


ඒ ඒ ... ආලේ බැන්ද මාගේ රම්‍යවන් ...


මේ සුනිමල මගේ දික්තල .....


අවුරුදු සතක් තුටීන මෙහෙවර කළ මෙමා ....


ගත් ලඳුන් අගේ .. ඇගේ රූපේ බෝ අගේ ....


යන්නට ගමට මේදීන ...


මව්පියන් දකින ලෙසීන ..


තැගිලෙසට දැන් ..


ගෙනයාමි රසකැවුම් .....
----------------------------------

මෙතැනින් සවන්යොමන්න


ගුවන් විදුලිය වෙනුවෙන් ගැයූවේ

( එම් ඩි චන්ද්‍රපාල ) 


70 දශකයේ ගීත වර්ගීකරණ සුචිය ට අනුකූලව ඉන්පෙර දශකයේ සහ ඒ යුගයේ වේදිකා ගත වූ නාට්‍යයන්හි ගැයුණු ගී ඉලක්කකොටගෙන වේදීකා නාට්‍ය ගී වැඩසටහනක් දිනපතා විසුරුවා හරින ලදී. එහි නිතර සවන වැකුණු එය පෙර කී නාට්‍ය නරඹන්නට අවස්ථාවක් නොලද්දවුන් මතුනොව දික්තල - කාලගෝල කථාව පවා නොදන්නවුන් අතර පවා මහත් සේ ජනප්‍රිය විය.


සිංහල සිනමා කර්මාන්තයේ සාරඵල ලැබු එහි මල්බර වසන්ත සමය බඳු පෙර කී දශකයේ ඊට අවතීර්ණ වු යොවුන් නිර්මාණකරුවන් අතර එච් ඩී ප්‍රේමරත්න නාමය කෑපි පෙනෙයි. ඔහුගේ කුඵඳුල් සිනමා නිර්මාණය වු සිකුරුලියා වස්තු බීජය ට පදනම් වුයේ එවක දනන් තුඩ නිතර රැව්දුන් මතු කී දික්තල - කාලගෝල කථාවයි. ඒ ඇසුරෙන් ඔහු මනරම් නව නිර්මාණයක් බිහිකරගන්නට සමත් විය. 

කුදු යොවුන් තරුණයෙකු සිය ධනවත් පියාණන් යටතේ සේවය කරන්නෙකුගේ භද්‍ර යොවුන් වියේ  අභිරූපී දියණියකට පෙම් බඳිනු ලබයි. ඔවුන්ගේ අසරණකම දඩමිමා කරගෙන සිය කාර්යය සඵල කරගන්නා ඔහු සිය මනාලිය සමග නවදිවියක් අරඹන්නට තැත් දරන්නේ ඇයට දැඩිව ප්‍රේම කරමින්ය. ලද ඉඩ හසරකින් අයුතු ප්‍රයෝජන ගෙන ඇය සිය සැමියා ගේ මෝටර් රථයේ රියදුරු හා පලායයි. පසුව අගනුවර පේළිනිවාසයකට කොටුවී අනාචාර දිවියකට නතු වෙයි.

විනෝද චාරිකාවක නිරත ව සිටිද්දී සැමියා මගදමා රියදුරු සමග ඔහුගේ රථයෙන් නික්ම යන උද්වේගකාර ජවනිකා පෙළ අතරින් ඔහු ඇය හා ගතකල සිමාසහිත විවහ දිවියේ රසමුසු තැන් ශෝකභරිතව ආවර්ජනය කරන දර්ශන තිරයේ මැවෙද්දී පසුබිමින්  නැගෙන්නේ ප්‍රේමවිප්‍රයෝගයෙන් ආතුර ව ඔහු ගයන විරහ ගීයයි. සිංහල සිනමා ගීතාවලියේ අනුස්මරණිය මතක සටහනක් ඉතිරි කර තැබු එය ක්ලැරන්ස් විජේවර්ධන නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවාගේ ද කුඵඳුල් සිනමා ගී ප්‍රයන්තයයි. සිංහල විරහ ගී කලාවේ නොමැකෙන මං සළකුණු සටහන් කල ගුවන් විදුලි ගායක ජේ ඒ මිල්ටන් පෙරේරා ඊට ගායනයෙන් සහය කරගන්නට සංගීතඥ ක්ලැරන්ස් අපමණ උත්සහයකින් පසුව සමත් විය.


කොමළ ලියා ...


බොළඳ ලියා .....


මාව දමා යන්න ගියා ...


සියුමැලියා ... සිකුරුලියා ......

-------------------------
මෙතැනින් සවන්යොමන්න

(ගී පද සැකසුම - නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් විසිනි) - 1975


දික්තල - කාලගෝල රසපුවත නවමානයකින් මෝදු වූ තවත් ගුවන් විදුලි ගීයක් සමකාලීනව ශ්‍රවණය කරන්නට එදා රසිකයන්හට අවස්ථාව ලැබීය. එහිදි කාලගෝල ගේ වියෝග ශෝකාලාපය භාවපුර්ණතිව මතුකර දෙන්නේ නැසිගිය වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවාය.


දික්තලා නංගියේ ...............


මම තරහා නෑ ...


නුඹ මට හිමි නෑ .....


මම තරහ නෑ ....


කාලගෛා්ල මං විරූපි බව මම දනිමි........


මිනිස්කම නොවෙයි රූපය නිසා පැරදුනී ........


නීතිය මට ඇය දුන්නත්...මිනිස්කම මගේ...


නුඹට බාර දෙන්නට මට අණකරයි මලේ ......


මෙමා නොලඳ ආදරයට නොගරහමි ළඳේ....


ඉතිං නුඹට ඇය භාරයි ඇය භාරයි...


රැකගනිම් මලේ ....

---------------------------

ගී පද සංකල්පනාව සහ සංගීතය -

ප්‍රවිණ ගුවන් විදුලි ගායක - රංගනශිල්පී - සංගීතඥ වින්සන්ට් ප්‍රේමසිරි

---------------------------

මෙතැනින් සවන්දෙන්න


නිර්මාණකරුවා කාලගෝල ලවා ඇයව අමතන්නේ ගැමි වහරට නුහුරු නොවන නංගියේ ....... යනුවෙනි. ඔහුගේ වේදනාත්මක ආයචනය ට සවන් යොමන ශ්‍රාවකයන් ගේ හදවතෙහි එයින් මෝදුවන අනුකම්පාව ගායකයාගේ හඞිව් වඩාත් තිව්ර වෙයි.

එවන් අත්දැකීමක් තමන් ලද්දේ නමි එවන් අකරතැබ්බයකට තමන් ගොදුරු වුවේ නම් සිතෙහි හටගන්නා වු කැළඹීම කෙබඳු වේදැයි සිතන්නට පොළඹවයි. 

--------------------
උපුලී තැටි කවරය - 1976 - ලංකා ගුවන් විදුලි සංස්ථාව නිකුත් කරන ලදී.
---------------------

දික්තලා නංගියේ නම් වු මෙම භාවප්‍රකම්පිත නිර්මාණය පසුව ලංකා ගුවන් විදුලිය එදවස සිය අසන්නන් ගේ වින්දනය වෙනුවෙන් ඉඳ හිට නිකුත්කරන ලද්දාවූ ඊ පී  තැටියකට තෝරා ගන්නට පාදක වු සුවිශේෂි හේතු කාරනා තිබෙන්නට ඇත. එදවස ගුවන් විදුලිය අර්ථපුර්ණ රසපූර්ණ සංගීතමය ප්‍රණිතාංගයන්ගෙන් නිරතුරුවම විචිත්‍රවත් විය. ඒ එම ආයතනය එකි තත්වයට පත්කරදෙන්නට දහදිය ශ්‍රමය හෙළන ලද්දාවූ එහි මුල් පුටුව හෙබවූ නැසිගිය රිජ්වේ තිලකරත්නයන්ගේ උත්සහයේ මල්ඵල ගැන්වීමයි. මතු කී ඊ පී තැටිය උපුලී නමින් නම්කෙරුණේ මෙම ගීතයට සමකාලීනව ගුවන් විදුලියෙන් බිහිවුනු ආචාර්ය අමරා රණතුංග ගැයු ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ නම් වු (උපුලී) නැවුම් ප්‍රස්තුතයක් අළලා බිහිවු අපුර්ව ගීතයේ අසිමිත රසික ප්‍රතිචාරය නිසාවෙන් එය ඊට ඇතුළත් කීරිම නිසාය. (උපුලී ගී පද සංකල්පනය චන්ද්‍රසේන රංගේ විසිනි)

70 දශකයේ ශ්‍රාවක වින්දනය සාපේක්‍ෂව  යම් තරමකින් හෝ ඉහළ මට්ටමක පැවති බවද පාරිභෝගිකවාදී සමාජයකට අවතිර්ණ නොවු එදා රසවතුන් අව්‍යාජව කලා නිර්මාණයන්ටද ඒවා බිහි කළ කලාකරුවන්හටද දැඩිව ආකර්ශනය වි තිබුනු බවට ද පැහැදිළිය. මානව අවශ්‍යතා අදට වඩා සරළව තිබූ එදා සමාජයේ ඔවුනට විවේකය තිබුනු අතර ඒ කාලය  අපතේ නොහැර වඩ වඩාත් අර්ථසම්පන්නව භාවිතා කරන්නටද නැඹුරු ව තිබුනු බවද කිව හැක්කේය. 

ඉහත සිද්ධිදාමයන්හී පොදු තේමාව වන්නේ තම ස්වාමියා ගේ බාහිර ස්වරූපය එනම් ඔහුගේ දේහ වීකෘතිතා - විරූපීත්වය නිසා ඔහුගෙන් දුරස්ව පරපුරුෂයන් ගේ ඇසුර සොයා ගිය බිරින්දෑවරුන් සහ එය ඉවසා දරා ගත්තවුන්ගේ චර්යාවයි. ඒ සංසිද්ධිය මතුකොට දැක්වු සිනමා කෘති ගණනාවක් සිංහල රිදී තිරය වර්ණවත් කලේය. ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෑසනිසා (විරූපි නිරුදක ගේ බිරිඳ තවුසා හට පෙම්බැඳිම) මෙන්ම ඩබ්ලිව් ඒ බී ද සිල්වා ගේ හුලවාලි (ධාරා සිය සුරුපී බිරිඳ ගේ නොමනා පැවැත්ම නිසා ඇයව බිබිලේ ඇත්තෝ ට දන්දීම) යන සිනමා කෘති දෙකයි.

තමා දැඩිව පේමබැඳි බිරිඳ සුභා ගේ නික්ම යෑමෙන් අනතුරුව ධාරා ගේ කැළඹි ගිය චිත්ත සන්තානය ගීයක වදනින් අපුරුවට සිත්තම් කරන්නට ප්‍රවින මාධ්‍යවේදී නැසිගිය ධර්මසිරි ගමගේ ශූරීන් සමත්විය


කුඩා ගමේ මද්දහනේ 

අව් රස්මිය නිවා ...

හුරී කඳුපෙතේ දඩමං ..

දිගේ ගියා මේමා ...

එවන් ගමන් මා නම් ගියේ 

සෙනෙහස ගැන සිතා ...

නුඹේ කරට රිදී පොටක් ..

පලදඤ්ඤයි සුභා ...

--------------------

ගී පද  - නැසිගිය ධර්මසිරි ගමගේ

සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක

කථාව සහ දෙබස් - නැසිගිය චිත්‍රශීල්පී දයා රාජපක්‍ෂ

ගැයුම - ගායනශුරී සුනිල් එදිරිසිංහ

සිනමාපටය - හුළවාලි

-------------------------

යු තලයේ නරඹන්න


පන්සිය පනස් ජාතක කථා මෙන්ම වෙනත් දේශිය සහ විශ්විය  සම්භව්‍ය සාහිත්‍ය කෘතීන් හෘදයංගමව ඇසුරු කරමින් යමෙකු විසින් කරන්නට යෙදුනු නිර්මාණයන් ගුරු කොටගෙන තවත් බොහෝ රසවතුන් විවධාකරයේ කලාකෘති බිහිකළ බවට ගෙනහැර දැක්විය හැකි අපමණ නිදසුන් අතරින් එකකි මේ.

----------------------
අලිඛිත ලක් ඉතිහාසයේ ජනප්‍රවාදගත රාවණ පුරාවෘත්තය භාරතයේ රාමායණ මහා කාව්‍යය ඇසුරෙන් එහි පැණෙන ලංකාපුරය පාදක කොටගෙන සියවස් සංඛ්‍යාත කලාන්තරයක ලක්පොළොව ජනයා තුඩග රැව්දෙමින් පවතියි. ඒ අුනව එහි කථා නායිකාව වු සූරූපී සීතා කුමරිය පැහැරගන්නේ ලක්දිව යක්‍ෂ ගෝත්‍රික පාලක රාවණයන්ය. ඒ ඇයව විවහ කරගැනීමේ අභීලාෂයෙනි. අවසනදී රාවණ සිය භූමිය ද දවා හඵකරගැනීමකට ලක්ව සිය කිරුළ ද අහිමිව අවසනදී සිතාවන්ගේ වල්ලභ රාම කුමරු අතින් ජීවිතක්‍ෂයට පත්වෙයි. එහෙත් හෙළ පුරාණය මතුකරගන්නට වෙහෙස වු මෑත කාලීන විද්වතුන් වූ දිවංගත අරිසෙන් අහුබුදු ශූරීන් ද ඒ පිළිබඳව පර්යේෂාත්මක කෘතියක් රචනා කළ සංස්කෘත භාෂාවේ ප්‍රමාණික විද්වතෙකු වු නැසිගිය නාගොඩ ආරියදාස සෙනෙවිරත්නයන් වැන්නෝද දැරුවේ වාල්මිකි සෘෂිවරයාගේ රාමායනයට වෙනස් මතයකි. 

70 දශකයේදී අතිශය ජනප්‍රසාදයට පත් ගුවන් විදුලි සහ වෙළඳ තැටි ගී මහත් රාශියක් පබැඳු දිවංගත කේ ඩි කේ ධර්මවර්ධන ගුවන් විදුලි නිවේදක වැඩසටහන් සම්පාදක රසවතාණෝ තමා රාමායනය පුවත ඇසුරෙන් ලියු එක් ගීයකින් පෙර කී ලාංකීය විද්වතුන්ගේ මතය ට අනුකුලතාවය දක්වයි. ඒ විරහශෝකාලාපය ද හඞ මුසුකලේ වින්සන්ට් ප්‍රේමසිරිය. එය එකල ඔහුගේ දෙවැනි ජනප්‍රියතම ගීතයයි. රසිකයන් ඔහුව දැන හැඳිනගත් නිර්මාණයයි. එහි සත්සර ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේය

මෙහිදී ඔහු රාමායන මහා කාව්‍යයේ අපුරූවට සාරංශ ගත කරනු ලබන්නේ එහි සිය මතවාදය පැහැදිළිව ශ්‍රාවකයාට සංවේදනය කරන්නට ඉඩහසර සළසමිනි.  වින්සන්ට් ප්‍රේමසිරි කලාකරුවා ගේ භාවපූර්ණ ගී හඞින් ඒ පදපෙළ ජීවය ලබා රාවණ නරපතියා වෙත රචකයා අපේක්‍ෂිත දයානුකම්පාව මනාලෙස අත්කරදෙයි. ඊට රසික ඔබද සාක්‍ෂි නොදරන්නේද ?


සීතාවනි ඔබ හැඩ රුව ඇති බව...

දිවිහිමියෙන් පතිදම් සුරකින බව...

දනිමි ඔබත් දැනගත යුතු මේ බව...

ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව...

මගේ කුලගොත වත...

ඉහළයි හැමවිට ...

දෑ අභිමානය රකිනෙමි හැමවිට...

අන්සතු අගනක් සිරකරගැනුමට...

දීන නෙවෙයි මේ රාවණ පෙළපත....

මගේ සෙහොයුරියක් පෙර දවසක්දා..

රාම කුමරුගෙන් හිරිහැර වින්දා ...

පිළිතුරු ලෙස ඔබ සිරකර තැබුවා..

රජපෙළපත අභිමන් ජය ලැබුවා ...
-------

සවන්දෙන්න මෙතැනින්


මෙයාකාරයෙන් වින්සන්ට් ප්‍රේමසිරි සංගීතවේදී සුළවතාණෝ රාවණ නරපතියා සහ කාලගෝල අසරණ ගැමියා යන දෙදෙනා අරභයා ශ්‍රාවක අපේ දෙඇස් කෙවෙණි තුළ කදුඵ බිඳුවක් නංවන්නට සමත්වෙති. ඔවුහු මනංකල්පිත චරිත විය හැකිය. එහෙත් අව්‍යාජ නිර්මාණකරුවන්හට  මානව චිත්තාවේග ප්‍රකම්පනය කරන්නට සිමා මායමි නැති බවට මෙව් කදිම නිදසුන්ය. අවසනාවකට ඔවුන්ගේ පරපුරේ නික්ම යෑමෙන් අනතුරුව හෙළ කලා අඹරේ මෝදු වු අඥානත්වයේ අඳුරු කඵ වලාපටල දැන් දැන් අප හිස මතින් ඇදී, යමින් පවතී. එය කිසියම් මොහොතක හෝ ජනු සාහිත්‍යයේ විස්තර කෙරෙන  මුරුගසං වරුසාව අපගේ හිසමත පතිත කරවනු ඇත. එයින් පසු මේ භූමිය කලා - රසය සෝදාපාඵවී ගිය පාලු මුඩුබිමක් බවට පත් වෙනු ඇද්ද?

යළි මුණගැසෙන තුරු සමාප්තය සටහන් කරමි

එදා ඇසුණු ගී - ගී මුතුමාලා බ්ලොග් ලිපි එකතුව
ප්‍රභාත් රාජසූරිය - 2022 වප් මසින් දසසතරවැනි දාතමෙනි.


Wednesday, October 5, 2022

බන්දුල විජේවීර ගැයු ගී - Bandula Wijeweera creations of 70s

 බන්දුල විජේවීර මියුරස ගී වින්දන දැහැන - 70 දශකය


මල් වටේ රෝස කැකුඵ ...............


මැදින් මට පෙනේ ....................


නිල්වලා යහන් ගැබේ ...


කිරිසිනා දිලේ 


යන්තැනේ සෝක තැවුල් ...


නිවාලන මිනේ...


එනුමැනේ මගේ යහනට


ඈත නොඉන්නේ ...

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

නැසිගිය ප්‍රවින පුවත්පත් කලාවේදී ගීත රචක ගාමිණි විජේතුංගයන් ලියු මෙකි පදවැළ ගීයකට හරවා තනු නිර්මාණය කර ඇත්තේ ගෝඨයිම්බර වැළපිල්ල නම් වු ජන ගීතයේ නාදමාලාව ඇසුරිනි. 70 දශකයේ සී ද එස් කුලතිලකයන් ගේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ කාර්ය භාරය වුයේ සාම්ප්‍රදායික ජන සංගීතය ප්‍රවර්ධනය කිරීමයි. ඒවා ඇසුරෙන් නව නිර්මාණයන් බිහිකිරීමයි. මෙහි නාදමාලාව වෙනුවෙන් සංගීත සංයෝජනය සිදුකළේ පසුකාලීනව සංගීතඥයෙකු නොව ගායකයෙකු ලෙස ගුවන් විදුලි ශ්‍රාවකයන් විසින් හඳුනාගත් බන්දුල විජේවීරයන්ය. ගැමි හඞකින් මනාව සන්නද්ධව පර්යේෂන ගී ගායන බලඇණිය වර්ණවත් කළ නන්දා පතිරණ ශිල්පිනිය ගේ හඞින් එය රසගැන්විනි. ඒ අනුව 1973-1983 දශකයේ නිරතුරුවම පර්f්ය්ෂණ ගී වැඩසටහන ඔස්සේ එය ගුවනින් විසුරුවා හරින්නට ගුවන් විදුලි බලධාරීන් කටයුතු කරන ලදී. 



බන්දුල විජේවිර ගායන ශිල්පියා නොව සංගීතඥයා හැඳින්වීමට පිවිසුමක් ලෙස ඉහත ගීතය පිළීබඳව අවධානය යොමුකරන ලද්දේ ඔහු ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට පෙර පවා දක්‍ෂ සංගීතඥයෙකු ලෙස කටයුතු කරන ලද බව පසක් කර දෙන්නටය. උක්ත ගීතය කරළියට පිවිසි 1975 පමණ යුගයේදී පවා ඔහුගේ හඞ අසන්නන්ට නුහුරු වුවද ඒ වසර ගතවු වහාම ඔහු ගුවන් විදුලි වැඩසටහනකට ගායනා කරන ලද්දා වු වෙනත් ගුවන් විදුලි ගීතයක් නිසා එකරැයින් ඔහු එදා ගුවන් විදුලි ගායන ශීල්පී මඞුල්ලේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගත්තේය. එහි ගෞරව බුහුමන අන් කවරෙකුට හෝ නොව හිමිවිය යුතතේ ඔහුටමය. කෙසේද යත්, එහිද නැසිගිය උපාලි ධනවලවිතාන නම් වු සොඳුරු රසවතාගේ පද සංකල්පනයට තනු සහ සංගීත සංයෝජනයන් මැවුයේ ඔහුම නිසාය.



දෝත පුරා මුතු මාල කථා ...........


දෑස පුර මනමාල කථා .........


ඈත ඉමේ සුදු සේළඑලා ....


නැළවෙන කුසුමිය නාරිලතා..............
----------------------------------

යූ තලයේ වීඩීයෝව නරඹන්න
------------------------

පෙරකී ගීත ද්විත්වයම 70 දශකයේ මහරු ගුවන් විදුලි ගීත නිධානයේ අමිල නිර්මාණ ලෙස නොසළකන්නට කරුණු නැත. රජයේ සංගීත විදුහලේ ශීල්ප ඥානය අත්කරගන්නා ලදුව පසුව ගුවන් විදුලිය ඔස්සේ ලාංකීය සංගීත කලාවට මහගූ මෙහෙවරක් ඉටුකළ ශිල්පි ශීල්පිනියන් අතර ඔහුද වෙයි.


ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඔහුව සිය සංගීත සංයෝජන රටා ඇතුළත් හුළවාලි සිනමා පටයේ ගී ගයන්නට තෝරාගැනීම නිසා, සිය නාමය වඩාත් හොඳින් කලා රසිකයන් අතරට පිවිසියේය.

කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ ...............


පතිකුලයට අද ..................


කැන්දන් එනවා ...........


දුම්බර මැණිකේ ...............


මනුකුල සිරිතට ...


පතිකුලයට අද ...


කැන්දන් එනවා ..


දුම්බර මැණිකේ...



ඉක්බිති දශකයේ ගුවන් විදුලි සංගීත පර්යේෂන අංශයේ අනික් යාවජිව සාමාජික රෝහණ බැද්දගේ සමගින් එක්ව මාමායි බැණයි ද්විපුද්ගල ප්‍රසංගයේ යෙදෙන්නට පෙරාතුව ඔහු එක්තර සිමිත ප්‍රමානයක ගුවන් විදුලි ගීත සඳහා හඞින් සහයෝගය පළකළ අතර ඒවා එකකුදු නෑර ශ්‍රාවකයන්ගේ ආදර ගෞරව සම්මාන සත්කාරයට බඳුන් විනි.


01 හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි ....


තැන් තැන ඇවිදිනවා ...


හිතෙන හිතෙන තැන ..


නවතිනවා..


(මහාචාර්ය සුනිල් ආරියරත්න - ආචාර්ය වික්ටර් රත්නායක)


එහෙත් බන්දුල විජේවීර ගේ අසමසම ගී හඞ රැව්පිළිරැව්දෙන්නට වඩාත් තෝතැනි වුයේ ගුවන් විදුලිය එදවස නිර්මාණය කළ දේශාභිමානී අරුණා්දයේ ගීතාවලියයි. තමාට පැවරුණු වැඩසටහන් සම්පාදක තනතුර ඉතා හරවත්ව අපතේ නොහැර අවභාවිතා නොකර හෙබවු නැසිගිය ප්‍රවිණ ගායන ශිල්පිනී ජී එස් බී රාණි පෙරේරා විසින් නිර්මාණය කරන ලද ජනප්‍රසංගනී, ප්‍රබුද්ධ ගී ගුවන් විදුලි සංගීතමය විචිත්‍රාංගයන් රසවත් කළ සමූහ ගීතාවලියේ දී පසුබිමින් නැගී තරව රැව්දුන්නේ ඔශුගේ හඞය.


සාගර වෙරළේ වැව් බැන්දෝ අපි .......


කැටපත් පවුරේ ගී ලිවෝ අපි .........


නොසැළෙන නොබිඳෙන නොබැඳි පවුල අපි ............


(සෝමපාල රත්නායක - ගාමිණි විජේතුංග?)

ගායන සහය - නැසිගිය නීලා වික්‍රමසිංහ සමග ආනන්ද වීරසිරි

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------


වැව්තල බඳවා ගොවිතැන් කරවා .............


අටුකොටු සහළින් පුරවන්නයි...


මී මුත්තන් අපේ පණනළ හෙඵවේ....................


(ආචාර් ය රෝහණ වීරසිංහ සමග )

--------------------

උදාර සිංහල යශෝ කීර්තිය


අහස උසට රැව්දෙන සංකේතය


පුත ඔබ ඉපදුනු සිංහල දේශය


වසා සැළෙන මේ සිංහ ධජය මේ


මිණිමුතු සැදුනේ කෙත්වතු සැදුනේ


විරුවන් දිනුවේ මේ සෙවණේ


(ගී පද - නැසිගිය ස්වර්ණ ශ්‍රී බන්ඩාර සංගීතය - බන්දුල විජේවිර)

---------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

සහ තවත් ජනප්‍රිය ගීත ගණනාවක දී ඔහුගේ යොවුන් ගී හඞ ඇසෙයි.


ඊට අමතරව පුංචි කාලේ අපි සිංදු කියපු හැටි, බිඳුවෙන් බිඳුවට මාල සදා දෙන්නයි (පන්ඩිත් අමරදේව නීලා වික්‍රමසිංහ සමග), දෙපා නගන්නට හිත නැතුවාථ, නිදහස ගැන කවි කියන්න රසකර සී පද, (චිත්‍රානන්ද අබේසේකර)  පොත්ගුල අතරේ තර්කවාද මැහැළිය තුරුලේ (ස්වර්ණ ශ්‍රී බන්ඩාර), රිදී නිම්නය කදුඵ නිම්නය ඔබය මගේ වැනි ගී සදාතනික සිහල ගී නිමැයුම් අතරට පිවිසෙයි.


ගුවන් විදුලි සරළ ගීයට ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හඳුන්වාදුන් ශීල්පියා විජේවිරයන්ය. 


-----
එඩ්වර්ඩ් ජයකොඩි සහ රෝහණ බෝගොඩ
------

සුවඳ මලේ පැණි බඹරුනට පිරෙන්නයි.............


යළට මහට කෙත් සරු වි පැහෙන්නයි............


ගොයම් කරල් රන් පාටින් දිළෙන්නයි............


අවුරුද්දේ සුභ ආසිරි ගෙනෙන්නයි.........


නව හිරු පායා නව සඳු පායා ..............


(ගැයුම - එඩ්වර්ඩ් ජයකොඩි සමග රෝහණ බෝගෝඩ ගී පද නැසිගිය ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

--------------------------------
මෙතැනින් සවන්දෙන්න
----------------------------

ගුවන් විදුලි ගීතාවලිය පුරා පැතිර විසිර පවතින පෙම් ගී සමුච්ඡයේ ඉඳහිට නැවුම් තේමාවක් ඔස්සේ ලියැවුනු ගීත ද හමුවේ. ළපැටියන් නිතර ගැවසෙන දෙහිවල සත්වෝද්‍යානය ට පිවිසෙන ළමා වැඩිහිටියන් දොරටුවෙන් වමට හැරී එහි දිවිගෙවෙන විසිතුරු සාගර මත්ස්‍යයන්ගේ විමන වන මින් මැදුරට පිවිසෙන්නට අමතක කරන්නේ නැත.


එහිතුළ ගතකරන කෙටිකාලාන්තරයකදී, ඇසට ඇසක් හැටුනේනම් ? නුරා නෙත් පහර වැදුනේ නම් ? ඔවුන් ගේ ආදර අන්දරය සටහන් කෙරෙන ලීලාව කෙබඳුවේද ?


සිරිකත සරසවි ............අතිනත අරගෙන


හෙළකත හමුවෙන ....තැන මෙතැනයි....


මින් මැදුරයි ...මිණි යුග දෙනෙතයි...


නුරා බැලුම් හද සළිත කරයි............


මින් මැදුරේ මින් මැදුරේ මින් මැදුරේ බැඳි ආදරේ.......................


තාවතිංස දෙව් විමානයේ ...


අසිරිය මැවෙනා මින් මැදුරේ


නන්දන උයනේ චන්දන සිහිළස


මින් යුග දෙණුවන් අතර මැවේ.................. 


මීනරංග රග ඇගේ නුවන් යුග...


මහද රගහලේ රග දෙනවා ...............


සිත්නොවමත්වී සුවසේ මගෙ නතේ


ඇගේ නෙත් යහනේ නැළවෙනවා..................

----------------------------

ගී පද - චන්ද්‍රසිරි රාජපක්‍ෂ


තනුව සහ සංගීතය - ශිල්පි බන්දුල විජේවිර


ගීතය නිර්මාණය - ලංකා ගුවන් විදුලිය  - 70 දශකය අවසන් යුගය

-----------------------

යූ තලයේ වීඩියෝව නරඹන්න






Monday, October 3, 2022

ළමා ගී - ජගත් ළමා වසර - 1979 - ආචාර්ය නන්දා මාලිනී සහ ළපැටියන්

ලෝක ළමා දින තුන්සියහැටපහකින් පිදුම් ලැබු ළපැටියන්ගේ අතීතාවලෝකනය - 01 - 1979 


ලෝක ළමා දිනය ගෙවි දෙදිනක් ගත විය. ඒ අනුව සෑම වසරකම වප් මසින් පළමුවෙනි දින එනමින් හඳුන්වාදී ළමුන් උදෙසා ඔවුන් සහභාගි කරගෙන විවිධ විනෝදාංග ඇතුඵ විවිධ ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. දිනයක් වෙනුවෙට ඔවුන් වෙනුවෙන් සතියක් එසේත් නැතහොත් මසක කාලයක් වෙන්කළ නොහැකි වනු ඇද්ද? එසේ වුවහොත් පෙරකී ක්‍රියාකාරකම් එපමණ කාලයක් සිදු කරන්නට වරම් ලැබේ. එවන් තත්වයකදී වසරක් පුරා ළමුන් වෙනුවෙන් වෙන්කරන්නට අවස්ථාව ලද්දේ නම් එය ඔවුන් හට ජිවිතයේ අමතක නොවන අත්දැකීම් හිමිකරනු ඇත්තේය. 



එවන් දුර්ලභ අත්දෑකිම් රැසක් ලබනට වාසනා මහිමය ලද දරුවන් අපි වූයෙමු ඒ කෙසේද යත් මින් වසර හතළිස්තුනකට එපිටදී එනම් 1979 වසර ලෝක ළමා වසර හෙවත් ජාත්‍යන්තර ළමා වසර ලෙස නම්කරන ලද හෙයිනි. ඒ අනුව වසර පුරාම ළමුන් සඳහා විවිධාංග වැඩසටහන්, ප්‍රිති උත්සව, සැණකෙළි, සහ තවත් ක්‍රියාකාරකම් ගණනාවක් එකී වසරේ සිදුකරන ලදී. ඒ අතරින් වඩාත්ම මතකයේ රැඳෙන සුන්දර අත්දැකීම් ඔස්සේ අතීතාවලෝකනයක නිරත වන්නට සිත්විමි.

ඒ වනවිට අගනුවර විහාර මහ දේවි උද්‍යානයේ කොටසක් ළමා උද්‍යානයක් ලෙස එදවස පැවති නවින අංගෝපාංගයන්ගෙන් සන්නද්ධ කරවා සංවර්ධනය ලක්කර සිගිත්තන් වෙනුවෙන් වීවෘත කරන ලද්දේ එකී වසරේදීය. එදවස කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා පැවති කැළණිවැලි දුම්රිය මග පටු මාර්ගයක් වු අතර එහි ධාවනය වුයේ ගල්අගූරු එන්ජිමක් මගින් ඇදගෙන යනු ලබන ප්‍රමානයෙන් කුඩා වු මැදිරි කිහිපයකි. ඒ අන් සියඵ දුම්රිය එවකටද ඩීසල් ඇන්ජින් මගින් ධාවනය වු යුගයයි. ගීත මගින් ගැයෙන, ළමාපොත් මගින් ඇසගැටෙන, විදේශිය සහ දේශිය සිනමාපට මගින් පමණක් ප්‍රදර්ශනය වූ එවන් ගල්අගුරු දුම්රියක අත්දෑකීම් සැබැවින්ම විඳ ගන්නට නම් පෙරකී දුම්රියේ ගමන් කිරීම ප්‍රමාණවත් විය. එවන් දුම්රියක් නෙක වර්ණයෙන් සිත්තම් කරවා මතු කි ළමා උයන වටා ධාවනය කරවුයේ දිවයිනේ දසදෙසින් අගනුවර සිරි නරඹන්නට පැමිණි සිගිත්තන් හට නවමු අත්දෑකිමක් ලබාදෙන්නටය.


චිත්‍රකථා කලාව වැඩිහිටියන් අතර පමණක් නොව දරු දැරියන් අතර පවා උන්මාදයක් ව පැවති එකී යුගයේ, මුල්වරට දරුවන් වෙනුවෙන් වෙන්කෙරුණු චිත්‍රකථා පත්තර වෙළඳ පොළට නිකුත් කෙරිනි.  දශක සතරක අතීත මතකයේ අහුමුඵ අවුස්සා තෝරාබෙරා ගන්නා තොරතුරු අපැහැදිලි නමුත් ඒවා සූකිරි සහ මී පැණි නමින් හැඳින්වු බවට බොඳ වු මතකය කියාපායි.

රූපවාහිනි මාධ්‍ය කලාව මුල්වරට ලක්පොළොවේ දඵලා වැඩෙන්නේ ද පෙරකී වසරේ බක්මහ උළෙලට සමගාමීවය.  පෞද්ගලික සමාගමක් ලෙසින් ස්වාධීන රූපවාහිනි සේවය අගනුවර අවට සිමිත පදෙසකට විසුරුවා හැරීම දියත් කෙරුණු අතර එයින් මුල්වරට ලෝකපුජීත රූපවාහිනි ළමා කාටුන් වැඩසටහන් වල අසිරිය අත්දැක විඳගන්නට ලක් දරුකැළ ද වසනාමහිමය ලද්දේය.


අගනුවරින් දුරස් ව විසු ළමාඅප වෙත පෙරකී පුවත සන්නිවේදනය කෙරෙන ලදුව, දුරු කතර ගෙවා අගනුවර විස්ම ලෝකය වෙත පිවිසෙන්නට හේතු සාධක වූ කරුණු අතරට මතු කී රූපවාහිනි කාටුන් වැඩසටහන් නැරඹීමේ උන්මාදයද අඵතෙන් එකතුවිය. ඊට අවස්ථාව හිමිවන තුරු, රූපවාහිනි යන්ත්‍ර සතුකරගත් ඥාති හිතමිතුරු නිවස් කරා පිවිස එහි කෙටිකාලයක් හෝ රැඳි සිටින්නට සිහින මැවු යුගය එයයි. 



කාටුන් උන්මාදයෙන් පෙඵන ලාංකීය ළමා පරපුරට එයින් වඩාත් වැඩදායි අධ්‍යාපනික අවස්ථාවන් හිමිකරදෙන්නට උත්සුක වී පසුකාලීනව ළමාපෙළ වෙනුවෙන් රූපවාහිනී හඞකැවිම් කලාව හඳුන්වාදී ඔවුන් වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක් ඉටුකල සිනමාවේදී ටයිටස් තොටවත්තයන් ව මුල්වරට ලක් ළමා පරපුර දැන හැඳිනගත්තේ විශ්ව ළමා වසරේදීය. ඒ ඔහු විසින් ඔවුන් හට තිළිණ කරන ලද අමිල කලා නිර්මාණයක වු යුග යුග මතකයේ රැඳෙන  හඳයා නම් වු සම්මානනීය ළමා සිනමාපටය ඒ වසරේදී තිරගත කරන්නට කටයුතු යෙදීමෙනි.  වත්මනට වඩා පුඵල් ලෙස එවකට අගනුවර වසා පැතිර පැවති  පැල්පත්වාසී ජනසමූහයා අතර දිවි ගෙවු අසරණ ළමුන් පිරිසක ගේ චර්යා රටාවන් සියුම්ව සාකච්ඡාවට බඳුන් කරන ලද්දා වු හඳයා අභිබවා යන්නට සමත් ළමා සිනමාකෘතියක් ඉන් මත්තෙහි එදා මෙදා තුර බිහිකරදෙන්නට කිසිවෙකු හෝ සමත්වුයේ නැත.

---------------------
අවිස්සාවේල්ල මාර්ගයේ වාෂ්ප දුම්රිය - - 80 දශකයේ මැද භාගය දක්වා 
-------------------

මතු කී ලෙසම  ඒ වසර වෙද්දීද රූපවාහිනි මාධ්‍ය කලාව සම්පුරණයෙන්ම සිහිනයක් ව පමණක්ව පැවති අතිබහුතර ලක්වැසි ළමා පරපුර වෙත අතහිත දෙන්නට ඉතිරිව පැවති එකම විද්යුත් මාධ්‍යය ් ලංකා ගුවන් විදුලියයි. එහි ළමා වැඩසටහන් අංශය එදවස ඉතා කාර්ය බහුලව පැවතුනේ ළමුන් උදෙසා විවිධ සංගීතමය සහ වෙනත් අධ්‍යාපනික විචිත්‍රාංගයන් නිතර නිර්මාණය කරමින් පැවතිම නිසාය. ප්‍රවිණ ගුවන් විදුලි මධ්‍ය ශූරී කරුණාරත්න අබේසේකරයන් ඒ යුගයේ ගුවන් විදුලියට දායකත්වය ලබා දුන්නේ අර්ධකාලීනවය. ඔහු විසින් ආරම්භකර පවත්වාගෙන ගිය ළමා මන්ඩපයේ නියමුවන් අතර ප්‍රමුඛයා වුයේ සුනෙත් ගෝකුළ ශිල්පියාණන් ය. ඔහු ගේ දයාබර බිරිඳ වුයේ ඉන් ඉහත දශකයේ සිට ළමා පිටිය සරසන්නට විවිධාකාර නිර්මාණයන්ගෙන් ඊට දයාකත්වය දැක්වු සංගීතඥ වර්තමාන ආචාර්ය ධුරයෙන් පිදුම් ලද නන්දා මාලිනි මහත්මියයි. ඔවුන් දෙදෙනා යටතේ ළමා ළපැටියන් රැසක් එහි සිට ගයමින් ඇයගේ තනුනිර්මාණයන් සහ සංගීත සංයෝජනයන්ගේ මිහිර ලබමින් ගීත ගයනා ඉදිරිපත් කලේය. ගුවන් විදුලිය විසින් නිරන්තරයෙන් ඒවා ළමා පරපුර වෙත විසුරුවා හැරියේය සවස් යාමයේ ඊට ප්‍රමුඛතාව දෙමිනි.



ළමුන් ඇසුරේ නිතිපතා රැඳෙමින් ඔවුනට අතහිත දෙමින් ඔවුන්ගේ හෙට දිනය ප්‍රභාමත් කරන්නට ඇප කැප වු ඇය, සිය ආදරණිය ළමාපෙළ වෙනුවෙන් වෙසෙසින් වෙන්කරන ලද ළමාවසර තුල ඔවුන් උදෙසා සුවිශේෂි කටයුත්තක නිරතවන්නට ඉටා ගත්තේය. ඒ දිවයිනේ ලක් ඉතිහාසයේම මුල්වරට ළමුන් උදෙසා වෙළඳ ගී තැටියක් තිළින කරන්නටය. ඒ අනුව එය ගීත හතරකින් සමන්විත විමේ අවශ්‍යතාවය සපුරාලිය යුතු වන්නේය. 





--------------
සංගීතඥ ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ග්ලිකොන්ස්පීල් වාදන ශුරී නැසිගිය සේන ජයන්ත වීරසේකර
--------

ගීත සතර කෙබඳු විය යුතුද? ඒ වෙද්දීද ඇය යටතේ ගයන දරුකැළ වෙනුවෙන් ළමා ගීත රචනා කලාවේ නිරත වී සිටි සුනිල් ආරියරත්නයන් හට ඒවා පබැඳිමේ වගකීම පැවරිනි. සංගීත වාද්‍ය සමුහයා මෙහෙයවා වාද්‍ය රසය කැවිමේ කාර්ය භාරය ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සේන ජයන්ත වීරසේකරයන් වෙත ලබා දුන්නේය.  සුපුරුදු ලෙසම තනු සහ සංගීත අදියුරු භුමිකාව ඇයගෙන්මය.

-----------------

නන්දා මාලිනි 

සුනිල් ආරියරත්න - 80 දශකයේදී

---------

පොඩිත්තන්ගේ ලෝකය සරසන ඔවුන්ගේ අජිවි කෙළිභාන්ඩය වු සරුංගලයකින් මෙන්ම සජිවි කෙළිභාන්ඩ වන සමනළයන් අතර සැරිසරන ළපැටියන් ගේ  මනරම් සිතුවමකින් හැඩවැඩ වී තැටි කංචුකය නිර්මාණය විනි.  කැළණිය දඵගම සරසවි ශබ්දාගාරයේදී එක්තරා දිනකදී ඒ අනුව සිංහල ළමා ගීත කලාවන්හට වැඩිහිටියන් වෙතින් පිදුනු නැවුම් ගීත හතරක් එළිදුටුවේය. එයන් තුනක් ළමා ළපැටියන්ගේ සුන්දරත්වය වර්ණනා කරද්දී එක් ගීයක් ඔවුන්ගේ කෙළි භාන්ඩය වු සරුංගලය අරභයා ලියැවිනි. එනමුදු ගීත ප්‍රබන්ධකයා සරුංගලයේ උපමාවෙන් වෙස් ගන්වා  සියුම් ලෙස මතුකර ගන්නේ විරෝධාකල්පයකි. ඊට පෙර වසරේදී දියත්ව ඒ වසරේදී සිඝ්‍රලෙස පැතිර ගිය මැදපෙරදිග ඉසුරු සොයා විදේශගතවිමේ මෙන්ම ලක්පොළොවේ සම්පත් අනුභව කරමින් හැදී වැඩී යැපී නොරටුන් හට බැළමෙහෙවර කිරීමේ ප්‍රවණතාවය ගීත රචකයාගේ සියුම් විවරණයට හසු කරගනී.



මහඇදුරු අභිධානයෙන් පසුව පුදලද යාපනය සහ ජපුර සරසවි ඇදුරු සුනිල් ආරියරත්න නම් වු ගී පද රචකයා ඇයගේ පවන සහ සත්‍යයේ ගීතය ප්‍රසංග හමුවේ පසුව නිරත වන්නට යෙදුනු විරෝධාකල්ප ගීත රචනා කලාවේ අංකුර අවස්ථවෛ් නිර්මානයක් ලෙස සරුංගලේ සැළකිය හැකිය. එහෙත් ඔහු ඒ වනවිට ද මිරිවැඩි සගලක්, සකුරා මල් පිපිලා වැනි ගීත ගණනාවක් ඇය ගේ ගුවන් විදුලි ගිීතාවලිය සරසන්නට නිර්මාණය කර තිබිනි. උක්ත තැටියේ ඇතුළත් වු ගී අතරින් පසුකාලීනව වැඩිම වාරගණනක් ගුවන් විදුලියෙන් විසුරුවා හැරි ගීතය බවට පත් වුයේ සරුංගලය යි.



01 මල් මල් මල් ලොව මල් දරුවෝ .............


මල් මල් මල් ලොව මල් දැරියෝ ..............


මල් මල් මල් ලොව මල් දරු දැරියෝ .............


මල් ලොව මල් දරුවෝ ................


අසන්න  ෙමතැනින්
--------------------

02 රත්තරං රටේ උපන්න රත්තරං පුතේ..........


අපේ රටේ දූ දරුවන් රත්තරං වගේ ..................


සමණළ කඳු මුදුන සිඹින උදාගිර වෙලා........


සෙංකඩගල පුරේ රැඳෙන පුරාහඳ වෙලා ...,


සිරිමා බෝ රජුන් බඳිව වළාකුඵ වෙලා ...


මේ රට සරසන්න පුතේ රත්තරං වෙලා ...........


අසන්න  ෙමතැනින්
--------------------

03 වන බඹරෝ මොකද හොරෝ ...........


පුංචි කමට පැණි උරන්නේ .............


පුංචි අයගේ හොරබොරු නෑ .............


හොර නොකරති පුංචි ළමයි........


බොරු නොකියති පුංචි ළමයි.............


දෙමව්පියන් හිත රිදවා ...........


දග නොකරති පුංචි ළමයි.....


කම්මැලි නැති පුංචි ළමයි..........


දැනුම වඩන පුංචි ළමයි.............


හෙට නවලොව ඉදිවන විට...


ලොවට අයිති පුංචි ළමයි...........


අසන්න  ෙමතැනින්
--------------------

04 සරුංගලේ වරල් සැලේ ...


නිසංසලේ ගුවන් තලේ ...


අපෙන් මිදී වෙන රටකට ...


යන්න හදන්නේ ....


උපන් බිමට වැඩිය තැනක් ..


කොහෙද තියෙන්නේ....


සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි...


සරුංගලේ ලාටු උලා රැළි කෙරුවේ අපේ ළමයි..,


සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි..


සරුංගලේ නුඹ අහසෙයි අපේ ළමයි තාම බිමයි...


සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටිකෑවේ අපේ ළමයි..


සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි...


සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි...


සරුංගලේ නුඹ වාගෙයි රටහැර යන අපේ ළමයි....

අසන්න  ෙමතැනින්
--------------------

මෙම සුවිශේෂී වසර වෙනුවෙන් ලංකා ගුවන් විදුලිය විසින් තේමා ගීතයක් පටිගත කරන ලද අතර එය ගායනා කරන්නට යෙදුනේ ගීතය සංගීතවත් කල ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දරුකැළ විසිනි. එදා ළපැටියන් වු ඔවුන් ජයන්ත රත්නායක, චාන්දනී, මංජුලා සහ ලෙඵම් ය. ගීතයේ පද සැකසුම ආචාර්ය නැසිගිය අජන්තා රණසිංහයන් ගෙනි.මිට අමතරව අජන්තා දියණි සිගිති සාරංගා රණසිංහ ගේ හඞ ද මෙහි ඇතුළත්ය.


පුංචි වුනත් මං...........පුංචි මටත් දැන්...


අවුරුද්දක් තියනවා ...ළමා වසර කියනවා ............


අත්පුඩි පුඩි පුවත්තා...අත්පොළසන් දෙවත්තා...............

අසන්න  ෙමතැනින්
--------------------

ජාත්‍යන්තර ළමා වසරේ අතීත මතක සැමරුම් සතුකරගත් තවත් එදා ළපැටි රසවතුන්ගේ රසපුර්ණ අත්දෑකිම් එමට අද වැඩිහිටියන් බවට පත් වු ඔවුන් සතුව පවතින බව නිසැකය. එවන් අත්දෑකිම් ඔබ සතුවේනම් ඔබේ පසු පරපුරේ කියවිමේ පිපාසාවෙන් දැනුම සොයා අතීත ගවේෂනයේ යෙදෙනවුන්ගේ අමන්දානන්දනයට හේතු වූ එවන් කරුණු මතු ලිපියකට ඇතුළත් කරනු වස් මෙහි  සටහන් කර දමන ලෙස සාදරයෙන් ඇරයුම් කරමි. (සේයාරූ පවතීනම් ඒවා දහස් වටී)


ඔබට තුති පුද.................!


(නන්දා මාලිනි ගී තැටියේ තොරතුරු සම්බන්ධිකරණය - බුද්ධි ගයාෂාන් ජයසේකර සහෘදයා විසිනි)

තැටි කවරයේ සේයාව - උපුටාගැනීම - මියැසි බ්ලොග් අඩවිය - නිමල් රත්නායක



Sunday, September 25, 2022

ශ්‍රී ලංකා ජන සංගීතය ජන ගායනා මිහිර

 




ජන සංගීත පර්යේෂන ඒකකය - ජන ගී ගැයුනු යුගයේ ඇසුණු පර්යේෂණ ගී තීරය - 1972-1979 - සී ද එස් කුලතිලක - කමල් ඩී අතුකෝරාල



ඉතා සංකීර්ණ පුඵල් පරාසයක පැතිරුනු ශ්‍රී ලංකාවේ ජන සාහිතත්‍යය කෝෂ්ඨාගාරය වෙත කිමිද යන්නට නම් දිවයිනේ විවිධ ජන වාර්ගික කන්ඩායම් අතරට මුසුවි ඈත ගම් දනව් සිසාරා දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන්නට සිදුවේ. මින් සියවසකට ද එපිට යුගයකදී  හෙන්රි පාකර් වැනි බිත්‍රාන්‍ය සිවිල් සේවා නිලදරුවන් විසින් එය මහත් කැපවිමකින් සිදු කරන ලදී. ඔවුහු පසු ඒවා මතු පරපුර වෙතින් ගිලිහි නොයනු පිනිස ග්‍රන්ථාරූඩ කරන්නට පෙළඹිනි. 


ඉන් අනතුරුව විසිවන සියවස මැද භාගයේ සිට ඩබ්ලිව් ඩී මකුලොඵව, පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව වැන්නන් ද ජන සංගීතය පිළීබඳව කරුණු හදාරා විමසා දැන ඒවා තම නිර්මාණකරණයේ මෙවලම් ලෙස යොදාගනු ලැබිය.එහෙත් ඒ පිළිබඳව පුර්ණ ලෙස මහත් කැපවීමෙන් හදාරා, ලක්දිව පුරා විසිර පැතිර තිබු ජන ගී අදාළ පාර්ශ්වයන් වෙතින්ම සම්මුඛව හමුවී ගායනා කරවා එකතු කර පටිගත කර සංරක්‍ෂනයේ යෙදුනු පුරෝගාමි ශිල්පයා නැසිගිය සී ද එස් කුලතිලකය.



පසුව ලංකා ගුවන් විදුලිය විසින් පවත්වාගෙන ගිය ජන සංගීත පර්යේෂන ඒකකයට බැඳී 1970 වසරේදි පමණ සිට ඒ හා සම්බන්ධ වෙමින් ඔහු ඒවා යළි පණගැන්වීමට මහත් මෙහෙවරක් ඉටුකරනු ලැබීය. ඒවායේ තාල හැඩතල විමසාදැන ගනිමින් ඒවා එදවස ආධුනික මෙන්ම ප්‍රවිණ ගුවන් විදුලි ශිල්පීන් යොදා ප්‍රතිනිර්මාණය කරමින් නැවත නැවුම් ලෙස පටිගතකරවා ලැයිස්තු ගත කරන්නට ඔහු කැප වී ක්‍රියා කළේය.


දේශියත්වයට ගුවන් විදුලිය වඩාත් නැඹූරු වු රිජ්වේ තිලකරත්න යුගය ඇරඹී 1973 වසරේදී, එයින් ලත් මහත් පිටුබලයෙන් පන්නරය ලබමින් ඔහු සිය කටයුත්ත වඩාත් පුඵල් කළේය. විනාඩි පහළොවක මෙන්ම ඇතැම් විටක අඩපැයක වැඩසටහනක් විසුරුවා හරින්නට කටයුතු යොදමින් තමන් විසින් නැවත පණගැන්වු ජන ගී ශ්‍රි ලංකාවේ දසත විහිද විසිර පැතිර ගිය සුවහස් සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත තිළිණ කළේය. එදවස බාල තරුණ වැඩිහිටි ගුවන් විදුලි ශ්‍රාවක කැළ හට ලාංකීය ජන ගීත කලාවේ මිහිර නැවුම් ලෙස විඳගන්නට ඉඩ කඩ විවර කර දුන්නේය.


ඉන් නොනැවතී, නිවස් හි පෞද්ගලික තැටි ධාවන යන්ත්‍ර හිමිකරුවන් වු රසිකයන් ගේ ඵලප්‍රයෝජනය පිණිස වෙළඳ තැටි ඔස්සේ වර්ගීකරණයට ලක් කර ඒවා අලොවි කරන්නට කටයුතු කළේය.


ටී එම් ජයරත්න, නන්දා පතිරණ, සේන එළමල්දෙණිය, පාලතී බෞද්ධානන්ද, සේන වික්‍රමාරච්චි, පුන්‍යා කත්‍රිආරච්චි, නීලා වික්‍රමසිංහ, නාලිනි රණසිංහ, අයිවෝ ඩෙනිස්, රෝහණ බැද්දගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වර්ඩ් ජයකොඩි,යමුනා විනෝදනී, කේ ඥානවතී. කුසුමා පෙරේරා,ඉන්දීවරී ආරියසිංහ ඇතුඵ තෝරාගත් පිරිසකගේ සහභාගීත්වයෙන් ඒවා නවආරකින් ගායනා කරන ලදී


නෙඵම් ගී. ඔංචිලි වාරම්, පාරු කවි, ගිරිදේවි, සව්දම්, ඔළීඳ කෙළිය, කමත් ගී, අඞහැරයන්, දරු නැළවිලි ගී, වැදි ගී. සිරිපා තුන්සරණේ කවි, හටන් කවි, ප්‍රශස්ති, සොකරි නාඩගම, නොංචි කෝළම, රන් තෙළඹුවේ කවි, පත්තිනි හෑල්ල ආදී මෙකී නොකී ජන ගී ඔහුගේ විෂය පඨයට හසුකරගන්නට කටයුතු කළේය.


මේවා මුද්‍රණය කරන ලද කුඩා පොත් පිංච 70 දශකයේ ලොකු කුඩා නගරාශ්‍රිත කඩපිල් අද්දර, පදික වේදිකාවන්හිදී මග යන එන්නන් උදෙසා විකුණන වෙළඳුන් නෙතට නුහුරු දසුනක් නොවිය. වරෙක ප්‍රවිණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ශූරීන් තමා රඹුක්කන කඩමන්ඩියේදී මෙවැනි පදික පොත් වෙළෙන්දෙකුගෙන් මිළදී ගත් විදුර පන්ඩිත කථාව පොත්පිංච ඇසුරෙන්  පසුව මහත් සේ රසික සම්භවනාවට පාත්‍ර වූ අනෝතත්ත විල නෙඵම නෙළලා ගීතය නිර්මාණය කරගත් ආකාරය හෙළිදරවු කරන්නට යෙදිනි.


එකල ජන සමාජය වර්තමානයට වඩා මෙම ජන සාහිත්‍යයට වඩාත් සමිපව සිටිබවට ඒවා කදිම නිදසුන්ය. 


සී ද එස් කුලතිලකගේ එකී මාහැගී දායකත්වය ගෙනහැර දක්වන අතරේ ලාංකීය ජන සංගීතය සිය නිර්මාණ කර්තව්‍ය සඳහා භාවිත කරන ලද පන්ඩිත් අමරදේවයන් ගේ කාර්ය භාරය ද ලඝු කොට තැකිය නොහේ. ඔහුද පෙරළා ලක්දිව සැපත්වීමෙන් පසු  60 දශකයේදී මඩවල එස් රත්නායක සහ මහගම සේකර මෙන්ම ඩෝල්ටන් අල්විස් යන මෙකී ප්‍රවිණතමයන්ගේ ඇසුර ලබමින් ඔවුන්ගේ ගී පද රචනා උපයෝගි කොටගෙන මධුවන්ති, විජය ගීත වැනි ගුවන් විදුලි සංගීතමය ප්‍රණිතාංගයන් ඔස්සේ ජන සංගීතය ප්‍රචලිත කළේය. 


වර්තමානයේ පව අමරදේවයන්ගේ ගීතපෙළ ඔප්නංවන බඹරෙකු ආවයි (මඩවල එස් රත්නායක), රන් ගොයමේ සිංදු (ඩෝල්ටන් අල්විස්), වක්කඩ ලග දිය වැටෙන තාලයට (මහගම සේකර), ඉරට මුවාවෙන් ඉඳගෙන (මහගම සේකර), දොඩම් කපාලා ඇඹුල් තනාගෙන, (මහගම සේකර). බිංදු බිංදු රන් ගෝමර මාලා (මඩවල එස් රත්නායක) වැනි ගීත ඒ යුගයේ බිහිවු ඒවාය.


ඔහු ගුවන් විදුලියේ එසේ කටයුතු සම්පාදනය කරද්දී, සමකාලීනව ලාංකීය සංගීත ක්‍ෂේත්‍රය උඩුයටිකුරුවූ කර්තව්‍යයක් සිදුකරන ලද්දේ එවකට හතු පිපෙන්නා සේ බිහිවු කන්ඩායම් සංගීතකරුවන් විසිනි.  නෙවිල් ප්‍රනාන්දු ගේ ලොස් කැබැයියරෝස්, ක්ලැරන්ස් විජේවර්ධනගේ මූන්ස්ටෝන්ස් (පසුව 70 දශකයේ ද ගෝල්ඩන් චයිම්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස්)  මෙල්රෝයි ධර්මරත්න ගේ ධර්මරත්න බ්‍රදර්ස්, ජේ බී පෙරේරා ගේ මී මැස්සෝ, නිශ්ශංක විමලසූරිය ගේ ලොස් මුචාචෝස්, නොයෙල් රණසිංහ ගේ ලා සෙයිලනියන්ස්, ලෙස්ලි ප්‍රනාන්දු ගේ බෙන්තොට බීස්, ප්‍රියා පීරිස් ගේ ලා බම්බාස්, මනිලා ජෝසප් ගේ වින්ස්ලෝ සික්ස්, ජෙරී සහ පෙරින් ජයසේකර ගේ ජේ බ්‍රදර්ස, සුනිල් පෙරේරා ගේ ද ජිප්සීස් (70 දශකය) රේමන්ඩ් ෆොන්සේකා ගේ සමනළයෝ  ඔවුන් අතර ප්‍රමුඛයෝ වුහ


බුදන්ගේ කාලයේ දෙසැට මිත්‍යාදෘෂ්ඨිකයන් මෙන් 60 දශකයේ ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ බටහිර ගී ආර ප්‍රියකළ ශිල්පීන් ගේ දෙසැටක් කන්ඩායම් බිහිවි තිබු බව කියැවේ. ඒ අතරින් වෙළඳ තැටි ඔස්සේ ගීත ගයනා කරමින් ඒවා ගුවන් විදුලි වැඩසටහන් ඔස්සේ ප්‍රචාරය වී නිසා රසිකයන් අතරට ගිය කන්ඩායම් ඉහත ලැයිස්තුව නියොජ්නය කරයි.


ඔවුනතරින් සිංහල ජන සංගීතය ප්‍රිය කරමින් ඒ අනුසාරයෙන් බටහිර නාදමාලාවන් හා සංකලනයෙන් නිර්මාණකරණයේ යෙදුනේ ලොස් ෆ්ලෙමින්කෝස්ය.


ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දෙසේ ............


ඔළිඳ තිබෙන්නේ සිංහල දෙසේ ..........


ගෙනත් සදන්නේ කොයි කොයි දෙසේ ...


ගෙනත් සදන්නේ සිංහල දෙසේ .....

60 දශකයේ අවසන් භාගයේදීම සිංහල ජන සංගීත ඇසුර ප්‍රියකල තෙවැන්නා පිළිබඳව වර්තමාන පරපුරේ සංගීත ලෝලීන් ගේ දැනුවත්භාවය හීන බව පෙනීයයි. ඔහු සංගීතඥ කමල් ඩී අතුකෝරාළය.  ඔහුද තමන්ට ආවේනික ආරකට නව තනු සහ සංගීත සංයෝජනයන් සිදුකරගනිමින් ජන ගී ප්‍රතිනිර්මාණයේ යෙදී සිටියේය. 


වඩාත් සුමියුරු තනු ද අන්තර් සංගීත ඛන්ඩද යොදා සාම්ප්‍රදායික ජන ගී කලාව ප්‍රචලිත කරන්නට ඔහු දැරූ තැත ද මහත්ය.පසුකාලීනව ගුවන් විදුලියේ ජනප්‍රිය වු 


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ...............


තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ .................


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ...............


ඔහු විසින් නිර්මාණය කර ගයනු ලැබිය. පිටපත් රචකයෙකු, නිෂ්පාදකයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කළ ඔහු ගුවන් විදුලියෙන් විශ්‍රාම යන්නටද පෙරාතුව 1980 වසරේදී හදිසියේ කඵරිය කළේය. ජන ගීත කලාවේ මතු පැවැත්ම හෙට දවස වෙනුවෙන් දායක වු ප්‍රමුඛ  ශිල්පීන්ගෙ නාමාවලියේ ඔහුගේ නාමය ද ඉහළින්ම ලිවිය යුතුවේමය.

් ංංංංංංංංංංංංංංංංංංං


සිංහල ජන ගීත වර්ගීකරණයේ සාම්ප්‍රදායික නෙඵම් කවි ලෙස හැඳින්වෙන්නේ පන් උදුරා නෙළාගන්නාවුන්ගේ වෙහෙස දුරුකරගැන්මට ගැයු රස කවි පද ය. එහෙත් ගොයම් නෙළන ළඳුන් ගැයු කවිද ඒ අතරට ගැනෙයි. එවන් ගණයේ කවිපද මහත් රාශියක් අතරින් පසුකාලීනව පෙරමුණගත් ශ්‍රාවකයන්ගේ සවනට නුහුරු නොවන නිර්මාණයක් කහමලියා ලෙස නම්කෙරී ඇත. තානමක් (බෙරපද තාලයක ගැයීමක්) අඩංග එය පහත ලෙසින් ගැයේ. එය මුල් ජන ගීතය නවීකරණයට භාජනය කිරීමකින් තොරව සාම්ප්‍රදායික ගායන ලතාව වෙනසකට ලක් කීර්ිමකින් තොරව ගායනා කරන ලද්දකි. සී ද එස් කුලතිලකයන්ගේ සංගීත පර්යේෂණ ඒකකයේ ප්‍රයන්තයකි ඒ.



(උපුටාගැනීම - ගුවන් විදුලි ජන සංගීතය - පර්යේෂණ ගී වැඩසටහන - 1970 දශකය)


ගැයුම - සේන එළමල්දෙණිය ඇතුඵ පිරිස


සෑදේමුව කදිමට ...

රන්පැල විලසට..


අඳි මුව කදිමට....


සේළේ ඉනවට ...


ආ...ආ.....ආ....ආ.....ආ.....ආ


අඳිමුව කදිමට....

කොන්ඩේ මුදුනට....


කියමුව කදිමට...


සිංදුලතාවට...


ආ...ආ.....ආ....ආ.....ආ.....ආ


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්නර කොණේ ලිය එකසරියේ ...


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්නර බැඳිකොණ්ඩා දෙක එකසරියේ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්අර දුණුමඞලා දෙක එකසරියේ ...


අන්අර කහමලියේ අන්අර කහමලියේ..............


අන්අර නියපොතු නියමල් එකසරියේ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



අන්අර රන්මැණිකෝ ...අන්අර රන්මැණිකෝ ...


අන්අර මුලඅරුමෙන් කවියක් පුරකෝ


අන්අර ඉරබලකෝ .. අන්අර ඉරබලකෝ ..


අන්අර බලලා අපි ගොඩ යමුකෝ ...


තරිකිට රුකුඳ කුඳං ...තරිකිට රුකුඳ කුඳං ...


තරිකිට රුකුඳ කුඳං ...කුඳ තරිකිට රුකුඳ කුඳං...



සමකාලීනව මෙම ජනකවිය  සහ තවත් ගොයම් නෙඵම් කවි මාලාවෙන් උපුටාගත් කොටස් වෙනත් තනුවක රුවා දේශීය බෙර තුර්්‍ය නාද සංකලනයෙන් නැසිගිය කමල් ඩී අතුකෝරාළ ශිල්පියා විසින් ද ගයන්නට යෙදුනු අතර එයද එක්තරා අතීත යුගයක දේශිය කලාව ප්‍රිය කළ සුවහස් සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවක කැළ අතර මහත් සේ ජනාදරයට පත්විය. ඔහු එහිදී සංඛ්‍යාත්මක විශාල වාදක මන්ඩලයක් ද අත්වැළ් ගායක කන්ඩායමක් ද ඊට සහභාගීකරගෙන ඇතිබව පෙනියයි. එය මෙම ජනකවි ගැයුම් වඩාත් මිහිරි වන්නට හේතුවු බව පෙනීයයි. මෙවා නිරතුරු වාදනය වූ යුගයේදීද ගොයම් නෙළන ලියන් ගේ සජීවී දසුන් ද දුලභ නොවිය. යන්ත්‍රසුත්‍ර භාවිතය කෙමෙන් කරළියට පැමිනෙමින් තිබුනද, දුර ගම්මානයන්හී මහා පරිමාණයෙන් වගා සිදු නොකරන ගොවීන් සිය කුඹුරු ළියැදි වල ගොයම් කපන්නට කන්ඩායම් ලෙස සැදුනු ගැමියන් හට ඇරයුම් කිරීමේ සම්ප්‍රදාය සිදුකළේය. 

මෑත කාලීනව 90 දශකයේදී ජන සංගීත විෂයය උදෙසා සිය කාලය සහ ශ්‍රමය වැයකරමින් එය ප්‍රචලිත කරන්නට වෙහෙස දැරූ නැසිගිය ලයනල් රන්වල ශූරීන් ද ඔහු විසින් නිර්මාණය කරගත් ශෛල්‍යයකින් උක්ත කහමලියා නිර්මාණය ජනගත කලේය.

https://youtu.be/Hd3d_y_lmd8